Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

Thursday, September 13, 2012

යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු

1 comments
මීට මාස කිහිපයකට පෙරද මේ මාතෘකාව යටතේම අදහස් කිහිපයක් පල කල අතර ඒ , ජයවර්ධන පුර සරසවියේ ‘සිසු ස්මාරකයේ’ ගඩොලක් ගැලවෙන්නට එල්ල වී තිබූ ‘අධි බල බෝම්බ ප්‍රහාරයකින් ‘ පසු ඊට පසු දින එලිවන්නටත් ප්‍රථම මුළු කොලඹ නගරයම අකර්මණ්‍ය වන පරිදි අන්තරය ප්‍රමුඛ සංවිධාන කැඳුවූ පෙලපාලියෙන් සහ උද්ඝෝෂණයෙන් පසුවය.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඒවා හේතුවෙන් රට අස්ථාවර කිරීමට සහ තම තමන්ගේ දේශපාලන හා පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කරගැනීමට මාන බලන කල්ලි කණ්ඩායම් වලට ඒ හරහා ලැබෙන ඉඩ ප්‍රස්ථා පිළිබඳ එහිදී අදහස් පළ විය.බලධාරීන් විවිධ ක්ෂේත්‍රවල පවතින හුදකලා ගැටලු නොවිසඳා කල් මැරීම නිසා ඒවා එක් තැනකට ගොනු වී මහා විනාශයකට පාර කපන බවට එහිදී කල්තියා අනතුරු ඇඟවූ අතර අවාසනාවට අද එම නාටකයම නැවත රඟ දක්වමින් තිබෙන අයුරු දක්නට ඇත.අධ්‍යන – අනධ්‍යන – ශිෂ්‍ය තුං කට්ටුවම එක පෙලට සිට එකාබද්ධ අරගලයකට කැස කවනු පෙනේ.ඒ සඳහා බර පණ දැරීමට දේශපාලන ලෙස දිවි රැකගැනීමට මේ මොහොතේ පිදුරු ගහක උවත් එල්ලීමට බලා සිටින ‘විප්ලවකාරී’ දේශපාලන කණ්ඩායම් රැසක් එකවර පෙරමග බලා සිටින අතර අවාසනාවට කරුණ නම් වගකීම් භාර ආණ්ඩුවේ බලධාරීන් නිළධාරීන් ඇතුළු පිරිසද ඒ පදයටම තාලය අල්ලමින් සිටීමයි.

මේ අර්බුදකාරී වටපිටාව සමාජ අවධානයට ලක් වීමට මෑත කාලීන ප්‍රමුඛම හේතුව වූයේ සරසවි ආචාර්‍යවරුන් මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන යන වැඩ වර්ජන ක්‍රියාමාර්ගයයි.මාස දෙකක් ගත වී ඇතත් එක් එක් පාර්ශව වලට නගන චෝදනා හැරුණු කල සද්භාවයෙන් කරන ඵලදායී මැදිහත්වීමක් සිදු වී නොමැති බව පැහැදිලිය.
මනරංජන නැති වැඩ වර්ජන

තම වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්‍යවරු මීට කලකට පෙර තම සටනේ මූලික පියවර තැබීය.ඒ ඒ අවස්ථාවලදී බලධාරීන් යම් විසඳුම් දුන්නත් ඒ කිසිම එකකින් ආචාර්‍ය වරුන්ගේ මූලික වැටුප යන සාධකය ස්පර්ශ නොවී යැයි පවසමින් එය නිට්ටාවට සුව නොවන රෝගයක් සේ වරින් වර ඔද්දල් වෙමින් මතු විය.උද්ඝෝෂණ වලට ප්‍රතිචාරයක් වශයෙන් වරින් වර වැටුප් හා වරප්‍රසාද යම් ප්‍රමාණයකින් වැඩි වුවත් මූලික වැටුප වැඩි වූ ප්‍රමාණය ආචාර්‍ය සංගම් අපේක්ෂා කල ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් විය.නමුත් පර්යේෂණ දීමනා ආදි මූලික වැටුපට එහා ගිය දීමනා කිහිපයක්ම ඉහළ ප්‍රතිශතයකින් වැඩි වූ බව සියලු දෙනා එකඟ වන සත්‍යකි.නමුත් ආචාර්‍ය සමිති එතැනින් නැවතීමට සූදානම් නැත.මූලික වැටුප ඉතා ඉහල ගනනකින් ඉහල දමන ලෙස සටන ඇරඹෙන්නේ ඉන් පසුවය.

තම වෘත්තීය අරගලය මූලික වැටුප සමග යන කාරණයට ගැටගැසීම පිටුපස බහුතරයක් ආචාර්‍යවරු එකඟ වෙමින් සිටිනුයේ ප්‍රධාන වශයෙන් තම වැටුප ගැන අවධානය යොමු කරමින් පමණි.වෙනත් ආයතන වල වැටුප් හා සසඳමින් ,එසේත් නැත්නම් වෙනත් රටක වැටුප් මට්ටම් සමග සසඳමින් ඔවුහු තම ක්‍රියාමාර්ගය සාධාර්ණීකරණය කරති.එහි සාධාරණ බවක් ඇතත් අමතක නොකල යුතුව ඇත්තේ එය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ඇති වූව තත්වයක් නොවන බවය.පසුගිය වසර 50 ක පමණ කාලයක් පුරාවට මේ තත්වයේ වැඩි වෙනසක් නොවීය.එසේ වුවද එම ඉල්ලීමෙහි යම් සාධාරණ බවක් ඇති බව පිළිගත යුතුය.වැටුප් වැඩි නොකලහොත් ආචාර්‍යවරුන් පිටරටවලට යෑමේ අවධානමක් ඇතැයි යනුවෙන් ඇසෙන තර්ජනය ආචාර්‍යවරුන්ගෙන් බහුතරයක් නියෝජනය කරන කලා ,සමාජ විද්‍යා ආදී ක්ෂේත්‍රයන් පිළිබඳ සැලකීමේදී එතරම් සත්‍යක් නැතත් තාක්ෂණික හා විද්‍යා ක්ෂේත්‍රයේ ආචාර්‍ය වරුන් මෙරට තුල රඳවාගැනීමට තරම් ‘හිතට හරියන’ වැටුප් මට්ටමක් මෙරට තුල තවමත් ස්ථාපිත වී නොමැති බව සත්‍යකි.ඊට ප්‍රධාන හේතුව විද්‍යා හා තාක්ෂණ අංශවල රැකියා උදෙසා විශේෂයෙන් රටින් පිටත මෙන්ම සමහර ක්ෂේත්‍රවල මෙරට පෞද්ගලික අංශ තුලද ඉහල වැටුප් මට්ටම් නිර්මාණය වී තිබීම විය හැක.

බහුතර ආචාර්‍යවරු අවංකවම තම වැටුප ගැන සිතන නමුත් මේ ආචාර්‍ය සමිති වල නායකත්වය උසුලන්නන්ට වැටුප වැඩි කරගැනීමට වඩා එහා ගිය දේශපාලන වුවමනාවක් මේ අස්සේ තිබෙන බවට නැගෙන චෝදනාව මුසාවක්ම නොවේ.බොහෝ දෙනා අමතක කරන්නට තනන කරුණක් වන්නේ තත්වය මෙලෙසම තිබියදී ආචාර්‍ය මූලික වැටුප පමණක් වැඩි කලහොත් එදින සිට අනධ්‍යන සේවකයන් ඒ වෙනුවෙන් ‘වැටුප් විෂමතා ඉවත් කරනු’ යනුවෙන් සටන අරඹනු ඇති බවය.එයින් පසු ක්‍රමක්‍රමයෙන් අනෙකුත් ආයතන හරහා මුලු රාජ්‍ය ක්ෂේත්‍රය පුරා චක්‍රයක් සේ දිවෙන වැටුප් විෂමතා සහ ඒ හා බැඳුනු අරගලයක් දක්වා මෙය ලෙහෙසියෙන්ම පරිවර්තනය වනු ඇත.මෙයට තිරයෙන් මෙපිට සහ එපිට සිට නායකත්වය දෙන මහත්වරු මේ පිලිබඳ හොඳින් ගනන් බලා ඇති බවට සැක නැත.

මෙලෙස මූලික වැටුප යන කාරණය පෙරට දමා වෘත්තීය සටන ඇරඹූ ආචාර්‍ය සමිති එය ජනතා අවධානයට ලක් කරන්නට කාලයක් තිස්සේ දැඩි උත්සාහක් දැරීය.පෙත්සම් අත්සන් කිරීම් ,සම්මන්ත්‍රණ ,උද්ඝෝෂණ ,පෙලපාලි යෑම් ආදී නොයෙක් ක්‍රියාමාර්ග අත්හදා බැලුවත් සාමාන්‍ය ජනතාවගේ කාරුණික අවධානය වෙනුවට ඔවුන් වෙත එල්ල වූයේ ද්වේශයයි.සමහර විට ඒ බහුතරය ආචාර්‍යවරුන්ටත් වඩා සොච්චම් වැටුප් වැටුප් තලවල සිටින්නන් නිසා වන්නට පුළුවන. වැටුප් අරගලයක් ඒ අරගලයේ සිටින පාර්ශව වෙතින් පිටත සාධාරණීකරණය කිරීම පොදුවේ ගත්කල අසීරු කටයුත්තකි. සටන දියාරු වෙමින් කලක් ඇදි ඇදී ගියේ එබැවිනි.නමුත් එක් වරම සැනෙකින් මූලික වැටුප් ඉල්ලීම ද්විතීක කාරණයක් බවට පත් වෙමින් ඊට වඩා සමාජ අවධානය සහ ආකර්ශනය දිනාගත හැකි අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා වූ පොදු ඉල්ලීම් පෙරට එන්නේ ඉන් පසුවයි.

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% වෙන් කිරීමේ සටන් පාටය නිර්මාණය වන්නේ එහිදීය.මෙරට තුල ඉතිහාසය පුරාවටම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ වියදමෙන් වෙන් වී ඇත්තේ සාමාන්‍යයෙන් 2%-3% ප්‍රමාණයකි.නමුත් මතක ඇති ඉතිහාසයේ කවරදාවකවත් ’6% වෙන් කරනු’ යනුවෙන් කතිකාවක් තිබුණු බවක් නම් මතක නැත.බාහිර සමාජයට ඉතා සාධාරණ ඉල්ලීමක් ලෙස පෙනෙන විශේෂයෙන් උගත් ප්‍රබුද්ධ යැයි සැලකෙන සමාජ තීරුව මේ ඉල්ලීම හරහා ලෙහෙසියෙන් ආමන්ත්‍රණය කලහැකි බවට මෙහි වෘත්තීය සමිති කප්පිත්තන් වටහා ගන්නට ඇත.මේ කප්පිත්ත්න්ගේ සහ ඔවුන් මෙහෙයවෙන තිරය පිටුපස සිටින මහ මොළකරුවන්ගේ ගනන් බැලීම සාර්ථක විය.වැලේ වැල් නැතිව මැස්සන් ගසමින් තිබූ ආචාර්‍ය සටන විශ්ව විද්‍යාල වලින් බාහිර සමාජයේ කතිකාවක් බවට පත්වන්නේ මේ සමගය.
මොකක්ද මේ 6% ?

අදවන විට පොදු ජන ඉල්ලීමක් තරමට වර්ධනය වෙමින් ඇති මේ 6% ඉල්ලීම යනු කුමක්ද? ආචාර්‍ය සමිතිවල ප්‍රකාශිත මූලික සටන් පාඨය බවට පත්ව ඇති මෙමගින් ඉල්ලන්නේ අධ්‍යාපනයට රටක දල දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරන ලෙස යුනෙස්කෝව ප්‍රකාශිත ලෝක සම්මතය මෙරට තුලද බලාත්මක කරන ලෙසය.මෙරට ආණ්ඩු ක්‍රම ක්‍රමයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන පංගුව කාලාන්තරයක් තිස්සේ අඩුකර ඇති බවත් එහිදී 2005 දී ද.දේ.නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 3% ඉක්මවූ එය 2011 වන විට 1.9% දක්වා අඩු වී ඇතැයි යන්න ඔවුන්ගේ චෝදනාවයි. ඔවුන් මතුකරන මූලික කාරණයේ මතුපිටින් බැලූ කල යම් සත්‍යතාවක් නැත්තේම නොවේ.අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය වියදම පසුගිය කාලයේ යම් ප්‍රමාණයකින් ප්‍රතිශතාත්මකව අඩු වී ඇති බව සැබෑය.නමුත් ප්‍රතිශතය අඩු වන්නේ වෙන් කරන ප්‍රමානයේ අඩු වීම නිසා නොව පසුගිය කාලය පුරාම දල දේශීය නිෂ්පාදනයේ වැඩි වීමක්ද සිදු වූ බැවින් බව අමතක නොකල යුතුය.(එසේම අප අමතක නොකල යුත්තේ පසු ගිය වකවානුවේ ආරක්ෂක වියදම් ආදිය දෙගුනයකින් පමන වැඩි කරන්නට සිදු වූ බවය.මරණ බයින් ගැලවීමට අප එම කැපකිරීම කල යුතුම විය.උතුරේ කොටි ත්‍රස්තවාදය අවසන් කර ඇතත් ඉන් පසුව වුවද ආරක්ෂාව සඳහා ඒ වැඩිකල වියදම විශාල ලෙස අඩු වී නැත.එලෙස තිබියදී වුවත් විශ්ව විද්‍යාල සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය 2005 දී තිබූ මිලියන 5000 ප්‍රමාණය 2012 වන විට මුලියන 25,000 පමන දක්වා වැඩි වී ඇති බව වර්ජනයේ නියුතු ආචාර්‍යවරුන් පිලිගන්නා දත්තයකි.ඔවුන් ප්‍රශ්න කරන්නේ එහි ප්‍රතිශතාත්මක අඩුවීම ගැන පමනි.) කෙසේ වෙතත් ආචාර්‍ය සංගම් දරන එම අදහසේ යම් ඇත්තක් තිබුනත් ඔවුන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන 6% නම් ඉලක්කම් විජ්ජාවක්ම පමණි.2005 වර්ෂයේ සිට 1.86% දක්වා අඩු වී ඇත්තේ ‘දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන පංගුව’ යන්න සදොස් ගනන් බැලීමකි.2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව මුලු රාජ්‍ය වියදම දළදේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස සැලකූ විට 22.7% කි.ආන්ඩුව 1.86% ක් පමණ වෙන්කරන්නේ මෙම 22.7% නි.එනම් ප්‍රතිශතයක් ලෙස ගත් කල එය රාජ්‍ය වියදමෙන් 8.19% කි.

(එනම් (1.86/22.7)x100 =8.19% )

සරලව මෙයින් කියවෙන්නේ ඇත්තෙන්ම නම් රාජ්‍ය වියදමින් 8% ඉක්මවූ ප්‍රමාණයක් දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කරන බවයි.2005 දී මෙය 12% පමණ අගයක තිබුණ බව සැබෑය.එලෙස බලන කල රාජ්‍ය වියදමෙන් වෙන් කරන ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක අඩු වීමක් ඇති බවත් සැබෑය.නමුත්වැරැද්ද ඇත්තේ මේ ආචාර්‍ය සංගම් සහ එහි ප්‍රචාරකයන් විශාලනය කර පෙන්නන 6% ඉලක්කමේ ඇති බොරුවයි.යුනෙස්කෝ ප්‍රකාශනයේ ඇත්තේ දල දේශීය නිෂපාදිතයෙන් 6%ක් මිස දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය වියදමෙන් 6% නොවන බව නැවත මතක් කල යුත්තේ මේ ඉලක්කම් විජ්ජාව සරලව තේරුම් ගත හැකි සීමාවෙන් ඔබ්බෙහි ඇති නිසා නොව ගොබෙල්ස් න්‍යාය මත එය දැන් ඇත්තක් වීමට ආසන්න තත්වයට පැමිණ ඇති නිසාය.

මොවුන් කියන පරිදි ද.දේ.නියේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය වියදමේන් 6%ක් අධ්‍යාපනයටවෙන් කරහොත් එය මුළු රාජ්‍ය වියදමින් 26% ද ඉක්මවා යන ප්‍රමාණයකි.එනම් ද.දේ.නි යෙන් 22.7% ක් වන මුලු රාජ්‍ය වියදමෙන් 6% යනු 6/22.7 = 26.4% කි.

වෙනත් වචනවලින් කියන්නේ නම් මුලු රාජ්ය වියදමෙන් 1/4 එකකට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙසයි.වියුක්තව ගත් විට අධ්‍යාපනය වෙනුවෙන් කෙතරම් මුදලක් වෙන් කලත් එය හොඳයැයි කිසිවෙකුට සිතෙන්නට ඉඩ ඇතත් ප්‍රායෝගිකව සමස්ථය එකට සැලකූ විට එය කිසි සේත්ම යථාර්ථවාදී ඉල්ලීමක් නොවන බව පැහැදිලිය.ඔවුන් බොහෝ දෙනා මෙලස 26% ක්වෙනුවෙන් සටන් කරනුයේ බොහෝ දෙනාගේ පරමාදර්ශී රාජ්‍යන් වන ඇමරිකා එක්සත් ජනපදය සිය රාජ්‍ය වියදමෙන් 14% කුත් බ්‍රිතාන්‍ය 11% කුත් සිංගප්පුරුව 11% පමනක් වෙන් කරන වටපිටාකදීය.මෙමගින් උත්සාහ කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් දරන වියදම ඕනැවටත් වඩා ප්‍රමාණවත් යැයි කීමට හෝ තවත් සතයක්වත් වැඩි කිරීමට අවශ්‍ය නැතැයි යන පදනමෙන් නොවන බව මතක් කල යුතුය.8% ඉලක්කම 11% වැනි අගයක් දක්වා වැඩි කරනු යනුවෙන් ප්‍රකාශ කරා නම් මේ සටන් පාඨයේ යම් සාධාරණයක් පෙනෙන්නට තිබින.නමුත් 8% යන්න ඉලක්කමක් ලෙස බැලූ කල තම ව්‍යාපෘතියට එතරම් ආකර්ශනයක් හෝ ගැම්මක් නොලැබෙන බැවින් වෘත්තීය සමිති මහ මොළ කරුවන් 1.8% සහ 6% එල්ලී සිටින බව පැහැදිලිය.සරල සත්‍ය ඉලක්කම් විජාවලින් වසන් කරන්නට සැරසීම කිසිම පාර්ශවයකට දීර්ඝකාලීනව යහපතක්නම් උදා නොකරනු ඇත.මතුපිටින් පමණක් අතගා බලන සයිබර් ගොසිප් උගතුන්ට සහ සමාජ සාමය බිඳී ඇති වටපිටාවක් තම පැවැත්මට වඩා හිතකර යැයි සිතන කල්ලි කණ්ඩායම් වලට නම් මෙය රස අහරක් ලෙස පෙනුනත් සැබෑ ගැටලුව හඳුනා ගැනීමට හෝ විසඳුම් සෙවීමට එය උත්ප්‍රේරකයක් වන්නේ නැත.

කෙසේ නමුත් නැවත නැවතත් මතක් මතක් කල යුත්තේ අධ්‍යාපන වියදම් වල යම් ප්‍රතිශතාත්මක අඩුවීමක් ඇති නමුත් එය මේ පෙන්නන ඉලක්කම් විජ්ජාවෙන් නියමිත පරිමාණයෙන් නිරූපණය නොවන බවත්ය.මෙමගින් පැහැදිලි වන්නේ ආචාර්‍ය සමිති සහ එහි ප්‍රචාරක බලඇනිය තම මූලික වැටුප් වැඩි කිරීමේ ජනප්‍රිය නොවන ඉල්ලීම වසා ගැනීමේ සහ ඔවුන්ගේ තිරය පිටුපස සිටින කල්ලිවල සමාජ නොසන්සුන්තාව ඇති කිරීමේ ජඩ දේශපාලන උවමනාව වසන් කිරීමේ සීතාම්බර පටක් ලෙස මෙම 6% බොරුව තමන්ට තරම් නොවන ලෙස අලජ්ජී ලෙස භාවිතා කරන බවය.

අද දවසේ උගත් ආචා‍ය්ර්‍ භවතුන් පෙනී සිටිය යුත්තේ මේ ඉලක්කම් හරඹවල නොව ,අධ්‍යාපනයේ ගුනාත්මක බව වැඩි කරගන්නේ කෙසේද යන කතිකාවටය.එසේම සල්ලි පොම්ප කරමින් බිහි කර රටටත් සමාජයටත් ඵලක් නොවන උපාධිධාරීන් ප්‍රමාණාත්මකවට වඩා ගුණාත්මක ලෙස බලගන්වන්නේ කෙසේද ,අපේ රටට උචිත උපාධිධාරියකු බිහි කරගන්නේ කෙසේද ,දැනට පවතින පාඨමලා රටක් වශයෙන් ඉදිරිගමනට කොතෙක් අත්වැලක් වේද? උපාධිධාරීන්ගෙන් 55% කට ත් වඩා කලා උපාධිධාරීන් වීමෙන් අනාගතයේ කෙබඳුතත්වයක් නිර්මාණය වේද? ආදිය පිලිබඳ විදග්ධ කතිකාවටය.එහිදී ප්‍රතිපාදනවලට අවශ්‍ය ප්‍රමුඛතවය ගැන අවධානය යොමු කල හැක.එසේ නොවී දැනට ක්‍රියාත්මක මේ ක්‍රමය සෙලවීමටවත් අනුබලයක් නොදී චොප්පේ අයියලා මෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයාටම ගැලපෙන පන්නයේ භූමිකාවක් රඟපෑම නොවේ.

ආර්ථික හා අනෙකුත් විශේෂඥ්ඥයින් යැයි කියන්නන්ගේ වගකීම විය යුත්තේ අධ්‍යාපනයට සැබෑ ලෙසම දළ දේශීය නිෂ්පාදනයෙන් දැනට කොතරම් වෙන් වේද? එය නියෝජනය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කරන මුදල් පමණද?පලාත් සභා හරහා අධ්‍යාපනයට වෙන් කරන මුදල් මෙයට අයත් වේද? අධ්‍යාපනය පෞද්ගලීකරණය යන්න ප්‍රතික්ෂේප කරන එසේම එය මෙරට රජයට ආදායම් නොලැබන ක්ෂේත්‍රයක් වන වටපිටාවක දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රකාශිත ප්‍රතිශතය ලඟාවීමට ඇත්තේ රජයේ යෙදවුම් පමණද? එය කොතෙක් දුරට ප්‍රායෝගිකද? යන්න විෂයානුබද්ධව ආධානග්‍රාහී නොවී පැහැදිලි කිරීමය.

පුදුමයට කරුණ නම් මේ කරුණු අරභයා බලධාරීන් දක්වන කුසීත ප්‍රතික්‍රියාවයි.මේ පිළිබඳසාධාරණ ප්‍රකාශයක් හෝ කිරීමට ඔවුන් අසමත්ය.සුපුරුදු වාග් ප්‍රලාප හාවාචාලකම් හැරුණු විට ප්‍රකාශ කරමින් සිටිනුයේ විනාශයක් අත වනා බලෙන් ගෙදරට කැන්දා ගැනීමේ යටි අරමුණදැයි විටෙක සිතේ.

කවුද මේ කප්පිත්තන් ?

මෑත කාලීන ආචාර්‍ය ගැටලුව පිළිබඳ විමසීමේදී මේ අරගලය ඉදිරියෙන් සිටින කප්පිත්තන් මෙන්ම පිටුපස සිටින මහ මොළකරුවන් කවුදැයි නිවරදිව හඳුනාගැනීම ගැටලුව නිවරදි පරිමානයෙන් නිවරදි පැහැයෙන් හඳුනාගැනීමට අත්‍යවශ්‍ය කරුනකි.එසේ නොවුවහොත් මේ කප්පිත්තන් උවමනාවෙන් වසන් කරන්නට සැරසෙන තම තමන්ගේ දේශපාලන පැටිකිරිය නිවරදිව හඳුනාගැනීම අපහසු වන්නට පුළුවන.මූලිකවම මේ ආචර්‍ය සමිති සංගම්වල මුල් පුටු උසුලන්නන් බහුතරය උග්‍ර ආණ්ඩු විරෝධී දේශපාලන කණ්ඩායම්වල අතකොලු බවට නැගෙන චෝදනාව අසත්‍යක්ම නොවේ.ආණ්ඩුවට සහයෝගය දෙන ආචාර්‍ය වරුන් එකෙකු දෙදෙනෙකුගේ නම් පෙන්වා මෙම ප්‍රකාශය බොරුවක් යැයි කිසිවකු ප්‍රතික්ෂේප කරන්නට ඉඩ ඇත.නමුත් එය හරියටම අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුල සිටින ජවිපෙ නොවන ශිෂ්‍යයන් පෙන්වා එබැවින් අන්තරය ජවිපෙ විසින් මෙහෙයවන්නක් නොවේ යැයි කලක සිට ඉදිරිපත් කරන ප්‍රථමික පැහැදිලි කිරීම මෙන්ම අමු මුසාවක් බව අද වන විට බොහෝ දෙනාට පැහැදිලි වී ඇති බවට සැක නැත.

මේ දේශපාලන කල්ලිවලට සෘජු සම්බන්ධතා නැති ආචාර්‍ය වරුන් තම වැටුප ගැන සිතා හෝ රටේ අධ්‍යාපනය ගැන ඇති අවංක හැඟීම නිසා හෝ මේ අරගලයේ කොටස් කරුවකු වී සිටින බව පැහැදිලිය.ඔවුන්ට මේ දේශපාලන අතකොළුවල උවමනාවට වඩා වෙනස් උවමනා තිබුනත් නැවක් ගමන් ගන්නේ කප්පිත්තන්ගේ මගපෙන්වීම යටතේ මිස එහි සේවකයන්ගේ හෝ සහායකයන්ගේ මගපෙන්වීම යටතේ නොවන බව සරල සත්‍යයි.

එදා එල්ටීටීඊයට එරෙහි සටනට මතවාදීව එරෙහි වූ , ඊනියා විමුක්තිකාමීන්ගේ මතය නියෝජනය කල මේ සමහර කප්පිත්තන් අද අධ්‍යාපනය උදෙසා නගන මේ කඳුලු, කිඹුල් කඳුලු නොවේ යැයි සාධාරණීකරණය කිරීම අතිශය අපහසුය.මේ ආචාර්‍ය සමිති පිටුපස සිටින ‘විප්ලවකාරී’ දේශපාලන කණ්ඩායම්වල සෘජු බලපෑම මේ අරගලය මෙතරම් දිග් ගැස්සීමට බලධාරීන්ගේ නිද්‍රාශීලී වැඩපිළිවෙලට සමානව හෝ ඊටත් වැඩියෙන් දායක වී ඇති බව අප වටහා ගත යුතුය.අද වන විට සයිබර් අවකාශයේ සහ ඉන් පිටතත් T56 දරුවන් ,කන්නංගර දරුවන් ලෙස වෙස්වලා සිටින්නේද මේ අති ධාවනකාරී දේශපාලන උවමනාව වෙනුවෙන්ම බව අද බොහෝ දෙනාට වසන් වී ඇති කාරණයකි.

ගොඩ එන්නේ කොහොමද?

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නිර්මාණය වී ඇතැයි පෙනෙන කැලඹිලිකාරී වාතාවරණය කෙසේ වත් සමාජයක් ලෙස යහපත් කරුණක් නම් නොවේ.එක් පසකින් පෞද්ගලික විශ්ව විද්‍යාල කෙසේ හෝ ඇති කරනවා යැයි සපථ කරන උසස් අධ්‍යාපන ඇමතිවරයා අනෙකුත් සියලු දේ පසෙකලා ඒ වෙනුවෙන් මාරාන්තික සටනකට සැරසී සිටීම මෙන්ම තමන්ට බුරුලක් නොවන අමාත්‍යවරයා පන්නා ගැනීමේ උවමනාවෙන් පෙළෙන අන්තරය ප්‍රමුඛ දේශපාලන අතකොලු සංවිධානත් එම අතකොලුවල හිමිකාර දේශපාලන සංවිධානත් එක ලෙස එක ප්‍රමාණයෙන් මෙම තත්වයට වග කිව යුතු බව අපගේ වැටහීමයි.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්ය.එකින් එක එකක් අවසන් වන විට තවෙකක්ලෙස අර්බුද නිර්මාණය වීම තුලින් වාසි ලැබෙන්නේ කාටද යන්න වටහා ගැනීම අපහසු නැත.අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑ ගැසීමට බලා නොසිට ගැටලු නිර්මාණය වූ විට ඒවා විරුද්ධ බලවේග අතට ගෙන මහා විනාශයක් කිරීමට පෙර වහා විසඳීමට අධ්‍යාපන බලධාරීන් විචක්ෂණශීලී විය යුතුය.පසුගියදා මහා විනාශයක් සිදු කල Z අර්බුදය මෙයට හොඳම නිදසුනයි.ඇත්තෙන්ම ගොඩින් විසඳාගත හැකිව තිබූ Z ගැටලුව අවස්ථාවාදීන් මහා විනාශයක් දක්වා දික් ගස්සාගත්හ.සැබෑව ගැන කිසිත් නොදත් ගොසිප් උගතුන් සහ අවස්ථාවදීන්ගේ ප්‍රචාරක කල්ලි අයට උත්ප්‍රේරක සැපයීය.එයතනිකර නිලධාරීන් සහ ආචාර්‍ය විශේෂඥ්ඥයන් වගකිවයුතු විෂයානුබද්ධ ගැටලුවක් වුවත් අනවශ්‍ය ලෙස එය අතට ගැනීමට සහ වග උත්තර බැඳීමට ඉදිරිපත් වූ උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුලු පිරිස විසින් විහින් අහක යන ගැටලුවක් තම හිසේ දමාගත්තේය.

මේ ආචාර්‍ය සංගම් අරගලය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නිර්මාණය වී ඇති අනෙකුත් නොසන්සුන්තා කිහිපයක්ම උපයෝගී කර ගනිමින් ඒ හරහා දැනට කුණු මුල්ලට විසිවී ඇති දේශපාලන කණ්ඩායම්වල මතුපිටට ගත නොහැකිව ලත වෙන දේශපාලන උවමනාවන් සඳහා හොඳ වටපිටාවක් නිර්මාණය කරගැනීමට ඔවුන් මග බලා සිටින බවට සැක නැත.උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුලු බලධාරී නඩයද මේ මොහොතේ අනුගමනය කරමින් සිටිනුයේ පනින රිලවුන්ට ඉනි මං ලබාදෙන න්‍යායකි.දඩබ්බර හිතුවක්කාරකම්වලින් හෝ සුපුරුදු වාචාලකමින් වත් තවරාගත් පුහු පාණ්ඩිත්වයෙන්වත් ගැටලු විසඳිය හැකි නොවන බව දැන්වත් වටහා ගත යුතුය.සාධාරණ ඉල්ලීම්වලට සාධාරණව ඇහුම්කම් දෙමින් දිනාගත හැකි සියලු බලවේගවල සහය ලබාගත යුතුය.සියලු සමාජ සංයමයන් බිඳිමින් සමාජය තුල පොදු එකඟතාවයක් බිහි වන්නට ප්‍රථම හිතුවක්කාර ලෙස සමාජය තුල අසහනය අවුලුවන පෞද්ගලික විශ්ව විද්‍යාල වැනි විවාදාත්මක මාතෘකා අධිවේගයෙන් වහ වහා ක්‍රියාත්මක කරන්නට තටමනු වෙනුවට පොදු එක්කඟතාවයකට එළබෙන තෙක් වහා අත්හිටවීම මේ මොහොතේ නුවනක්කාරී පිළිවෙතකි.එය සියලු දෙනාගේ ශරීර සෞඛ්යට හිතකර වනු ඇත.මේ මොහොතේ ප්‍රමුඛ අවශ්‍යතාව පෞද්ගලික විශ්ව විද්‍යාලද එසේත් නැත්නම් සමාජ සාමයද යන්න වහා තීරණය කල යුතුය.උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෞද්ගලික විශ්ව විද්‍යල විජලනයෙන් පෙලෙන බව පෙනුනත් පොදු සමාජයට නම් පෞද්ගලික විශ්ව විද්‍යල පිපාසයක් වත් තිබෙන බවක් දැනට පෙනෙන්නට නැත.එබැවින් මුලු වැර ඒ වෙනුවෙන් යෙදීමෙන් අවසානයේ අත්වන යහපතක් ඇත්ද?

ආචාර්‍යසමිති අරගලය විසඳීමට සෘජුව මැදිහත්ව කෙලින් පිළිතුරු දිය යුතුය.සමිති වලක ප්පිත්තන්ගේ ව්‍යාජ හැසිරීම රාජ්‍ය මාධ්‍ය හොරණෑවල සට්ටඹියන්ට එහා ගිය දැනුවත් සාධාරණ මිනිසුන් හරහා සමාජයට නිරාවරණය කල යුතුය.එසේම ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඇතොත් ඒව ඉහල ප්‍රමුඛතාවයකින් ඉටු කර දිය යුතුය.චණ්ඩිකමට වඩා උපක්‍රමශීලී වීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගැනීමට ඉඩ කඩ උවමනාවටත් වඩා තිබේ.උදාහරණයක් ලෙස ආචාර්‍ය ගේ මූලික වැටුප යම් ප්‍රමාණයකට වැඩි කිරීම හරහා මේඅරගලයට සහභාගී වී සිටින දේශපාලන කුපාඩිකම් නැති ආචාර්‍ය වරුන් පහසුවෙන්ම ඉන් ඉවත් කරගත හැක.එහිදී මූලික වැටුප් වැඩි කිරීම අනෙක් ක්ෂේත්‍ර තුලද වැටුප් ඉල්ලන රැල්ලක් දක්වා වර්ධනය වීම වලක්වා ගැනීමට දැනටමත් රජය එකඟතාවයට පත්ව ඇති පරිදි විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් වෙනම සේවාවක් යටතට ගත හැකිය.එමගින් එම සේවයට පමණක් වලංගුවන සේ හුදකලා වැටුප් වැඩිවීමක් ලබාදීමට අවශ්‍යනම් පුළුවන.දැනට විදුලිබල මණ්ඩලය ඇතුලු ආයතන කිහිපයක මෙය ක්‍රියාත්මක වෙමින් ඇත.එවැනි උපක්‍රම හරහා වෘත්තීය සමිති කප්පිත්තන්ගේ ව්‍යාජය හෙළිකිරීමත් පොදු ඉල්ලීම් වලට මුවා වී තම දේශපාලන අභිලාශයන් සඟවාගෙන ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවස්ථාව අහිමි වනවා ඇත.

එසේම ජඩ දේශපාලන උවමනාවන් වෙනුවෙන් අහිංසකයන් බිල්ලට දක්කන අන්තරයට විකල්පයක් ලෙස යැයි කියා බලධාරීන්ට කඩේ යන එහෙයියන් ලෙස පුයර බබ්බු බල ගැන්වීමෙන්ද පලක් වන්නේ නැත.එසේ වුවහොත් වන්නේ අන්තරයටත් වඩා කාලකන්නි තවත් කල්ලියක් විශ්ව විද්‍යාල තුල බිහිවීමෙන් දැනට තිබෙන තත්වයටත් වඩා අඳුරු තත්වයකට සරසවිය නතු වීමය.ඔවුන් ආණ්ඩු බලය හිමි දේශපාලන කණ්ඩායම් වල එහෙයියන් වීමෙන් තත්වය තවත් කණගාටුදායක විය හැක.

එලෙසම අධ්‍යන අනධ්‍යන ශිෂ්‍ය ආදී ලෙස මතුකරන ගැටලු වහා විසඳීම හෝ ඒවා සමාජයඉදිරියේ සාධාරණීකරණය කල හැකි අයුරින් සෘජුව පිළිතුරු දී ප්‍රතික්ෂේප කිරීමකල යුතුය.උදාහරණයක් ලෙස මෙවර පහේ ශිෂ්‍යත්වය පිලිබඳව මතුවූ ආන්දෝලනය සලකා බලමු.ඒ පිළිබඳ රතු තොප්පිකාර ආචාර්‍ය සංගමයක් විසින් කල අභූත චෝදනාවක් නිසා එහි යම් අර්බුධකාරී තත්වයක් සමාජය තුල කතාබහට ලක් විය. නමුත් දැන් දැන් වාර්ථා වන අයුරු එහි එවැනි ප්‍රශ්න පත්‍ර පිටවීමක් හෝ එවැන්නක් සිදුනොවී ඇති බවට කරුණු හෙළිදරව් වෙමින් පවතී.පෞද්ගලික පන්ති ගුරුවරුන් කිහිපදෙනෙකු සාකච්චා කල ගැටලු විභාග ප්‍රශ්න පත්‍රයේ තිබීමේන් මෙවැනි ක්ෂණික පටු නිගමනයක පැමිණ රට ගිනි තබන්නේ රටට හෝ අහිංසක දරුවන්ට ආදරෙන් නම් විය නොහැක.වෙහෙර ගිල්ල වුන්ට අග්ගලාව කජ්ජක් නොවන බව අප අමතක නොකල යුතුය.තමන් දාස කම් කරනා දේශපාලන කල්ලි වල පැවැත්ම වෙනුවෙන් මේ යක්ෂයින් ඕනෑම තුච්ච වැඩක් කිරීමට පසුබට නොවන බව පැහැදිලිය.

නමුත් අවාසනාවට කාරණය නම් මේවාට සෘජුව පැහැදිලිව පිළිතුරු දිය හැකි ආකාර ඕනෑතරම් තිබියදී බලධාරීන්ද මේ මර ගීයට අත්වැල් සපයන අයුරින් එක්කො නිසොල්මන්ව සිටීම හෝ යන්නේ කොහේද මල්ලේ පොල් වැනි පිළිතුරු දී ජාම බේරාගැනීමට උත්සාහ කිරීමය.සුපුරුදු පරිදි නොසලකා හැරීමේන් හෝ කල් මැරීමේන් ගැටලු විසඳේ යැයි සිතා කටයුතු කරන උපන් ගෙයි දෝෂය ආණ්ඩුව සහ එහිබලධාරීන් වහා නිවරදි කර නොගන්නේ නම් ඉතා ඉක්මනින්ම ඒ සඳහා සමාජයක් වශයෙන් ගෙවිය යුතු වන්දිය සඳහා සූදානම් විය යුතුය.

මේ මාරාන්තික නිහඬ බව සහ කල් මැරීම අධිරාජ්‍යවාදී ඒජන්තයන්ගේ සහ මේරට ඊනියා ‘අධිරාජ්‍ය විරෝධීන්ගේ’ ඒකාබද්ධ පෙරමුණකට තම ලේ හළන පිපාසය සංසිඳවාගැනීමට දෙන නිදහස් බලපත්‍රයක් වීම වැලැක්විය නොහැක.අහිංසකයන් දහස් ගනනින් දිනපතා බිලිගන්නා අරාබි වසන්තයේ මායාවෙන් දෑස නිලංකාරකරගත් T 56 දරුවන්ට සහ ඔවුන්ගේ ‘විප්ලවකාරී’ මහ මොළකරුවන්ට යම් කිසි හෝ ඉඩක් ඇත්නම් එය අසුරා දැමීම දැනුවත් මිනිසුන්ගේ අද දවසේ වගකීමකි.සරස්වතියට හිමි බිමෙන් සියලු ආකාරයේ යක්ෂයින් පළවා හැර සරස්වතිය කැඳවීමට අවශ්‍ය ‘ශාන්තිකර්මය’ තවත් මොහොතක් හෝ කල් නොමර වහ වහා සිදු කිරීමට දැනෙන බලපෑමක් කිරීමට දැනුවත් මිනිසුන්ගේ අවධානය යොමුවිය යුතුය.එසේ නොවුවහොත් ශාන්තිකර්මකින් ගොඩ යෑම වෙනුවට නර බිලි ඉල්ලන තොවිළයක් නැටීමට සිදුවිය හැකි බව වටහා ගත යුතුය.

- කැලුම් නිරංජන

මෙහි මුල් සටහන 2012-09-10 දින ලංකාසීනිවුස්  වෙබ් අඩවියේ පළකෙරිණ.

Saturday, July 21, 2012

‘අපේ’ මාර්ග සංවර්ධනයේ උපන් ගෙයි අවුල..

0 comments
- ‘ජනප්‍රිය සංවර්ධන මගේ ’ සැනෙන් ඉගිල්ලෙන්නට පෙර මඳක් නැවතී බලමු….
මීට කලකට පෙර නම් ඈත ගමක වැඩි කරදරයක් නැතිව යාමට හැකි පාරක් දුටු විට බොහෝ දෙනා එය ‘ගම් උදා පාරක් ‘ එසේ නැතිනම් ‘ ප්‍රේමදාස මහත්තය හදපු පාරක් ‘ යැයි හැඳින්වීමට නිරායාසයෙන්ම පෙලඹිණ. එසේ වූයේ නිදහස ලැබීමෙන් පසු චන්ද්‍රිකා පාලනය අවසන් වන තෙක්ම අප රටේ මාර්ග සංවර්ධනයේ ඇඟට දැනෙන වෙනසක් කලේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ යුගයේ බැවිනි. ඉන්පසු චන්ද්‍රිකා යුගය තුල ඉබි ගමනින් ගිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති හැල්මේ දුවන්නට ගත්තේ රාජපක්ෂ පාලන කාලය තුලදීය. හුදු විවේචකයකු (ගොසිප් උගතෙකු වැන්නකු) පමණක්ම නොවන උග්‍ර රාජපක්ෂ විරෝධියකු පවා අන් සියලු දේට එකඟ නැතත් මාර්ග සංවර්ධනයේ සිදු වූ මේ පිම්මේ යෑම පිලිබඳ අවම ප්‍රතිවිරෝධයකින් යුතුව හෝ එකඟ වනවා ඇත.

අධිවේගී නගරාන්තර මාර්ග, නාගරික මාර්ග , නගර ආශ්‍රිත අතුරු මාර්ග මෙන්ම ගම්බද අතුරු මාර්ග පවා කාපට් අතුරා එසේ නැතහොත් කොන්ක්‍රීට්/කොන්ක්‍රීට් ගල් අතුරා පසුගිය වසර කිහිපය තුලදී විශාල වෙනස් කමකට භාජනය වී ඇති අයුරු දෘශ්‍යාභාධිතයකු නොවන ඕනෑම අයෙකුට දැනෙන ප්‍රායෝගික සත්‍යකි. කෙසේ නමුත් මේ මාර්ග සංවර්ධනය සඳහා පොම්ප කරන අති දැවැන්ත මුදල කොතරම්දැයි බොහෝ දෙනාට අවබෝධයක් ඇත්ද? අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 2% පමණ වෙන් වෙද්දී මාර්ග සංවර්ධනයට ඊට වැඩි මුදලක් වැය කිරීමෙන් වර්ථමානයේ අප රට මාර්ග සංවර්ධනයට දී ඇති ප්‍රමුඛතාවය කෙතරම්දැයි තේරුම් ගත හැක. එසේ වුවද මේ දරන අති දැවැන්ත පිරිවැය අද දවසේ පොදු ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට කොතරම් උපකාරී වී ඇත්ද? රටේ සැබෑ සංවර්ධනයට කෙලෙස පිටුවහලක් වී ඇත්ද? අන් බොහෝ අත්‍යවශ්‍ය උපයෝගීතා පසක තිබියදී මාර්ග සංවර්ධනය ප්‍රමුඛතා ලැයිතුවේ උඩට ආවේ කෙසේද? මාර්ග පද්ධතියේ දියුණුව පිටුපස දැවන්ත ආයෝජන ගලා විත් ඒ හරහා උත්පාදනය වන රැකියා අවස්ථා, ආදායම් අවස්ථා ආදියෙන් මුලින් ඒ පෙදසත් පසුව ඉන් මුලු රටත් සංවර්ධනය වේ යැයි දශක කිහිපයක් අත් හදා බලා ඇති ආර්ථික විද්‍යා දාර්ශනික මතය සැබෑවන් නොවී තිබියදී සහ සැබෑ වන පාටක්වත් නොපෙනෙද්දී තව දුරටත් ඒ පසුපසම හඹා යෑමේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද? අප මෙන්ම මාර්ග සංවර්ධනය පිටුපස ආයෝජන පැමිණ සුර පුරයක් වේයැයි සිහින මවා අවසානයේ ‘සිහින හොරු අරන්’ ගිය නයිජීරියාවට අත් වූ ඉරණමට අපත් පත් වේද? නයිජීරියාවේද දැවැන්ත ආයෝජන අපේක්ෂාවෙන්  මාර්ග සංවර්ධනයට අති විශාල මුදල් ප්‍රමාණයක් යෙදවූ නමුත් රටට ඉන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී බංකොලොත් වී ගිය අතර අති විශාල මුදල් සම්භාරයක් ගසා කෑ නිලධාරීන් – බලධාරීන් නම් යහමින් වැජෙබෙමින් සිටිති. අද අපේ රටේ තත්වයෙහිද මීට වඩා වෙනසක් ඇත්ද?

භෞතිකව දැනටමත් අධි සංවර්ධනයක් ලබා ඇති රටවල් දෙස බලා එහි මාර්ග පද්ධතිය සමග සසඳා අප රටවල්ද තවම ඒ මට්ටමට සංවර්ධනය වී නැත්තේ මාර්ග සංවර්ධනයේ අඩාලකම නිසාය යන්න පොදුවේ ඇති ප්‍රබුද්ධ මතයයි. නමුත් සැබෑව එයමද? එම බොහෝ රටවල් මුලින් දැවැන්ත මාර්ග පද්ධතියක් තනා ඉන් පසු ඒ හරහා දියුණු වූවා නොව මාර්ග සංවර්ධනයට සමගාමීව අනෙකුත් අංශද (කාර්මික , කෘෂිකාර්මික ආදී) සංවර්ධනය කරගැනීම මගින් මේ කියන ‘දියුණුව’ කරා ලං වී ඇති බව අප වටහා ගත යුතුය. (මේ භෞතික දියුණුව සැබෑ දියුණුවේ දර්ශකයක් ද නැත් ද යන කරුණ වෙනම සාකච්චා කල යුතු ගැටළුවක). හුදකලා මාර්ග සවර්ධනය වෙනුවට අනෙකුත් නිෂ්පාදන , කර්මාන්ත හා සේවා අංශයන් සමග ඒකාබද්ධ වූ සංවර්ධන පිළිබඳ සංයුක්ත දැක්මක් අපට තිබිය යුතුය.එසේ නොමැතිව වසර කිහිපයකට පෙර අඬ බෙර ගසා ආරම්භ කලේ යැයි කියූ ගමට කර්මාන්ත 300 වැනි වැඩසටහන් ලප් තැනම ලොප් වෙද්දී මාර්ග පමණක් ගම් දනව් සිසාරා හැල්මේ දිව්වාට ඇති පලක් නැත.

‘හයි වේ’ ‘හයි - ෆයි වේ’ වීමේ කරුමය
අපේ රටේ මාර්ග සංවර්ධනය අතින් මෑත කාලීන උත්තුංගම නිර්මාණය නම් “කොළඹ – මාතර” දක්ෂිණ අධිවේගී මාර්ගයයි. අධිවේගී මාර්ග පිලිබඳ මුල්ම කතිකාව අප රට තුල ඇති වන්නේ අසූව දශකය තරම් ඈතකදීය. ප්‍රේමදාස ,චන්ද්‍රිකා ,රනිල් යුග තුනේදීම මෙය සැබෑ නොවූ ‘සිහිනයක්’ විය .ආරම්භක ඇස්තමේන්තු මුදල මෙන් හත් අට ගුණයක පිරිවැයක් දරමින් වුවත් අවසානයේ එය රාජපක්ෂ යුගයේදී සැබෑවී තිබේ. (ආරම්භයේදී මෙහි කි මී. 60 ක්‌ සඳහා රුපියල් මිලියන 8500 ක්‌ ඇස්‌තමේන්තුකළද, අවසානයේ කි.මී. 95ක් සඳහා රුපියල් මිලියන 75,000 වැයවීමේන් මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවේ අපගමනයේ ප්‍රමාණය ගැන වටහා ගත හැක) ‘සිහින සැබෑවේනම් ඕනෑම පිරිවැයක් දරන්නට අප සූදානම්’ යැයි සිතන්නන් බහුල වීම රටකට කෙලෙස බලපායිද? කෙසේ වුවද ගාල්ලට දැනට අධිවේගී මගේ යන පිරිස් ‘අයියෝ ඒක මාතරටම තිබුනනම් කොතරම් හොඳද’ ‍යි සිතා ලත වෙති. මාතරට යම් දිනක එය නිම වූ කල හම්බන්තොටට දි වූවා නම් කොතරම් අගනේදැයි සිතෙනු ඇත. මෙලෙස සෑහීමකට පත් නොවන හඹා යෑම් අවසන් වන්නේ කොතනින්ද?

මාර්ග සංවර්ධනයේ මේ අනවරත හඹා යෑම් සපුරාලීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඒ හා සබැඳි සංවර්ධනයට අවශ්‍ය අනෙකුත් සියලු අංශයන් අමතක කරමින් ද? දැනට ආර්ථිකයට අවම මෙහෙයක් සිදුවන (නිෂ්පාදන කාර්යන්ට අනුබලයක් නොවන මාර්ග සංවර්ධනයෙන් සිදුවන මෙහෙය ඉතා අල්පය) අධිවේගී මගෙන් පැයෙන් ගොස් ඉතිරිවන පැය දෙකෙන් ‘රන් දෙපැය ‘ හෝ ‘ආදරෙයි මං ආදරෙයි’,  ‘නුඹ නැත්නම් මම මැරෙනව’ වැනි රට පිදුරු සදැසි ටෙලියක් නරඹා නිදා ගැනීමෙන් හෝ සැනෙන් උණවටුණට ගොස් මුහුදේ කිමිදී  ගිනි ගහන අව්වේ ‘බබකියු’ එකක් දමා හැල්මේ කොලඹ පැමිණීමෙන් ලැබෙන ආත්ම වින්දනයෙන් රටක් වශයෙන් පලක් ඇත්ද? (සමහර විට අධිවේගී මගක, නැත්නම් අලුත සැදූ මගක නිස්කලංකේ රිය පදවා මානසික තෘප්තියක් ලබන බොහෝ දෙනා මේ අදහසට එකඟ නොවනු ඇත. නමුත් හුදකලා මානසික තෘප්තීන් බහුතර පොදු ජනතාවගේ  දුප්පත් බත් වේල පවා  අහිමි කරන්නේ නම්, අහිංසක අපේක්ෂා කුඩු පට්ටම් කර දමන්නක් නම් ඉන් සැබෑවටම පලක් වේද ?) අක්‍රමවත් අසමමිතිකව සංවර්ධන විව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ අවසන් ප්‍රතිඵලය මෙය නොවේද?

මාර්ග ඇතුලු යටිතල පහසුකම් සමග නිෂ්පාදන ක්‍රියවලියක් ඒකාබද්ධ වූ වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ නම් උණවටුනේ නෑමට යන අය වෙනුවට අලුත් කර්මාන්තශාලාවේ වැඩ බැලීමට යන කාර්මිකයන්ගෙන් , නිලධාරීන්ගෙන් ,අලුත් වගාබිම්බල අස්වනු පටවා ගෙන එන ගොවීන්ගෙන් අධිවේගී මග එලිය වනු ඇත. මාර්ග පද්ධතිය හුදකලාව සංවර්ධනය කරනු වෙනුවට ඒ සමගම ක්‍රමක්‍රමයෙන් වැඩෙන කර්මාන්ත, කෘෂිකර්ම ආදී අංශ පිලිබඳ මනා සැලසුමක්ද ඒ සමගම තිබිය යුත්තේ එබැවිනි. ඒ හරහා උපදින ආදායම් මාර්ගවලින් අධිවේගී මගේ හැල්මේ පියබායන සුඛෝපභෝගී වාහන දෙස බලා හූල්ලන අහිංසකයන් වෙනුවට නව බලාපොරොත්තු සහිත මිනිසුන් නිර්මාණය කර ගත හැක. එසේ නොමැතිව ‘අපරැක්කේ අම්මා’ මුණ ගැසෙන්නට පෙර ගැමුණු කුමරු යුද්ධ කලාක් මෙන් අරහේ මෙහේ සිදුකරන හුදකලා ව්‍යාපෘති වලින් නම් රටක් ලෙස ගොඩ ඒම උගහටය. ඒ හරහා සිදු වන්නේ  ව්‍යාපෘති මෙහෙයවන හා උපදෙස් දෙන අතලොස්සකගේ සුඛ විවරණය වෙනුවෙන් ජාතියම මහා ණයකරුවන් බවට පත් වීමේ ඛේදවාචකය නොවේද?

රජයේ මාධ්‍ය හොරණෑවලට අනුව නම් දකුණු ලක හුදී ජනයා අධිවේගී මගෙන් මහත් ඵල මහා ආනිසංස ලබන්නේය. මා පියන් කොලඹ රාජකාරි නිමවී දරුවන් වෙත සැනෙන් ඉගිල්ලෙන්නේය. දෙනියායේ , අකුරැස්සේ ,ගාල්ලේ ගස් ලබු උණු උණුවේ මැනිං මාර්කට්ටුවට බාන්නේය. යක්කලමුල්ලේ මී කිරි වලින් කොලඹ සුපිරි වෙලඳසැල් ඉතිරී යන්නේය. නමුත් සැබෑව මීට වඩා කෙතරම් වෙනස්ද?

දැනට වැඩ නිම වී ඇති කොට්ටාව – පින්නදූව මගේ බසයක එක් ගමනක ගාස්තුව පමණක් රු 470 කි. දෙපසට 940 කි. රු 940 ගෙවා ගාලු ගොස් කොළඹ ඒමට හැක්කේ 2500න් මසක් ජීවත් වන්නේ යැයි ආර්ථික විද්‍යාඥ්ඥයින් විශ්වාස කරන රටේ පොදු ජනතාවට නම් නොවේ. විධායක ශ්‍රේණියේ රැකියාව කරන්නේකුට පවා මේ වියදම දරා ගත නොහැකි වටපිටාවක සාමාන්‍ය ලිපිකරුවකු වැනි පොදු ආර්ථික මට්ටමක සිටින බහුතර ජනතාවට රූපවාහිනියෙන් පෙන්වන අධිවේගී මගේ සුන්දර දසුන් නැරඹීම හැර මින් ඇති පලක් නොමැත. මින් පෙන්නුම් කරනුයේ මෙය අධි වේගී පමණක් නොව අධි වියදම් මාර්ගද වන බව නොවේද? (‘හයි වේ’ පමණක් නොව ‘හයි ෆයි වේ’ බව නොවේද?) රටේ පොදු ජනතාවට අත් විඳිය නොහැකි මේ අත්දැකීම පිලිබඳ අන් කරුණුවලදී මෙන්ම ජනාධිපතිවරයාගේ අවධානයද යොමු විය යුත්තේ අධිවේගී මගේ අධිවේගයෙන් යන්නන් බොහොමයක් දෙනා පාහේ  ඔහුට එරෙහි වද්දී එතුමා බලයට පත් කරන්නට වෙහෙසුනේ සහ වෙහෙසෙන්නේ මේ අව වරප්‍රසාදිත බහුතර සාමාන්‍ය ජනයා වන බැවිනි. එසේම  මෙම මාර්ග සංවර්ධනයට ගන්නා ණය කන්දරාව ගෙවන්නට මේ අහිංසකයන් ගන්නා හාල් කිලෝවෙන් , පරිප්පු සීයෙන් ගෙවන බද්දෙනුත් දායකත්වයක් ලැබෙන  බැවිනි.

මේ අධිවේගයේ ගාස්තුවේ සැර අඩු කිරීමට නම් කල යුත්තේ දැනට පත්තර,වතුර බෝතල් , වායු සමීකරණ සහිත අධි සුඛෝපභෝගී යැයි බෝඩ් ලෑල්ල ගසා දුවන බස් රථ වෙනුවට (අවශ්‍ය නම් ඒවා එලෙසම තිබියදී අලුතින් බස් රථ යෙදවිය හැකිය.)  සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට ආරක්ෂිත බස් රථ සේවාවක් ඇරඹීමය. එය ලංගම හරහා ඇරඹිය හැකිය. බහුතර පොදු ජනතාවගේ පලමු අරමුණ පත්තර වතුර  බෝතල් නොව රාජකාරි නිමවා ආරක්ෂිතව හැකි ඉක්ම නින් ගෙවල් බලා යෑමය.

මාර්ග සංවර්ධනයේ උපන් ගෙයි අවුල 
අධිවේගී මාර්ග හැරුණු විට අනෙකුත් ග්‍රාමීය මාර්ග සංවර්ධනයටද වත්මන් පාලනය කලින් අත් නොවිඳි තරමේ අති විශාල ධන්ස්කන්ධයක් වියදම් කරමින් තිබේ. නමුත් මේවා නිසි සඵලතාවයෙන් යෙදවෙන්නේ දැයි දැන ගැනීමට ආර්ථික විද්‍යාඥ්ඥයකු වීමට අවශ්‍යය නැත. ග්‍රාමීය මාර්ග සංවර්ධනය ප්‍රාදේශීය සභා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන යාන්ත්‍රණ දෙකෙන්ම සිදු වුවත් අවසානයේ ප්‍රතිඵලය අපේක්ෂිත මට්ටමට පැමිණ නොමැති බව ආර්ථික විද්‍යා න්‍යාය නොදන්නා ඒ මාර්ගවල යන අහිංසක ගැමියකුට පවා වැටහේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයකු (බොහෝ දුරට සභාපතිවරයා කල දුටු කල වල ඉහ ගැනීමට ලැබෙන ඒ අනගි අවස්ථාව වෙනත් අයෙකුට නොදේ ) හරහා නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සිදුවන මාර්ග ව්‍යාපෘතිවලින් වෙනසක් නොමැතිව ප්‍රසිද්දියේ අමු අමුවේ ගසා කන්නේ ගසා කෑම යන්න දේශපාලනඥ්ඥයන්ට පමනක් උරුම දෙයක් නොව ‘උගත්’ නිලධාරීන්ටද කල හැකි කාර්යක් බව පසක් කරන්නට මෙනි. බොහෝ අවස්ථාවලදී ප්‍රාදේශීය ලේකම් හරහා සිදුවන ව්‍යාපෘතිවලදී තත්වය වඩා කණගාටුදායක වන්නේ ස්ථර කිහිපයක නිළධාරින් සතුටු කිරීමට සිදුවන බැවිනි.පාපැදියෙන් ප්‍රාදේශිය සභාවට ගිය සභාපතිවරයා වැඩි දිනක් නොගොස්ම  ඉඩකඩම් හිමි යානවාහන පිරිවරාගත් මහා ධන කුවේරයකු බවට පත් වී ඇත්තේ කෙසේදැයි නිගමනය කිරීමට විගණන වාර්ථා හෝ ආර්ථික විද්‍යා න්‍යායන් අවශ්‍ය නොවේ. සාමාන්‍ය මිනිසුන් දිගින් දිගටම  මේ හදිසි ධන උල්පත් පහළවීම වාසනාව, කර්මය නිසා වූවක් යැයි සලකා නිහඬව සිටිනු ඇතැයි බලධාරීන් සිතන්නේ නම් එය මුලාවක් බව දැන්වත් වටහා ගත යුතුය. අඟල් 6 කොන්ක්‍රීට් එක අඟල් 2ක දමා කම්බි කූරු 6 වෙනුවට 2 දමා පොදු ජන මුදල් ගසාකන පාපතරයන්ට අපායට කලින්ම දඬුවම් හිමිවන බව මතක තබා ගත යුතුය.

එලෙසම අක්‍රමවත් මාර්ග සංවර්ධනයේ තවත් එක් සෘණාත්මක ලක්ෂණයක් නම් එකාබද්ධ සම්බන්ධීකරණයක් නොමැතිව එක් එක් ආයතන මගින් සිදු කරන හුදකලා ව්‍යාපෘති මගින් මාර්ග සංවර්ධනයට යොදන මුදල් නිකරුණේ වැනසී යාමයි. මාර්ගයක් කාපට් අතුරා සති දෙකක් යන්නට මත්තෙන් වෙනත් සමාගමකින් (බොහෝ දුරට දුරකතන   හෝ අන්තර් ජාල සේවා සපයන ආයතනයක් ) පැමිණ අලුත නිම කල මාර්ගය වගේ වගක් නොමැතිව කපා කොටා තමන්ගේ වැඩය කරගෙන යයි.ඉන් පසු කලින් තිබුනාටත් වඩා මාර්ගය අබලන්ය. මෙය සාමාන්‍ය වාහනයකින් ගමන් බිමන් යන බොහෝ දෙනා (අධි සුඛෝපබෝගී වාහනවල යන අදාළ බලධාරීන් නිළධාරීන් ආදීන් හැරුණු කල) අත්විඳ ඇති අත්දැකීමක් බවට සැක නැත. ඒකාබන්ධ සම්බන්ධීකරණයක් නොමැතිව නිකරුණේ කාබාසිනියා වී යන මේ මුදල් වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් මීට වඩා හොඳ යැ‍යි යමෙකුට සිතුනහොත් එය අසාධාරණ නැත. මනා සැලසුමක් නොමැතිව , එමෙන්ම එකාබන්ධ සම්බන්ධීකරණයක් නැතිව හිතුමතේ ව්‍යාපෘති සිදු කිරීමේ මේ සහ එමගින් අති විශාල මහජන මුදල් ප්‍රමාණයක් කාබාසිනියා වීමේ උපන් ගෙයි අවුල දැනුවත් මැදිහත්වීම්ක් හරහා දැන්වත් විසඳාගත යුතු අත්‍යන්ත අවශ්‍යතාවයකි.

රටකට මාර්ග සංවර්ධනය අනවශ්‍ය යැයි මනස විකෘති නොවූ කිසිවකු නොකියනු ඇත. ගැටළුව ඇත්තේ ඒවා අනෙකුත් නිෂ්පාදන ක්‍රියාමාර්ග සමග සංගත නොවීමේ අවුලයි. …නමුත් මෙරටට  ණය දෙන ආයතන සහ ඒවා වෙනුවෙන් මෙහි සිට මෙහවර කරනා ආර්ථික උපදේශකයන් උපදෙස් දෙන්නේ ‘මුලින් මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් හදන්න,ඉන් පසු ආයෝජන ගලා ඒවි ‘ යනුවෙනි.මෙවැනි උපදේශකයන් ආර්ථික වලයේ කේන්ද්‍රයෙන් ඈත ඇති අපි වැනි රටවල් වලට කල විපත් පිලිබඳ සවිස්තර සටහනක් ජෝන් පර්කින්ස්ගේ “ආර්ථික ඝාතකයකුගේ පාපොච්ඡාරණය” පොතෙහි සවිස්තරාත්මකව සටහන් කර ඇත.අපේ රටවල් වලට නම් ආර්ථික ඝාතකයන් අවශ්‍ය නොවන්නේ අපි ස්ව කැමැත්තෙන්ම ආර්ථික ඝාතකයන්ගේ අරමුණ ඉටු කරමින් සිටින බැවිනි.එලෙස නොවෙ නම් පොදු ජනතාවගෙන් 90‍% භාවිතා කරන පොදු ප්‍රවාහන ජාලය ශක්තිමත් කරනු වෙනුවට ප්‍රාදේශීය දේශපාලනඥ්ඥයාගේ සිට ඉහලට සාක්කු පිරෙන , රටක් වශයෙන්  අප අමාරුවේ වැටෙන මෙගා ව්‍යාපෘති අත්‍යවශ්‍ය ව්ය්‍යාපෘති ලයිස්තුවේ පෙරට එන්නේ නැත.

පසු ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාර්ග සංවර්ධනයට අදාළව එහි 41 වන පිටුවේ සඳහන් පහත ප්‍රකාශයෙන් අපි මේ සටහන අවසන් කරමු.

“…පොදු ප‍්‍රවාහනයේ නූතන ගමන් මග.. නූතනත්වයෙන් අනූන වූ ජාතික ප‍්‍රතිපත්තියක් ..
සමස්ත ශ‍්‍රී ලාංකික සමාජයෙන් 90‍% ක පමණ ප‍්‍රතිශතයක් තම එදිනෙදා කටයුතු වෙනුවෙන් භාවිතකරනු ලබන්නේ දුම්රිය, බස්රිය, ත‍්‍රීවිලර් වැනි පොදු ප‍්‍රවාහන සේවාවන්ය. එහෙත් ජනගහනයෙන් 10‍% ක් පමණ වූ පෞද්ගලික වාහන හිමියන් මාර්ගයේ වැඩි පරාසයක් වෙන්කර ගැනීම නිසා අද අප හමුවේ සංකීර්ණ සමාජ ප‍්‍රශ්න ගණනාවක් උද්ගතව තිබේ. මේ සඳහා ශිෂ්ඨත්වයෙන් හා නූතනත්වයෙන් අනූන වූ පොදු ප‍්‍රවාහන සේවාවක් නිර්මාණය කොට, පොදු ප‍්‍රවාහන සේවාව භාවිත කිරීම ගෞරවයක් ලෙස සලකන වටපිටාවක් සැකසිය යුතුය යන්න මාගේ විශ්වාසයයි. පෞද්ගලික බස්රිය, ලංගම හා දුම්රිය මගියෙකු ලෙස මා ජීවිතය පුරා ලබාගත් දැනුම හා අවබෝධය විසින් මෙකී මඟ පෙන්වීම මා මනස තුළ තැත්පත් කොට තිබේ.”
 - උපුටා ගැනීම මහින්ද චින්තන ඉදිරි දැක්ම (41 පිට)

ජනාධිපතිතුමනි.තවමත් ප්‍රමාද නැත. තවදුරටත් එය  මනස තුල  තැත්පත් කොට සිටීමෙන් පලක් නැත.ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමට සුදුසුම සහ හැකිම කාලයයි මේ .

- කැලුම් නිරංජන 

මෙහි මුල් සටහන 2012 ජුලි 11 දින  ලංකාසීනිවුස්   පුවත් අඩවියේ පල කරන ලදී

Sunday, June 17, 2012

"නිවහල් අධ්‍යාපනය" - 'ගුරු තරුවෙන් ' පෙන්වන මග දිගේ....

2 comments
-නිදහස් මෙන්ම නිවහල් අධ්‍යාපනයක් වෙනුවෙන්...
අධ්‍යාපන පෞද්ගලීකරණය අද දවසේ ලේ සෙලවෙන කතිකාවක් බවට පත්ව තිබේ.පිරිසක් 'නිදහස් අධ්‍යාපනයේ' මුරබල්ලන් වීමටද  තවෙකෙකු 'අධ්‍යාපන පෞද්ගලීකරණයේ" පියවරුන් වීමටද වෙහෙසෙන අයුරු පෙනේ. තවත් සමහරෙකු සමස්ථ අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි වනු වෙනුවට තමන්ගේ අනාගත රැකියා සහ ආදායම් අහිමිවීමේ භීතිය වෙනුවෙන් හුදු  'පුද්ගලික වෙද විදුහල්' විරෝධය වැනි පටු සීමාවක සිරවී ඇතැයිද චෝදනා නැගේ. 
අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම වන 'පෞද්ගලික විශ්ව විද්‍යාල' පිළිබඳ කාරණය සමාජය තුල හොඳින් කලතා ඇතිකලයුතු කතිකාවකින් පසු සීරුවට ගත යුතු දේශපාලන තීන්දුවකි. නමුත් සිදු නොවන්නේද එයමය. ප්‍රකාශිත අරමුණුවලට වඩා මෙහි යම් සැඟවුනු අරමුණක් ඇත්දැයි සාධාරණ සැකයක් ගොඩ නැගෙන්නේ එහෙයිනි. 'පෞද්ගලික නම් එපා ' යනුවෙන් වීදි බසින හුදු විරෝධාකල්පිකයන්ට මෙන්ම 'මේක තමයි ට්‍රෙන්ඩ් එක .ලිං මැඩියොන්ට ඕව තේරෙන්නේ නෑ' යනුවෙන් නැගෙන 'ධනාත්මක', 'නූතනවාදී' සිතිවිලිකරුවන්ට මෙන්ම විෂයභාර ඇමතිවරයා ඇතුලු බොහෝ දෙනාට මෙහි ගැඹුරින් හදාල ඒකමතියක් නොමැත. බොහෝ දෙනාගේ මේ පිලිබඳ මතය බොහෝ පටු සීමාවකට සීමාවන පෞද්ගලික කාරණා පමණි.
එබැවින් කල යුත්තේ සමාජයේ විවිධ තලයන් ඔස්සේ සිදුකරන දාර්ශනික කතිකාවකට ඉඩ සලසා එමගින් ලැබෙන අදහස්ද උපයෝගී කර ගනිමින්  'නිවහල් අධ්‍යාපනය' තහවුරු වන දෙසට ගමන් කිරීමය.

ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ 'පිනට පහළ වූ' විශිෂ්ඨ කලාකරුවාගේ  ගුරුතරුව නාට්‍යයේ 'නිවහල් අධ්‍යාපනයක්' වෙනුවෙන් කෙරෙන මේ කතිකාව මේ සියලු දෙනාට තම තමන් නියෝජනය කරන අන්තයන් පිළිබඳ නැවත සිතන්නට හොඳ අවස්ථාවක් යැයි සිතේ.


ගුරු තරුව වේදිකා නාට්‍යයෙන්....


සංවාද සටහන උපුටා ගැනීම ගුරුතරුව නාට්‍යයෙන් : 

මුල් ගුරුතුමා : 
ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය.නිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු විලාසිතාවක් නෙවෙයි.මහාවිහාරය ජේතවනය අභයගිරිය වගේ තක්සලාවලින් ඇරඹි , උතුරු මුල , දකුණු මුල , කපුරු මුල , වාද මුල , ගල්කුළු මුල , විල්ගමුව , මහනෙත්පාමුළ වැනි නිකායානුබද්ධ විද්‍යාතනය ඔස්සේ විකාශනය වෙලා  පැපිළියානේ සුනේත්‍රාදේවී , කෑරගල පද්මාවතී , තොටගමුවේ විජයභා , රයිගම ගණානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිනාමය වෙච්චි නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා.ඒ විතරක්ද. මේවායින් කලා කෞෂල්‍ය , විද්‍යා විශාරදත්වය , දියදම්වේදය , මානව හිතවාදීත්වය ඈ නන්වන් සිප් සතර හදාරන්නත් අවස්ථාව තිබුනා.

නැටුම් ගුරුතුමා :
මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය ,  මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

මුල් ගුරුතුමා : 
අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ 

ඉංග්‍රීසි ගුරුතුමා
එහෙමවත් අවස්ථාවක් ලබා නොදුන්න නම් ද ඉතුරු වෙයි මේ විදියටවත් අධ්‍යාපනය.

මුල් ගුරුතුමා : 
ඉතුරු උනා තමයි. අනේ අපේ අර සරණ හෙළයාගෙන් නිදහස් අධ්‍යාපනය ගිලිහිලා .දත් - නොදත් , ඇති- නැති ,හැකි-බැරි ,දග්ධ-විදග්ධ පරතරය තවත් වැඩි වුනා.ගැතිවාදී සුළුතරය වරප්‍රසාදලාබීන් උනා.අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනා පල්ලම් ගහන විජ්ජාවක් උනා.

ඉතිහාස ගුරුතුමා
විජ්ජාවක්.විජ්ජාවක්කියනකොට ඉතිහාස ගුරුවරය හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විජ්ජාවම පෙන්නපු ඉන්දියාව.1935 දී භාරතයේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රවියෙල් මැකොල් සාමිවරය කිව්වේ මොකක්ද ? පාලකයන් වන අප සහ ලක්ෂ සංඛ්‍යාත වූ රට වැසියන් යා කරන අතරමැදි තෝල්කයන් විය හැකි පිරිසක් , ඒ කිව්වේ ලෙයින් සහ පාටින් භාරතීයන් වූ සංකල්ප , ආකල්ප හා සදාචාරය අතින් ඉංග්‍රීසීන් වන පන්තියක් අප විසින් සැකසිය යුතුය කියල.අපේ පුංචි ලංකාවේ කලු සුද්දො බිහි වුනේ ඔය ආකාරයට නොවේද ?

නැටුම් ගුරුතුමා :
ගැල් කරුවා ගොනා හික්මවන්නේ ගමන යා ගන්න මිසක්කා ගෙරියාසනසන්න නෙවෙයිනේ.ඉතිහාසෙත් ඕව සිද්ධ වෙනවා.  

ඉතිහාස ගුරුතුමා
ඉතිහාසය.ආන්න.ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගරු අධ්‍යාපන ඇමති වශයෙන් පත් වුනු ආචාර්‍ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ශ්‍රීමතානෝ

මුල් ගුරුතුමා : 
ඒ කිව්වේ අපේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය  

ඉතිහාස ගුරුතුමා
සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය අධ්‍යාපන වරම් පියවරෙන් පියවර කෙමෙන් පීඩිත පන්තිය අතරට විහිදිමේ මහා විප්ලවය ආරම්භ කලේ.

මුල් ගුරුතුමා : 
එදා 1944 මැයි තිස් වෙනිදා අධ්‍යාපන සංශෝෂන ආඥ්ඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ කන්නන්ගර මැතිතුමා ඉදිරිපත් කලේ මෙහෙමයි.තෝම්ස් ග්‍රේ කියන කවියගේ පද හතරකුත් ගායකා කරමින්.මෙන්න හෙහෙම  

සංගීත ගුරුතුමිය :
නොයනා හිරු රැස් සිතු ගැබ පතුලට
අගනා මිණි රැස් අඳුරෙම සැඟවෙත
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළඟින් වනයෙම පරවෙත

විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැලවී සුවඳ අහිමි වී යන නයින් ඈත පිටිසරයේ දිළිඳු ගොවි පවුලක පොල් අතු සෙවනේ ඉපදී බුද්ධියේ සහ භාග්‍යයේ එළිය නොලබා නිවී මිලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහිකල යුතුය.

නැටුම් ගුරුතුමා :
හැබැයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව් එදා එහෙම කිව්වට මොකද ගස් බැලයන්ට අධ්‍යාපනය දුන්නම ගමේ පොල් කඩන්නේ කවුද කියපු ජාතික වීරයොත් එදා හිටිය.

මුල් ගුරුතුමා : 
ඒ ගඩොල් වීරයො.

ඉතිහාස ගුරුතුමා
ගඩොල් කියනකොට එදා කන්නන්ගර උන්නැහේ මෙහෙමත් කියල තියෙනව. "ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකවරුනි.එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුව .මා එනවිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරි කර ආවේ කිරි ගරුඬ රෝමයකි කියල.අන්න ඒ වගේ අපි යන විටත් මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවාය, වසා මුද්‍රා තමන ලද පොතක් මෙන් තිබූ අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කලාය,ධනවතුන්ගේ වරප්‍රසාධයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායාදයක් බවට පත් කලාය කියල උදම් අනන්න පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍රණ සභව,ඒක කොයි තරම් අගේද  " කියල

ඉංග්‍රීසි ගුරුතුමා
ඔව් එදා ඒ හිතපු දේ අද ඉෂ්ඨ වෙලා තියවනද කියන එකයි ප්‍රශ්නේ ඉස්කෝලෙ මහත්තයෝ.

නැටුම් ගුරුතුමා :
ඉෂ්ඨ වෙලා නැත්නම් අපි ඒක ඉෂ්ඨ කරගන්න ඕන

මුල් ගුරුතුමා : 
කොහොමටත් කන්නන්ගර මහත්තයගේ යෝජනා නිකන්ම සම්මත උනෙත් නෑ.බාධක වැට කඩොළු බොහොමයක් තිබුනා.යන්තම් හරි අත හිත දුන්නේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ හිටපු හේරත්නායක , ඊ.ඒ නුගවෙල , එස්.ඒ වික්‍රමසිංහ ආචාර්ය එන් එම් පෙරේරා යන මහත්වරුන් කියන වග මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි....
අපේ මේ උදා රැස්වීම දේශපාලන රැස්වීමක් වුනාදෝ කියල මට හිතෙනව.
කොහොමටත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නෑනේ.

ඉතිහාස ගුරුතුමා
හැබයි අධ්‍යාපනයෙන් තොර දේශපාලනඥ්ඥයො නම් ඉන්නව.

නෑ මම කිව්වේ ඉඳල තියෙනව.
..........................................
සටහන
-කැලුම් නිරංජන

Tuesday, April 3, 2012

LLRC කඩතුරාවෙන් වසන්නට තනන, ජිනීවා බලහත්කාරයේ අඳුර විනි

0 comments
පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුව තුලදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් යෝජනාව සම්මත වීමත් සමගම අවදියෙන් සිටින බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.යෝජනාව සම්මත වීමට ප්‍රථම සිටම ඇතිවූ සංවාදය තුල පවා ප්‍රධාන මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටින ධාරාවන් දෙකක් පැහැදිලිව හඳුනා ගත හැකි විය.
එක් පාර්ශවයක් මෙය බියකරු බිල්ලෙකුගේ ආගමනයේ මුල් පියවර ලෙස දකිද්දී අනෙක් ප්‍රධාන කොටස මෙය එතරම් ගනන් ගත යුතු නැති හුදු කොලොප්පමක් එසේත් නැතිනම් නාඩගමක් ලෙස අර්ථ ගැන්විය.මේ අතර තවත් බොහෝ දෙනා මේ සංවාදය තුලදී මේ පිලිබඳ කිසිදු පැහැදිලි අදහසක් නොමැතිව හුදු ප්‍රෙක්ෂක මට්ටමේ සහභාගීත්වයක් පමණක් පෙන්වීය.ඒ කෙසේ වෙතත් ඇමරිකන් යෝජනා වැඩි චන්දයෙන් සම්මත වීමත් සමගම බොහෝ දෙනා තමන් කලින් දැරූ මතයෙහි නිරවද්‍යතාවය සහතික කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනු පෙනේ.එසේ කල නොහැකි බව වටහා ගත් පිරිස් කලින් දැරූ මතයෙන් අපගමනය වෙමින් මේ මොහොතේ තමන්ගේ න්‍යායපත්‍රයන්ට අනුකූල වන ලෙස තම මතය ගලප්පවා ගැනීමට තැත් කරනු පෙනේ.
මෙහිදී අපට වැඩිපුර ඇසෙන අදහස් කිහිපයක් මෙලෙස සරලව සටහන් කල හැක.
  1. “ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාව පිලිබඳ නිකරුණේ බිය වීමට කිසිම හේතුවක් නැත.එහි ඇත්තේ ආණ්ඩුව විසින්ම පත් කල LLRC කොමිෂන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙසය.ආණ්ඩුවත් එයට කැමති බැවින් ඇත්තටම ගැටුමක් නැත.ආණ්ඩුව මේ මොහොතේ බොරු බිල්ලෙක් මවා මේ සරල කරුණ මහමෙරක් කර පෙන්වන්නට උත්සාහ කරන්නේ ජනයා පෙලන සැබෑ ගැටලුවලින් අවධානය ඉවත් කිරීමටය.බොරු දේශප්‍රේමී කඩතුරාවෙන් තම නොහැකියාව වසා ගන්නටය. “
  2. “ශ්‍රී ලංකාව යුධ අපරාධ පිලිබඳ රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කර නොමැති බැවින් ‘විදුලි පුටු’ පෙන්වමින් කරන බොරුව, හුදු රඟපෑමක් පමණකි.(රනිල් වික්‍රමසිංහට පින් සිදු වන්නට ) අප රටට යුධ අපරාධ චෝදනා නැගිය නොහැක.”
  3. “ජිනීවා මානව හිමිකම්  යෝජනාව ඉතා බරපතල කරුණකි,ඉදිරියේදී අනතුරු රැසක මූලාරම්භය මෙයයි.රටේ ස්වෛරී භාවයට තර්ජනයක් මෙන්ම ආර්ථික සම්බාධක මෙන්ම අවසානයේ ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවේ ත්‍රස්ත විරෝධී සටන මෙහෙයවූවන් වැරදිකරුවන් වීමේ අවධානමක් ඇත”
  4. “මේක රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් විතරයි.ආණ්ඩුවේ අවසානයෙ ආරම්භයයි මේ.ලිබියාවේ වගේ ‘ජනතාව’ පාරට බහින දවස වැඩි ඈතක නෙවෙයි. ලෝකය පුරාම ‘ ඒකාධිපති ‘ නායකයන් නැතිවෙලා යන කාලයක් මේක.ඇමරිකාව හරහා උනත් කමක් නෑ මේ මහින්ද ගෙදර යවන්න පුළුවන් නම්”
  5. “මේක ආණ්ඩුවට ලැබුනු කනා චාන්ස් එකක්.ජනතා විරෝධය ආණ්ඩුවට එල්ල වෙද්දි ආයෙත් බොරු දේශප්‍රේමයක් උඩට අරගෙන ජනතාවගේ අවධානය වෙනතකට ගෙනියන්නයි මේ හදන්නේ.අපේ රටේ මිනිස්සුන්ටත් ‘දේශප්‍රේමය’ කියල කිව්වොත් ඕන බොරුවකට අහුවෙනව.”
මේ ජිනීවා යෝජනා සම්බන්ධව විවිධ කණ්ඩායම් දරන මතයන් වල සාරාංශයක් ලෙස සැලකිය හැක.මේ අදහස් කෙතෙක් දුරට සාධාරණද? කෙතෙක් දුරට සංගතද?

”නංගි පෙන්නා අක්කා දීම” - ජිනීවා යෝජනා උගත් පාඩම් ගැන පමණද?

ජිනීවා සමුළුවේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවේ එකම කාරණය උගත් පාඩම් කොමිෂන් වාර්ථාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම යැයි බොහෝ දෙනා දරන අදහසයි.විශේෂයෙන් අණ්ඩු විරෝධී කණ්ඩායම් වල මූලික ප්‍රකාශිත අරමුණ මෙයයි.ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ම පත් කල කොමිෂම් වාර්ථාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම අසාධාරණදැයි ඔවුහු පෙරළා අසති.එසේ අසාධාරණ නම් මෙම කොමිෂම පත් කලේ අහවල් දෙයකටදැයිද ඔවුහු අසති.මෙම කරුණු සැබෑද?
ඇමරිනක් යෝජනාව දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනෙන්නේ එය ‘උගත් පාඩම් යෝජනා ක්‍රියාත්මක කරන්න’ යනුවෙන් සඳහන් දවටනය ඔතා එවූ කාල බෝම්බයක් බවය.දවටනය ඉවත් කලද බෝම්බය එකවර පුපුරා නොයන බැවින් අනතුරක් නැතැයි කෙටි නිගමනයකට එලඹීමට ඉඩ වැඩිය.නමුත් ඇමරිකන් යෝජනාවේ අවධානයෙන් ඈත් කල ප්‍රධාන කරුණු කිහිපයක් මෙලෙස සඳහන් කල හැක
  • “පලාත්බදව බලය විමධ්‍යගත කිරීම පිළිබඳ දේශපාලන විසඳුමකට ඒම”
  • “අන්තර් ජාතික නීතිය බරපතල ලෙස උල්ලංගනය කිරීම පිලිබඳ උගත් පාඩම් කොමිෂමේ වාර්ථාව ප්‍රමානවත් අවධානය යොමු කර නොතිබීම ගැන කනස්සල්ල”
  • “උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ අඩංගු නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට මෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා ගැන කටයුතු කිරීමට රජය ගෙන ඇති හා ගන්නා පියවර….”
  • “ඉහත සඳහන් පියවර කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහය ලබාදීමට ශි‍්‍ර ලංකා රජය සමග කතිකා කරමින් හා සමගාමීව. මානව හිමිකම් කවුන්සිලය හා අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග සැපයීමත්…” [ උපුටා ගැනීම ඇමරිකන්  යෝජනාවෙන් ]
උගත් පාඩම් කොමිෂමේ අඩංගු ‘ජනතාව වෙත බලය ලැබෙන ක්‍රමයක් ස්ථාපිත කිරීම’ යන්න වෙනුවට ඇමරිකන් යෝජනාවේ ඇත්තේ ‘පළාත්බදව බලය බෙදන’ ලෙසය.මෙය වචන කිහිපයක වෙනසක් වුවත් අර්ථයෙන් ගත් විට බරපතල කරුනකි.පළාත්බදව බලය බෙදීම යන කාරණය පසුගිය දශක දෙක හමාරකට වැඩි කාලයක් තිස්සේ රටේ බරපතල ලෙස ප්‍රතිවිරෝධතා එල්ල වූ කාරණයකි.බොහෝ අවස්ථාවලදී මැතිවරණවලදී තීරණාත්මකව ඒ මතය බහුතරය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද්දකි.ආණ්ඩු ගෙදර යවන්නට ආණ්ඩු හදන්නටද තීරණාත්මක ලෙස වැදගත් වූ මෙම කරුණ LLRC යෝජනාවේ කරුණුවලටද පටහැනි වෙමින්  ඇමරිකන් යෝජනාවට ඇතුලත් වූයේ අත් වැරදීමකින් නම් නොවේ.ගම් සභා වැනි බොහෝ දෙනා එකඟ වන ක්‍රමයකට මෙම යෝජනාව හරහා යා හැකි යැයි සමහරු බලාපොරොත්තු වුවත් ඇමරිකාව එමගින් තෘප්තිමත් නොවන බව මේ ‘පලාත්බදව බලය බෙදනු’ යන වගන්තියේ “සැඟවුනු” අරුතයි. LLRC වාර්ථාවේ කරුණු පවා තමන්ට අභිමත ලෙස තම අරමුණු වලට අනුකූල වන ලෙස මෙලෙස විකෘති කර ඇත්තේ මෙරට බොහෝ දෙනාද සිතා සිටින පරිදි හුදු LLRC නිර්දේශ ඉටු වනු දැකීමේ පිවිතුරු චේතනාවෙන් නොව නොව බටහිර අභිමතය ඉටු කර ගැනීමේ බලහත්කාරයට අප කොටු කර ගැනීමටය.
‘අන්තර් ජාතික නීතිය බරපතල ලෙස උල්ලංගනය කිරීම පිලිබඳ උගත් පාඩම් කොමිෂමේ වාර්ථාව ප්‍රමානවත් අවධානය යොමු කර නොතිබීම ගැන කනස්සල්ල’ යනුවෙන් ඇමරිකන් යෝජනාවේ සඳහන්ව ඇත්තේ හුදු අවමංගල සභාවක ශෝකය ප්‍රකාශ කරනවාට වඩා එහා ගිය කරුණකි.කනස්සල්ලට පත් වීමෙන් මෙය අවසන්  නොවනු ඇත.ඇමරිකන් යෝජනාවේ 3 වැනි කරුණ ලෙස අඩංගු “මානව හිමිකම් කවුන්සිලය හා අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග සැපයීම” යන්න මගින් ආවරනය කරන්නට අපේක්ෂා කරන්නේ මෙම කරුණ බවට සැක නැත.එම විශේෂ ක්‍රියාමාර්ග කුමක්දැයි මෙම වාක්‍ය තුලින් පැහැදිලිව නොපෙනුනත් ඇත්ත කාරණය වන්නේ මේ කමිටුවට රටවල් කිහිපයකින් නියෝජිතයින් පත් කර , මොවුන් ලංකාවට පැමිණ ඉදිරිපත් වන පැමිණිලි විභාග කර ඒ පිලිබඳව ලංකාවේ රජය ගන්නා පියවර සෑහීමකට පත් නොවන බවට කරන නිර්දේශ හරහා අන්තර්ජාතික මැදිහත්වීමේ දෙවනි වටය ආරම්භ කිරීමට පොට පාදා ගැනීමට “විශේෂ කි‍්‍රයාමාර්ග සැපයීම”යන්න භාවිතා කරනු ඇත යන්නය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ වෙබ් අඩවියේ  මෙම ‘විශේෂ ක්‍රියාමාර්ග’ (Special Procedure) පිළිබඳ පැහැදිලි විස්තරයක් දක්වා ඇත.
“උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ අඩංගු නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට මෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා ගැන කටයුතු කිරීමට රජය ගෙන ඇති හා ගන්නා පියවර විස්තරාත්මකව දක්වන පරිපූර්ණ කි‍්‍රයාකාරී සැලැස්මක් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.”[ඇමරිකන් යෝජනාවේ දෙවන කරුණ ]
මෙහිදී පැහැදිලිව පෙනෙන්නේ උගත් පාඩම් කොමිෂම් යෝජනාවලින් පමණක් මේ ඇමරිකන් යෝජනාවට පිළිතුරු දිය නොහැකි බවය.එයත් සමගම ‘ජාත්‍යනතර නීති උල්ලංගනය’ට අදාලවද කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.මෙය හුදෙක්ම LLRC යෝජනාම නොවේ යැයි නිගමනය කල හැක්කේ මෙම කරුණු හෙතුවෙනි.වැදගත්ම කරුණ වන්නේ මෙම ඊනියා ‘ජාත්‍යන්තර නීති උල්ලංඝනය’ යන්නෙන් අදහස් කරන්නේ වෙනකක් නොව ත්‍රස්ත මර්දන සටනේ අවසන් අදියරේ ත්‍රස්තයන් සමූලඝාතනය කිරීමේ ‘වරද’යි.
මේ කරුණු අනුව පෙනී යන්නේ ජිනීවා සම්මත යෝජනාව හරහා සිදු වී ඇත්තේ උගත් පාඩම් කොමිසම නංගි පෙන්නා යුධ අපරාධ නැමති අක්කා දීග දීමට බටහිරයන් කටයුතු කරමින් සිටින බවය,’ජිනීවා යෝජනා හුදු LLRCයෝජන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් පමනි,සහ රජයද එයට එකඟ බැවින් මෙය යෝජනා ඉටු කිරීමේ කාල වකවානු පිලිබඳ සරල සුමට ගැටුමක් පමනි’ යනුවෙන් පලවන අදහස් ගැඹුර අමතක කර හුදු මතුපිට ස්පර්ශයෙන් එලඹි සදොස් සහගත නිගමනයක් බවය.

රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීමෙන් මුක්තිය ලැබේද?

ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීමට එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ විදුලි පුටුවට ගෙන යැමට නොහැකි බව බොහෝ විපක්ෂ මතධාරීන් අතර ප්‍රචලිත අදහසයි.මෙහි සැබෑවක් තිබේද?රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම නිසා අපට මුක්තිය ලැබේද?
රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ වගකීමක්  නොව,එවකට ඔහු අගමැතිවරයා පමනක් බවත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එකඟවන්නේ අගමැතිවරයා නොව විධායක ජනාධිපතිවරයා බවටත් නීති විශාරදයන් මතු කරන කරුණ ඉවත ලිය හැක්කක් නොවේ.එම කරුණ කෙසේ වෙතත් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකල පමණින් අපට මුක්තිය නොලැබෙන බවට ජාත්‍යත්වර උදාහරණ බොහොමයකි .සුඩානයේ හිටපු  ජනාධිපති ඔමාඅල් බාෂිර් ,  ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්  , යුගොස්ලෝවියාවේ  ස්ලොබොදාන් මිලසොවිච් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට ගෙන එන්නේ ඔවුන් රෝම ප්‍රඥ්ඥප්තිය අත්සන් නොකර තිබියදීය.
එසේ වන්නේ රෝම ප්‍රඥ්ඥප්තිය තුලම එය අත්සන් නොකල රටවලට අදාල වන සේද වගන්ති අඩංගු කර ඇති බැවිනි .එහිදී  අපරාධ නඩු මෙහෙයුම්කරුට (Prosecutor) අභිමත ලෙස පරීක්ෂණ පවත්වා මූලික නඩු විභාග මණ්ඩලය වෙත යෝජනාවක් යොමු කිරීමට බලයක් තිබෙන බැවින් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම මගින් අප සුරක්ෂිත යැයිද අපට මුක්තිය ලැබේ යැයිද කරන ප්‍රකාශ දේශපාලන වේදිකාවට පමණක් සෑහෙන ඉන් එහාට වලංගුභාවයක් නොමැති කරුණකි.
මේ කරුණු අනුව ජිනීවා සම්මත යෝජනා යනු උගත් පාඩම් කොමිසම නැමති නංගි පෙන්නා යුධ අපරාධ නැමති අක්කා දීග දීමට බටහිරයන්ගේ අරමුණ බව අප වටහා ගත යුතුය.උගත් පාඩම් කොමිසමෙන් බාහිර කරුණු නොසලකා හැරියත් ඇමරිකන් න්‍යායපත්‍රයට අනුකූලව ඒවා ඉටු කිරීමට අප බැඳී නැත. මෙය රටේ අභ්‍යන්තරව පත් කල කොමිෂමකි.එහි යෝජනා ඉස්පිල්ලක් පාපිල්ලක් හැර ඉටු කිරීමේ හැකියාවද රජයට නැති වන්නට ඉඩ ඇත.සියලු යෝජනා ක්‍රියාත්මක කල යුත්තේ අපගේම යාන්ත්‍රණයක් හරහා පමණි.අන්තර්ජාතික කල්ලි කණ්ඩායම්වල බලහත්කාරයට යටත්ව ඒවා ඉටු කල යුතු නැත.සංහිඳියාව ඇති කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙරටට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

ඉදිරි අනතුර  
ඇත්තටම යකා හිතනතරම් කලු නැද්ද?
මේ යෝජනාව සම්මත වූවාට අපට සිදුවන කෙංගෙඩියක් නැතැයි පවසන්නන් වටහා ගත යුතු කරුණ නම් ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බවය.මේ යෝජනාවෙන් එකවර ආර්ථික සම්භාධක හෝ හේග් නුවර යුධ අධිකරණය වෙත ත්‍රස්ත මර්දන මෙහෙයුමට සහභාගීවූවන් දක්කාගෙන නොයනු ඇත. නමුත් කෙමෙක් කෙමෙන් පියවරෙන් පියවර හරකා වැට පනින්නේ පොල් පැලය කන්නට බව වටහාගැනීමට අංජනම් බැලිය යුතු නොවේ.උගත් පාඩම් නිර්දේශ හා අනෙකුත් අමතර කාරනා ඉටු කරන තැනට රට පත් කිරීමටත් ඒවා හැසිරවීමේ බලය ඇමරිකාව අතට ගැනීමටත් ඒ හාරහා තමන්ට අවශ්‍ය තැනට රට පත් කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව බවට සැක නැත.ඒ අතරතුර හැකිනම් ජනතා විරෝධය අවුලුවන ඊලම් පිපාසය සංසිඳෙන පන්නයේ 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන අසමමිතික බලය බෙදීමක් උතුරු හා නැගෙනහිරට ලබා දීමට බල කෙරෙනු ඇත.එමගින් ඊළාම් පිපාසය සංසිඳවන ගමන්ම රට බෙදීමට එරෙහි ජනතා විරෝධය අවුළුවා තමන්ට අභිමත නොවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම ලෙස වූ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ උත්සාහයද අත් නොහරිනු ඇත.ආණ්ඩුව තම දඬු අඬුවට කැමැත්තෙන් හසු නොවන්නේ නම් අතරමගදී ආර්ථික සම්බාධක වැනි උත්සාහයන්ද අත් හදා බලනු ඇත.
කෙසෙ වුවත් මේ ජිනීවා අනතුර හමුවේ ආණ්ඩුවේ හැසිරීමේ සද්භාවයක් ඇත්ද?බටහිර බලපෑමේ බරපතලකමට  සාපේක්ෂව ආණ්ඩුවේ සද් භාවය සෙවීම මේ මොහොතේ තේරුමක් නැති දෙයක් යැයි යමෙකු පවසන්නට ඉඩ ඇතත් ජිනීවා අනතුර දඩමීමා කරගෙන තම අසමත්කම් වසා ගැනීමට ආණ්ඩුවේ අපෙක්ෂාවක් ඇතැයි කිසිවකු චෝදනා නැගුවහොත් එය සම්පූර්ණ මුසාවක්ම නොවේ.ආණ්ඩුව මේ මොහොතේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් පහදා ඉදිරි අනතුරක් ඇත්නම් ඒ වෙනුවෙන් ජනතාව සූදානම් කල යුතුය.කාර් රේස් පැද හෝ දඩ බල්ලන්ට නිදැල්ලේ වීදි බසින්නට ඉඩ දී නම් මේ අභියෝගයෙන් ගොඩ ඒම උගහටය.ආණ්ඩුව කල යුත්තේ ජාත්‍යන්තර මිතුරු පාර්ශව හරහා බටහිර බලපෑමෙන් මිදෙන අතරතුර අවම වශයෙන් අහරින් වත් ස්වයංපෝෂිත  වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග (සංදර්ශන වලින් එහා ගිය වැඩපිලිවෙලක් හරහා ) ගැනීමය.තමන්ගෙන් ඇස් පනාපිට සිදුවන කළමනාකරණ දුර්වලතා මෙන්ම දේශපාලන ජඩකම් විචාරශීලීව දැනුවත් මනසින් විමසා බලා ඒවා නිවරදිකරගැනීමය.ඒ හරහා තමන්ගෙන් ඈත් වෙමින් සිටින ජනතා කැමැත්ත නැවත එකම එකම අරමුණක්  වටා එකතු කිරීමය. සාධාරණය  ඇති සමාජයක් ගොඩනැගෙන බවට විස්වාසය මෙරට තුල මුලින් ස්ථාපිත කිරීමත් එම අරමුණට බාධාවන සියලු සාධක පුද්ගලයා කවුද යන්න  නොසලකා ඉවත් කිරීමත් එමගින් වක්‍රාකාරයෙන් බටහිර මෙහෙයුමට නිද්‍රාශීලීව සහයවන තත්වයට ජනතාවට ලැබෙන ඉඩ අහුරා දැමීමද වහ වහා කල යුතුව ඇත.
බටහිර දඬු අණුවට හසුව ආරාබි වසන්තය පන්නයේ විනාශයකින් මේ නෙයියාඩගම කෙලවර නොවී මේ නැගී ඇති මේඝ වලාවෙන් රිදී ඉරක් මතුකරගත හැක්කේ එලෙස පමණි.

-කැලුම් නිරංජන
 ලංකාසීනිවුස් වෙබ් අඩවිය පල කරන ලද ලිපියකි
2012-04-02

Monday, February 27, 2012

දියරෙද්දෙන් බෙල්ල කැපීමට පෙර....

0 comments
මානව හිමිකම් වෙස් මුහුණුකරුවන්ගේ ජිනීවා බලහත්කාරය ….

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 27 වනදායින් ඇරඹී මාර්තු 23 දක්වා මුළු දීමට නියමිතය. පසුගිය වාරයන්ට වඩා මෙම සමුළුව රටක් වශයෙන් අපට තීරනාත්මක වන්නේ මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සමුළුව හරහා සම්මත කර ගැනීමට ඇමරිකාව පෙරටුකරගත් බටහිර රටවල් සහ ඔවුන් සමග එක ගෙයි කන කොටි ත්‍රස්තවාදයේ ඉතුරු බිතුරු කල්ලිය වන කොටි ඩයස්පෝරාව අර අඳිමින් සිටින බැවිනි.(පාරභෞතික සිහින රාජ්‍ය ආදී සෙල්ලම් ගෙවල් තැනීම හැර මේ ඊනියා ඩයස්පෝරාවට තනිව කල හැකි යමක් නැත.කොටි සංවිධානයට මෙන්ම මේ කොටි ඩයස්පෝරාවටද ඇති එකම සරණ බටහිර සරණ පමණි ) .2009 දී මෙලෙසම ගෙන ආ යෝජනාව වැඩි චන්දයෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවත් මෙවර ඇමරිකාව එලිපිට පොරපිටියට පැමිණ ක්‍රියාත්මක වනු පෙනේ.
 

මෙහිදී ප්‍රධාන වශයෙන් අපට නැගෙන චෝදනාව නම් අපගේ රටේ මානව හිමිකම් 'ප්‍රශස්ථ' මට්ටමකට ගෙන ඒමට රජය අපොහොසත් වී ඇති බවය.මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආදිය අතුරු මුහුණතේ දැක්වුවත් ඇත්තෙන්ම යටින් ඇත්තේ තිස් වසරක යුද්ධය අවසන් කිරීමේදී ඔවුන්ගේ බාධා කිරීම් නොසලකා ක්‍රියා කිරීමයි.කෙටියෙන් කිවහොත් බටහිර මතයට සමගාමී නොවී කොටි ත්‍රස්තවාදය සමග අතරමැදි සමාදානයකින් තොරව ත්‍රස්තවාදයට එයට තේරෙන භාෂාවෙන් පිලිතුරු දීමේ වරදය. එමගින් ඔවුන්ගේ බලපෑමට හසු කර ගැනීමට භාවිතා කල ඉත්තා දාන් පෙතෙන් ඉවත් කිරීමය.මේ ගන්නට සැරසෙන්නේ ඒ වාඩුව බව දැන් දැන් හොඳින්ම පැහැදිලිය.

ඊනියා මානව හිමිකම් බෝඩ් ලෑලට මුවා වී මෙලෙස රටවල් වල අභ්‍යන්තර ගැටළුවලට සෘජුව ඇඟිලි ගැසූ ඇමරිකාව විශේෂයෙන් පසුගිය දශකය පුරාවට පමණ ලෝකය පුරා ඉතිරි කර ඇත්තේ අසරණ කම ,  මරණය සමග ලේ පැල්ලම් පමණි.'මානව හිමිකම්' යන්නට ඇති අර්ථකතනය වෙනස් කල යුතු තරමට ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් එය නිරුවත්ව කෙලෙසා හමාරය.

ඉරාකයේ පමණක් ඊනියා න්‍යෂ්ඨික අවි සෙවීමේ 'මානව ප්‍රේමයෙන්' යුතුව කල ආක්‍රමණය නිසා පමණක් එරට අහිමි වී නිරායුද සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව පමණක් ලක්ෂ හය ඉක්මවා ගොස්ය.එපමනක් නොව අරාබි වසන්තය හරහා ලිබියාව දක්වා දස දහස් ගනන් මිනිසුන් බලු කපුටන් සේ මැරී ගියේත් අද දක්වා අනවරතව මැරී යන්නේත් මේ මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බටහිරයන් කල 'මහා පුණ්‍ය කර්මයට' පින් සිදු වන්නටය. ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් වැනි මහේශාක්‍ය වචන අස්සේ සැඟවී එන්නේම ඔවුන්ටම උරුම තිරිසන් ම්ලේඡ්ඡත්වය සහ තාඩ බලහත්කාරය බව වටහා ගැනීමට ලොව පුරා ලක්ෂ සංඛ්යාත අහිංසකයන්ගේ ජීවිත වන්දිය හොඳටම ප්‍රමාණවත්ය. මානව හිමිකම් අහිමි වීම් ,ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම් වැනි අසාධාරණකම්වලට පිළිතුරු ලෙස ලැබී ඇත්තේ කාලකණ්නි අසරණබාවය සහ ජීවිත අහිමිවීම් පමණි. එදා තමන් අසාධාරණ යැයි සිතා එරෙහි වූ සමාජය නිදහස් සුරපුරක් යැයි සිතෙන තරමේ අවීචියකට තමන් අද වැටී ඇති බව දිනපතා කුඩුපට්ටම් වී අහිමිවන තම සමීපතමයන්ගේ මරණ හරහා ඒ මිනිසුන්ට ඒත්තු ගොස් ඇතිවාට සැක නැත. මවා පෙන්වූ වසන්තයේ මායාටව දෑස් අන්න්ධ වූ තරම වැටහෙන විට ප්‍රමාද වැඩිය. තමන් පෙලූ රකුසන්ටත් වඩා දස දහස් වරක් ගොරහැඬි ම්ලේච්ඡ තිරිසනුන්ගේ දියරෙද්දෙන් බෙල්ල කැපීමට තමන්ද හසු වී හමාරය. එයට එරෙහිවද ඒ ම්ලේච්ඡයන්ම සැපයූ උණ්ඩවලින් මලානික ,දියාරු සටනක් දීමට තැත් කලත් රකුසන්ගේ බලය හමුවේ එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දැන් වන විට වැටහී ඇත.
 

අප වඩාත් විචක්ෂණෂීලී විය යුත්තේ මෙබැවිනි.ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් සමුළුව හමුවට යෝජනාවක් ගෙන එන්නට බටහිරයන් දත කන්නේ මෙවැනි වටපිටවකය. මුලින් මෙලෙස මානව හිමිකම් සමුළුව හමුවට ගෙන එන යෝජනාව පසුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ඉදිරිපත් කරන යෝජනාවක් ලෙසත් ඒ හරහා මෙරට සිදී වී ඇතැයි පැවසෙන ඊනියා මානව හිමිකම් අහිමිවීම් පරීක්ෂණයට ජාත්‍යයන්තර කල්ලියක් පත් කිරීමටත් එයට එරෙහි වන්නේ නම් සම්බාධක හරහා කෙමෙන් කෙමෙන් අවසානයේ හේග් නුවර අධිකරණය හමුවේ මෙරට යුද්ධය මෙහෙයවූ සේනාධිනායකයා ඇතුලු බලධාරීන්,නිළධාරීන් වැරදිකරුවන් කිරීමටත් යොමු වන බව පැවසීමට අංජනම් බැලිය යුතු නොවේ.ඒ අතරමගදී අවශ්‍යනම් කොටි බෙදුම්වාදී ඉල්ලීම් ඉටුවන සංශෝදන කරා රට තල්ලු කිරීමත් ඒ හරහා ඇති වන තත්වයන් ඔස්සේ තමන්ට හීලෑ පාලනයක් මෙරට ඇති කර ගැනීමත් අතුරු පල ලෙස බලාපොරොත්තු වනවා වන්නට පුළුවන. එය වැලකීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා උදම් අනන 2003 රෝම ප්‍රඥ්ඥප්තියට සම්පූර්ණයෙන් එකඟ නොවීම ප්‍රමාණවත් වේද? කොසොවෝ යුද්ධයේදී සිදුවූවා යෑයි බටහිරයින් පවසන යුද අපරාධවලට වරදකරු වූ සර්බියානු හිටපු ජනපති ස්‌ලොබොදාන් මිලසොවික්‌ගේ ක්‍රියාකලාපය ඇමරිකාවේ සිතුම් වලට අනුගත නොවීය. කොසොවෝ ත්‍රස්‌තයන්ට එරෙහි හමුදා මෙහෙයුම් නවත්වන්නට අපට මෙන් නොව නේටෝ ගුවන් ප්‍රහාර පවා එල්ල විය. ඇමරිකාව මිලසොවික් ට එරෙහිව වරෙන්තු නිකුත් කල අතර ඊලඟ මැතිවරනයෙන් පරාජය වූ මිලසොවික් අල්ලා එක්‌සත් ජාතීන්ට භාර දුන්නේය ඊලඟට පත්වූ ආණ්ඩුවයි. මිලසොවික්ට හේග් නුවර ජාත්‍යන්තර යුධ අධිකරණය නඩු පැවරූ යුධ අපරාධවලට වැරදිකරු වූ අතර සිරගතව සිටියදී 2006 දී හදිසියේ ඔහු මරණයට පත්විය.අද බටහිරයන් තැත් කරන්නේ මිලසොවික් සිද්ධියේ පුනරුපණයකටද?

ලංකාවට එරෙහි යෝජනා හමුවේ "ඔය යෝජනා ගේන්නේ නිකන්, ඇමරිකාව වගේ රටක් අපිට ලොකු හානියක් කරන්න එන්නේ නෑ.මොකද අපි වගේ පුංචි රටකින් එයාලට ගන්න දෙයක් නෑ.ඔන්න අඩු තරමෙ තෙල් වත් තිබුනනම් එහෙම වේවි" ආදී ලෙස අදහස් දක්වන්නන් බොහෝ දෙනෙක් ඊනියා දැනුවත් මිනිසුන් සිටින්නේ යැයි පවසන නගර ආශ්‍රිතව අපට හමුවේ . විශේෂයෙන්සයිබර් අවකාශයේ එවැන්නන්ගේ හඬ උස්ව නැගේ. මොවුන් බහුතරය 'ගොස්ප් අඩවි' වල 'දැනුම' තුලින් දේශපාලන විචාරකයන් වූවන් පමණක්ම නොවේ. අඪිරාජ්‍යවාදයේ ආර්ථික සංරචකය ගැන දාර්ශනික කතිකා වලට හවුල් වන මහා උගතුන්ද මේ අතර බහුලය. අධිරාජ්‍යවාදයේ දේශපාලන සංරචකයට එරෙහි නොවන මේ ප්‍රබුද්ධයන් එහි ආර්ථික බලහත්කාරය වියුක්තව ගෙන ගිරිය යටින් මොර දෙනු බොහෝ තැන්වල පෙනේ. 

තවත් කොටසකගේ අදහස නම් මෙය මේ ආණ්ඩුවේ හුදු ගැලවිජ්ජාව වෙනුවෙන් මේ අවසාන මොහොතේ ගැසූ තුරුම්පුවක් බවය. රටතුල කළමණාකරන ගැටළු හමුවේ කරවටක් ගිලී සිටින ආණ්ඩුව තම බල පැවැත්ම තහවුරු කර ගැනීමටත් ප්‍රතිවිරෝධතාවයන් සමනය සඳහා නැවත සුපුරුදු 'දේශප්‍රේමී' ආවේශයට ජනතාව පත් කිරීමට සැරසෙන බවය. එමගින් හේ හොස් ඇති ආණ්ඩුවේ දේශපාලන ගමන නැවත වටයකින් ශක්තිමත් කර ගැනීමට බවය. එම අදහස මතුපිටින් බැලූ කල යම් සත්‍යතාවයක් ඇතැයි පෙනුනත් බටහිරයන් මේ මොහොතේ ක්‍රියාකරන අති ක්‍රියාකාරී සහ ඉලක්කසහගත වැඩපිළිවෙළ හොඳින් නිරීක්ෂණය කල විට පෙනී යන්නේ එම මතය අතිශය දුර්වල සහ තම තමන්ගේ හෘද සාක්ෂිය රවටා ගෙන මේ බලහත්කාරයට එකඟ වීමට විරෝධාකල්පිකයන්ගේ මනස සකස් කගැනීමට ඉදිරිපත් කරන දියාරු අදහසක් බවය. (බටහිරයන්ගේ මේ අරභයා ක්‍රියාකාරීත්ව කෙසේද යන්න කිනීවා නුවර සමුළුව ආරම්භ වීමට පෙර සිටම පෙනී යයි.උදාහරණයක් ලෙස කුප්‍රකට දරුස්මාන් වාර්ථාව සැකසීමට උර දුන් සාමාජිකයකු දැන් පටන්ම සාමාජික රටවල් වලට 'තෙල බෙදීම' ආරම්භ කර ඇතැයි වාර්ථා වේ. )
 

මෙවැනි තත්වයක් හමුවේ මේ මොහොතේ සියලු දෙනා රට වෙනුවෙන් එක මතයක සිට ගැනීම හරහා සාමාජික රටවලට දිය හැකි පණිවිඩයක් තිබේ. එනම් රටක් වශයෙන් ත්‍රස්ත යුද්ධය වෙනුවෙන් සිදු කල කාර්යභාරය වෙනුවෙන් කිසිඳු අයුරක වැරදිකරුවකු වීමට අප සූදානම් නැති බවය.එය ජාත්‍යන්තරයට අපට දිය හැකි හොඳම පණිවිඩයයි.ශ්‍රී ලංකාව දෙසට මිත්‍ර පාක්ෂික රටවල අවධානය කෙලින්ම යොමු කරගත හැකි වන්නේ එවිටය.එසේ නැතිව බටහිරයන් ගේ මානව හිමිකම් කෙඳිරිය උන්ටත් වඩා උස් හඬින් මෙහි සිට නගන්නන්ගේ හඬ ඉස්මතු වුවහොත් සිදුවන්නේ එම මිත්‍ර පාක්ෂික රටවල මතය පවා යළි දෙවරක් සිතන තැනට වැඩ සැලසීමය. 
අනෙක් පසින් තර්ක කරන ආකාරයට එමගින් මේ මොහොතේ අසාර්ථකවීම් රාශියක් පෙන්නුම් කරමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව වක්‍රාකාරයෙන් ශක්තිමත් වීමක් බව අසත්‍යක් නොවේ. නමුත් ආණ්ඩුව ශක්තිමත් වේ යැයි කියා ඊට වඩා සිය දහස් ගුණයක බරපතල අවධානමකට රට ලක්වන්නට ඉඩ හැර නිකමුන් සේ කාලකණ්නි සතුටක් ලැබීම මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට සමානය. ආණ්ඩු විරෝධයක් තිබීම අත්‍යවශ්‍යය. නමුත් එය පරාජ්‍ය විරෝධයෙන් පැහැදිලිව වෙන් කර ගත යුතුය.නමුත් අවාසනාවටදෝ අද වැඩිපුර සිටින්නේ ආණ්ඩු විරෝධීන් නොව. රටට එරෙහි ජුදාස්ලාය. මේ ජුදාස්ලා ආරක්ෂාව පතා සැඟවී සිටින්නේ වියුක්ත ආණ්ඩු විරෝධීන්ගේ සෙවනේය. ආණ්ඩු විරෝධීන් ඉදිරියට දමා මේ ඉලකයක් ඇති ජුදාස්ලා අසාර්ථක කරන්නට ,පලිගන්නට පාවා දෙන්නට සැරසෙන්නේ රටෙනි.ඒ වෙන කිසිවක් නිසා නොව තමන්ගේ ආශිර්වාදය ලද ත්‍රස්තවාදීන් නන්දිකඩාල්වල ගිල්වීමේ වරදටය. (මෙය හොඳින්ම නිරීක්ෂණය වන්නේ මෙම ජිනීවා මෙහෙයුමේ ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරන්නේ මෙරට සාම වෙළඳුන් වූ සරවනමුත්තුලා සහ මාධ්‍ය වෙළඳුන් වූ දේශප්‍රියලා වීමයි.)බටහිරයන්ගේ අභිලාෂය සමග මොවුන්ගේ අබිලාෂයන් ටක්කෙට පෑහේ. බටහිරයන්ගේ මතයට සමගාමී නොවී හිතුමතේට කොටි ත්‍රස්තවාදය පැරදවීමේ 'හිතුවක්කාරකමට' දඬුවම් කිරීම ඔවුන්ගේ අභිලාෂයයි. තමන්ගේ ඉත්තා වැනසීමේ 'පාපකර්මය ' වෙනුවෙන් සේනාධිනායකයා ඇතුළු ආරක්ෂක හමුදා නායකත්වය දංගෙට යවන තෙක් මෙම ලුහුබැඳීම අනවරතව පවතිනු ඇත.නමුත් "මේ වන්දිය ගෙවන්නේ මහින්ද රාජපක්ෂනේ.අපේ තෙල් ටිකේ මිල වැඩි කරපු ඕකට ඔහොම වෙලා මදි" යැයි සිතා කාලකණ්ණි සතුටක් ලැබීමට මිනිසත්කම කඳුලක් හෝ ඇති මිනිසුන්ට නොහැක්කේ මේ මිනිසුන් ජාත්‍යන්තරය හමුවේ වැරදිකරුවන් වී සිටින්නේ එලෙස සතුටු වන්නන් ඇතුලු සමස්ථ රටේම මරන බිය නැති කිරීමේ මහා පුණ්‍ය කර්මයට වන බැවිනි.
 

මේ අන්තර්ජාතික මෙහෙයුමට සමගාමීව තවත් පෙරමුණක් අරාබි වසන්තය පන්නයේ මෙහෙයුමකින් මෙරට බලය ඇල්ලීමේ සිහිනයක සිටිනු පෙනේ. මේ සිහින රැලි ගැන සිහින මවා ඒවාට ජය පතන්නේ මළ මිනී සහ විනාශයන් තුලින්ම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට මාන වලන කල්ලි සහ ඊයේ පෙරේදා කපටී සූට් එක හැඳි දේශපාලන ළදරුවන්ය. මේ සියලු දෙනාට සිහින දැකීමට ඇති 'මානව අයිතියට' බාධා නොකරමින් සවිඥ්ඥාණික ජනයා රට හමුවේ මේ මොහොතේ ඇති අභියෝගය නිසි බරින් අවබෝධ කරගත යුතුය. කතිරයෙන් නම් මහින්දට එරෙහි වීමට එදා මහින්දට චන්දය දුන්නවුන් පවා අද සූදානම් වුවත් හේග් නුවර දංගෙඩියට දක්කන බටහිර ත්‍රාඩ බලහත්කාරයට එරෙහිව එක මතයකට පැමිණීමට එම ප්‍රතිවිරෝධතා බාධාවක් කරගත යුතු නොවේ.එය අපගේ යුතුකමයි-වගකීමයි.
 

කැලුම් නිරංජන
2012-02-25

Tuesday, January 10, 2012

යක්ෂයන් පළවා සරස්වතිය කැඳවමු....

1 comments
ඇඟ කිලිපොලා යන ඒ අඳුරු යුගය පුනරූපණය නොවීමට නම්.........


මේ දිනවල විශ්ව විද්‍යාල කිහිපයකම කිසියම් ගැටුම්කාරී ව්‍යාකූල තත්වයක් උද්ගත වී ඇති බව පෙනේ.එයිනුත් පේරාදෙණිය,ජයවර්ධනපුර,රුහුණ හා රජරට ප්‍රධාන තැනක් ගනී.රජරට හැරුණු විට අනෙක් බොහෝ තැන්වල මේ ව්‍යාකූලත්වය තුල ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගිය කෘතීම ස්වභාවයක් පෙනේ.උදාහරණයක් වශයෙන් ජ'පුර සරසවියේ ඇති වී ඇති තත්වය දැක්විය හැක.ජ'පුර සරසවිය අභියස 'සිසු විරු ස්මාරකයක ' ගඩොලක් ගැලවෙන්නට එල්ල කරන ලද 'අධිබල' බෝම්බ ප්‍රහාරයක් නිසා පසුගිය දිනක මුළු කොළඹ නගරයම අකර්මන්‍ය වී ගියේය. එදා කිලෝ දහස් ගනනක කොටි මහබැංකු ප්‍රහාරයෙන් පසුව පවා මෙවැනි ක්ෂණික අකර්මන්‍ය තත්වයක් ඇති නොවූ බව අපට මතකය.මේ අස්වාභාවික තත්වයට යටින් ඉහළ තලයකින් සැලසුම් කරන ලද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇත්දැයි සැක කිරීම අයුක්ති සහගත නොවේ.


මේ වියවුල් තත්වය හුදු ආණ්ඩු විරෝධී කඩාකප්පල්කාරීන්ගේ යටිකූට්ටු වැඩ නිසා සිදු වන සිදු වීම් ලෙස හෝ හුදු ආණ්ඩුවේ හෝ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ හිතුවක්කාරකම් නැතහොත් අමන කම් නිසා සිදු වුනි යැයි කලු-සුදු ලෙස විග්‍රහ කිරීම 100%ක් නිවරදි හෝ සාධාරණ නොවේ.එසේ නමුත් ආණ්ඩුවේ අසංවිධානාත්මක ක්‍රියා නිසාම ඇති වූවාට වඩා සංවිධානාත්මක යටී අරමුණක් සහිත වූවන්ගේ වැඩපිළිවෙලක කොටසක් ලෙස මතුකර ඉහළට ඔසවා ගත් තත්වයක් ලෙස දැකීම වඩා යුක්ති යුක්තය. එයට සාධක ලෙස සැලකිය හැක්කේ මේ බොහෝ තැන්වල විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් හරයෙන් ඉතා කුඩා ඒවා මෙන්ම ගෙහෙන් ගෙඩි එන්නා සේ හටගත් ගැටලුද නොවේ. තවද මේවා පොදු සමාජයේන් මතුවන දුක්ගැනවිලිවලට වඩා අතිධාවනකාරි කල්ලිවල න්‍යායපත්‍රයන්ට අනුව සකස් කරන ලද සටන් පාඨ වීමෙන්ද පෙන්නුම් කරන්නේ දෙවනුව සඳහන් කල කරුණ වඩා සාධරණ බවය. උදාහරණයක් ලෙස ජ'පුර සරසවි 'උපකුලපතිතුමා ධූරයෙන් පන්නා දැමීමේ' අරගලය දැන් වසර දෙක තුනකටත් වඩා පැරණි සටන් පාඨයකි.නමුත් අද එය අලුත ඇතිවූ තත්වයක් ලෙස උලුප්පා නව වටයකින් කරලියට පැමිණ ඇත්තේම ඉහත කී සංවිධානාත්මක විරෝධතා කල්ලිවල සැලසුම් වලට අනුරූපව බවට සැක නැත.

කෙසේ නමුත් මේ ඊනියා 'සිසු අරගල ' (මෙවා හුදෙක් සද් භාවයෙ කරනා පිරිසිදු සිසු අරගල ලෙස වටහා ගත්තවුන් වෙතොත් ඒ පුතේගුරුවාදී දේශපාලන කල්ලිවල පහල පෙලේ අනුගාමිකයන් අතලොස්ස පමණක් විය යුතුය.මේ අරගලවල අපෙක්ෂිත ඉලක්ක, ප්‍රකාශිත ඉල්ලක්ක අසලින් වත් නොයන එවා බව බොහෝ දෙනාට ඇඟිල්ලෙන් ඇන තේරුම් කරදිය යුතු නොවේ. ) නැමති ගින්නට අධිබල ' ගෑස් ' වක් කරන තත්වයක් බලය හොවබව පාලකයන් වෙතින්ද පෙන්නුම් කිරීම සරලව වටහා ගත නොහැකි තත්වයකි. ප්‍රශස්ථ මට්ටමේ විද්වත් කතිකාවකට භාජනය නොකර 'පෞද්ගලික විශ්ව විද්‍යාල පනත' වැන්නක් කරලියට ගෙන ඒම මෙන්ම මෙතෙක් කලක් ප්‍රශ්න ලෙස පොදු සමාජ කතිකාවට හසු නොවූ එදිනෙදා පරිපාලන කටයුතු (උදා :උසස් පෙළ ප්‍රතිඵල ) පවා මහා ආන්දෝලනාත්මක මෙන්ම විරෝධතා අවුලුවන ජරමර බවට වර්ධනය වන්නට නා නා විධියෙන් සහාය කල බොහෝදෙනාගේ (මේ බොහෝ දෙනා වත්මන් ආණ්ඩුව තුල සිටින්නන්මය )අරමුණ කෙසේ වෙතත් ක්‍රියා පටිපාටිය නම් ආණ්ඩු විරෝධය අවුළුවන ආකාරයේ එකක් බව කිව යුතුය.

වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා පිළිබඳ බොහෝ විවේචන තිබියදී පවා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සැබෑ ලෙසම ආදරය කරන,නිදහස් අධ්‍යපනයේ නිදහසට ආදරය කරන බොහෝ දෙනා ඔහු විසින් විශ්ව විද්‍යාල තුලින් 'නවක වදය' නමික් ක්‍රියාත්මක තිරිසන් ක්‍රියාවලියට එරෙහිව සිදුකරන සංවිධානාත්මකව කාර්‍යභාරයට තම සහාය පල කලේය. එහිදී අඩුපාඩු මධ්‍යයේ වුවත් කරගෙන යන නායකත්වය පුහුණුව වැනි ක්‍රියාකාරකම් සඳහා සහාය පල කල යුත්තේ එමගින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය තුල අරක් ගෙන ඇති ත්‍රාඩ ඒකාධිකාරය බිඳ දැමීමට එය පිටුවහලක් වන බැවිනි.(මෙයින් කියවෙන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය 'පෙර පාසල්' තත්වයට පත් කිරීමේ අටියෙන් කෙරෙන 'විශ්ව විද්‍යාල තුලට දේශපාලනය එපා' , 'අපට නිදහසේ ඉගෙන ගන්න දෙන්න' 'ශිෂ්‍යන්ට දේශපාලනය අවශ්‍ය නෑ' ආදී ලෙස නැගෙන ප්‍රාථමික අහිංසක ඉල්ලීම් සාධාරණීකරනය කිරීම නොවේ. විශ්ව විද්‍යාල තුල නොකල යුතුනම් දේශපාලනය කල යුත්තේ වෙන කොහිද? ) අවශ්‍යවන්නේ 'පිළිකා රෝගයෙන්' පෙළෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය නිරෝගී කරගැනීමය. ඒ සඳහා පොදු සමාජයේ නොගිනිය හැකි තරම් නියෝජනයක් සහිත අතිශය සුළුතර කල්ලියකට විශ්‍ය විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවීමේ ත්‍රාඩ ඒකාධිකාරය වහා අහෝසි වන ක්‍රියාමාර්ග ගත යුතුය. ප්‍රමාණවත් නොවෙතත් අවම තරමේ විශ්ව විද්‍යාල තුල බාහිර සමාජයේ ඇති අර්ධ නිදහසවත් තහවුරු කල යුතුය. එමගින් නිරෝගී ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට ඉඩ සැලසීය යුතුය. නමුත් එමගින් දැනට පවතින පොතේගුරුවාදී එහෙයියන්ගේ ග්‍රහණයෙන් මිදිය යුතු සේම පාලක පක්ෂවල උවමනා ඔවුන්ට අවශ්‍ය පරිදි ඉටුවන එහෙයිවාදයක්ද නොවිය යුතුය. නිරෝගී දැනුවත් විදග්ධ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයක් වර්ධනය කල හැක්කේ එවැනි වටපිටාවක පමණි. නැතහොත් ඇතිවන්නේඉඟුරු දී මිරිස් ගත්තා වැනි තත්වයකි.

ඒ අරමුණ හැරුණු කල වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග ප්‍රතිරෝධයන් රහිතව එකඟ විය හැකි කරුණු නැති තරම්ය. ප්‍රශ්න දෙක තුනක් ඇසීමෙන් පවා නිරුත්තර වන තරම් වන ප්‍රාථමික තර්ක ඉදිරිපත් කරමින් 'පෞද්ගලික විශ්ව විද්‍යාල පනත' යනුවෙන් අති ධාවනකාරී ක්‍රියාමාර්ගයකට ගමන් කිරීමෙන් වන්නේ මීට ඉහතින් සඳහන් කල සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ නිරෝගීභාවයට හේතුවන ක්‍රියාමාර්ග පවා අතරමග බිඳ වැටීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම වන 'පෞද්ගලික විශ්ව විද්යාල' පිළිබඳ කාරණය සමාජය තුල හොඳින් කලතා ඇතිකලයුතු කතිකාවකින් පසු සීරුවට ගත යුතු දේශපාලන තීන්දුවකි. නමුත් සිදු නොවන්නේද එයමය. ප්‍රකාශිත අරමුණුවලට වඩා මෙහි යම් සැඟවුනු අරමුණක් ඇත්දැයි සාධාරණ සැකයක් ගොඩ නැගෙන්නේ එහෙයිනි. 'පෞද්ගලික නම් එපා ' යනුවෙන් වීදි බසින හුදු විරෝධාකල්පිකයන්ට මෙන්ම 'මේක තමයි ට්‍රෙන්ඩ් එක .ලිං මැඩියොන්ට ඕව තේරෙන්නේ නෑ' යනුවෙන් නැගෙන 'ධනාත්මක', 'නූතනවාදී' සිතිවිලිකරුවන්ට මෙන්ම ඇමතිවරයා ඇතුලු බොහෝ දෙනාට මෙහි ගැඹුරින් හදාල ඒකමතියක් නොමැත. බොහෝ දෙනාගේ මේ පිලිබඳ මතය බොහෝ පටු සීමාවකට සීමාවන පෞද්ගලික කාරණා පමණි.

එබැවින් කල යුත්තේ සමාජයේ විවිධ තලයන් ඔස්සේ සිදුකරන දාර්ශනික කතිකාවකට ඉඩ සලසා එමගින් ලැබෙන අදහස්ද උපයෝගී කර ගනිමින් හුදු රැඩිකල් වෙනසක් වෙනුවට බොහෝ දෙනාට එකඟ විය හැකි සුමට ප්‍රතිසංස්කරණයකට යෑම මගින් මෙම තත්වයෙන් ගොඩ ඒමය. එසේ නොමැතිව හුදු වහසි බස් මගින් හෝ හුදු විරෝධතා මගින් අත්කරගත හැකි අවසන් ජයග්‍රහණයක් නොමැත.

කෙසේ නමුත් දැන් සිදුවන විරෝධතා ඉහතින් සඳහන් කල සාධාරණ යැයි හැඟෙන කාරණා නිසාම ඇති වූවක් නොවේ. මේ පසුපස නොව ඉදිරියෙන් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අන්තරය මගින් දැනුවත්ම ඉහලට මතු කර ගැනීමට තැත්කරනා උත්සාහයකි. මේ 'හෙංචයියන්' පසුගිය බොහෝ කලක සිටම තම මව් ව්‍යාපාරවල ඇතිවී ඇති බංකොලොත් භාවය මගහරවා ගැනීමට කිහිපවරක්ම  උත්සාක කලේය. නමුත් ඒවාට නිසි සමාජ ප්‍රතිචාරයන් නොලැබුනු බැවින් හුදු සාම්ප්‍රදායික විරෝධතාවයන්ගෙන් එහාට යමක් සිදු කරගැනීමට ඔවුන් අසමත් විය. (අන්තරය ජවිපෙට අනුබද්ධ සංවිධානයක් නොවේ යැයි පවසා ස්වයං වින්දනයක් ලැබීමට කිසිවෙක්ට ඇති අයිතියට බාධා නොකරන නමුත් එහි පහල පෙලේ අනුකාරක සාමාජිකයකු හෝ නොදැනුවත්ව ජවිපෙ වෙනුවෙන් අන්තරය හරහා කඩේ ගිය අයකු හෝ ගොසිප් අඩවි වලින් දැනුම ලබනා 'දේශපාලන උගතුන්' හැරුණු විට අන් බොහෝ දෙනා අන්තර යනු කුමක්දැයි හොඳින් දනී ).

නමුත් අද වන විට අන්තරය මෙහෙයවීමේ බලය නිල ජවිපෙන් මිදී ඊනියා ජන අරගල කරුවන් නමින් වෙස් බැඳ සිටින කල්ලියේ ග්‍රහණයට නතු වී ඇත.මේ හතු පිපෙන්නා මෙන් උඩට මතුවන 'සිසු අරගල' මේ අරගලකරුවන්ගේ තරම පෙන්වීමේ උපක්‍රමයක් පමණක්ම නොවේ.ඉන් එහා යන විනාශකාරී අරමුණක් මේ පිටුපස ඇති බවට අනුමාන කිරීම සදොස් නොවේ. සමහර විට මේ සංඥාව තමන් නිල ජවිපෙන් ඉවත් වීමේ සංකේතයක් විය හැක.එසේ වුවත් මේ මනෝලෝකවල සැරිසරන පොතේගුරුවාදී කැරලිකරුවන්ට (මේ කැරලිකරුවන්ට තල කැරැල්ලක්වත් ඔතා ගන්නට නොහැකි යැයි ඔවුන්ගේ අතීත නායකයින් දෙන සහතික එතරම් වලංගු ඒවා යැ‍යි සිතා ඔවුන්ගේ බලය අවතක්සේරු කල යුතු නොවේ .රටක් ගොඩ නැගීමට මහා බලයක් අවැසි වුවත් එය විනාශ කර දැමීමට සුළු කල්ලියකට වුවත් විභවයක් ඇත.ඒ විභවය තවත් වැඩිවන්නේ මතුපිටින් සුළු කල්ලියක් වශයෙන් පෙනුනද කරලිය පිටුපස මහා බලවතුන්ගේ ආශිර්වාදයද එක්වූ කල එය කිසි සේත් අවතක්සේරු කල නොහැකි බලයක් වන බැවිනි) රඟපෑමට තව තවත් අවස්ථා ස්ව කැමැත්තෙන් සකසාදීමට පාලකයන් තකතීරු වන්නේ ඇයි?

හිලරි- ඔබාමා-සාකෝසි පිහිටෙන් ලිබියානු පන්නයේ විනාශයකට අර අඳින 'අරාබි වසන්තයෙන්' උද්දාම වී සිටින කොටි බෙදුම්වාදයේ ඉතුරු බිතුරු සමග එක ගෙයි කන මේ විහිළුකාර කල්ලිවාදීන් තම දේශපාලන පැවැත්ම උදෙසා මේ මොහොතේ සිසු ජීවිත කිහිපයක් වුවත් බිල්ලට දීමට සූදානම්ය.එදා තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජීවිත දහස් ගනන් බිලිගත් කල්ලිවලට සිසු ජීවිත දෙක තුනක් යනු 'සිම්පල්' කාරණයකි.වෙහෙර ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද.සරසවි සිසුන්ගේ දෙමාපියන් විශේෂයෙන් මේ ගැන අවදියෙන් සිටීම ඇඟට ගුණය.කෙසේ නමුත් බලධාරීන්ද මේ තත්වයට තම ඇඟේ හයියෙන් හා කටේ හයියෙන් පිළිතුරු දීම නවතා මොලෙන් පිළිතුරු දිය යුතුය.විශේෂයෙන් මේ විනාශකාරී කල්ලි ඉදිරියේදී එක් එක් පෙරමුණුවල ඇති සුළු සුළු අරගල ඒකාබද්ධ කර දැවැන්ත කඩාකප්පල්කාරී පිළිවෙතකට යොමු වීමට ඇති ඉඩ කඩ වැඩිය.එබැවින් වහ වහා කල යුත්තේ මේ සුළු ගැටළු උපන්ගෙයිම සක්‍රීයව සද්භාවයෙන් මැදිහත්ව විසඳා ගැනීමය.ඒවා පටු අරමුණු වෙනුවෙන් වෙන්දේසියේ දැමීමට ඇති ඉඩ අහුරා දැමීමය.උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය තුල අධ්‍යන / අනධ්‍යන අංශ වල ඇති පරිපාලන ගැටළු පුළුල් සංවාදයකින් අරඹා වහා සමනය කල යුතුය.ඒ සමගම උසස්පෙළ ප්‍රතිඵල අවුල වැනි පරිපාලන ගැටළුද ජනතාවට පීඩාව අවම වන ලෙස විසඳමින් ඉදිරියට එවැන්නක් සිදු නොවන බවට ජනතාව තුල විශ්වාශය ගොඩ නැංවිය යුතුය.

මෙවැනි ක්‍රියාමාර්ග මගින් මේ ලදරු වලිප්පුකරුවන්ට තිබෙන අවසන් ඉඩද අහුරා දැමිය යුතුය.එසේ නොවුවහොත් වන්නේ මේ මේ මනෝ විකෘතිකරුවන්ගේ අරමුණු මුදුන් පැමිණ තනි තනිව නොව මුළු සමාජයම අඳුරු විලාපයක ගිලී යෑමය.'අරාබි වසන්තයේ' මායාවට රැවටී දෑස් නිලංකාර කරගත් අහිංසකයන්ගේ විලාපය අද වන විට පෙරට වඩා ලෝකය සතර දෙසින් ඇසෙමින් ඇත.ඔවුන් ප්‍රමාද වූවා වැඩිය.

එනිසා බලධාරීන් ඇතුළු සියලු දෙනා දැනුවත් මනසින් වහ වහා ක්‍රියාත්මක විය යුත්තේ මේ විකෘතිය හමුවේ සමාජයම ගෙවිය යුතු ලේ වන්දියෙන් ගලවා ගැනීමටය.
-කැලුම් නිරංජන
2012-01-09

Wednesday, March 16, 2011

මෙදා චන්දෙට මොකද උනේ?

2 comments
2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසූ රටේ දේශපාලන කරලියේ ඉහල තැන් කිහිපයක සහ තවත් කිහිප දෙනෙකු දැකිවිය හැකි අදහස් කිහිපයක් චන්දයට පෙර මෙලෙස අනුමාන කරමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා....

"තිස් අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය ජනතාව අමතක කරල නෑ.ජනතාව නැවත නැවතත් මේ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ රට ජාතිය කෙරෙහි තිබෙන ආදරයයි. නොමග යැවීම් තිබුනත් බහුතර දෙශමාමක ජනතාව මා කෙරෙහිත් මගේ රජය කෙරෙහිත් තැබූ විශ්වාසයට මාගේ හදවතින්ම නැගෙන ප්‍රණාමය මම මෙ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි.
පලමුවත් මව්බිම..... දෙවනුවත් මව්බිම ....තෙවනුවත් මව්බිම....

මාතෘභූමියට ජය වේවා !!! "


යටිසිත :
මෙදා පර ලේසි උනෙ නෑ වැඩේ. කොහෙද මට විතරක් මේක කරන්න පුලුවන්ද.ඇමතිවරු හැට හුට හමාරක් හිටියට වැඩක් කරන්නේ කී දෙනාද.අම්මප මුන් ඔක්කොම ගෙදර යවන්න හිතෙනව වෙලාවකට මට.යන්තම් රනිල -සජිත දෙන්නගෙන් එකෙකුටවත් මට තරම් මිනිස්සුන්ට කිට්ටු වෙන්න බැරි එක වාසනාවට ගියා.....චන්ද ටිකක් අඩු වෙලා තියෙනව තමයි. ඒක එක අතකට සාධාරණයි.මිනිස්සුන්ට ප්රවශ්න.කමක් නෑ.බලමු ඉස්සරහට තව මොනවහරි කරන්න....ආයෙ චන්දයක් එන්නේ 2016 නේ


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

මෙය තනිකරම රජය රාජ්‍ය සම්පත් යොදාගෙන අයුතු විදියට ජයග්‍රහහණය කරා.ජනතාව කබලෙන් ලිපට වැටුන.නමුත් ආණ්ඩුව ලබා ගෙන තියෙන්නේ රටේ ජනගහනයෙන් 30% ක බලයක් විතරයි.රටෙ බහුතරය ආණ්ඩුවට විරෝධය පල කරල තියෙනව.අපි මේ දුෂිත ඒකාධිපති පවුල් පාලනය පන්නල නුදුරේදීම එජාප ආණ්ඩුවක් බිහි කරන්න එකමුතුව වැඩ කරමු කියල මම ජනතාවට කියනව...




යටිසිත :
රටේ ජනගහනයෙන් 30% ක් ආණ්ඩුවට දුන්න කිව්වට බලද්දි මට හම්බ වෙලා තියෙන්නේ 12% ක් විතර :(මේ මහින්දය ඉන්නකන් පුතෝ අපිට ගොඩ ඒමක් නෑ.මූ මහ පුදුම යකෙක්.මේ යකා වගේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න මටත් පුලුවන් උනා නම්.කරුමේ...කරුමේ... මගේ නොලැබීම :( කමක් නෑ.අපි හම්බන්තොටත් පරාද උනානේ.වෙලාවට එහෙම උනේ.නැත්නම් සජිත උඩුබුරන්න ගන්නව.යන්තම් මගේ විපක්ෂ නායක කම බේරගන්න පුලුවන් මෙදා පාරත්.
හම්බන්තොට ජනතාවට ස්තුතිවේවා !

අමාත්‍ය විමල් වීරවංශ මහතා

මෙදා පාරත් රටේ සාතිශය බහුතර දේශමාමක , ජාතිමාමක ජනයා පෙන්නුම් කලේ තමන් මේ මාතෘභූමියට තියෙන ඓන්ද්‍රීය බැඳීමේ තරමයි.අධිරාජ්‍යවාදී විජාතික බලවේග වල මෙරට ඉත්තන්ට මෙදා චන්දෙදි මෙරට සුජාත දෙශමාමක ජනතාව නියම පාඩම උගන්වල තියෙනව.රනිල් නෙවෙයි සජිත් ආවත් ප්‍රතිපලේ එකක් බව පෙන්නල ඉවරයි.
අයාලේ දක්කපු ජනතා විමුක්ති පෙරමුනට මෙදා පාර තිබුනු එකත් නැති වීමෙන් පේන්නේ එම පක්ෂයෙ නායකයන් කැමැත්තෙන් දිනා ගන්නා පාරාජයේ තරමයි.මෙතෙක් හිමිව තිබූ නෙල්ලි කැලේ බුරියගේ භූමුකාවවත් මින් ඉදිරියට ඔවුන්ට අහිමියි...
මගේ අම්මේ තත්තේ ,සහොදරයා සහොදරිය ,අපි පොරොන්දු වෙනව ඔබට,රටේ දේශමාමක ජාතිමාමක ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අපගේ කැපවීම පෙරටත් වඩා දැඩිව අපි පෙන්නනව කියල.
මාතෘභූමියට ජය වේවා... මාතෘභූමියට ජය වේවා......
මාතෘභූමියට ජය වේවා......

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා

මේ මැතිවරණය අතිශයින්ම දූෂිත එකක්.රජය ජනතාවට චන්දය දෙන එක උවමනාවෙන්ම වැලැක්වුවා.රාජ්‍ය සම්පත් උපරිම ලෙස තමන්ගේ මැතිවරණයට යොදා ගත්ත.කොහොම උනත් ආණ්ඩුවට මීට පෙර ලැබුනු චන්ද ගනනත් එක්ක සැසඳීමේදී පැහැදිලි චන්ද අඩු වීමක් පෙන්නුම් කරනව.එය ඇත්තටම සුභ ලකුණක්.අපි ලබන සිංහල අලුත් අවුරුදදට කලින් එජාප ආණ්ඩුවක් බිහි කරනව කියල මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.


අමාත්‍ය චම්පික රණවක මහතා...

මෙදා චන්දෙදි රටේ දේශමාමක ජාතිමාමක ජනයා විපක්ෂය විසින් ගෙන ගිය අභූත චෝදනා වලට රැහැනිව හොස් තමන්ගේ චන්දය පල කරල තියෙනව.මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව රට පංච මහා කේන්ද්‍රය කිරීමේ යෝධ වැඩපිලිවෙලට මෙමගින් ලැබෙන්නේ ලොකු හයියක්.මේ ජයග්‍රණය කරල තියෙන්නේ ජාතික බලවේගය.එදා අපි සිහළ උරුමය හරහා පෙරට ගත් ජාතික ව්‍යාපාරයේ හයියෙන් තමයි මෙ ජයග්‍රණය රටට ලැබෙන්නෙ.
අපි විදුලිබල මණ්ඩලය හරහා පෙන්නුම් කරල තියෙනව පාඩු ලැබූ රාජ්‍ය ආයතන ගොඩ ගන්නෙ කොහොමද කියල.මේ පරාජය අදිරාජ්‍යවාදී ඒජන්තය වෙච්ච රනිල්ගේ විතරක් නෙවෙයි බොල්ෂෙවික් පක්ෂ වල අවතාර වලටත් ජනතාවගෙන් එල්ල වුනු අතුල් පහරක් කියල කියන්න කැමතියි.
තවදුරරත් මේ ඉතුරු බිතුරු වලට ජාතික දේශපාලනයේ කාර්යකභාරයක් නෑ..
අපි මෙරට දෙශමාමක ජාතිමාමක දෙශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලන්නේ ඉදිරියටත් අපි සමග රැඳෙන්න.අපි මේ රට ආසියාවේ ආශ්චර්‍ය බවට පත් කරනව නුදුරේදිම.


පාර්ලිමේන්තු මන්ත්‍රී‍ අනුර කුමාර දිසානායක සහෝදරයා.

මෙය අන්ත දූෂිත , රාජ්‍ය බලය අතිශය අසාධාරණ ලෙස යොදා ගත්ත මැතිවරණයක්.අපිට තිස්සමහාරාමය අහිමි වීමෙන් පෙන්නුම් කරන්නේ එකයි.කොටින්ම මේක ජිල්මාර්ට් එකක්.
නමුත් අපිට අපි ලබපු චන්ද ප්‍රමානයේ අඩු වීමක් තිබුනත් අපිට ඒ ගැන දුකක් නෑ.අපිට තියෙන්නේ සතුටක්.බත් පැකට් එකට,රුපියල් සීයට ලැබුනු චන්ද නෙවෙයි ඒවා.ඒව පිරිසිදු චන්ද.
අපිට චන්ද අඩු වුනාට එක අපේ පසුබෑමක් කියල කියන්න බෑ.ඒක ජනතාවගේ නොලැබීම.
නමුත් අනිත් අතින් ආණ්ඩුවට ලැබුනු චන්ද
ප්‍රමානයත් අඩු වීමෙ න් පෙන්නුම් කරන්නෙ කුමක්ද?ඔවුන් ජනතාව අතරින් ප්‍රතික්ෂෙප වෙලා කියන එකයි.
අපි මේ රටේ දෙශප්‍රේමී ජනතාවට සහතික වෙනවා සරත් ෆොන්සේකා හිර කරගෙන KP රජ ගෙදර තියා ගෙන ඉන්න මේ එ කා ධිපති වියරු දූෂිත අකාර්යක්ෂම පවුල් පාලනය නුදුරේදීම ගෙදර යවල සෑම දෙනටම සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජවාදී රාජ්‍යයක් බිහි කරන්න කැප වෙනව කියල.


සජිත් ප්‍රේමදාස මහතා...


මේ චන්දෙදි අපි පෙන්නුම් කල හම්බන්තොට එදා මගේ පියානන් සිටියදී ලබා ගත් චන්ද ගනනම මෙදා පාරත් අපි අරන් තියෙන්ව කියල.ජන්දය පැරදුනත් එමගින් ජනතාව පෙන්නුම් කරන්නේ ප්‍රේමදාස යුගයක් ඇති වෙනවට ජනතාවගේ තියෙන කැමැත්තයි.අපි අප්‍රේල් 12 වෙනිදයින් පස්සේ මේ අපේ පක්ෂය ටයි කෝට් කාරයන්ගෙන් මුදවගෙන සැබෑ ජන දුක හඳුනන ගමේ ගොඩේ පොඩි මිනිහගේ හැඟීම් තේරෙන,රෙද්ද බැනියම අඳින ,බිම් මට්ටමේ ගම් මට්ටමේ ජනයා නගා සිටුවන නැවතත් පොඩි මිනිහ ගැන හිතන ප්‍රේමදාස යුගයක් නැවත බිහි කරනව කියල මම පොරොන්දු වෙනව අම්මේ තත්තේ.

-රිපෝටර් කොලුවා