Thursday, October 8, 2009

ඡන්දය කාටද?

3 comments

ගෙවී යමින් පවතින්නේ දකුණු පළාත් සභා මැතිවරණයේ එකොළොස්වෙනි හෝරාවයි.මාස දෙකක් පමණ කාලයක් පුරාවට විටෙක ත්‍රාසයද විටෙක භීතියද තවත් විටෙක හාස්‍යද මතු කරමින් ඇදී ආ නාටකය අවසන් ජවනිකාවට ලං වෙමින් තිබේ.
නැගෙනහිරින් ඇරඹී උතුරු මැද,සබරගමුව,වයඹ,මධ්‍යම,බස්නාහිර හා ඌව දක්වා මැතිවරණ 7හිම ජය එජනිස ට හිමි වූයේ කලින් කියා ඇති පරිදිම තනි අශ්වයාගේ තරඟයකිනි.තරඟයක් දෙන්නට තබා මැතිවරණ උණුසුමක් මවන්නට වත් මේ පළාත්වලදී එජාප - ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම්වලට මෙම පළාත් වලදී වරම් අහිමි විය.එය පිළිබිඹු කරමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන්නටත් පෙරම තම පරාජයට හේතු සොයා ගන්නට එම කණ්ඩායම්වලට සිදු විය.නැගෙනහිර සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් ආ පක්ෂ විපක්ෂ චන්ද පරතරය තවත් වැඩි වෙමින් එජාපයට කවදත් පක්ෂපාතී බවක් පෙන්වූ බදුල්ල දක්වා එද්දී එජනිස ට 75% සීමාවට පැමිණ තිබිණ.දකුණු පළාත තුලදී එහි යම් පසු බෑමක් වනු ඇතැයි පසුගියදා සිදුවූ මනාප හබයන් දෙස බැලීමේදී යම් කිසිවෙකු සිතුවත් දින දෙකකින් එලඹෙම මැතිවරණයේදී සිදුවනු ඇත්තේ මෙතෙක් අනවරතව ගලා ආ ජයග්‍රහණයේ රැල්ල දකුණද දෙගොඩතලා ගමන් කිරීමය.

එජාපය සතුව තිබූ සුළු ජාතික ජන පදනම පවා ඌවේදී මෙන්ම දකුණේදීද නැවතත් නාය යනු ඇත.(සිංහල බහුතරය ඔවුන් වෙතින් වියෝ වී දැන් බොහෝ කල්ය).ජවිපෙ තමන් සතු සියලු සම්පත් (එය ආණ්ඩුව රජයේ දේපල තම මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගන්න තුච්ච ක්‍රමය සැසඳීමේදී කුඩා භාගයක් විය හැක ) යොදා බැලුවත් එයට දකුණෙන් උරුමව තිබූ සුවිශේෂී සැළකීම මේ මැතිවරණයේදී අහෝසිවනු ඇත්තේ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රී ධූරයක් හෝ දිනා ගැනීමේ අභියෝගයද එල්ල කරමිනි.එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේක්ෂා කරන පරිදිම දකුණද 'දිග් විජය' කරනු ඇත.ඉතිහාසය දෙස විපරම් කර බැලීමේදි පැහැදිලි වන කරුණක් නම් මෙවැනි ජාතික තලයේ නොවන මැතිවරණවලට එහි අපේක්ෂකයන්ගෙන් ලැබෙන ආලෝකය හෝ අඳුර එහි ප්‍රතිඵලවලට සිදුකරන බලපෑම අල්ප වන බවයි.වඩා ප්‍රබල වන්නේ ජාතික තලය තුලදී රජය හෝ විපක්ෂය නිරූපණය කරන භූමිකාවය.
එබැවින් කොතරම් බෙරිහන් දුන්නද මෙම මැතිවරණයේදී කොට ගවුමට මෙන්ම අත් දෙකින් වෙඩි තැබීමටද ලැබෙන ස්ථානය අවසන් ප්‍රතිඵලයට එල්ල කරන බලපෑම නොගැනිය හැකි තරම් කුඩා වනු වැලැක්විය නොහැක්කේ එජනිස ට ඡන්දය දෙන බහුතරය ඡන්දය දෙන්නේ ඒ බහුරූ කෝළම් වලට ඉහලින් ඇති ජනාධිපතිවරයාගේ නොසැලෙන ප්‍රතිරූපයට බැවිනි.ජනාධිපතිවරයාගේ ජන්ම පෙදෙසේදී එය අන් තැන්වලදීටත් වඩා උස්ව නැගෙන රළක් වීම වැලැක්වීමට අද දවසේ කොළ-රතු පෙරමුණුවලට නොහැක.

එසේ වන්නේ ඇයි?
ඡන්ද ලැයිස්තුව තුලින් හිතට එකඟව ඡන්දය දිය හැකි අපේක්ෂකයයන් තිදෙනෙකු(තුන් දෙනෙකු නොව අඩුම තරමේ එක් අයෙකුවත්) තෝරා ගැනීමට නොහැකි අතෝරයකට ඡන්ද දායකයා පත් වීමට තරම් සංධාන ලැයිස්තු බංකොලොත් වී පවතිද්දී පවා (අනෙකුත් පක්ෂවල ලැයිස්තු මෙයින් යම් හෝ අපගමනයක් වත් ඇතැයි මෙයින් නොකියවෙයි )සන්ධානයට මෙතරම් ඉහළ ජයක් අපෙක්ෂා කිරීමට හේතුව කුමක්ද?
ප්‍රධාන හේතුවනම් වසර 30ක් පුරා මුළු සමාජ දේහයටම පිළිලයක්ව පැවති එහි අක් මුල් දිය කර හැරීමට තරම් ශක්තිමත්ව තිබූ ලොව දරුණුතුම ත්‍රස්ථවාදය වසර 3ක් තරම් කෙටි කලකදී අති සාර්ථක අයුරින් මුළිනුපුටා දැමීමය.නායකත්වය සමූලඝාතනය කරමින් එතෙක් පැවති ත්‍රස්ථ භීතියෙන් මිදීම සකල ලක් වාසීන්ගේ මුවගින් කෙටි කලක් තුල වියෝ වුවත් හදවතේ ගැඹුරු තැනින්ම ඒ පිළිබඳ කෘතඤ්ඥතාව ජනාධිපතිවරයා වෙත පළවන බැවිනි.
අනෙක විපක්ෂය ජන හදවත් තුල තවත් පක්ෂයකට පත් වීමට තරම් අපහසු තරමේ පහත් අඩියකට පත්ව තිබීමය.වත්මන් රජයේ අමන ක්‍රියා මාර්ග පවා සාපේක්ෂව මග ඉහළින් සාධාරණී කරනය කල හැකි මට්ටමක විපක්ෂයක් පැවතීම මෙලෙස තනි අශ්වයාගේ තරඟයක් ඇති වීමට අනෙක් කාරණයයි.
අනෙත් වැදගත් කාරණය් වන්නේ ආණ්ඩුවට එරෙහි වනු වෙනුවට විපක්ෂ කණ්ඩායම් සියල්ලම පාහේ එරෙහි වෙමින් පවතින්නේ රටට වන බැවිනි.මහින්ද රාජපක්ෂ සමග ඇති දේශපාලන පලිය රටෙන් ගැනීම එජාප ජවිපෙ එකමුතුවට ජනතා හදවත් අත් පත් කර ගැනීමට නොහැකි වීමට බලපානා අනෙක් කරුණයි.
එසේ නොවූයේ නම් මෙතරම් පැහැදිලි ලෙස දූෂණයට ඉඩ කඩ විවර වූ ආණ්ඩුවකට එරෙහිව ජනතා බලය පෙළ ගැස්වීම අපහසු නොවේ.

නමුත් නාස්තිය සහ දූෂණයත් යහ පාලනයක් පවත්වා ගෙන යාමට ඇති අපහසුවත් ඊලඟ මහ මැතිවරනයේදී පත්වන සන්ධාන ආණ්ඩුව තුලින්වත් ඉටු නොවේ නම් ජනයා ඉහත සියලු යහපත් සාධක පවා තම සිතෙන් ඉවත් කර ගැනීමට පෙලඹෙනු වැලැක්විය නොහැක.එබැවින් තවමත් ජනතා හදවත් තුල සිටින ජනධිපතිවරයාගේ අද දවසේ කල යුතු ප්‍රමුඛ මෙහෙවර විය යුත්තේ තමාද ඇතුළු ඉහල සිට පහලට සිදු වන අනවශ්‍ය වියදම් සියල්ල කපා හැර නාස්තිය ප්‍රබල ලෙස අඩු කර ගැනීමත්,යහ පාලනය සියලු ක්ශේෂ්ත්‍රවලට බලාත්මක කිරීමට කටයුතු කිරීමත්ය.ඥාති සංග්‍රහය නවතා(එය එජාප-ජවිපෙ කියනා පරිදි ගෝඨාභයට හෝ බැසිල් රාජපක්ෂට ලැබී ඇති ස්ථාන නොව )දමා සුදුස්සාට සුදුසු තැන ලැබෙන වඩා සාධාරණ ක්‍රමයක් ඇති කිරීමද ඒ සමගම කල යුතු ප්‍රමුඛ අවශ්‍යතාවයකි.ඒ සමගම ජාතික ධනය සොරකම් කරනා ඇමති ඇම්බැට්ටයන්ට වුවත් නිසි දඬුවම් ලබා දිය හැකි සාධාරණ ක්‍රමයක් වහා වහා ඇති කල යුතුය.

එබැවින් දකුණෙන් ලබන සුවිශේෂී මැතිවරණ ජයෙන් උදම් නොවී කල යුත්තේ ඊළඟ මහ මැතිවරන ජයෙන් පසු හෝ රටට හිතැති ප්‍රතිසංස්කරණ වහ වහා සම්පාදනය කිරීමය.එසේ නොවුවහොත් ජාතිමාමක ජනයාට මහින්ද රාජපක්ෂ කෙරෙහි තබාගෙන සිටිනා අචල විශ්වාසය ඉවත දැමීමට සිදුවනු ඇත .

- කැලුම් නිරංජන


3 comments:

  • October 9, 2009 at 8:03 AM

    මෙවා මේ ව්දියට කියන කොට හොදටම රිදෙන පිරිසක් ඉන්නවානේ කෑලුම්.මහා ලොකුවට දෑන් හිට්ලර්වාදේ නාසිවාදේ ප්‍රජාතන්ත්‍රවාදේ පතුරු ගහන..... කාලකන්නි ප්‍රභාකරන් කියන මිනිමරුවා ඉන්න කලේ ඔය හිට්ලර් වාදේ ඕකුන්ගෙ තිබුනෙ කොහේද දන්නේ නෑ.පාන් ගෙඩියට වඩා රටට ආදරේ වෑඩි පිරිසක් මුලු රටේම වගේම දකුනෙත් ඉන්න බව ඉදිරි මෑත්වරන ප්‍රතිපල වලිනුත් පෑහෑදිලි වේවි.

  • October 9, 2009 at 2:50 PM

    මගෙ අදහසත් කැලුම්, ඔබේ අදහසට ගොඩක් සමීපයි.... කුහක බවින් තොර, බුද්ධිමත්, තියුණු විපක්ෂයක් නැති අඩුව හොඳට දැනෙනව.. ජනාධිපතිතුමාට ඊ ළඟට එන ආණ්ඩුව ඉතාමත්ව සැළසුම් සහගතව සහ බු්දධිමත්ව සකසා ගන්නම වෙනව......

  • October 11, 2009 at 11:02 PM

    චන්දයට කලින් ප්‍රකාශ කලා සේම එජනිස විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කලා.කියූ පරිදිම රතු කොල පෙරමුණු තමන්ගේ අන්ත පරාජයේ නිරුවත වසා ගන්නට නොයෙක් මාදිලියෙ විහිළු සැපයීමට පලමු හෝරාවේ සිට පෙල ගැහිල.
    Priyadarshana ඔබ කිව් පරුදිම මෙවැනි අඳ බාල විපක්ෂයක් මගින් නම් ආණ්ඩුවේ ගමනට කිසිඳු බලපෑමක් වෙන්නේ නෑ.ආණ්ඩුවක් වශයෙන් ගත්තම එය සතුටට කරුණක් වුවත් රට ගැන සිතීමේදී මෙය යහපත් තත්වයක් නෙවෙයි.
    විපක්ෂයේ තීරණාත්මක බලපෑම ඕනෑම රජයක් නිවරදි මාර්ගයේ යෑමට ප්‍රබල ලෙස බලපානව.නමුත් කණගටුවට කරුණ නම් ජනතාවට විහිළු සැපයීම හැර රතු කොල විපක්ෂයෙන් කිසිදු සාධනීය බලපෑමක් කෙරෙන්නෙ නැ.

    එබැවින් ජනාධිපතිවරයාට සියලු වගකීම් පැවරෙනවා නිවරදි මාර්ගය තමන් විසින්ම තෝරා ගැනීමට.ඒ සඳහා විපක්ෂයක් නොමැති කල ආණ්ඩුවට හිතවත් බලවේග හෝ ආණ්ඩුව තුල සිටිමින් හෝ මෙම අරමුණ වෙනුවෙන් ක්‍රියා කල යුතුයි.

    ආණ්ඩුවට නිවරදි මග පෙන්වීමේ කාර්යයට ම එපෙ, ජානිපෙ ,හෙළ උරුමය හා ශ්‍රී ලංනිප දේශප්‍රේමී කොටස් සහ සියලු දේශමාමක බලවේගවලට සක්‍රීය මැදිහත් වීමකට ඉතාමත් සුදුසු කාලයයි මේ.