Monday, October 12, 2009

දේශමාමකයිනි කාලෝ අයන්තේ. . . . .

2 comments

කුණු පළාත් සභා ඡන්දයෙන්ද පෙරදී කියූ පරුදිම ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස ට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වෙමින් නිමා විය.පරාජයට හෙතු සොයන්නෝ එය සුපුරුදු පරුදි සමාජයට විහිළු සපයමින් සිටීති.2/3 බලයක් හිමිවුවත් තමන් මැතිවරණ වේදිකාවේ කියූ පරිදි 80% ඉලක්කයට යා නොහැකි වූ බැවින් මෙය ජනාධිපතිවරයා ලද බරපතල පරාජයකැයි 25% චන්ද ප්‍රතිශතය යාන්තමින් ඉක්මවා ගියා වූ එජාපය සහ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රීවරයෙකුගෙන් පමණක් ප්‍රීතිවන්නට සිදුවූ ජවිපෙත් වේදිකා දෙකක සිට වුවත් එකම ස්වරයෙන් මරළතෝනි දෙන්නට පටන් ගෙන තිබේ.

ඒ අතර ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයට වඩා චන්ද 25000ක් පමණ අඩු වී ඇතැයි මේ හවුල බෙරිහන් දෙති.එහෙත් ඇත්ත තත්වය මේ බොරු වලින් වසන් කල නොහැක.තමන්ට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ චන්ද සංඛ්‍යාවට වඩා චන්ද දෙලක්ෂයකට වඩා අඩු වී ඇති එජාපය ජනාධිපතිවරයාට චන්ද විසි පන් දහසක් අඩු වී ඇතැයි පවසද්දී මතක් වන්නේ ලැජ්ජාවෙන් ගැලවීමට සිතා තම සරමම උස්සා මුහුණ වසා ගන්නට ගිය මිනිසාගේ කතාවය.මුහුණ යන්තම් වසා ගත්තත් තමාගේ නිරුවත ලෝකයාට පෙනෙන බව මේ එජාප මහදැනමුත්තන්ට නොවැටහීම අභාග්‍යකි.

ජවිපෙ අනෙත් විකට හැසිරීමද චන්දයෙන් පසු ජනතාවට සිනා සීමට හැර වෙන ගත යුත්තක් නැත.තමන්ද සහය පල කල ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලබා ගත් චන්ද ගණනට වඩා චන්ද විසි පන්දහසක් අඩු වී ඇතැයි මේ කවටයන්ද ජනතාවට පවසති.එහෙත් තමන් මෙවර පළාත තුලින් ලබා ගත් චන්ද 72000න් බහුතරයක් එදා ජනාධිපතිවරයාට දැමූ චන්ද බවත් මෙලෙස 72000ක් අඩු වෙද්දී සන්ධානයට තවත් චන්ද 60000ක් පමණ එකතු වී ඇති බවත් මේ නිවටයන් අමතක කරන්නට හදන්නේ ජනතාවගේ මොළද තමාගේ මොළ තරම්ම ක්ෂුද්‍ර මොළ යයි සිතා විය යුතුය.

නමුත් මෙම දේශපාලන පරාජයේ හේතුවලට සිනා සීම හැර වෙන යමක් කල යුතු නැත.මෙම විපක්ෂ බලවේගවලට තමන් ලද 'විශිෂ්ඨ' ජයග්‍රහණය ගැන ස්වයං වින්දනයක් ලබා ගැනීමට බාධා නොකර ඉදිරියේදී කුමක් කල යුතුදැයි අවධානය යොමු කිරීම දේශමාමක ජනයාගේ අද දවසේ කාර්ය භාරය විය යුතුය.


අද වන විට ආණ්ඩුවේ පවතින අඩුපාඩු පිළිබඳ ස්වයං විවේචනයක් කරමින් එය නිවරදි මාර්ගයට ගැනීමට නම් කල යුතු ප්‍රතිසංස්කරණ වහා වහා සිදු කිරීමට දෙශප්‍රේමී බලවේග විසින් ආණ්ඩුවට බල කල යුතු කාලය එලඹ තිබේ.එහිදී ආණ්ඩුවේ ඉහලම සිට පහල දක්වාම දැනුවත්ව සිදු කරනු ලබන සියලු නාස්තිකාර වියදම් දැනුවත් මැදිහත්වීමකින් වහා නවතා දැමීමට ක්‍රියා කල යුතුය.එය අරලියගහ මැදුරේ දෙන බත් පතේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සංග්‍රහ දීමනාව දක්වාත් ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් වියදමේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා රජයේ වාහනය දක්වාත් අදාල විය යුතුය.මොවුන් තමාගේ පෞද්ගලික බූදලයන් සේ සලකා කටයුතු කරන්නේ සාමාන්‍ය පොදු ජනයාගේ බදු මුදල් බව අමතක කර ඇත්තා සේය. (මෙම බොහෝ නාස්තිකාර වියදම් වර්තමාන බලධාරීන් අතින් පමණක් සිදු වන එවා යැයි මොහොතකටවත් නොමග යා යුතු නැත.ජරාජීර්ණ දේශපාලන ගොහොරුවේ සැමදා දැකිය හැකි ගඳ ගහන සත්‍යය මෙයයි.)මෙවැනි නාස්තිකාර වියදම් ගැන අද වන විට ආණ්ඩුවට හිතැතිව සිටින්නන් තුල පවා ප්‍රබල ප්‍රතිවිරෝධයක් මතු වීම ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපානු ඇත.
එබැවින් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මේ සඳහා අතවශ්‍යය.ඒ වෙනුවෙන් මතවාදී පෙල ගැස්මක් සිදු කිරීම ජාතික මතවාදීන්ගේ අත් හල නොහැකි වගකීමකි.

නාස්තිය හැරුණු කල තවත් ප්‍රබල දුබලතාවයක් ලෙස පෙනෙනුයේ ඉහළ සිට පහලටම පවතින ඥාති සංග්‍රහයයි.( නමුත් මෙය ගෝඨාභයට හෝ බැසිල්ට හෝ චමල්ට රජය තුල ඇති තැන ගැන නොවන බව වෙන්කර හඳුනා ගත යුත්තේ එජාප -ජවිපෙ - මංගල හවුල ඥාති සංග්‍රහය යන්න එවැනි පටු සීමවකට කොටු කර ඇති බැවිනි.එම ඊනියා රාජපක්ෂ සමාගම පිලිබඳ කතාව බහුතර ජනයාට ගැටලුවක් නොවන අතර ඥාති සංග්‍රහය යන්න එයට ලඝු කිරීම සැබෑව යටපත් වීමටද හේතුවක් වී ඇත ) කාර්යාල ලිපිකරු පත්වීමේ සිට දෙපාර්තමේන්තු ප්‍රධාන ධූරය දක්වාම රැකියා අවස්ථා හා උසස්වීම් හිමි වීමේදීද මේ දේශපාලන බැලයන්ට කත් අදින්නන්ට ප්‍රමුඛත්වය හිමි වීමේ කලකණ්නි ක්‍රමයටද වහා තිත තැබීමට සුදුසු කාලයයි.සුදුස්සාට සුදුසු තැන හිමි වන සාධාරණ ක්‍රමයක් බිහි කිරීමේ කාර්‍යද මහින්ද රාජපක්ෂ රජයට සිදු කල හැකි (නමුත් අත් හල ඇති ) ප්‍රමුඛ අවශ්‍යතාවයකි.රැකියා අවස්ථාවක් වෙනුවෙන් දේශපාලන පුබ්බරුවන් පසු පස යෑමට සුදුසුකම් ලාබීන්ට සිදු වන්නේ නම් එය අවාසනාවන්ත තත්වයකි.

ඉහත සඳහන් කල බොහෝ කාරණා මෙම ආණ්ඩුව තුලින් පමණක් සිදුවන දේ ලෙස සිතා නොමග යා යුතු නැති බව නැවත අවධාරණය කරන්නේ වසර 50ක් පමණ පුරාම මෙම තත්වය අනවරතව ගලා ආ බැවිනි.නමුත් ඉදිරි මහ මැතිවරනයේදී පත් වන්නට නියමිත මහින්ද රාජපක්ෂ මී ලඟ රජයේ ප්‍රමුඛ අවශ්‍යතා ලැයිස්තුවට මේවා ඉහල බරක් යොදමින් ඇතුලත් කිරීම අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදී පරාජයෙන් පසු බිහිවන අලුත් සමාජය මෙවැනි අඳුරු සෙවනැලිවලින් ගලවා ගත යුතු බැවිනි.නමුත් ඒ සඳහා ආණ්ඩුවේ ස්වයං පෙළඹීමක් අපේක්ෂා කිරීම නුවණට හුරු නොවන අතර ඒ සඳහා බල කරන ප්‍රබල මැදිහත්වීමක් සිදු කිරීම සියලු දේශහිතයිෂී බලවේගවල අද දවසේ මුඛ්‍ය කාර්යයක් විය යුතුය.
එබැවින් දේශමාමකයිනි අලුත් මෙහෙවර සඳහා
කාලෝ අයන්තේ. . . . .


- කැලුම් නිරංජන

2 comments: