Sunday, June 17, 2012

"නිවහල් අධ්‍යාපනය" - 'ගුරු තරුවෙන් ' පෙන්වන මග දිගේ....

2 comments
-නිදහස් මෙන්ම නිවහල් අධ්‍යාපනයක් වෙනුවෙන්...
අධ්‍යාපන පෞද්ගලීකරණය අද දවසේ ලේ සෙලවෙන කතිකාවක් බවට පත්ව තිබේ.පිරිසක් 'නිදහස් අධ්‍යාපනයේ' මුරබල්ලන් වීමටද  තවෙකෙකු 'අධ්‍යාපන පෞද්ගලීකරණයේ" පියවරුන් වීමටද වෙහෙසෙන අයුරු පෙනේ. තවත් සමහරෙකු සමස්ථ අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි වනු වෙනුවට තමන්ගේ අනාගත රැකියා සහ ආදායම් අහිමිවීමේ භීතිය වෙනුවෙන් හුදු  'පුද්ගලික වෙද විදුහල්' විරෝධය වැනි පටු සීමාවක සිරවී ඇතැයිද චෝදනා නැගේ. 
අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම වන 'පෞද්ගලික විශ්ව විද්‍යාල' පිළිබඳ කාරණය සමාජය තුල හොඳින් කලතා ඇතිකලයුතු කතිකාවකින් පසු සීරුවට ගත යුතු දේශපාලන තීන්දුවකි. නමුත් සිදු නොවන්නේද එයමය. ප්‍රකාශිත අරමුණුවලට වඩා මෙහි යම් සැඟවුනු අරමුණක් ඇත්දැයි සාධාරණ සැකයක් ගොඩ නැගෙන්නේ එහෙයිනි. 'පෞද්ගලික නම් එපා ' යනුවෙන් වීදි බසින හුදු විරෝධාකල්පිකයන්ට මෙන්ම 'මේක තමයි ට්‍රෙන්ඩ් එක .ලිං මැඩියොන්ට ඕව තේරෙන්නේ නෑ' යනුවෙන් නැගෙන 'ධනාත්මක', 'නූතනවාදී' සිතිවිලිකරුවන්ට මෙන්ම විෂයභාර ඇමතිවරයා ඇතුලු බොහෝ දෙනාට මෙහි ගැඹුරින් හදාල ඒකමතියක් නොමැත. බොහෝ දෙනාගේ මේ පිලිබඳ මතය බොහෝ පටු සීමාවකට සීමාවන පෞද්ගලික කාරණා පමණි.
එබැවින් කල යුත්තේ සමාජයේ විවිධ තලයන් ඔස්සේ සිදුකරන දාර්ශනික කතිකාවකට ඉඩ සලසා එමගින් ලැබෙන අදහස්ද උපයෝගී කර ගනිමින්  'නිවහල් අධ්‍යාපනය' තහවුරු වන දෙසට ගමන් කිරීමය.

ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ 'පිනට පහළ වූ' විශිෂ්ඨ කලාකරුවාගේ  ගුරුතරුව නාට්‍යයේ 'නිවහල් අධ්‍යාපනයක්' වෙනුවෙන් කෙරෙන මේ කතිකාව මේ සියලු දෙනාට තම තමන් නියෝජනය කරන අන්තයන් පිළිබඳ නැවත සිතන්නට හොඳ අවස්ථාවක් යැයි සිතේ.


ගුරු තරුව වේදිකා නාට්‍යයෙන්....


සංවාද සටහන උපුටා ගැනීම ගුරුතරුව නාට්‍යයෙන් : 

මුල් ගුරුතුමා : 
ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය.නිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු විලාසිතාවක් නෙවෙයි.මහාවිහාරය ජේතවනය අභයගිරිය වගේ තක්සලාවලින් ඇරඹි , උතුරු මුල , දකුණු මුල , කපුරු මුල , වාද මුල , ගල්කුළු මුල , විල්ගමුව , මහනෙත්පාමුළ වැනි නිකායානුබද්ධ විද්‍යාතනය ඔස්සේ විකාශනය වෙලා  පැපිළියානේ සුනේත්‍රාදේවී , කෑරගල පද්මාවතී , තොටගමුවේ විජයභා , රයිගම ගණානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිනාමය වෙච්චි නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා.ඒ විතරක්ද. මේවායින් කලා කෞෂල්‍ය , විද්‍යා විශාරදත්වය , දියදම්වේදය , මානව හිතවාදීත්වය ඈ නන්වන් සිප් සතර හදාරන්නත් අවස්ථාව තිබුනා.

නැටුම් ගුරුතුමා :
මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය ,  මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

මුල් ගුරුතුමා : 
අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ 

ඉංග්‍රීසි ගුරුතුමා
එහෙමවත් අවස්ථාවක් ලබා නොදුන්න නම් ද ඉතුරු වෙයි මේ විදියටවත් අධ්‍යාපනය.

මුල් ගුරුතුමා : 
ඉතුරු උනා තමයි. අනේ අපේ අර සරණ හෙළයාගෙන් නිදහස් අධ්‍යාපනය ගිලිහිලා .දත් - නොදත් , ඇති- නැති ,හැකි-බැරි ,දග්ධ-විදග්ධ පරතරය තවත් වැඩි වුනා.ගැතිවාදී සුළුතරය වරප්‍රසාදලාබීන් උනා.අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනා පල්ලම් ගහන විජ්ජාවක් උනා.

ඉතිහාස ගුරුතුමා
විජ්ජාවක්.විජ්ජාවක්කියනකොට ඉතිහාස ගුරුවරය හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විජ්ජාවම පෙන්නපු ඉන්දියාව.1935 දී භාරතයේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රවියෙල් මැකොල් සාමිවරය කිව්වේ මොකක්ද ? පාලකයන් වන අප සහ ලක්ෂ සංඛ්‍යාත වූ රට වැසියන් යා කරන අතරමැදි තෝල්කයන් විය හැකි පිරිසක් , ඒ කිව්වේ ලෙයින් සහ පාටින් භාරතීයන් වූ සංකල්ප , ආකල්ප හා සදාචාරය අතින් ඉංග්‍රීසීන් වන පන්තියක් අප විසින් සැකසිය යුතුය කියල.අපේ පුංචි ලංකාවේ කලු සුද්දො බිහි වුනේ ඔය ආකාරයට නොවේද ?

නැටුම් ගුරුතුමා :
ගැල් කරුවා ගොනා හික්මවන්නේ ගමන යා ගන්න මිසක්කා ගෙරියාසනන්න නෙවෙයිනේ.ඉතිහාසෙත් ඕව සිද්ධ වෙනවා.  

ඉතිහාස ගුරුතුමා
ඉතිහාසය.ආන්න.ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගරු අධ්‍යාපන ඇමති වශයෙන් පත් වුනු ආචාර්‍ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ශ්‍රීමතානෝ

මුල් ගුරුතුමා : 
ඒ කිව්වේ අපේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය  

ඉතිහාස ගුරුතුමා
සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය අධ්‍යාපන වරම් පියවරෙන් පියවර කෙමෙන් පීඩිත පන්තිය අතරට විහිදිමේ මහා විප්ලවය ආරම්භ කලේ.

මුල් ගුරුතුමා : 
එදා 1944 මැයි තිස් වෙනිදා අධ්‍යාපන සංශෝෂන ආඥ්ඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ කන්නන්ගර මැතිතුමා ඉදිරිපත් කලේ මෙහෙමයි.තෝම්ස් ග්‍රේ කියන කවියගේ පද හතරකුත් ගායකා කරමින්.මෙන්න හෙහෙම  

සංගීත ගුරුතුමිය :
නොයනා හිරු රැස් සිතු ගැබ පතුලට
අගනා මිණි රැස් අඳුරෙම සැඟවෙත
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළඟින් වනයෙම පරවෙත

විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැලවී සුවඳ අහිමි වී යන නයින් ඈත පිටිසරයේ දිළිඳු ගොවි පවුලක පොල් අතු සෙවනේ ඉපදී බුද්ධියේ සහ භාග්‍යයේ එළිය නොලබා නිවී මිලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහිකල යුතුය.

නැටුම් ගුරුතුමා :
හැබැයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව් එදා එහෙම කිව්වට මොකද ගස් බැලයන්ට අධ්‍යාපනය දුන්නම ගමේ පොල් කඩන්නේ කවුද කියපු ජාතික වීරයොත් එදා හිටිය.

මුල් ගුරුතුමා : 
ඒ ගඩොල් වීරයො.

ඉතිහාස ගුරුතුමා
ගඩොල් කියනකොට එදා කන්නන්ගර උන්නැහේ මෙහෙමත් කියල තියෙනව. "ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකවරුනි.එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුව .මා එනවිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරි කර ආවේ කිරි ගරුඬ රෝමයකි කියල.අන්න ඒ වගේ අපි යන විටත් මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවාය, වසා මුද්‍රා තමන ලද පොතක් මෙන් තිබූ අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කලාය,ධනවතුන්ගේ වරප්‍රසාධයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායාදයක් බවට පත් කලාය කියල උදම් අනන්න පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍රණ සභව,ඒක කොයි තරම් අගේද  " කියල

ඉංග්‍රීසි ගුරුතුමා
ඔව් එදා ඒ හිතපු දේ අද ඉෂ්ඨ වෙලා තියවනද කියන එකයි ප්‍රශ්නේ ඉස්කෝලෙ මහත්තයෝ.

නැටුම් ගුරුතුමා :
ඉෂ්ඨ වෙලා නැත්නම් අපි ඒක ඉෂ්ඨ කරගන්න ඕන

මුල් ගුරුතුමා : 
කොහොමටත් කන්නන්ගර මහත්තයගේ යෝජනා නිකන්ම සම්මත උනෙත් නෑ.බාධක වැට කඩොළු බොහොමයක් තිබුනා.යන්තම් හරි අත හිත දුන්නේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ හිටපු හේරත්නායක , ඊ.ඒ නුගවෙල , එස්.ඒ වික්‍රමසිංහ ආචාර්ය එන් එම් පෙරේරා යන මහත්වරුන් කියන වග මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි....
අපේ මේ උදා රැස්වීම දේශපාලන රැස්වීමක් වුනාදෝ කියල මට හිතෙනව.
කොහොමටත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නෑනේ.

ඉතිහාස ගුරුතුමා
හැබයි අධ්‍යාපනයෙන් තොර දේශපාලනඥ්ඥයො නම් ඉන්නව.

නෑ මම කිව්වේ ඉඳල තියෙනව.
..........................................
සටහන
-කැලුම් නිරංජන

2 comments:

  • June 18, 2012 at 7:01 AM

    ලිපියේ ආරම්භය ඉතා හොදයි ... ඒ උනාට මේකේ අවසානයක් නෑ නේ .. ගුරු තරුවෙන් කියනේ කලා කාමී ජන පිරිසක් නිර්මාණය කල යුතුයි කියලනේ.. එත් අද පවතින විදිහට ඔක්කොමල එහෙම උනොත් එක ප්‍රශ්නයක් නේ .... අධ්‍යාපන ක්‍රමයේ ප්‍රගතිය උදෙසා කල යුතු දෑ ගැන ඔබේ මතය ප්‍රකාශ වුවා නම් හොදයි සිතේ ....

  • June 18, 2012 at 7:08 AM

    ස්තුතියි කවිඳු :D
    සම්පූර්ණ ලිපියක් ලියනවට වඩා ගුරු තරුවේ නිදහස් අධ්‍යාපනය ගැන කියවෙන කතිකාව බෙදා ගන්නයි මට උවමනා වුනේ :ඪD
    ඔව් අපි බලමු ඉදිරියෙදි :D