Thursday, September 13, 2012

යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු

2 comments
මීට මාස කිහිපයකට පෙරද මේ මාතෘකාව යටතේම අදහස් කිහිපයක් පල කල අතර ඒ , ජයවර්ධන පුර සරසවියේ ‘සිසු ස්මාරකයේ’ ගඩොලක් ගැලවෙන්නට එල්ල වී තිබූ ‘අධි බල බෝම්බ ප්‍රහාරයකින් ‘ පසු ඊට පසු දින එලිවන්නටත් ප්‍රථම මුළු කොලඹ නගරයම අකර්මණ්‍ය වන පරිදි අන්තරය ප්‍රමුඛ සංවිධාන කැඳුවූ පෙලපාලියෙන් සහ උද්ඝෝෂණයෙන් පසුවය.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඒවා හේතුවෙන් රට අස්ථාවර කිරීමට සහ තම තමන්ගේ දේශපාලන හා පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කරගැනීමට මාන බලන කල්ලි කණ්ඩායම් වලට ඒ හරහා ලැබෙන ඉඩ ප්‍රස්ථා පිළිබඳ එහිදී අදහස් පළ විය.බලධාරීන් විවිධ ක්ෂේත්‍රවල පවතින හුදකලා ගැටලු නොවිසඳා කල් මැරීම නිසා ඒවා එක් තැනකට ගොනු වී මහා විනාශයකට පාර කපන බවට එහිදී කල්තියා අනතුරු ඇඟවූ අතර අවාසනාවට අද එම නාටකයම නැවත රඟ දක්වමින් තිබෙන අයුරු දක්නට ඇත.අධ්‍යන – අනධ්‍යන – ශිෂ්‍ය තුං කට්ටුවම එක පෙලට සිට එකාබද්ධ අරගලයකට කැස කවනු පෙනේ.ඒ සඳහා බර පණ දැරීමට දේශපාලන ලෙස දිවි රැකගැනීමට මේ මොහොතේ පිදුරු ගහක උවත් එල්ලීමට බලා සිටින ‘විප්ලවකාරී’ දේශපාලන කණ්ඩායම් රැසක් එකවර පෙරමග බලා සිටින අතර අවාසනාවට කරුණ නම් වගකීම් භාර ආණ්ඩුවේ බලධාරීන් නිළධාරීන් ඇතුළු පිරිසද ඒ පදයටම තාලය අල්ලමින් සිටීමයි.

මේ අර්බුදකාරී වටපිටාව සමාජ අවධානයට ලක් වීමට මෑත කාලීන ප්‍රමුඛම හේතුව වූයේ සරසවි ආචාර්‍යවරුන් මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන යන වැඩ වර්ජන ක්‍රියාමාර්ගයයි.මාස දෙකක් ගත වී ඇතත් එක් එක් පාර්ශව වලට නගන චෝදනා හැරුණු කල සද්භාවයෙන් කරන ඵලදායී මැදිහත්වීමක් සිදු වී නොමැති බව පැහැදිලිය.
මනරංජන නැති වැඩ වර්ජන

තම වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්‍යවරු මීට කලකට පෙර තම සටනේ මූලික පියවර තැබීය.ඒ ඒ අවස්ථාවලදී බලධාරීන් යම් විසඳුම් දුන්නත් ඒ කිසිම එකකින් ආචාර්‍ය වරුන්ගේ මූලික වැටුප යන සාධකය ස්පර්ශ නොවී යැයි පවසමින් එය නිට්ටාවට සුව නොවන රෝගයක් සේ වරින් වර ඔද්දල් වෙමින් මතු විය.උද්ඝෝෂණ වලට ප්‍රතිචාරයක් වශයෙන් වරින් වර වැටුප් හා වරප්‍රසාද යම් ප්‍රමාණයකින් වැඩි වුවත් මූලික වැටුප වැඩි වූ ප්‍රමාණය ආචාර්‍ය සංගම් අපේක්ෂා කල ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් විය.නමුත් පර්යේෂණ දීමනා ආදි මූලික වැටුපට එහා ගිය දීමනා කිහිපයක්ම ඉහළ ප්‍රතිශතයකින් වැඩි වූ බව සියලු දෙනා එකඟ වන සත්‍යකි.නමුත් ආචාර්‍ය සමිති එතැනින් නැවතීමට සූදානම් නැත.මූලික වැටුප ඉතා ඉහල ගනනකින් ඉහල දමන ලෙස සටන ඇරඹෙන්නේ ඉන් පසුවය.

තම වෘත්තීය අරගලය මූලික වැටුප සමග යන කාරණයට ගැටගැසීම පිටුපස බහුතරයක් ආචාර්‍යවරු එකඟ වෙමින් සිටිනුයේ ප්‍රධාන වශයෙන් තම වැටුප ගැන අවධානය යොමු කරමින් පමණි.වෙනත් ආයතන වල වැටුප් හා සසඳමින් ,එසේත් නැත්නම් වෙනත් රටක වැටුප් මට්ටම් සමග සසඳමින් ඔවුහු තම ක්‍රියාමාර්ගය සාධාර්ණීකරණය කරති.එහි සාධාරණ බවක් ඇතත් අමතක නොකල යුතුව ඇත්තේ එය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ඇති වූව තත්වයක් නොවන බවය.පසුගිය වසර 50 ක පමණ කාලයක් පුරාවට මේ තත්වයේ වැඩි වෙනසක් නොවීය.එසේ වුවද එම ඉල්ලීමෙහි යම් සාධාරණ බවක් ඇති බව පිළිගත යුතුය.වැටුප් වැඩි නොකලහොත් ආචාර්‍යවරුන් පිටරටවලට යෑමේ අවධානමක් ඇතැයි යනුවෙන් ඇසෙන තර්ජනය ආචාර්‍යවරුන්ගෙන් බහුතරයක් නියෝජනය කරන කලා ,සමාජ විද්‍යා ආදී ක්ෂේත්‍රයන් පිළිබඳ සැලකීමේදී එතරම් සත්‍යක් නැතත් තාක්ෂණික හා විද්‍යා ක්ෂේත්‍රයේ ආචාර්‍ය වරුන් මෙරට තුල රඳවාගැනීමට තරම් ‘හිතට හරියන’ වැටුප් මට්ටමක් මෙරට තුල තවමත් ස්ථාපිත වී නොමැති බව සත්‍යකි.ඊට ප්‍රධාන හේතුව විද්‍යා හා තාක්ෂණ අංශවල රැකියා උදෙසා විශේෂයෙන් රටින් පිටත මෙන්ම සමහර ක්ෂේත්‍රවල මෙරට පෞද්ගලික අංශ තුලද ඉහල වැටුප් මට්ටම් නිර්මාණය වී තිබීම විය හැක.

බහුතර ආචාර්‍යවරු අවංකවම තම වැටුප ගැන සිතන නමුත් මේ ආචාර්‍ය සමිති වල නායකත්වය උසුලන්නන්ට වැටුප වැඩි කරගැනීමට වඩා එහා ගිය දේශපාලන වුවමනාවක් මේ අස්සේ තිබෙන බවට නැගෙන චෝදනාව මුසාවක්ම නොවේ.බොහෝ දෙනා අමතක කරන්නට තනන කරුණක් වන්නේ තත්වය මෙලෙසම තිබියදී ආචාර්‍ය මූලික වැටුප පමණක් වැඩි කලහොත් එදින සිට අනධ්‍යන සේවකයන් ඒ වෙනුවෙන් ‘වැටුප් විෂමතා ඉවත් කරනු’ යනුවෙන් සටන අරඹනු ඇති බවය.එයින් පසු ක්‍රමක්‍රමයෙන් අනෙකුත් ආයතන හරහා මුලු රාජ්‍ය ක්ෂේත්‍රය පුරා චක්‍රයක් සේ දිවෙන වැටුප් විෂමතා සහ ඒ හා බැඳුනු අරගලයක් දක්වා මෙය ලෙහෙසියෙන්ම පරිවර්තනය වනු ඇත.මෙයට තිරයෙන් මෙපිට සහ එපිට සිට නායකත්වය දෙන මහත්වරු මේ පිලිබඳ හොඳින් ගනන් බලා ඇති බවට සැක නැත.

මෙලෙස මූලික වැටුප යන කාරණය පෙරට දමා වෘත්තීය සටන ඇරඹූ ආචාර්‍ය සමිති එය ජනතා අවධානයට ලක් කරන්නට කාලයක් තිස්සේ දැඩි උත්සාහක් දැරීය.පෙත්සම් අත්සන් කිරීම් ,සම්මන්ත්‍රණ ,උද්ඝෝෂණ ,පෙලපාලි යෑම් ආදී නොයෙක් ක්‍රියාමාර්ග අත්හදා බැලුවත් සාමාන්‍ය ජනතාවගේ කාරුණික අවධානය වෙනුවට ඔවුන් වෙත එල්ල වූයේ ද්වේශයයි.සමහර විට ඒ බහුතරය ආචාර්‍යවරුන්ටත් වඩා සොච්චම් වැටුප් වැටුප් තලවල සිටින්නන් නිසා වන්නට පුළුවන. වැටුප් අරගලයක් ඒ අරගලයේ සිටින පාර්ශව වෙතින් පිටත සාධාරණීකරණය කිරීම පොදුවේ ගත්කල අසීරු කටයුත්තකි. සටන දියාරු වෙමින් කලක් ඇදි ඇදී ගියේ එබැවිනි.නමුත් එක් වරම සැනෙකින් මූලික වැටුප් ඉල්ලීම ද්විතීක කාරණයක් බවට පත් වෙමින් ඊට වඩා සමාජ අවධානය සහ ආකර්ශනය දිනාගත හැකි අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා වූ පොදු ඉල්ලීම් පෙරට එන්නේ ඉන් පසුවයි.

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% වෙන් කිරීමේ සටන් පාටය නිර්මාණය වන්නේ එහිදීය.මෙරට තුල ඉතිහාසය පුරාවටම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ වියදමෙන් වෙන් වී ඇත්තේ සාමාන්‍යයෙන් 2%-3% ප්‍රමාණයකි.නමුත් මතක ඇති ඉතිහාසයේ කවරදාවකවත් ’6% වෙන් කරනු’ යනුවෙන් කතිකාවක් තිබුණු බවක් නම් මතක නැත.බාහිර සමාජයට ඉතා සාධාරණ ඉල්ලීමක් ලෙස පෙනෙන විශේෂයෙන් උගත් ප්‍රබුද්ධ යැයි සැලකෙන සමාජ තීරුව මේ ඉල්ලීම හරහා ලෙහෙසියෙන් ආමන්ත්‍රණය කලහැකි බවට මෙහි වෘත්තීය සමිති කප්පිත්තන් වටහා ගන්නට ඇත.මේ කප්පිත්ත්න්ගේ සහ ඔවුන් මෙහෙයවෙන තිරය පිටුපස සිටින මහ මොළකරුවන්ගේ ගනන් බැලීම සාර්ථක විය.වැලේ වැල් නැතිව මැස්සන් ගසමින් තිබූ ආචාර්‍ය සටන විශ්ව විද්‍යාල වලින් බාහිර සමාජයේ කතිකාවක් බවට පත්වන්නේ මේ සමගය.
මොකක්ද මේ 6% ?

අදවන විට පොදු ජන ඉල්ලීමක් තරමට වර්ධනය වෙමින් ඇති මේ 6% ඉල්ලීම යනු කුමක්ද? ආචාර්‍ය සමිතිවල ප්‍රකාශිත මූලික සටන් පාඨය බවට පත්ව ඇති මෙමගින් ඉල්ලන්නේ අධ්‍යාපනයට රටක දල දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරන ලෙස යුනෙස්කෝව ප්‍රකාශිත ලෝක සම්මතය මෙරට තුලද බලාත්මක කරන ලෙසය.මෙරට ආණ්ඩු ක්‍රම ක්‍රමයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන පංගුව කාලාන්තරයක් තිස්සේ අඩුකර ඇති බවත් එහිදී 2005 දී ද.දේ.නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 3% ඉක්මවූ එය 2011 වන විට 1.9% දක්වා අඩු වී ඇතැයි යන්න ඔවුන්ගේ චෝදනාවයි. ඔවුන් මතුකරන මූලික කාරණයේ මතුපිටින් බැලූ කල යම් සත්‍යතාවක් නැත්තේම නොවේ.අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය වියදම පසුගිය කාලයේ යම් ප්‍රමාණයකින් ප්‍රතිශතාත්මකව අඩු වී ඇති බව සැබෑය.නමුත් ප්‍රතිශතය අඩු වන්නේ වෙන් කරන ප්‍රමානයේ අඩු වීම නිසා නොව පසුගිය කාලය පුරාම දල දේශීය නිෂ්පාදනයේ වැඩි වීමක්ද සිදු වූ බැවින් බව අමතක නොකල යුතුය.(එසේම අප අමතක නොකල යුත්තේ පසු ගිය වකවානුවේ ආරක්ෂක වියදම් ආදිය දෙගුනයකින් පමන වැඩි කරන්නට සිදු වූ බවය.මරණ බයින් ගැලවීමට අප එම කැපකිරීම කල යුතුම විය.උතුරේ කොටි ත්‍රස්තවාදය අවසන් කර ඇතත් ඉන් පසුව වුවද ආරක්ෂාව සඳහා ඒ වැඩිකල වියදම විශාල ලෙස අඩු වී නැත.එලෙස තිබියදී වුවත් විශ්ව විද්‍යාල සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය 2005 දී තිබූ මිලියන 5000 ප්‍රමාණය 2012 වන විට මුලියන 25,000 පමන දක්වා වැඩි වී ඇති බව වර්ජනයේ නියුතු ආචාර්‍යවරුන් පිලිගන්නා දත්තයකි.ඔවුන් ප්‍රශ්න කරන්නේ එහි ප්‍රතිශතාත්මක අඩුවීම ගැන පමනි.) කෙසේ වෙතත් ආචාර්‍ය සංගම් දරන එම අදහසේ යම් ඇත්තක් තිබුනත් ඔවුන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන 6% නම් ඉලක්කම් විජ්ජාවක්ම පමණි.2005 වර්ෂයේ සිට 1.86% දක්වා අඩු වී ඇත්තේ ‘දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන පංගුව’ යන්න සදොස් ගනන් බැලීමකි.2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව මුලු රාජ්‍ය වියදම දළදේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස සැලකූ විට 22.7% කි.ආන්ඩුව 1.86% ක් පමණ වෙන්කරන්නේ මෙම 22.7% නි.එනම් ප්‍රතිශතයක් ලෙස ගත් කල එය රාජ්‍ය වියදමෙන් 8.19% කි.

(එනම් (1.86/22.7)x100 =8.19% )

සරලව මෙයින් කියවෙන්නේ ඇත්තෙන්ම නම් රාජ්‍ය වියදමින් 8% ඉක්මවූ ප්‍රමාණයක් දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කරන බවයි.2005 දී මෙය 12% පමණ අගයක තිබුණ බව සැබෑය.එලෙස බලන කල රාජ්‍ය වියදමෙන් වෙන් කරන ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක අඩු වීමක් ඇති බවත් සැබෑය.නමුත්වැරැද්ද ඇත්තේ මේ ආචාර්‍ය සංගම් සහ එහි ප්‍රචාරකයන් විශාලනය කර පෙන්නන 6% ඉලක්කමේ ඇති බොරුවයි.යුනෙස්කෝ ප්‍රකාශනයේ ඇත්තේ දල දේශීය නිෂපාදිතයෙන් 6%ක් මිස දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය වියදමෙන් 6% නොවන බව නැවත මතක් කල යුත්තේ මේ ඉලක්කම් විජ්ජාව සරලව තේරුම් ගත හැකි සීමාවෙන් ඔබ්බෙහි ඇති නිසා නොව ගොබෙල්ස් න්‍යාය මත එය දැන් ඇත්තක් වීමට ආසන්න තත්වයට පැමිණ ඇති නිසාය.

මොවුන් කියන පරිදි ද.දේ.නියේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය වියදමේන් 6%ක් අධ්‍යාපනයටවෙන් කරහොත් එය මුළු රාජ්‍ය වියදමින් 26% ද ඉක්මවා යන ප්‍රමාණයකි.එනම් ද.දේ.නි යෙන් 22.7% ක් වන මුලු රාජ්‍ය වියදමෙන් 6% යනු 6/22.7 = 26.4% කි.

වෙනත් වචනවලින් කියන්නේ නම් මුලු රාජ්ය වියදමෙන් 1/4 එකකට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙසයි.වියුක්තව ගත් විට අධ්‍යාපනය වෙනුවෙන් කෙතරම් මුදලක් වෙන් කලත් එය හොඳයැයි කිසිවෙකුට සිතෙන්නට ඉඩ ඇතත් ප්‍රායෝගිකව සමස්ථය එකට සැලකූ විට එය කිසි සේත්ම යථාර්ථවාදී ඉල්ලීමක් නොවන බව පැහැදිලිය.ඔවුන් බොහෝ දෙනා මෙලස 26% ක්වෙනුවෙන් සටන් කරනුයේ බොහෝ දෙනාගේ පරමාදර්ශී රාජ්‍යන් වන ඇමරිකා එක්සත් ජනපදය සිය රාජ්‍ය වියදමෙන් 14% කුත් බ්‍රිතාන්‍ය 11% කුත් සිංගප්පුරුව 11% පමනක් වෙන් කරන වටපිටාකදීය.මෙමගින් උත්සාහ කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් දරන වියදම ඕනැවටත් වඩා ප්‍රමාණවත් යැයි කීමට හෝ තවත් සතයක්වත් වැඩි කිරීමට අවශ්‍ය නැතැයි යන පදනමෙන් නොවන බව මතක් කල යුතුය.8% ඉලක්කම 11% වැනි අගයක් දක්වා වැඩි කරනු යනුවෙන් ප්‍රකාශ කරා නම් මේ සටන් පාඨයේ යම් සාධාරණයක් පෙනෙන්නට තිබින.නමුත් 8% යන්න ඉලක්කමක් ලෙස බැලූ කල තම ව්‍යාපෘතියට එතරම් ආකර්ශනයක් හෝ ගැම්මක් නොලැබෙන බැවින් වෘත්තීය සමිති මහ මොළ කරුවන් 1.8% සහ 6% එල්ලී සිටින බව පැහැදිලිය.සරල සත්‍ය ඉලක්කම් විජාවලින් වසන් කරන්නට සැරසීම කිසිම පාර්ශවයකට දීර්ඝකාලීනව යහපතක්නම් උදා නොකරනු ඇත.මතුපිටින් පමණක් අතගා බලන සයිබර් ගොසිප් උගතුන්ට සහ සමාජ සාමය බිඳී ඇති වටපිටාවක් තම පැවැත්මට වඩා හිතකර යැයි සිතන කල්ලි කණ්ඩායම් වලට නම් මෙය රස අහරක් ලෙස පෙනුනත් සැබෑ ගැටලුව හඳුනා ගැනීමට හෝ විසඳුම් සෙවීමට එය උත්ප්‍රේරකයක් වන්නේ නැත.

කෙසේ නමුත් නැවත නැවතත් මතක් මතක් කල යුත්තේ අධ්‍යාපන වියදම් වල යම් ප්‍රතිශතාත්මක අඩුවීමක් ඇති නමුත් එය මේ පෙන්නන ඉලක්කම් විජ්ජාවෙන් නියමිත පරිමාණයෙන් නිරූපණය නොවන බවත්ය.මෙමගින් පැහැදිලි වන්නේ ආචාර්‍ය සමිති සහ එහි ප්‍රචාරක බලඇනිය තම මූලික වැටුප් වැඩි කිරීමේ ජනප්‍රිය නොවන ඉල්ලීම වසා ගැනීමේ සහ ඔවුන්ගේ තිරය පිටුපස සිටින කල්ලිවල සමාජ නොසන්සුන්තාව ඇති කිරීමේ ජඩ දේශපාලන උවමනාව වසන් කිරීමේ සීතාම්බර පටක් ලෙස මෙම 6% බොරුව තමන්ට තරම් නොවන ලෙස අලජ්ජී ලෙස භාවිතා කරන බවය.

අද දවසේ උගත් ආචා‍ය්ර්‍ භවතුන් පෙනී සිටිය යුත්තේ මේ ඉලක්කම් හරඹවල නොව ,අධ්‍යාපනයේ ගුනාත්මක බව වැඩි කරගන්නේ කෙසේද යන කතිකාවටය.එසේම සල්ලි පොම්ප කරමින් බිහි කර රටටත් සමාජයටත් ඵලක් නොවන උපාධිධාරීන් ප්‍රමාණාත්මකවට වඩා ගුණාත්මක ලෙස බලගන්වන්නේ කෙසේද ,අපේ රටට උචිත උපාධිධාරියකු බිහි කරගන්නේ කෙසේද ,දැනට පවතින පාඨමලා රටක් වශයෙන් ඉදිරිගමනට කොතෙක් අත්වැලක් වේද? උපාධිධාරීන්ගෙන් 55% කට ත් වඩා කලා උපාධිධාරීන් වීමෙන් අනාගතයේ කෙබඳුතත්වයක් නිර්මාණය වේද? ආදිය පිලිබඳ විදග්ධ කතිකාවටය.එහිදී ප්‍රතිපාදනවලට අවශ්‍ය ප්‍රමුඛතවය ගැන අවධානය යොමු කල හැක.එසේ නොවී දැනට ක්‍රියාත්මක මේ ක්‍රමය සෙලවීමටවත් අනුබලයක් නොදී චොප්පේ අයියලා මෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයාටම ගැලපෙන පන්නයේ භූමිකාවක් රඟපෑම නොවේ.

ආර්ථික හා අනෙකුත් විශේෂඥ්ඥයින් යැයි කියන්නන්ගේ වගකීම විය යුත්තේ අධ්‍යාපනයට සැබෑ ලෙසම දළ දේශීය නිෂ්පාදනයෙන් දැනට කොතරම් වෙන් වේද? එය නියෝජනය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කරන මුදල් පමණද?පලාත් සභා හරහා අධ්‍යාපනයට වෙන් කරන මුදල් මෙයට අයත් වේද? අධ්‍යාපනය පෞද්ගලීකරණය යන්න ප්‍රතික්ෂේප කරන එසේම එය මෙරට රජයට ආදායම් නොලැබන ක්ෂේත්‍රයක් වන වටපිටාවක දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රකාශිත ප්‍රතිශතය ලඟාවීමට ඇත්තේ රජයේ යෙදවුම් පමණද? එය කොතෙක් දුරට ප්‍රායෝගිකද? යන්න විෂයානුබද්ධව ආධානග්‍රාහී නොවී පැහැදිලි කිරීමය.

පුදුමයට කරුණ නම් මේ කරුණු අරභයා බලධාරීන් දක්වන කුසීත ප්‍රතික්‍රියාවයි.මේ පිළිබඳසාධාරණ ප්‍රකාශයක් හෝ කිරීමට ඔවුන් අසමත්ය.සුපුරුදු වාග් ප්‍රලාප හාවාචාලකම් හැරුණු විට ප්‍රකාශ කරමින් සිටිනුයේ විනාශයක් අත වනා බලෙන් ගෙදරට කැන්දා ගැනීමේ යටි අරමුණදැයි විටෙක සිතේ.

කවුද මේ කප්පිත්තන් ?

මෑත කාලීන ආචාර්‍ය ගැටලුව පිළිබඳ විමසීමේදී මේ අරගලය ඉදිරියෙන් සිටින කප්පිත්තන් මෙන්ම පිටුපස සිටින මහ මොළකරුවන් කවුදැයි නිවරදිව හඳුනාගැනීම ගැටලුව නිවරදි පරිමානයෙන් නිවරදි පැහැයෙන් හඳුනාගැනීමට අත්‍යවශ්‍ය කරුනකි.එසේ නොවුවහොත් මේ කප්පිත්තන් උවමනාවෙන් වසන් කරන්නට සැරසෙන තම තමන්ගේ දේශපාලන පැටිකිරිය නිවරදිව හඳුනාගැනීම අපහසු වන්නට පුළුවන.මූලිකවම මේ ආචර්‍ය සමිති සංගම්වල මුල් පුටු උසුලන්නන් බහුතරය උග්‍ර ආණ්ඩු විරෝධී දේශපාලන කණ්ඩායම්වල අතකොලු බවට නැගෙන චෝදනාව අසත්‍යක්ම නොවේ.ආණ්ඩුවට සහයෝගය දෙන ආචාර්‍ය වරුන් එකෙකු දෙදෙනෙකුගේ නම් පෙන්වා මෙම ප්‍රකාශය බොරුවක් යැයි කිසිවකු ප්‍රතික්ෂේප කරන්නට ඉඩ ඇත.නමුත් එය හරියටම අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුල සිටින ජවිපෙ නොවන ශිෂ්‍යයන් පෙන්වා එබැවින් අන්තරය ජවිපෙ විසින් මෙහෙයවන්නක් නොවේ යැයි කලක සිට ඉදිරිපත් කරන ප්‍රථමික පැහැදිලි කිරීම මෙන්ම අමු මුසාවක් බව අද වන විට බොහෝ දෙනාට පැහැදිලි වී ඇති බවට සැක නැත.

මේ දේශපාලන කල්ලිවලට සෘජු සම්බන්ධතා නැති ආචාර්‍ය වරුන් තම වැටුප ගැන සිතා හෝ රටේ අධ්‍යාපනය ගැන ඇති අවංක හැඟීම නිසා හෝ මේ අරගලයේ කොටස් කරුවකු වී සිටින බව පැහැදිලිය.ඔවුන්ට මේ දේශපාලන අතකොළුවල උවමනාවට වඩා වෙනස් උවමනා තිබුනත් නැවක් ගමන් ගන්නේ කප්පිත්තන්ගේ මගපෙන්වීම යටතේ මිස එහි සේවකයන්ගේ හෝ සහායකයන්ගේ මගපෙන්වීම යටතේ නොවන බව සරල සත්‍යයි.

එදා එල්ටීටීඊයට එරෙහි සටනට මතවාදීව එරෙහි වූ , ඊනියා විමුක්තිකාමීන්ගේ මතය නියෝජනය කල මේ සමහර කප්පිත්තන් අද අධ්‍යාපනය උදෙසා නගන මේ කඳුලු, කිඹුල් කඳුලු නොවේ යැයි සාධාරණීකරණය කිරීම අතිශය අපහසුය.මේ ආචාර්‍ය සමිති පිටුපස සිටින ‘විප්ලවකාරී’ දේශපාලන කණ්ඩායම්වල සෘජු බලපෑම මේ අරගලය මෙතරම් දිග් ගැස්සීමට බලධාරීන්ගේ නිද්‍රාශීලී වැඩපිළිවෙලට සමානව හෝ ඊටත් වැඩියෙන් දායක වී ඇති බව අප වටහා ගත යුතුය.අද වන විට සයිබර් අවකාශයේ සහ ඉන් පිටතත් T56 දරුවන් ,කන්නංගර දරුවන් ලෙස වෙස්වලා සිටින්නේද මේ අති ධාවනකාරී දේශපාලන උවමනාව වෙනුවෙන්ම බව අද බොහෝ දෙනාට වසන් වී ඇති කාරණයකි.

ගොඩ එන්නේ කොහොමද?

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නිර්මාණය වී ඇතැයි පෙනෙන කැලඹිලිකාරී වාතාවරණය කෙසේ වත් සමාජයක් ලෙස යහපත් කරුණක් නම් නොවේ.එක් පසකින් පෞද්ගලික විශ්ව විද්‍යාල කෙසේ හෝ ඇති කරනවා යැයි සපථ කරන උසස් අධ්‍යාපන ඇමතිවරයා අනෙකුත් සියලු දේ පසෙකලා ඒ වෙනුවෙන් මාරාන්තික සටනකට සැරසී සිටීම මෙන්ම තමන්ට බුරුලක් නොවන අමාත්‍යවරයා පන්නා ගැනීමේ උවමනාවෙන් පෙළෙන අන්තරය ප්‍රමුඛ දේශපාලන අතකොලු සංවිධානත් එම අතකොලුවල හිමිකාර දේශපාලන සංවිධානත් එක ලෙස එක ප්‍රමාණයෙන් මෙම තත්වයට වග කිව යුතු බව අපගේ වැටහීමයි.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්ය.එකින් එක එකක් අවසන් වන විට තවෙකක්ලෙස අර්බුද නිර්මාණය වීම තුලින් වාසි ලැබෙන්නේ කාටද යන්න වටහා ගැනීම අපහසු නැත.අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑ ගැසීමට බලා නොසිට ගැටලු නිර්මාණය වූ විට ඒවා විරුද්ධ බලවේග අතට ගෙන මහා විනාශයක් කිරීමට පෙර වහා විසඳීමට අධ්‍යාපන බලධාරීන් විචක්ෂණශීලී විය යුතුය.පසුගියදා මහා විනාශයක් සිදු කල Z අර්බුදය මෙයට හොඳම නිදසුනයි.ඇත්තෙන්ම ගොඩින් විසඳාගත හැකිව තිබූ Z ගැටලුව අවස්ථාවාදීන් මහා විනාශයක් දක්වා දික් ගස්සාගත්හ.සැබෑව ගැන කිසිත් නොදත් ගොසිප් උගතුන් සහ අවස්ථාවදීන්ගේ ප්‍රචාරක කල්ලි අයට උත්ප්‍රේරක සැපයීය.එයතනිකර නිලධාරීන් සහ ආචාර්‍ය විශේෂඥ්ඥයන් වගකිවයුතු විෂයානුබද්ධ ගැටලුවක් වුවත් අනවශ්‍ය ලෙස එය අතට ගැනීමට සහ වග උත්තර බැඳීමට ඉදිරිපත් වූ උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුලු පිරිස විසින් විහින් අහක යන ගැටලුවක් තම හිසේ දමාගත්තේය.

මේ ආචාර්‍ය සංගම් අරගලය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නිර්මාණය වී ඇති අනෙකුත් නොසන්සුන්තා කිහිපයක්ම උපයෝගී කර ගනිමින් ඒ හරහා දැනට කුණු මුල්ලට විසිවී ඇති දේශපාලන කණ්ඩායම්වල මතුපිටට ගත නොහැකිව ලත වෙන දේශපාලන උවමනාවන් සඳහා හොඳ වටපිටාවක් නිර්මාණය කරගැනීමට ඔවුන් මග බලා සිටින බවට සැක නැත.උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුලු බලධාරී නඩයද මේ මොහොතේ අනුගමනය කරමින් සිටිනුයේ පනින රිලවුන්ට ඉනි මං ලබාදෙන න්‍යායකි.දඩබ්බර හිතුවක්කාරකම්වලින් හෝ සුපුරුදු වාචාලකමින් වත් තවරාගත් පුහු පාණ්ඩිත්වයෙන්වත් ගැටලු විසඳිය හැකි නොවන බව දැන්වත් වටහා ගත යුතුය.සාධාරණ ඉල්ලීම්වලට සාධාරණව ඇහුම්කම් දෙමින් දිනාගත හැකි සියලු බලවේගවල සහය ලබාගත යුතුය.සියලු සමාජ සංයමයන් බිඳිමින් සමාජය තුල පොදු එකඟතාවයක් බිහි වන්නට ප්‍රථම හිතුවක්කාර ලෙස සමාජය තුල අසහනය අවුලුවන පෞද්ගලික විශ්ව විද්‍යාල වැනි විවාදාත්මක මාතෘකා අධිවේගයෙන් වහ වහා ක්‍රියාත්මක කරන්නට තටමනු වෙනුවට පොදු එක්කඟතාවයකට එළබෙන තෙක් වහා අත්හිටවීම මේ මොහොතේ නුවනක්කාරී පිළිවෙතකි.එය සියලු දෙනාගේ ශරීර සෞඛ්යට හිතකර වනු ඇත.මේ මොහොතේ ප්‍රමුඛ අවශ්‍යතාව පෞද්ගලික විශ්ව විද්‍යාලද එසේත් නැත්නම් සමාජ සාමයද යන්න වහා තීරණය කල යුතුය.උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෞද්ගලික විශ්ව විද්‍යල විජලනයෙන් පෙලෙන බව පෙනුනත් පොදු සමාජයට නම් පෞද්ගලික විශ්ව විද්‍යල පිපාසයක් වත් තිබෙන බවක් දැනට පෙනෙන්නට නැත.එබැවින් මුලු වැර ඒ වෙනුවෙන් යෙදීමෙන් අවසානයේ අත්වන යහපතක් ඇත්ද?

ආචාර්‍යසමිති අරගලය විසඳීමට සෘජුව මැදිහත්ව කෙලින් පිළිතුරු දිය යුතුය.සමිති වලක ප්පිත්තන්ගේ ව්‍යාජ හැසිරීම රාජ්‍ය මාධ්‍ය හොරණෑවල සට්ටඹියන්ට එහා ගිය දැනුවත් සාධාරණ මිනිසුන් හරහා සමාජයට නිරාවරණය කල යුතුය.එසේම ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඇතොත් ඒව ඉහල ප්‍රමුඛතාවයකින් ඉටු කර දිය යුතුය.චණ්ඩිකමට වඩා උපක්‍රමශීලී වීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගැනීමට ඉඩ කඩ උවමනාවටත් වඩා තිබේ.උදාහරණයක් ලෙස ආචාර්‍ය ගේ මූලික වැටුප යම් ප්‍රමාණයකට වැඩි කිරීම හරහා මේඅරගලයට සහභාගී වී සිටින දේශපාලන කුපාඩිකම් නැති ආචාර්‍ය වරුන් පහසුවෙන්ම ඉන් ඉවත් කරගත හැක.එහිදී මූලික වැටුප් වැඩි කිරීම අනෙක් ක්ෂේත්‍ර තුලද වැටුප් ඉල්ලන රැල්ලක් දක්වා වර්ධනය වීම වලක්වා ගැනීමට දැනටමත් රජය එකඟතාවයට පත්ව ඇති පරිදි විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් වෙනම සේවාවක් යටතට ගත හැකිය.එමගින් එම සේවයට පමණක් වලංගුවන සේ හුදකලා වැටුප් වැඩිවීමක් ලබාදීමට අවශ්‍යනම් පුළුවන.දැනට විදුලිබල මණ්ඩලය ඇතුලු ආයතන කිහිපයක මෙය ක්‍රියාත්මක වෙමින් ඇත.එවැනි උපක්‍රම හරහා වෘත්තීය සමිති කප්පිත්තන්ගේ ව්‍යාජය හෙළිකිරීමත් පොදු ඉල්ලීම් වලට මුවා වී තම දේශපාලන අභිලාශයන් සඟවාගෙන ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවස්ථාව අහිමි වනවා ඇත.

එසේම ජඩ දේශපාලන උවමනාවන් වෙනුවෙන් අහිංසකයන් බිල්ලට දක්කන අන්තරයට විකල්පයක් ලෙස යැයි කියා බලධාරීන්ට කඩේ යන එහෙයියන් ලෙස පුයර බබ්බු බල ගැන්වීමෙන්ද පලක් වන්නේ නැත.එසේ වුවහොත් වන්නේ අන්තරයටත් වඩා කාලකන්නි තවත් කල්ලියක් විශ්ව විද්‍යාල තුල බිහිවීමෙන් දැනට තිබෙන තත්වයටත් වඩා අඳුරු තත්වයකට සරසවිය නතු වීමය.ඔවුන් ආණ්ඩු බලය හිමි දේශපාලන කණ්ඩායම් වල එහෙයියන් වීමෙන් තත්වය තවත් කණගාටුදායක විය හැක.

එලෙසම අධ්‍යන අනධ්‍යන ශිෂ්‍ය ආදී ලෙස මතුකරන ගැටලු වහා විසඳීම හෝ ඒවා සමාජයඉදිරියේ සාධාරණීකරණය කල හැකි අයුරින් සෘජුව පිළිතුරු දී ප්‍රතික්ෂේප කිරීමකල යුතුය.උදාහරණයක් ලෙස මෙවර පහේ ශිෂ්‍යත්වය පිලිබඳව මතුවූ ආන්දෝලනය සලකා බලමු.ඒ පිළිබඳ රතු තොප්පිකාර ආචාර්‍ය සංගමයක් විසින් කල අභූත චෝදනාවක් නිසා එහි යම් අර්බුධකාරී තත්වයක් සමාජය තුල කතාබහට ලක් විය. නමුත් දැන් දැන් වාර්ථා වන අයුරු එහි එවැනි ප්‍රශ්න පත්‍ර පිටවීමක් හෝ එවැන්නක් සිදුනොවී ඇති බවට කරුණු හෙළිදරව් වෙමින් පවතී.පෞද්ගලික පන්ති ගුරුවරුන් කිහිපදෙනෙකු සාකච්චා කල ගැටලු විභාග ප්‍රශ්න පත්‍රයේ තිබීමේන් මෙවැනි ක්ෂණික පටු නිගමනයක පැමිණ රට ගිනි තබන්නේ රටට හෝ අහිංසක දරුවන්ට ආදරෙන් නම් විය නොහැක.වෙහෙර ගිල්ල වුන්ට අග්ගලාව කජ්ජක් නොවන බව අප අමතක නොකල යුතුය.තමන් දාස කම් කරනා දේශපාලන කල්ලි වල පැවැත්ම වෙනුවෙන් මේ යක්ෂයින් ඕනෑම තුච්ච වැඩක් කිරීමට පසුබට නොවන බව පැහැදිලිය.

නමුත් අවාසනාවට කාරණය නම් මේවාට සෘජුව පැහැදිලිව පිළිතුරු දිය හැකි ආකාර ඕනෑතරම් තිබියදී බලධාරීන්ද මේ මර ගීයට අත්වැල් සපයන අයුරින් එක්කො නිසොල්මන්ව සිටීම හෝ යන්නේ කොහේද මල්ලේ පොල් වැනි පිළිතුරු දී ජාම බේරාගැනීමට උත්සාහ කිරීමය.සුපුරුදු පරිදි නොසලකා හැරීමේන් හෝ කල් මැරීමේන් ගැටලු විසඳේ යැයි සිතා කටයුතු කරන උපන් ගෙයි දෝෂය ආණ්ඩුව සහ එහිබලධාරීන් වහා නිවරදි කර නොගන්නේ නම් ඉතා ඉක්මනින්ම ඒ සඳහා සමාජයක් වශයෙන් ගෙවිය යුතු වන්දිය සඳහා සූදානම් විය යුතුය.

මේ මාරාන්තික නිහඬ බව සහ කල් මැරීම අධිරාජ්‍යවාදී ඒජන්තයන්ගේ සහ මේරට ඊනියා ‘අධිරාජ්‍ය විරෝධීන්ගේ’ ඒකාබද්ධ පෙරමුණකට තම ලේ හළන පිපාසය සංසිඳවාගැනීමට දෙන නිදහස් බලපත්‍රයක් වීම වැලැක්විය නොහැක.අහිංසකයන් දහස් ගනනින් දිනපතා බිලිගන්නා අරාබි වසන්තයේ මායාවෙන් දෑස නිලංකාරකරගත් T 56 දරුවන්ට සහ ඔවුන්ගේ ‘විප්ලවකාරී’ මහ මොළකරුවන්ට යම් කිසි හෝ ඉඩක් ඇත්නම් එය අසුරා දැමීම දැනුවත් මිනිසුන්ගේ අද දවසේ වගකීමකි.සරස්වතියට හිමි බිමෙන් සියලු ආකාරයේ යක්ෂයින් පළවා හැර සරස්වතිය කැඳවීමට අවශ්‍ය ‘ශාන්තිකර්මය’ තවත් මොහොතක් හෝ කල් නොමර වහ වහා සිදු කිරීමට දැනෙන බලපෑමක් කිරීමට දැනුවත් මිනිසුන්ගේ අවධානය යොමුවිය යුතුය.එසේ නොවුවහොත් ශාන්තිකර්මකින් ගොඩ යෑම වෙනුවට නර බිලි ඉල්ලන තොවිළයක් නැටීමට සිදුවිය හැකි බව වටහා ගත යුතුය.

- කැලුම් නිරංජන

මෙහි මුල් සටහන 2012-09-10 දින ලංකාසීනිවුස්  වෙබ් අඩවියේ පළකෙරිණ.