Monday, June 4, 2012

හරය වෙනුවට (කුණු) රසම සොයන නාගරික ගොසිප් මනස

2 comments
-නූතන සයිබර් අවකාශයට ගොසිප් උගතුන්ගේ ආගමනය
අනූව දශකය වන විටද අන්තර්ජාලය ලොව පුරාද ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යක් ලෙස හොඳින් වර්ධනය වී නොතිබිණ.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය කරලියට එන්නේ 2000 වසරෙන් පසු කාලය තුලදීය.වසර  2000 වන විට සමස්ථ ජනගහනයෙන් 1% පමණ  තිබූ අන්තර්ජාල භාවිතාව 2012 වන විට 20% පමණ මට්ටමකට වර්ධනය වී තිබීමෙන් පෙන්නුම් කරනුයේ අන්තර්ජාලය අප සමාජය හරහා හඹායන වේගයේ ප්‍රමාණයයි.
එයිනුත් වසරක දෙකක  පමණ කාලයකදී අන්තර්ජාල භාවිතය පෙර වසරට සාපෙක්ෂව දෙගුණයකින් පමණ වර්ධනය වන බවට ලැබෙන සංඛ්‍යාලේඛන වලට අනුව නම් තව අවුරුදු 5කදී පමණ අන්තර්ජාල භාවිතාව (ජංගම දුරකථන මෙන්ම ) 100% වන බව තාර්කිකව පෙනේ. නමුත් එලෙස වීමට ඇති ඉඩ අවමය. යම් මට්ටමක භාෂාමය  හා තාක්ෂණික අතේ හුරුවක් අවැසි මාධ්‍යයක් බැවින් මේ වර්ධනය ටික කලකදී සංතෘප්ත මට්ටමකට එලඹ වර්ධනයේ වේගය අඩු වනු ඇත.
ලංකාව තුල පෙන්නුම් කරන මෙම අධිවේගී වර්ධනය (අන් රටවලට සාපෙක්ෂව තවම මුලු ගනනින් අප පහල තලයක සිටින බව සැබෑය.එසේ වුවත් පෙන්නුම් කරන වර්ධන රැල්ල ඒ සීමා අතික්‍රමණය කරන බවට සැක නැත )  80 දශකයේ ඇරඹි රූපවාහිනී රැල්ල දශකයක් පමණ කාලයකදී ගම් දනව් සිසාරා පැතිර ගියේ කෙසේද , එසේ නැතහොත් 90 දශකයේ අගින් ඇරඹි ජංගම දුරකථන රැල්ල දශකයකදී පමණ ජංගම දුරකතනවලින් පරිපූර්ණ වෙමින් ව්‍යාප්ත වූයේ කෙසේද, එලෙසම ඉදිරි දශකය තුලදී අන්තර්ජාල මෙවලම ප්‍රමුඛම තොරතුරු හුවමාරු මාධ්‍ය වීම අනිවාර්ය වේ.
කලකට පෙර නාගරික ඉහල ආර්ථික වරප්‍රසාධිතයින්ට සීමා වූ අන්තර්ජාල භාවිතාව කෙමෙන් නාගරික මධ්‍යම තලය හරහා අද වන විට නාගරික සීමාවෙන් ඔබ්බට යමින් ගම් දනව් කරාද ඇදෙමින් පවතී. ලෝකය පුරාම හඹායන එම තොරතුරු තාක්ෂණ සුනාමි රැලට ආර්ථික වලයේ පරිධිය ආසන්නයේ සිටින අප වැනි රටවල්ද පහසුවෙන් ගොදුරු බවට පත්වීම අනිවාර්‍ය සාධයකයක් වී තිබේ.අන්තර්ජාලය ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යක් ලෙස වර්ධනය වීමත් සමග පසුගිය අඩ දශකය තුලදී පමණ මාධ්‍ය ලෝකයද සීඝ්‍ර යෙන් ප්‍රසාරණය වෙමින් පවතින බව පෙනේ.
අන්තර්ජාල භාවිතය මෙලෙස හැල්මේ දිව්වත් ඒ හා බැඳුනු අත්‍යවශ්‍ය හර පද්ධතියක් ඒ හා සමගම වර්ධනය නොවීම ඉදිරියේ සමාජ ව්‍යසනයකට හේතුවක් වනු ඇතැයි දැනුවතුන් ඉදිරිපත් කරන මතය හුදු ප්‍රලාපයක්ම නොවේ.අන්තර්ජාල ව්‍යාප්තියත් සමගම ඒ හා බැඳුනු සමාජ ව්‍යාධීන් රැසක්ද කෙමෙන් කෙමෙන් මුල් අදිමින් ඇත්තේ රූපවාහිනිය,ජංගම දුරකථනය ආදිය මගින් ඒවායේ උපයෝගීතාවයට එහා ගිය අනර්ථීන් රාශියක් සමාජගත වූවාටත් වඩා භයානක ලෙස අධික වේගයෙනි.සමාජ හරයන් විනාශකරන නහුතයක් විධි මේ තුල ඇතත් මෙහිදී කෙටියෙන් නමුත් සටහන් කරනුයේ අන්තර්ජාල භාවිතාකරනන්නන් අතරත් ‘විදග්ධ’ යැයි හඳුන්වාගන්නා කුලයට අයත් වූවන් අතර පැතිරෙන ඕපාදූප මාධ්‍ය කලාව ගැනයි.
‘Gossip’ යන සාඩම්බර නාමය නැතිව ඕපදූප යන වචනය ඇසෙනවිට බොහෝ දෙනාගේ සිතට මුලින්ම එන්නේ එය ‘විදග්ධ’ එසේ නැතහොත් ‘ප්‍රබුද්ධ’ සමාජයට ඈතින් ඇති ප්‍රාථමික ගෝත්‍රික ලක්ෂණයක් ලෙසය.නමුත් අදවනවිට එම අදහසට හිමිව තිබූ සීමිත වලංගුභාවයද අහිමි වී ඇති බව අප වහටා ගත යුතුය.සමාජ ජාලා නිර්මාණකරුවන් මහත් සේ ලොබ බැඳි, සකල ලෝ වාසී ජනයා පෙලන ව්‍යාධිය නම් මේ ඕපාදූප හඹා යෑමයි. ස්වභාවයෙන්ම සියලු මට්ටම්ලව පෘථග්ජන මනස් නිරතුරුව ඇදී යන්නේ අර්ථාන්විත හරයන් වෙත නොව ‘ප්‍රාථමික’ යැයි හඳුන්වන ඕපාදූප මානසිකත්වයටයි.ෆේස්බුක් වැනි සමාජ ජාලාවල පැවැත්ම තහවුරු වෙන්නේ මෙම ගොසිප් හෙවත් ඕපාදුප මානසිකත්ව පාදම ලෙස නිවරදි ලෙසම සකර්බර්ග්ලා විසින් වටහා ගෙන ඇති බැවිනි.පූර්ව සමාජ සබඳතාවලින් ගලවා හුදකලා කර ඇති ‘නූතන මිනිසා’  (එදා පන්සලෙන්, බණමඩුවෙන්, ශ්‍රමදානයෙන් ,මරණාධාර සමිතියෙන්,මංගල්ලයෙන් එක් වූවන් අද හුදකලා වී ඇත. කොන්ක්‍රීට් තාප්පයේ සීමාවට කොටු වුනු ජීවිත පෙලන මේ  හුදකලාව සමාජ ජාල තුල ගිලී යාම තර්කානුකූලය.) මේ මාධ්‍යවල ගොදුරු බවට පත්වීම පුදුමයක් නොවේ.
කෙසේ වෙතත් මින් පෙර නොදියුණු ‍යැයි හැඳින්වූ ග්‍රාමීය සමාජය තුල ගෝත්‍රික ලක්ෂණයක් ලෙස අර්ථ ගැන්වූ ඕපාදූප කලාව (කෙටියෙන් කියන්නේ නම් “ලිඳ ලඟ සංගමය” ) සයිබර් අවකාශය හරහා නිවසටම පැමිණ ඇත්තේ ලිඳ අහිමිව නල දිගේ ජලය පැමිනෙන අයුරින්මය.සමාජ ජාලා (social networks) යන සාඩම්බර හැඩගැන්වීමට මුවා වෙමින් එදා නොදියුණු ගෝත්‍රික ප්‍රාථමික ලක්ෂණයක් ලෙස අර්ථගැන්වූ ඊනියා දැනුවත් සමාජයද අද වන විට ඒ නරාවලටම වැටී ඉන් ගොඩ යා ගත නොහැකිව තව තවත් ඒ ගොහොරුවේ එරෙමින් සිටිනු පෙනේ.
සමාජ ජාලා ඇබැබැහිය එලෙස වෙද්දී පසුගිය දෙවසරක පමණ කාලයක සිට පිලිලයක් සේ වැඩෙන අනෙක් ව්‍යාධිය නම් ඕපාදූප පුවත්  හෙවත් ‘Gossip News’ රැල්ලයි.සමාජ හරයන් බින්දුවට දමා අමුතුම ආරක ගමනක් යන මේ ඕපාදූප මාධ්‍ය කලාව අද වනවිට වසංගතයක් තරමට වර්ධනය වෙමින් තිබේ.තවමත් වැඩිපුරම නාගරික ඊනියා දැනුවත් සමාජය වෙලාගෙන ඇති මෙම විකෘතිය 80 දශකයේ බිහිවූ ටැබ්ලොයිඩ් පුවත් කලාවේ තාක්ෂණික දිගුවක් යැයි යමහරුන් අර්ථ ගන්වනු පෙනේ.නමුත් ටැබ්ලොයිඩ් පුවත්  සතුව පවා පරමාදර්ශී නොවුනත් යම්කිසි ඉලක්ක සහගත අරමුණක් තිබූ අතර ඒ පිටුපස සිටි දැනුවත් දැවැන්ත මාධ්‍ය චරිත සමග සැසඳීමේදී අද ඇත්තේ හරයෙක් කෙතරම් කේඩෑරීවී ගිය පුහු පුවත් කලාවක්දැයි වටහා ගත හැක.
එක් සාධු අරමුණක් වෙනුවෙන් පෙලගැසීම හෝ සමාජ අගතීන් පෙන්වාදෙමින් ඒවා නිවරදිකරගැනීමේ ක්‍රියාපිලිවෙලක් වෙනුවට අද ඇත්තේ හුදු ජනප්‍රියවීමම මුල්කරගනිමින් නිර්මාණය වන අරුත්සුන් වාග් මාලවක් පමණි.සත්‍ය අසත්‍ය භාවය හෝ සමාජ හරයන්ට ඉන් අවැඩක් සිදුවේද යන්න මේ ‘ ඕපාදූප  වෙළෙන්දන්ට’ වැදගත් නැත. ජනප්‍රිය වේනම් ඕනෑම අසූචි ගොඩකට අයිසින් දමා රස අහරක් ලෙස එම රස සොයන්නන්ට  බෙදීම ඔවුන්ගේ අරමුණයි.උවමනාවෙන්ම වැර යොදා හුදු විවේචකයකුගේ භූමිකාවට පණපොවන මේ ඕපාදූප වෙලෙන්දන් අවසානයේ බිහි කරමින් සිටිනුයේ මතුපිටින් අතගා කෙටි නිගමනවලට එලඹෙන බොරු පණ්ඩිතමාණී පුස්සන් රැලකි. සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සොයන්නන් වෙනුවට මේ හරහා නිර්මාණය කෙරෙනුයේ  අනුන්ගේ ඕපාදූප කුනු ගොඩ අවුස්සා මනසින් ආස්වාදය ලබන හීනමානයෙන් පෙළෙන කබරයින් සදැසි නිවටයින්ය.සරල උදාහරණයකින් කිවහොත් ගීතයක ආස්වාදය ලැබීමට වඩා එම ගීතය ගයන ගායකයගේ හොර අඹුව ගැන කුණු ඇවිස්සීමට මේ ‘සයිබර් අබිලිංලා’ වැඩි මනාපයක් දක්වති.අබිං කෑවාක් මෙන් මේ කුණුරසට ඇබ්බැහිවූවන් එයින් මුදා ගැනීම අතිශය දුෂ්කරය. ඕපාදූප වෙළෙන්දන්ගේ වෙලඳ අරමුණුවලට මේ පුස්සන් හොඳ උත්ප්‍රේරකයකි.මේ බොහො ‘පඬිවරුන්’ ඉන්පසු මේ දියත අතැඹුලක් සේ දනිතියි සිතූවන් මෙන් රඟමින් සමාජයම මහා විකෘතියක ගිල්වමින් සිටී.
මෙයින් සිදුවන බරපතල අගතිය නම් සමාජීය කරුණු පිලිබඳ හරවත් සංවාදයකට ඇති අවකාශය ඇහිරී යාමයි.පඳුරකට පයින් ගැසූවිට දුසිම් ගනනින් විසිවන ‘ගොසිප් උගතුන්’ බිහිවී ඇති වටපිටාවක ඒ ඒ විෂයන් ගැන ප්‍රාමාණික දැනුමක් ඇති දැනුවත් මිනිසුන් නොසලකා හැරීම සුළුවෙන් තැකිය හැකි ව්‍යසනයක් නොවේ.ගොම රිටිවලට ඉඩදී මැණික් යට යෑම නිරෝගී සමාජ පැවැත්මට හිතකර කරුණක් නොවන බව අප වටහා ගත යුතුය.මේ ව්‍යාධියේ තරම කොතෙක්දැයි බැලීමට මෑත කාලීන පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්ථා කිහිපයක් පෙරලා බැලීමම සෑහේ.උගත් දැනුවත් යැයි සැලකෙන පාර්ලිමේන්තු නියෝජිතයන් පවා තම කතාවලට පදනම ලෙස ගෙන ඇත්තේ මේ ‘ඕපාදූප’ ආරංචියි. ආර්ථික දර්ශන , සාමාජීය පර්යේෂණ වලට හිමි ඉඩ මේ ප්‍රලාප මගින් අතික්‍රමණය කිරීමෙන් පෙන්නුම් කරනුයේ අනාගත පරපුර  හරය නොහඳුනන, (කුණු) රසම සොයන පුහු මිනිසුන්ගේ ඒකාධිකාරයට යට වීමේ ව්‍යසනයේ පෙරමග ලකුණු නොවේද?
මේ තත්වයෙන් ගොඩ ඒමට නම් දැනුවත් සංවාදයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් නමුදු මේ ඕපාදූප වෙලෙන්දන්ගේ අධිකාරී බලයට එරෙහිව එවැන්නක් සිදු කල හැකිදැයි සැක සහිතය.කෙසේ හෝ කල යුතුව ඇති එම සංවාදය හරහා නිරෝගී සමාජ අවශ්‍යතාවය සපුරාලීමට නම් විචාරශීලීත්වයට රුකුල් දෙන පුවත් කලාවක් මෙන්ම ඒ සමගම සමාජ හරයන් මෙන්ම එහි වගකීම් හඳුනාගත් දැනුවත් සමාජ ජාලා භාවිතයක් නිර්මාණය කර ගත යුතුය.අද දවසේ සයිබර් අවකාශයේ වගකීම් හඳුනන  මිනිසුන් ඉදිරියේ ඇති අභියෝගය එයයි.

- කැලුම් නිරංජන

ලංකාසීනිවුස් වෙබ් අඩවියේ 2012 මැයි 04 දින පළ කල ලිපියකි.
එසේම මෙම ලිපියම දිවයින පුවත්පතේ රැව් පිළි රැව් තීරයේ 2012-05-29 දින පළ කරන ලදී.

2 comments:

  • June 4, 2012 at 6:32 PM

    බොහොමයක් අදහස් හා එකඟ වෙනවා! අනුන්ගේ කුනු තුලින් ලබන්නාවූ ආත්මතෘප්තිය අද ගොසිප් අඩවියකට ගියාම අසහනකාරීන්ගේ කොමෙන්ටු කිහිපයක් කියවීම තුලින්ම තේරුම් ගන්න පුලුවන්!

  • June 5, 2012 at 10:05 AM

    මිනිස්සුන්ගේ තියෙන අනුන්ගේ කුණු හොයන පුරුද්ද තමන්ගේ බඩ වියත ‍රැකගැනීම සදහා යොදාගැනීමක් තමයි ගොසිප් සයිට් වලින් වෙන්නේ.හොද ලිපියක්!