Sunday, July 26, 2009

'භූමි පුත්‍ර UNP’ ය හෙවත් අභිසාරිකාවගේ කුමරි බඹසර

2 comments
සුගිය දශක එක හමාරකට අධික කාලයක සිට ජාතික බලවේගවලට සෘජුව මුහුණ දී ගත නොහැකිව දිගින් දිගටම දේශපාලන පරාජයන් ලබමින් විපක්ෂ දේශපාලන භූමිකාව තම බුක්තියට සවි කර ගත් එ.ජා.ප ය එහි අලුත්ම දේශපාලන ජවනිකාවට පෙර ගමන් යමින් සිටී. එනම් රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණෙන් පෙළ ගැසෙන ඊනියා ජාතික දේශපාලන සම්මුතියක් ගොඩනගාගැනීමේ කාර්යභාරයයි. ඒ සඳහා පෙර සූදානමක් ලෙස එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා නව ප්‍රතිපත්ති මාලාවකට තම අනුමැතිය පල කලේය.මෙතෙක් කලක් ජාතික පිලේ දේශපාලන බලවේග නියෝජනය කල හා එ.ජා.ප ය ඇතුලු විජාතික බලවේග සමග එක පෙළට සිට ගත් දේශපාලන බලවේග වල දැඩි ගර්භාවට ලක්වූ ඒකීය ශ්‍රී ලංකාවක් යන සංකල්පය තම ප්‍රතිපතත්තිය බවට යෝජනා කර ඇත.

එය සැබෑවක් නම් ළිං මැඩි මතවාදයැයි තමන් විසින්ම ප්‍රතික්ෂේප කල මතවාදය වෙත නැවත යාමට එ.ජා.ප යට සිදුවීම දෙවයේ සරදමකි.නැවත යාමට යන්නෙන් අදහස් කලේ 1987 ඉන්දියන් බලපෑම හමුවේ තම ඒකීය රාජ්‍යය මතවාදය පසෙක දමා ෆෙඩරල් මතවාදය භෞතීස්ම කල JR ට පෙර එ.ජා.ප ය පවා සිටියේ ඒකියා රාජ්‍ය සංකල්පය පිළිගන්නා පසුබිමක බැවිනි. J R ගේ 1977 ව්‍යවස්ථාවේ පවා එය පැහැදිලිව සටහන් කිරීමම එයට නිදසුනකි.නමුත් ඉන්දීය දඬු අඬුවට හසු වූ J R තම පක්ෂය එතෙක් රැකි ප්‍රතිපත්තිය ඉවතලීය.

එකල මව්බිම සුරැකීමේ ව්‍යා‍පාරය සමග එක්වූ ශ්‍රී ල නි ප ය,ජ.වි පෙ (ඔවුන් එකල තහනම් දේශපාලන සංවිධානයක් ලෙස සිටියදී පවා) සහ මහජන එක්සත් පෙරමුණ J R ගේ අර්ධ ෆෙඩරල්කරණය සඳහා ඉදිරිපත්කල 13 වන සංශෝධනයට එරෙහිව විරෝධය පෑහ.(එහිදී එ.ජා.ප ආරම්භක පරම්පරාවේ ඉතිරි වූ පුරුක වන, එකල එජාපයෙන් නෙරපා සිටි එක්‌සත් ලංකා ජනතා පක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කල රුක්මන් සේනානායකද එම වෙනසට එරෙහි මතයක සිටි බවද අමතක නොකල යුතුය)

එහෙත් එතෙක් ශ්‍රී ලං නි ප උරුම ප්‍රතිපත්තිය වූ ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය විජාතික බලවේගවල සහයෝගය සහ අනුදැනුම මත බලයට පැමිණි චන්ද්‍රිකා විසින් 1994 දී අත් හැර දැමීය.ඒ වෙනුවට තම කලින් සිටි මහජන පක්ෂයේ ෆෙඩරල්කරණ ප්‍රතිපත්තිය ශ්‍රී ල නි පය තුලට පොම්ප කිරීමට කටයුතු කලේය. එහි ප්‍රමුඛයන් වූ මංගල-SB හවුල එ සඳහා තම ප්‍රබල දයකත්වය සැපයීය. චන්ද්‍රිකා ෆෙඩරල් මතවාදය ශ්‍රී ල නි ප ය තුලට ඔබ්බවද්දී එකල වන විට ප්‍රේමදාස සහ විජේතුංග පාලනය තුලදී තම පක්ෂය තුල යට ගැසී වල් වැදී තිබූ J R විසින් භෞතීස්ම කල ෆෙඩරල් මතය යලි අලු දූවිලි ගසා දමා නව ජවයකින් යුතුව කරලියට ගෙන ඒමට එ.ජා.ප නායකත්වයට පත් රනිල් වික්‍රමසිංහ කටයුතු කලේය.චන්ද්‍රිකා සමග හරි හරියට සිටීමට මෙන් තව තවත් ඒකීය මතවාදයෙන් ඔබ්බට තම පක්ෂය තල්ලු කරගෙන ගියේය.එය කෙතෙක් වීද යත් රනිල්ට සාපේක්ෂව චන්ද්‍රිකා 'හොඳ' තැනක සිටී යැයි බහුතරය පිළිගන්නා තැනට රනිල්ගේ ෆෙඩරල් ප්‍රතිපත්තිය ප්‍රබල වීය. රනිල් සමග සටනේදී චන්ද්‍රිකා පෙරමුණ ගත්තේ එබැවිනි.එකල රනිල් වෙනුවට එ.ජා ප ය තුල ජාතික මතවාදයට ලැදි අයෙකු නායකත්වයේ සිටියේ නම් චන්ද්‍රිකාට හිමි වන තැන වටහා ගන්නට තිබිණ.

කෙසේ නමුත් 2005 වන විට චන්ද්‍රිකාගේ ෆෙඩරල්කරණ මතවාදයත් සමග එකල ජ.වි.පෙ,ම.එ.පෙ.,සිහළ උරුමය වැනි බලවේග හැරුණු විට බහුතරයක් පක්ෂ ෆෙඩරල් මතවාදය කරපින්නාගෙන සිටියත් ජනාධිපතිවරණ සටනට එළඹෙත්ම මහින්ද රාජපක්ෂ මහතා එම සියලු බැමි අමතක කර දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුම ඒකීය මතවාදය නැවතත් පිළිගනිමින් එතෙක් පීළි පන්නා තිබූ ශ්‍රී ල නි ප ය නිසි පරිදී පීළි ගත කලේය. ජාතික බලවේගවල නොමඳ සහය එතුමන්ට ලැබෙන්නේ මෙම ප්‍රතිපත්තිමය පීලිගතකිරීමත් සමගය.එතැන් සිට මහින්ද රාජපක්ෂ මහතා ජාතික පිළේ සෘජු ඒජන්තයා විය.

ඒ සමගම නොනවතින පරාජයකට මුහුණ දෙමින් සිටින එ ජා ප ය එය නවතාලීමට නව මං සොයමින් සිටී.එහිදී තමන්ගේ ෆෙඩරල් මතවාදී හණ ප්‍රබල අවාසියක් බව ඔවුන්ට ඒත්තු ගොස් ඇති සැටියක් පෙනේ.මීට ටික කලකට ඉහතදී ෆෙඩරල් මතවාදයෙන් තමන් ඉවත්වන බව එ .ජා ප ය නිවේදනය කලේ එබැවිනි.එය තව දුරටත් ප්‍රදර්ශනාත්මකව තවුරු කිරීමට මෙන් තම නව ප්‍රතිපත්ති වෙනස්කම් තුලදී ඒකීය මතවාදය පිළිගැනීමට ඔවුන් එකඟ වී ඇත.මෙය සැබෑවක් නම් එය පිලිබඳ සතුටු වීමට සියලු දේශමාමකයන් කැමති වනවා ඇත.නමුත් පෙනෙන්නට ඇති කාරණා අනුව මෙය වෘක පෙනුම වසා ගැනීමට බැටලු හම පොරවාගැනීමක් පමණි.නැතහොත් සැබෑ ලෙසම ඒකීය මතවාදය වෙත අපගමනය වීමක් නොවේ.

'අප ඒකීය යන්නේන් අදහස්කරන්නේ දේශපාලන ඒකීය භාවයක් පමණයි.ඒ තුල අවශ්‍යනම් ෆෙඩරල් දක්වා වුවත් යා හැකියි '
- SB දිසානායක 2009 ජුලි 22

එ ජා ප ජාතික සංවිධායකවරයාගේ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එයයි. ඒකීයභාවය තුල සිටිමින් ෆෙඩරල් රාජ්‍යයක් දක්වා වුවත් යා හැකි යැයි පැවසීම අබිසරුලියකගේ කුමරි බඹසර අපේක්ෂා කිරීම වැන්නක් බව මේ අම්බරුවන් වසන් කරති. එදා චන්ද්‍රිකා ශ්‍රී ල නි පය ෆෙඩරල්කරණය කරනවිට ඊට පූර්ණ සහය පල කල මංගල-SB හවුල අද එ.ජා.ප ය නැවත ඒකීය ප්‍රතිපත්තියට ගෙන එනවා යැයි කී සැනින් එහි ඇති ව්‍යාජත්වය වටහා ගැනීමට තරම් අප දැනුවත් විය යුතුය.ඔවුන්ගේ මෙම සියලු උප්පරවැට්ටි මහින්ද රාජපක්ෂ සමග සිටින ජාතික මතවාදී බහුතරය නිසා සැමදා ලබන පරාජයෙන් ගැලවීමට එම මතවාදීන් එ ජා පය වෙත නම්මාගැනීමට බව පැහැදිලිය.නමුත් මෙවැනි බොරු සන්දර්ශනවලින් නොමග යෑමට තරම් බහුතර දේශමාමක ජනයා බොළඳයන් නොවන බව මේ කපටි නිවටයන් අවබෝධ කර ගත යුතුය.

රෑ සමනළියකගෙන් කුමරි බඹසර අපේක්ෂා කිරීමට තරම් ඔවුන් අමනයන් නොවේ. . . . .

- කැලුම් නිරංජන

Sunday, July 5, 2009

ද්‍රෝහීන්ට එරෙහිව නැවතත් පෙරට පැමිණීමට කාලයයි.....

4 comments

දෙමළ ජාතිවාදයේ දේශපාලන පෙරමුණේ අභියෝගය නැවත වරක් සමාජයේ කතිකාවට ලක් වී තිබේ. මතවාදී තලයේදී දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් පදනම සුනු වුසුනු කර කලක් ගත වී ඇතත් තවමත් බහුතර සමාජය තුල එය තහවුරු වී නොමැත්තේ ජාතික බලවේගවල සංවිධානාත්මක දුර්වලතාව නිසා බව පැහැදිලිය. මතවාදීව කොතරම් ශක්තිමත් තලයක පසු වුවත් එහි පුලුල් ජනතා සහභාගීත්වයක් නොමති බැවින් තවමත් බොරු මතදාරීන් යෙහෙන් වැජඹෙමින් සිටී. ජාතික මතවාද දරන්නන් සංවිධානාත්මක නොවීමේ අවාසියට ජාතියක් වශයෙන් අද මුහුණ දී සිටියි. දෙමළ ජාතිවාදී,මෙදුම්වාදී මතවාදය සංගතව පැරදවියහැකි මතවාදීමය හයියක් ජාතික බලවේග සතු වුවත් එයට සරිලන ශක්තිමත් සංවිධානාත්මක බලයක් ගොඩ නගා ගත නොහැක්කේ ඇයි?

ප්‍රධාන මතවාදයෙන් එකම කුලකයට අයත් වුවත් සුලු සුලු නොගැලපීම් , සුලු මතවාදී අපගමනයන් ජාතික අවශ්‍යතාවයටත් වඩා පෙරට පැමිණ එකඟතාවයකට පැමිණීමට බාධාවක් වීම මුළු මහත් ජාතියේම අවාසනාවකි. නමුත් අවැසි අවස්ථාවන්හිදී එම සුලු නොගැලපීම් අමතක කර දමා පොදු සතුරාට එරෙහිව මුහුණදීමේ ලක්ෂණයක් මෙම බලවේග සතුය. නමුත් පොදු සතුරාගේ ( පොදු සතුරා ලෙස හඳින්වූයේ රටට එරෙහි බලවේගයි ) අභියෝගයේ ප්‍රබලත්වය දුර්වල වන විටදී ජාතික බලවේගවල එකමුතුවද එයට අනුරූපව දුර්වල වේ.නැවතත් විජාතික බලවේගවල බලපෑම ප්‍රබල වන විටදී එකමුතුවද ප්‍රබල වේ.

අද වන විට නැවතත් සමාජය අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් සිටී.ම්ලේච්ච කොටි ත්‍රස්තවාදය ලෙයින් යකඩින් මර්දනය කර අහසට මුසු වූ එහි වෙඩි බෙහෙත් ගඳ මැකී යන්නටත් පෙර බෙදුම්වාදී දේශපාලන පෙරමුණට මුහුණදීමට සිදු වී තිබේ. ඊනියා 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ දේශපාලන ක්‍රියාවලිය වේගවත් වෙමින් තිබේ. ඉන්දියාවේ සෘජු මැදිහත්වීම නැවතත් ප්‍රබල වී තිබේ. ත්‍රස්ත බලය මර්දනය කිරීමට ඉන්දීයාව දැක්වූ ප්‍රතිවිරෝධයට වඩා ප්‍රබල ප්‍රතිවිරෝධයක් අද වන විට එල්ල වෙමින් තිබේ.එකල එයට විරුද්ධව කෙලින් සිට ගත් මහින්ද රාජපක්ෂ ඊනියා බෙලය බෙදීමේ ක්‍රියාවලියේදී යම් පසුබෑමක් නිරූපනය කරන්නේද යන සැකය ජාතික බලවේගවලට ඇත.ආපසු හරවා යැවූ ආ‍ක්‍රමණකාරී බිරිතාන්යය නෞකාව ගෙනා භාණ්ඩ ඉන්දියාවේ බලපෑම මත නැවත බාර ගැනීමට පසුගියදා ඉන්දියාව විසින් එරටට කැඳවා තර්ජනය කල මෙරට රාජ්‍ය නියෝජිතන් එකඟ වීමෙන් පෙන්නුම් කරන්නේ එය නොවේද?


මේ අභියෝගය ජය ගැනීමට නම් අද කල යුත්තේ මෙයට එරෙහිව පුළුල් ජාතික සංවිධානයක් ලෙස එකමුතු වීමය.පාර්ලිමේන්තුව තුලින් ඇරඹිය හැකි මෙම එකමුතුව එයින් නොනැවතී ජාතික සංවිධානවල සමාජ බලයෙන්ද සන්නද්ධ කල යුතුය.පාර්ලිමේන්තුව තුලදී එයට ජාතික හෙළ උරුමය,ජාතික නිදහස් පෙරමුණ,මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ ජාතික බලවේග වලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටින රටට හිතැති බලවේගයේද සහය ලබා ගත යුතුය.මෙම අභියෝගය කලින්ම අවබෝධ කර ගත් ජාතික හෙළ උරුමය එයට එරෙහිව ප්‍රබලව විරෝධය දැක්වීම පැසසුමට ලක් විය යුත්තකි.එයට අනුවම යමින් ජාතික නිදහස් පෙරමුණද රජයට පෙර අනතුර අඟවා තිබේ.නමුත් සති අන්ත සමහර පුවත්පත් අනුව රජය එම අනතුරු ඇඟවීමෙන් අසතුටට පත්ව තිබෙන හැඩක් පෙන්න්මු කර තිබේ.එයට එරෙහිව ශ්‍රී ලං නි ප යේ යැයි කියමින් නිවට ඇමතිවරුන් නිවේදන පවා නිකුත් කිරීමට පවා පෙරට විත් තිබේ.

ශ්‍රී ලං නි ප මතය 13 ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ එකක් වූ බව අද 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය අසමමතික බලය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින මෙම නිවටයන් වසන් කරති.එවක ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව පිටකොටුව බෝ ගස අසල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේද සහභාගීත්වයෙන් පලකල විරෝධතාවයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාට එය අමතක වීමට හේතුවක් නොමැත.නමුත් චන්ද්‍රිකාගේ ෆෙඩරල් මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බවට කලක් පත් වූ බව ඇත්තක් නමුත් එය සැබෑ ශ්‍රී ලං නි ප මතවාදය නොවන බව ෆෙඩරල් මත වමාරන ඇමති ඇම්බැට්ටයන් අමතක නොකල යුතුය.

මෙම ද්‍රෝහී මත දරන්නන්ට රිසි සේ පිනුම් ගැසීමට ඉඩ හැරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකැයි කියා අහක බලා ගෙන සිටීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකිය.යන කෙනෙකුන්ට ආණ්ඩුවෙන් යා හැකි යයි ඕනෑ කෙනෙකුට සිටින්නට හැකි යයි කීමට තරම් මහින්ද රාජපක්ෂ මහතා මුග්ධ වන්නේ නම් එතුමන් කෙරේ දේශප්‍රේමී ජනයා තැබූ බලාපොරොත්තු සහ විශ්වාසය එය ඇති වූවාටත් තරා ඉක්මනින් වියැකී යනු ඇත. එලෙස ආණ්ඩුවෙන් යන්නේ එක් ඇමතිවරයෙක් මන්ත්‍රවරයෙකු බව සැබෑවක් නමුත් එයින් නියෝජනය වන්නේ ජනපතිවරයාට හිතවත් ප්‍රබල සමාජ නියෝජනය බව වටහා ගත යුතුය.ඔහු බලයට පත් කලේත් පත් කරන්නේත් මෙම ජාතික බලවේගය මිස ෆෙඩරල් ඇමති පුස්සන් නොවන බව ජනපතිවරයාට තවමත් නිරවුල් අවබෝධයක් ඇතයි රටට හිතැති ජනතාවගේ පැතුමයි.

ජනාධිපතිවරයාගේ මෙම කරුණ අරබයා ඇති නිහඬ බව තමන්ට ලැබී ඇති අනුමැතියකැයි මේ ද්‍රෝහීන් කල්පනා කරන බව පෙනේ.එබැවින් ජනාධිපතිතුමනි,
නිහඬ බව බිඳීමට මේ නියම කාලයයි. . . . .

- කැලුම් නිරංජන