Wednesday, November 25, 2009

මහින්ද දිනවිය යුත්තේ ඇයි?

10 comments

නාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ගැන මේ වන විටත් තහවුරු වී නොමැත.නමුත් ඔහු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව අද කිසිවකුටත් තවදුරටත් රහසක් නොවේ.

එහි පලමු වෙඩි මුරය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාට සහාය පල කලේය.පසු ගිය සිව් වසරක මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුල ජනතා විමුක්ති පෙරමුණ එහි ඉතිහාසයේ ලැබූ දරුණුතම කඩා වැටීමට ලක් වීමේ වාඩුව මේ සමගම සම්පූර්ණ කර ගැනීම ජවිපෙ අභිප්‍රායයි.ජාතිකත්වයේ මගින් පීලි පැන්නවූ ජවිපෙට අද උරුම වී ඇත්තේ තමාගේ සදාදරණීය නායකයා පන පිටින් බොරැල්ල කනත්ත පෝරණුවේ පුච්චා දැමීමට සෘජුව අණ දුන් රනිල් වික්‍රමසිංහගේ අනවරත පරාජය නවතා ගැනීමට මුක්කුවක් වීමටය.එහිදී යලි කිසිදා එජාප පාලනයක් ඒමට ඉඩ දෙන්නේ නැතැයි සහතික වූ ජවිපෙ වත්මන් නායකයා නොහොත් ජවිපෙ බිහිකල හොඳම දේශපාලන න්‍යායාචර්‍යවරයාගේ මතයද පරාජය කිරීමට අද එහි සිටිනා අනුර-ටිල්වින් කල්ලිය සමත් වී තිබේ.
ස්ථාවර දේශපාලන යුගයකදී තමන්ගේ මුග්ධ දේශපාලනයට ඇති ඉඩ කඩ සීමිත බව ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටිනා ජවිපෙ අද කැස කවන්නේ කෙසේ හෝ දේශපාලන ස්ථාවරත්වය අහිමි වන තැනට වැඩ සලස්වන්නටය.ඔවුන්ගේ දේශපාලනයට ඉඩක් පවතින්නේ එම අස්ථාවරත්වය තුල පමණි.තවද මහින්දගේ ජාතිකත්ව ලැදියාවටද සෘජුව මුහුණ දී ගත නොහැකි ඔවුන් ඒ සඳහා පිලිතුරක් සොයා ගෙන තිබේ.එනම් තමාට අහිමි ජනතා කැමැත්ත පික් පොකට් ගැසීමටය.නැතහොත් මංකොල්ල කා ගැනීමටය.ඒ සඳහා සුදුසුම චරිතය ඔවුන්ට හමු වී ඇත.2006 දී තනිව තරඟ කර ලබා ගත් දොලොස් ලක්ෂයකට අධික චන්ද ප්‍රමාණය පසු ගිය පලාත්සභා මැතිවරණයේදී යන්තම් දෙලක්ෂය ඉක්මවා යාමට පමණක් සිදු වන තැනට කඩා වැට්ටුවේ මහින්දගේ ජනතාවාදී ගමනයි.ජවිපෙට හිමිව තිබූ සටන් පාට තවදුරටත් වලංගු වීමට ඉඩ නොතබූ ඒ මහින්ද යුගය ජවිපට තිත්ත වී තිබේ.තම පක්ෂය තීරණාත්මක ලෙස දෙකඩ වූයේද මේ මහින්දගේ දේශපාලන ගමනම බව ජවිපෙට රහසක් නොවේ.එබැවින් සිදු කල යුත්ත ජවිපේ තෝරා ගෙන තිබේ.එනම් රටට කුමක් වුවත් තම පක්ෂය තව දුරත් ජීවී තත්වයේ පවත්වාගැනීමට නම් මහින්ද පාලනය හමාර කල යුතුය.ඒ සඳහා තම දේශපාලන නායකයා ඇතුළු 60,000ක් තරුණයක් ඝාතනය කලේ යැයි තමන් විසින්ම චෝදනා කල එජාපය සමග එක ගේ කන්නට ජවිපෙ සියලු සදාචාරාත්මක සළු පිළි ඉවතලා දේශපාලනිකව නිරුවත් වී තිබේ.මෙතැන් සිට දිග හැරෙනු ඇත්තේ එම ලැජ්ජාසහගත දීගයේ හිරිකිත ජවනිකාය.තමන් විසින්ම රනිල් ප්‍රමුඛ එජාපයේ නලලේ කෙටූ දේශද්‍රෝහී හන තම හැඳ සිටින සරමම ඔසවා ජනතාවගෙන් වසන් කිරීමට ජවිපෙ නායකයන් කටයුතු කලහොත් පුදුම විය යුතු නැත.ඒ ඔවුන් අද පත්ව ඇති බංකොලොත්කමේ ප්‍රමණයයි.

එජාපයද 1994 සිට තමන් ලබන අවමන් සහගත පරාජය ආපසු හැරවීමට මගක් සොයමින් සිටින්නේ බොහෝ කලක සිටය.එතෙක් තමන් ලබමින් සිටි පරාජය මහින්ද රාජපක්ෂගේ ආගමනයෙන් තවත් තීව්‍ර විය.එහිදී ජයග්‍රහණය තමන්ට පෙනෙන මානයෙන්ද තවත් ඈතින් ඈතට ඇදී ගියේය.මහින්ද රාජපක්ෂ ත්‍රස්ත මර්දන සටනට නායකත්වය දුන් දා සිට එයට එරෙහි වීම රනිල් කල්ලිය සිදු කර ගත් බරපතලම දේශපාලන වැරැද්ද විය.කොටි පරාද වීම ලක් වැසි බහුතරයේ ඒකායන අරමුණ වුවත් මේ කේම්බ්‍රිජ් කල්ලියේ අරමුණ එයට සපුරා වෙනස් ස්ථාවරයක විය.මාවිලාරුවෙන් පටන් ගත් සටන මහින්දට කොයි මොහොතේ පරාජය අත් වේදැයි නොඉවසිල්ලෙන් බලා සිටියේ මෙම දේශද්‍රෝහී කල්ලියයි.එයට පැති සහාය (side support ) ජවිපෙ කම්කරු ,වතු වෘත්තීය සමිතිවලින් ලැබුනු බවද අමතක නොකල යුතුය.ජවිපෙ ප්‍රධනත්වයෙන් එකල මෙහෙයවූ අසාර්ථක වැඩ වැරීම් බොහෝ දෙනාට අද අමතක වී ඇත.ත්‍රස්ත මර්දන සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පොදු සතුරා බවට පත් කර ගත් මෙම එජාප නඩය ඉන් නොනැවතී යුද්දයේ හමුදා නායකත්වයද නිර්දය විවේචනයට ලක් කල අයුරු විවේචනයට ලක් වූවන්ට අද අමතක වුවත් දේශහිතෛෂී ජනයාට අමතක නැත.මක් නිසාද යත් ඔවුන් එදා සිදු කල පහර දීම් වල සෘජු බලපෑම එල්ල වන්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට නොව මව් බිමේ ඉරණමට වන බැවිනි.ත්‍රස්ත මර්දන සටනේ ගෞරවය පික් පොකට් ගැසීමට අද වලි කන්නේ මෙම ද්‍රෝහීන් ය.

සරත් ෆොන්සේකා මහතා ඇමට දමා මේ අල්ලන්නට හදන්නේ බහුතර ජනයාගේ දේශමාමකත්වයයි.එය කිසිදා රනිල් වික්‍රමසිංහ යොදවා සිදු කර ගත නොහැකි බව සියල්ලන්ට ප්‍රත්යක්ෂ වී තිබේ.එබැවින් සරත් ෆොන්සේකා සහ රජය අතර ඇති වූ මත භේදය දඩමීමා කර ගනිමින් බොර දියේ මාලු බෑමට මේ කරනා නින්දා සහගත උත්සාහය දැනුවත් ප්‍රතිවිරෝධයකින් පරාජය කල යුතුය.

එකල දේශප්‍රේමීයකු වූ සරත් ෆොන්සේකා මහතා අද වන විට දේශදෝහියකු කර ඇත්දැයි සමහරෙක් තුල ප්‍රශ්නයක් පැන නැගිය හැක.දේශප්‍රේමී හෝ දේශද්‍රෝහී වන්නේ උපතින් රැකියාවෙන් හෝ තනතුරෙන් නොවේ.තමන් මාතෘභූමිය වෙනුවෙන් සිදු කරනා මෙහෙවරෙනි.එසේ බැලූ කල යුද හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා සුපිරිම ගනයේ දේශප්‍රේමීයෙක් විය.ඒ පිලිබඳ කිසිඳු විවාදයක් තිබිය නොහැක.නමුත් අද වන විට ඒ මහත තෝරා ගෙන ඇත්තේ තමන්ට උචිත පිල නොවේ.(ඒ මහතාගේ දේශපාලන මතය එජාපයට හිතැති එකක් විය හැක.).එහි සිටින්නේ ඒ මහතාම වරක් ප්‍රකාශ කල පරිදි මව්බිමේ ජයග්‍රහණය ගැන දුක් වන නිවටයන්ය.ත්‍රස්තයන් කරේ තබා ගෙන සිටි ද්‍රෝහීන්ය.තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් තම ඕනෑම දෙයක් පාවා දීමට හැකි ජුදාස්ලාය.මේ සිඟාලයන්ගේ සැබෑ අරමුණ සරත් ෆොන්සේකා රජ කරවීම නොව තමන්ට දිනා ගත නොහැකි බහුතර ජන මනස හමුදා ඇඳුම පෙන්නා දිනා ගැනීමට බව සරත් ෆොන්සේකා හැරුණු කල අන් සියලු දෙනාට වැටහෙන කාරණයකි.

දෙශද්‍රෝහී වන්නේ නම් ඒ මහින්ද රාජපක්ෂට එරෙහි වීම නිස නොව මව්බිමේ සතුරන් හා එක් වීම නිසාය.අනිත් අතින් මහින්ද රාජපක්ෂ සමග සිටිම පමනක් දේශප්‍රේමියකු වීමට සුදුසු කමක් නොවන බව කොටි ත්‍රස්තයන්ට උඩ ගෙඩි දුන් සහ දෙන ඵ් චන්ද්‍රසේකරන් වැනි ද්‍රෝහීන් ගැන සැලකීමේදී වටහා ගත හැක.දේශද්‍රෝහියෙකුට වුවද තම වැරැද්ද නිවරදි කර ගනිමින් මව්බිම වෙනුවෙන් කැප වේ නම් දේශප්‍රේමියකු විය හැකි බව විර කැප්පෙටිපොළ ජාතියට තහවුරු කර දී ඇත.එහි අනිත් පැත්තද එසේම බව අලුතෙන් කිව යුතු නොවේ.


මහින්ද විවේචනය කරන්නන්ගේ අනෙක් ප්‍රධාන විවේචනය නම් දූෂණය නාස්තිය සහ ඥාති සංග්‍රහය ගැන එල්ලවන චෝදනාය.මින් සමහරක් අතිශෝක්තියට නැගූ ඒවා වන නමුත් මහින්ද ජනාධිපතිවරයාගෙන් අපේක්ෂාකල ප්‍රගතියක් ඒ ක්ෂේස්ත්‍රවලදී අත් කරගෙන නොමැති බව පිලිගත යුතු සත්‍යකි.( නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය පසුගිය රජයන් හා සසඳා කරනු ලබව විවේචනයක් නොවන බවය.අතිශෝක්තිය නැගූ පංගුව අත් හැරි කල පසු ගිය බොහෝ රජයන්ට වඩා වත්මන් පාලනය සුජාත විය හැක.නමුත් බහුතරය අපේක්ෂා කරන මට්ටම එය නොවේ)
එබැවින් ඉදිරියේදී බිහි කර ගන්නා තමන්ගේ රජයේදී මේ නාස්තිය හා දූෂණය මුලිනුපුටාදැමීමට මහින්ද රාජපක්ෂ මහතාට දනුවත් සක්‍රීය වැඩ කොටසක් කිරීමට සිදු වනු ඇත.එසේ වුවත් සරත් ෆොන්සේකා ඇමට යොදා බිහි කර ගැනීමට තැත් කරන රජයෙන් එය මේ තරමකින් හෝ ඉටු නොවන බව පැහැදිලි වන්නේ දින 180වකට වඩා අඩුවන පාලන කාලයකට මුහුණදී ධූරය අත් හැරීමට නියමිත ෆොන්සේකා පසුපස සහ ඉන් ඉදිරියට රජ කරන්නේ මීට වසර හයකට පමන පෙර රට සූරා කෑ ටයි කෝට් හැඳි චෞර රැලම වන බැවිනි.රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණමින් කොමිස් කෑ ඒ දෝහී අතීතය සරත් ෆොන්සේකාගේ නිල ඇඳුමෙන් වසන් කල නොහැක.


එබැවින් සිදු කල යුතු දේ සක් සුදක් සේ පැහැදිලිය.ජනතා ජයග්‍රහණය පික් පොකට් ගැසීමට සැරසෙන ද්‍රෝහීන් පරදවා බහුතර දේශමාමක ජනයා අපේක්ෂා කරන සමෘද්ධිමත් මාතෘ භූමියක් බිහි කර ගැනීමේ තීරණය නොපැකිළ ගැනීමය.මාතෘභූමිය එක් සේසත් කිරීමේ මාහැඟි කාර්‍යයට කෘත ගුණ සැලකීම සියල්ලන්ගේ අත් හල නොහැකි යුතුකමයි.සිදු කරනා හීන් නූල් සූත්තර සහ වියරු කුමන්ත්‍රණ පරදා මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් තම යුතුකම සහ වගකීම ඉටු කිරීමට තරම් නිරවුල් අවබෝධයක් බහුතර දේශම්මාමක ජනයාට ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

-කැලුම් නිරංජන

Sunday, November 8, 2009

පොදු අපේක්ෂකයා දිනවමු!!!

3 comments

ද දවසේ දේශපාලන සටන් බිමේ ප්‍රධාන කාතෘකාව බවට පත්ව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා එහිදී ඉදිරිපත් වීමට යන පොදු අපේක්ෂකයා පිළිබඳ කතා බහයි.දශක එක හමාරකට අධික කාලයක් පුරා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දිගින් දිගටම පරාජය ලබන එජාපය මෙවරද ඒ සුපුරුදු අමිහිරි අත්දැකීමම විඳ ගන්නා බව එජාප පාක්ෂිකයාම සාක්කි දරයි.
පළාත් සභා චන්ද සියල්ල අවසානයේ ඔවුන් ලද 25% ආසන්න චන්ද ප්‍රමාණය කියා පෑවේ එහි සන්ඛ්‍යාත්මක නිරූපණයයි.(මහ මැතිවරණයකදී තත්වය වෙනස්වේ යැයි සිතා හිත හදා ගැනීමට අවශ්‍යනම් එජාප හිතවාදීන්ට හැකි නමුත් මෙය ආපසු හැරවීමට සමත් ආශ්චර්‍යයක් නුදුරේදී සිදුවෙතැයි අපේක්ෂා කල නොහැක ).
තමන් අනුගමනය කරන බටහිර ගැති නව ලිබරල්වාදී විජාතික චින්තනයෙන් බැහැර නොවී සිදුකරන පැලැස්තර දැමීම් තුලින් හෝ සිදුකරන හීන් නූල් සූත්තර හා කුමන්ත්‍රණ මගින් බහුතර ජාතිමාමක ජන මනස දිනා ගත නොහැකි බව මේ නිවටුන් අවබෝධ කර ගත යුතුය.

ජවිපෙ ඉරණමද එසේමය.ජතිකවාදී මාවතෙන් පීළි පැන්නවූ ජවිපෙ එයට හිමි විය යුතු නියත පරාජයට මුහුණ දෙමින් සිටී.71 දී අධිරාජ්‍යවිරෝධී සිරිමා රජයට එරෙහිව සිදුකල අරගලය සේම 2005න් පසු අනුගමනය කරන වෛරී දේශපාලන භාවිතය නිසා විනාශයට අත වනමින් සිටී.එහිදී ත්‍රස්ත විරෝධී අරගලයේ තමන්ට හිමි ගෞරවයයේ පංගුවද මහින්ද රාජපක්ෂගේ බුක්තියට ලියාදී ලිප්ටන් වට රවුමේ බෙරිහන් දීම හැරෙන්නට වෙනත් 'උපාය මාර්ගයක් තෝරන්නට' ඔවුන්ට ඉතිරිව නැත.අද ඔවුන්ගේ ප්‍රමුඛ කාර්‍ය බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය මට්ටු කිරීමයි.රට වෙනුවෙන් බජිරි හෝ කා රට රැක ගමුයි කී පක්ෂයට අද අත්ව ඇත්තේ අහිංසක සිසුන් අරලිය ගහ මන්දිරය අබියස අධි ආරක්ෂිත කලාපයට දක්කා ඔලු පලන්නට සැලැස්වීම පමණි.දේශපාලනය තුල තමන්ට හිමි සටන් පාට අහිමි කරමින් එතෙක් තමන් අත පැවති දේශප්‍රේමී ධජය මහින්ද රාජපක්ෂ විසින් හිමි කර ගැනීමත්,තමාගේ පක්ෂයට එල්ල වූ දෙකඩ වීමේ අභියෝගයත් අන් සියලු කාරණා වලට වඩා ඔවුන්ට ප්‍රමුඛ විය.මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා බවට පත් වන්නේ මෙම කාරණා මතය.මහින්ද රාජපක්ෂ සමග ඇති දේශපාලන වෛරය විසින් ඔවුන්ගෙ ඇස් අන්ධ වී ඇත.එසේ නොවූයේ නම් එක්සත් ජනපදය බිරිතානිය ප්‍රමුඛ බටහිර බලවේග සමග මහින්ද පලවා හැරීමේ සටනට පොහොර දමන්නට එදා සිටි දෙශප්‍රේමී ජවීපෙට හැකි වන්නේ කෙසේද?


මේ තත්වය හොඳින් පැහැදිලි කර ගත හැකි සාධකයක් අන්තර්ජාතික දේශපාලන වටපිටාව නිරීක්ෂණය කිරීමේදී දැක ගත හැක.ඇඑජ ප්‍රමුඛ බටහිර කඳවුරට අද වන විට මහින්ද රාජපක්ෂ යනු හියුගෝ චාවේස් තරම් හතුරෙකි.අහමදිනිජාඩ් තරම් හිතුවක්කාරයෙකි.ඒ වෙන කිසිවක් නිසා නොව කොටි ත්‍රස්තයන් පැරදවීමේ සටනේදී මහින්ද අනුගමනය කල කෙලින් සිට ගැනීමේ පිළිවෙතයි.මෙතෙක් සිටි කිසිම නායකයකු සිදු නොකල තරමේ රාජතාන්ත්‍රික අරගලයක් කරන්නට මහින්ද රාජපක්ෂට පසු ගිය කාල වකවානුවේදී සිදු විය.එසේ වූයේ තම ප්‍රභාකරන් නැමති තම ඒජන්තයා බේරා ගැනීමට බටහිර රටවල් සිදු කල අනවරත බලපෑම්ය.මහින්ද එයට සිදු විය අයුරින්ම අපේක්ෂා කල නොහැකි මට්ටමක සමත්කමක් ප්‍රදර්ශනය කලේය.එසේ නොවුයේ නම් මහ කොටියා වෙල්ලියාමුල්ලිවයික්කාල් හිදී අවසන් ගමන් නොයනු ඇත.ඒ වෙනුවට එදා JR‍ යුගයේ වඩමාරච්චි සටනට අත් වූ ඉරණමම මෙම සටනද අත් වන්නට තිබූ ඉඩ කඩ වැඩිය.
එසේ වූයේ නම් කොතරම් ප්‍රබල යුද උපාය මාර්ගයක් වුවත් සාක්ෂාත් කර ගත නොහැකි වන්නට ඉඩ තිබිණ. මහින්ද රාජපක්ෂගෙන් ලද එම එඩිතර දේශපාලන නායකත්වයත් එයටම මුසු වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නිවරදි මග පෙන්වීමත් සරත් ෆොන්සේකාගේ යුද උපාය මාර්ගික ප්‍රවේශයත් කොටි පැරදවීමේ සටනේ එක සේ වැදගත් සාධක විය.එයට අමතරව මේ සඳහ කැපකිරීම් කල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ජයග්‍රහණය පිටුපස සිටි බව අද ඊයේ දේශප්‍රේමී සළු පිලි පලඳවාගත්තවුන් හැර අන් සියලු දෙනා පිලි ගන්න සත්‍යකි.

වසර තිහකට අධික කාලයක් තිස්සේ එතෙක් සිටි නායකයින් තම දේශපාලන පැවැත්ම තහවුරු වන සේ පමණක් කලමණාකරනය කර ගත් යුද්ධය තම ජීවිතයට එල්ලවන අභියෝගයද නොසලකා අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපතිවරයාට එම මාහැඟි කාර්ය්‍යට කෘත ගුණ සැලකීමට බහුතර දේශමාමක ජනයා පෙළ ගැසී සිටි මොහොතක ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා හිටපු යුධ හමුදාපතිවරයා ඉදිරිපත් වන බවට කනින් කොනින් පැතිර ගිය ආරංචිය ඉදිරියේදී තහවුරු වන හැටියක් පෙන්නුම් කරමින් තිබේ.මෙම ආරන්චිය සමගම දෙශප්‍රේමී ජනයා දෙගිඩියාවකට පත්ව ඇති සැටියක් පෙනේ.තමා කෘත ගුණ දැක්විය යුත්තේ කාටදැයි තෝරා ගැනීමේ අතෝරයට ඔවුන් මුහුණ දී සිටී.ක්‍රිකට් තරඟයක් ජයග්‍රහණය කල පසු ප්‍රතිවාදී කණ්ඩායම විසින් ජයග්‍රාහී කණ්ඩායමෙ ප්‍රබලම සාමාජිකයකු තම පිලට ගත්තා වැනි තත්වයක් උදා වී තිබේ.


එජාප මංගල හවුල විසින් තමගේ පොදු අපෙක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට කැස කවන අතර ජවිපෙද මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමේ පරම වූ අරමුණින් යුතුව ඊට තම නොමසුරු සහය පල කරමින් සිටී.මුලින්ම කිව යුත්තෙ පොදු අපෙක්ෂකයෙකුගෙ පිහිට පැතීමට සිදුව ඇති සියලුම දෙනා තමන්ගෙ නොහැකියාව ප්‍රදර්ශනය කර හමාර බවය.මහින්ද රාජපක්ෂට තනිව මුහුණ දී ජය ගැනීමට මේ කිසිම බංකොලොත් පක්ෂයකට අද ශවසේ නොහැකිය.පොදු අපේක්ෂකයා සරණ යාමට සිදු වී ඇත්තේ එබැවිනි.කෙසේ නමුත් ඔවුන් මහින්දට මුහුණ දී තරඟයක් දිය හැකි (කවුරුන් කෙසේ කීවද ජයග්‍රහණය කිරීම හිතළුවක් පමණි ) හොඳම අපෙක්ෂකයා තෝරා ගෙන ඇති සේය.කොටි පැරදවීමේ සටනේ ප්‍රධාන කොටසක් රඟ පෑවේ සරත් ෆොන්සේකාය.එය මහින්ද රාජපක්ෂ කල කාර්ය සමග සැසඳීම අනුවන කමකි.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා සමග මතවාදී ගැටුමක් ජතිකවාදී කිසිවකුටත් නොමැත.ඔහු සුපිරි ගනයේ දේශප්‍රේමියෙකි.සෘජු ප්‍රතිපත්තිවලින් යුතු අවංක නිලධාරියෙකි.කොටි පැරදවීමේ සටනින් පසු ඔහු වඩාත්ම සුදුසු ජනාධිපතිධූරයට බවද සැබෑය.නමුත් මේ එයට අවස්ථාව නොවේ.මහින්ද රාජපක්ෂ සමග සැසඳීමේදී සරත් ෆොන්සේකා සිටින්නේ ගව් ගනනක් පසු පසිනි.
තවද සරත් ෆොන්සේකා යනු මහින්ද රාජපක්ෂට විකප්ලයක් ද නොවේ.එබඳු තෝරා ගැනීමක් සිදු කිරීමට අවස්ථාවක් එලඹියහොත් බහුතර දේශප්‍රේමීන් මහින්ද රාජපක්ෂ තෝරා ගනු ඇත.සරත් ෆොන්සේකා මහතාට මේ රජයෙන් සිදු වූ යම් අසාධාරණයක් වෙයි නම් එය විසඳා ගත යුත්තේ වෙනම තලයකදීය.එයට ජාතිකවාදී සංවිධානවල සෘජු සහයද සරත් ෆොන්සේකාට ලබා ගත හැක.එසේ නොකර මහින්ද රාජපක්ෂ සමග ඇති අරෝවට ජාතික පිළ අමතක කර රනිල්-මංගල-හකීම්-ටිල්වින් අශුද්ධ විජාතික සන්ධානය සමග දීග කෑමට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වෙයි නම් ඒ ඒ මහතාගේ කීර්ති නාමයේ අවසානයයි.එහිදී ලබන නියත පරාජයෙන් පසු ජාතික වීරයෙක් ලෙස අබිමන් ලබා සිටින ඒ මහතා විනාශ වී යනු ඇත.විජාතික බලවේගවල යටි අරමුණද එය විය හැක.මක් නිසාද යත් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්නේ එය අහෝසි කිරීමෙ ප්‍රතිපත්තිද සමග බව සැල වන බැවිනි.ජයග්‍රහණය කරාවි යයි මොහොතකට සිතුවත් එමගින් සරත් ෆොන්සේකා මහතාට ලැදි ජනතා පැතුම් ඉටු වන්නේ නැත.එමගින් සිදු වන්නේ නැවත වටයකින් දේශද්‍රෝහී රනිල් රටේ නායකත්වයට ගෙන ඒමය.මක් නිසාද යත් ඒ බව දින 180ක් ඇතුලත ජනාධිපති ධූරය අහෝසි කර පත්වන අගමැති ධූරය රනිල්ට පිරි නැමිය යුතු යැයි සඳහන් වන බැවිනි.

එදා යුද්ධයට සෘජුව එරෙහි වූ විජාතික පක්ෂ සහ මහින්දට ඉන්දීය බලපෑම් හමුවේ යුද්ධය අවසන් කල නොහැකි වෙතැයි සිතා දේශපාලන තීරණ වෙනස් කල රතු තොප්පිකරුවන්ගේ අපේක්ෂකයා බවට සරත් ෆොන්සේකා මහතා පත් විය යුතු නැත.ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු යැයි කියූ සමහරුන් රටේ නායකත්වයට එතුමා කරේ තමා ගැන්මට සැරසේන්නේ බලකාමය නිසාම බව එතුමාට අවබෝධ විය යුතුය.සරත් ෆොන්සේකා යනු එවැනි දේශපාලන අනාථයන්ගේ සහ දේශපාලන නපුංසකයන්ගේ අතකොලුවක් බවට පත්විය යුතු චරිතයක් නොවේ.


මව්බිම මුදා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ සැබෑ දේශප්‍රේමීන්ට පමණි.එය පික් පොකට් ගැසීමට දේශප්‍රේමී ජනයා ඉඩ නොදෙනු ඇත.කුමන අයකු හමුවේ වුවත් පරාජය මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජාතියේම පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කරවීම සියලු දේශමාමක ජනයාගේ අද යුගයේ අවශ්‍යතාවයයි.මව්බිම ජයහ්‍රහණය කල හැක්කේ එලෙස පමණි.එබැවින් දේශමාමකයිනි මහින්ද රාජපක්ෂ නම් වූ
පොදු අපේක්ෂකයා දිනවමු.

-කැලුම් නිරංජන

(මහමැති/ජනපති )වරණය සහ පරාජයේ සැර බාල කිරීම !!!!!!!!

7 comments

දේශපාලන පොර පිටිය වෙන කවරදාටත් වඩා අතිශය උණුසුම් වෙමින් තිබේ.මැතිවරණය පිලිබඳකතා බහ කා අතරත් ගුමු ගුමු දෙයි.ඒ අතරින් මුලින්ම පවත්වනුයේ මහ මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයදැයි තවමත් නිශ්චිත ලෙස තහවුරු නොවූ වටපිටාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ එකඹෙන අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේදැයි පිඹුරුපත් සකසමින් සිටී.2010 අප්‍රේල් මසට කලින් වත්මන් පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වන බැවින් ඊට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර,2009 නොවැම්බර් 19 වනදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම හිමි විධායක බලය යොදා ගත හැකිය.මැතිවරණ කතාබහ කරලියට පැමිණි විගස මෙතෙක් කලක් අනවරත පරාජයකට ලක් වෙමින් සිටි පක්ෂ භූමි තෙල් ඇඟ වැදි ගැරඬින් සේ කුපිත වී ඇති සේය.

නැගෙනහිරින් ඇරඹි පළාත් සභා චන්ද උතුරු මැද,සබරගමුව,වයඹ ,මධ්‍යම,බස්නාහිර,ඌව හරහා දකුණට පැමිණෙද්දී 67% දක්වා 2/3ක චන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම දක්වා එක්සන්ත් ජනතා නිදහස් සංධානය අති විශිෂ්ඨ ලෙස ජනතාව වෙතින් අභිෂේක ලබා තිබිණ.(දකුණේදී 80% නොලැබුන බැවින් රජය පරාජය වී ඇතැයි පවසන ක්ෂුද්‍ර මොළ ඇත්තන්ට ස්වයං වින්දනයක් ලැබීමට මෙය බාධාවක් නොවේවා).ඒ සමගම එජාප චන්ද ප්‍රමාණය බරපතල ලෙස නාය යමින් 25% චන්ද ප්‍රමාණයක් දක්වා අඩු වී තිබිණ.එය ජයග්‍රහණය කෙසේ වුවත් අඩුම තරමේ ඉදිරි මැතිවරණවලදී තරඟයක් දිය හැකි මට්ටමකවත් නොමැති බව ඒ ඒ පක්ෂවල ජාතික සංවිධායකයන්ට නොතේරුණත් (නොතේරෙනවා නොව ඔවුන්ටද තේරෙන එය අනිත් අයට තේරුම් යාම වැලැක්වීමට වලි කති ) ගමේ කැපුවත් කොළ යයි කියා ගන්නා පාරම්පරික UNPකාරයා පවා අවබෝධ කරගත් සත්‍යකි.
ජනතා විමුක්ති පෙරමුණටද අත් වී ඇති ලැජ්ජාසහගත ඉරණමද අරලිය ගහ මැදුර ඉදිරියට ගුටි කෑම පිණිසම දක්කන අසරණ විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ හිසින් ගලන ලේ පහරින් වසන් කල නොහැක.තමාගේ බලය යටතේ පවතින තිස්සමහාරාමයේදී ලැබූ චන්ද ප්‍රමාණය 2006දී තනිව තරඟ කර ලබා ගත් ප්‍රමාණයෙන් හරි අඩක් දක්වා අඩු වීමම ඔවුන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමේ තරම කියා පායි.

මැතිවරණ දෙකක් අබියස සිටියදී මොවුන්ගේ අසාමාන්‍ය කලබලවීමට හේතුව එයයි. ජනාධිපතිවරණය මුලින් පැමිණියහොත් රනිල් වික්‍රමසිංහ නොව එජාපයේ කුමන අයෙක් ඉදිරිපත් කලද අත්වන පරාජයේ තරම කියා පැමට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන තෙක් නිදි වැරීමට අවශ්‍ය නොවේ.ඒ බව නොතේරෙන්නෙකු එජාපයෙන් පවා සොයා ගත හැකි යැයි නොසිතේ.
එජාපයෙන් එසේ අපේක්ෂකයකු ඉදිරිපත් කලහොත් ජවිපෙට වන්නේ සිය දිවි නසා ගන්නටය.එජාපය නැවත බලයට පැමිණෙන්නට කිසිඳු ඉඩක් ජවිපෙ සිටින තුරු දෙන්නේ නැතැයි වේදිකාවේ සහතික කර මොර දුන් ජවිපෙ වියපත් නායකයාගේ එම අරමුණ ට එරෙහි වන්නට එජාපය සමග රහස් සබඳතා පවත්වන්නේ යැයි කියැවෙන ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන්ට ශක්තියක් ඇත්ද?
එසේ නැතිනම් එම අරමුණ වෙන්නුවෙන් මහින්ද රාජපක්ෂ සමග එකඟතාවයකට නැවත පැමිණෙන්නට ජවිපෙ අනෙකුත් කණ්ඩායමට හැකියාවක් ඇතිද?

එසේ කල නොහැකිනම් කල හැකි වන්නේ 82 දී රෝහණ විජේවීර,99දි නන්දන ගුණතිලක මෙන් තනිව තරඟ කිරීමය.එමගින් මහින්ද ලබන නියත ජයග්‍රහනයේ සැර බාල කිරීමය.එමගින් වක්‍රව රනිල් ලවන නියත පරාජයේ ප්‍රමාණය කුඩා කිරීමය.නමුත් ඉන් සිදු වන්නේ ඉන් ජනාධිපතිවරණයත් සමග එලඹෙන මහ මැතිවරණයේදී එතෙක් සිදු වූවාටත් වඩා වැඩි බරකින් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමය.දිස්ත්‍රික්ක තුන හතරකින් පමනක් ලැබෙන්නට නියමිත මන්ත්‍රීවරු හතර පස් දේනාද අහිමි කර ගැනීමය.ඒ සමගම තමාගේ පාර්ලිමේන්තු දේශපාලනයේ අවසන් හුස්ම දක්වා පැමිණීමටය.

පොදු අපේක්ෂක කතාව කරලියට එන්නේ මෙවන් පසුබිමකය.(පොදු අපේක්ෂකයා ගැන මී ලඟ ලිපියෙහි සඳහන් කෙරෙනු ඇත ) එබැවින් මෙම පරාජිත බලවේග සියල්ලම (එයට එජාපෙ -ජවිපෙ මෙන්ම දේශපාලන හිඟන්නකු බවට පත් වී ඇති මංගල -හකීම් ද ඇතුලත්ය ) තමන්ට හැකි සියලු වෙර දරා අද දවසේ සිදු කරමින් සිටින්නේ ජනාධිපතිවරණයට මුහුණ දීම මග හරින්නටය.මග හැර මුලින් මහ මැතිවරණයක් ලබා ගන්නය.එමගින් ජනාධිපතිවරණයේදි ලබන සෘජු පරාජය වෙනුවට මන්ත්‍රී ධූර අඩු වීමක් දක්වා එහි සැර බාල කිරීමටය.(ජවිපෙට එය එසේ වුවත් එජාපයට බොහෝ විට දැනට තමන් සමග සිටින මන්ත්‍රී ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැක.මක් නිසාද යත් ඔවුන් සමග දැනට සිටින්නේ 2004 ලබා ගත් මන්ත්‍රී ධූර අසු ගනනින් හරි අඩක් පමණ ප්‍රමාණයකි.ඉතිරි අඩ සිටින්නේ රජය සමගය ). එබැවින් මුලින් මහ මැතිවරනයක් පැවැත්වුවහහොත් එය ජනාධිපතිවරණයක් තබා අත්වන ඉරණම සමග සසඳද්දී මෙම බලවේගවලට දිව ඔසුවකි.

කෙසේ නමුත් මහ මැතිවරණයක් එලඹුනහොත් රටක් ලෙස බැලූ කලද එය එතරම් අයහපත් නොවේ.එමගින් දැනට පවතින විකෘති පාර්ලිමෙන්තු සංයුතිය නැවත ප්‍රකෘති තත්වයට පත් වනු ඇත.එහිදී දෙමළ කොටි ත්‍රස්තයන්ගේ පිහිටෙන් බලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණය සැල කිය යුතු ප්‍රමාණයකින් අඩු වනවා ඇත.(නමුත් උතුරේදි එය එතරම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු නොවන බව පසුගිය පළාත් පාලන චන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේ.කොතරම් ත්‍රස්ත බියෙන් මුදා ගත්තත් උතුරු වසන්තය නමින් කොතරම් වියදම් කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කලත් උතුරේ බහුතර දෙමළ ජනයා ආණ්ඩුවට චන්දය දීමට කැමැත්තක් නැත.නමුත් නැගෙන හිර තත්වය මීට හාත්පසින් වෙනස් වේ.)තවද ශ්‍රී ල නි ප මනාපවලින් පාර්ලිමේන්තුවේ රඟන ජවිපේ මන්ත්‍රී ප්‍රමාණය 38 සිට (ජනිපෙ වෙන් වූ පසු ඉතිරි වූයේ 25 පමණි ) දෑතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු වනු ඇත.

එමගින් නැවත යම් තරමක හෝ ප්‍රකෘති තත්වයට පත්වන පාර්ලිමේන්තුව බහුතර දේශප්‍රේමී ජනයා අපේක්ෂා කරන ත්‍රස්ත බියෙන් මුදා ගැනීමේන් පසු බිහිවන යහ පාලනයෙන් යුතු අලුත් ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමේ දිශාවට මෙහයවීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වනු ඇතැයි දේශමාමක ජන පැතුමයි.. . . . .


- කැලුම් නිරංජන