Thursday, June 11, 2009

ජනපති තුමනි,බල්ලන් බැඳ දමනු. . . .

0 comments

විසකුරු සන්නද්ධ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මාතෘ භූමිය නිදහස් කර ගෙන මසක් ඉක්ම යන්නටත් මත්තෙන් ත්‍රස්තවාදයේ පසු පෙළ බලවේග පෙරටත් වැඩි ජවයකින් කරලියට පැමිණෙමින් තිබේ.දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් මාරාවේශය පුදුමාතලන් ජය භූමියේදී වීරෝධාර රණවිරුවන් විසින් බයිනෙත්තු කටින් නිහඞ කර දැමුවද එහි පිටු පස සිටි දෙස් විදෙස් බලවේග සිදු වූ තැති ගැන්ම මග හරවා ගනිමින් නැවතත් තම සුපුරුදු අරමුණ වෙනුවෙන් පිඹුරුපත් සකසමින් සිටී.

ත්‍රස්ත මර්දන මෙහෙයුම සාර්ථකව අවසාන වනවාත් සමගම ,අවසන් සටනේදී සාමාන්‍ය ජනයා සංහාරයකට ලක් වී යැයි චෝදනා නැගුනේත් ඒ විගසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව අබියස චන්ද විමසුමකට මුහුණ දීමට ශ්‍රී ලංකා රජයට සිදු වන්නේත් , කොටි වනසන සටනට යුද නායකත්වය සැපයූ වීර සෙන්පතියන් සහ දේශපාලන නායකත්වය සැපයූ දේශප්‍රේමී දේශපාලන නායකත්වයත් ඊනියා යුද අධිකරණය නැමති දං ගෙඩිය වෙත දක්කන්නට කැස කවන්නේත්එහි එකිනෙකට සම්බන්ධ සිද්ධි දාමයක් ලෙස මිස අහඹු සිදුවීම් ලෙස නොවන බව වටහා ගත යුතු වෙමු.

ඊනියා මානව හිමිකම් සමුළුව ඉදිරියේදී එහි චන්ද විමසීමෙන් ජය ගැනිම රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බව සැබෑ නමුත් එහිදී එම ජයග්‍රහණය ලබා ගැනීමට රජයක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ රටට අහිතකර බෙදුම්වාදයට වාසිදායක යම් කොන්දේසි වලට අකමැත්තෙන් හෝ එකඟ වී ඇත්නම් එය මහින්ද රාජපක්ෂ රජය කර ගත් බරපතල දේශපාලන වැරැද්දක් වනු ඇත.
එය අතිමහත් බහුතරයක් වන දේශප්‍රේමී ජනතාව කිසි සේත් අනුමත නොකරනු ඇත.ඔවුන් මහින්ද රාජපක්ෂ රාජාසනය මත හිඳවූයේ එම අරමුණින් නොවන බව තරයේ මතක තබා ගත යුතුය.එසේ නොවුනහොත් අද මහ ඉහලින් ප්‍රසශ්ති ගායනා ඉදිරිපත් කරන්නන්ම ඔහුට එරෙහිව නැගී සිටිනු වැලැක්විය නොහැකි වනු ඇති.නමුත් අද දවසේ ජාතික බලවේගයේ ශක්තිවන්තමයා වන මහින්ද රාජපක්ෂ මහතාට එසේ බහුතර දේශප්‍රේමී බලවේගයේ හඬට ලෙහෙසියෙන් පිටුපා යා නොහැක.

නමුත් අද දවසේ අභියෝගය වී තිබෙන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටිනා කේවට්ට ඇමතිවරුන්ය.එදා ජාතික බලවේගයේ සෘජු මැදිහත්වීම නොවන්නට මහින්ද රාජපක්ෂ සිංහාසනය මත නොවන්නට ඉඩ තිබිණ.එසේ වී නම් දොන් ජුවන් ධර්මපාල චරිතය මෙලක තුල ප්‍රතිරූපණය වනු ඇත.ඊලාම් රාජ්‍යට අවශ්‍ය සියලු අඩු වැඩිය රාජතන්ත්‍රය විසින්ම සපයා එය නීතිගත වන්නටද ඉඩ තිබිණ.ත්‍රස්තවාදය පැරදවීම වෙනුවට මවන කෘතිම භීතියට මුවා වී දෙමල ජාතිවාදයේ අභිලාෂ සම්පූර්ණ වන්නට ඉඩ තිබිණ.

නැවතත් කරලියට ගෙන ඇති බලය බෙදීම සහ ඊනිය 13 වන ව්‍යවස්ථා සංශෝදනය බලාත්මක කිරීමට කෑ මොර දෙන්නන් බහුතරය එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීම බලාපොරොත්තු නොවූ අය සහ ඊට ප්‍රසිදිධියේ හෝ සැඟවී උල්පන්දම් දුන් ඇම්බැට්ටයන්ය.
ඔවුන්ට අයත් වන්නේ එදා විපක්ෂයේ සිටියවුන් පමණක් නොව, ශ්‍රී ල නි ප රජය තුල සිටියවූවන්ද වෙයි.සිංහල භාෂව රාජ්‍ය භාෂාව වීම අමන ක්‍රියාවක් ලෙස දකින්නේත්,ඊනියා ජනවාර්ගික අර්බුදයට විසඳුම 13 වන ව්‍යවස්ථා සංශෝදනයටත් ඔබ්බට ගිය අසමමතික බලය බෙදීම ලෙස දකින්නේත් මේ ද්‍රෝහීන්ය. ඔවුන් අද රජයේ ප්‍රබල ඇමති වරුන් බව සැබෑ නමුත් දස දහස්වරක් පරාජය කර ඇති බොරු පුහු මතවාද නැවත නැවතත් පුනරුච්චාරණය කිරීමට තරම් ඔවුන් ලැජ්ජා නැති නිවට අමනයන් වීම රටේ අවාසනාවකි.

ඔවුන් නැවතත් කොතරම් ඉලිප්පීමට උත්සාහ කරන්නේද යන්න,ජාතික බලවේගයේ ක්‍රියාකාරිකයන්ට එල්ල කරනා සෘජු අපවාද වලින් පැහැදිලි වේ. ආසන්නතම උදාහරණය නම්,ගුණදාස අමරසේකර නම් ප්‍රාඤ්ඥයාට එරෙහිව ඩිලාන් පෙරේරා නිවට ඇමතිවරයා එල්ල කරන ලද පුස් වෙඩිල්ල සැලකිය හැක. දශක තුනක් තිස්සේ ජාතික චින්තනය නැමති සංකල්පය බිහි කර පෝෂණය කරන , ජාතියට මග කියන මෙවැනි සැබෑ ජාතිමාමකයන් මෙසේ ගර්භාවට ලක් කිරීමට ඉඩ හැරීම දේශප්‍රේමි ජනයා නොඉවසන්නකි.

විජාතික මනස් ඇති මේ නිවටයන් සමාජය ඉදිරියේ නිවරදි අයුරින් හෙළිදරව් කිරීම සියල්ලන්ගේම වගකීමකි. ජාතික බලවේගයට පින් සිදු වන්නට ඇමතිකම් දරන මේ නිවටයන් එම ඇමති කමම යොදා ගනිමින් ජාතික බලවේගයටම වින කටින්නට දරණා වෑයම ජුගුප්සාජනකය.
මෙම දුෂ්ට බලවේගවලට ඊලඟ මැතිවරණවලදී නිසි පාඩම් ඉගැන්වීමට දේශප්‍රේමී සියලු ජනයා සිතට ගත යුතුය.ඒ සඳහා ඔවුන් මෙම දැනුමෙන් සන්නද්ධ කර තැබීම ජාතික මතවාදයට හිතවාදී සියල්ලන්ගේම පැහැර හැරිය නොහැකි වගකීමකි.

නමුත් සියලු වගකීම මහජනයා වෙතට පවරමින් ඉන් ලිස්සා යාමට විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂට නොහැකිය. මාතෘ භූමියට ද්‍රෝහී නොවී සිටීමම පමනක් ප්‍රමාණවත් නොවන අතර,ද්‍රෝහීන්ට යන එන මන් නැති කිරීමේ වගකීමද ජනාධිපතිවරයා සතු බව වටහා ගත යුතුය.
තම ඇමති මණ්ඩලයේ සිටිනා මෙම ද්‍රෝහීන් (කුමන පැලැන්තියකට අයත් වුවත්) පිලිබඳ අත් හල නොහැකි වගකීමක් ඔහු වෙත පැවරී ඇත.

ජන හද හඳුනන ජනපතිගෙන් බහුතරයක් වූ දේශප්‍රේමින්ගේ අද දවසේ ඉල්ලීම මෙයයි..
ජනාධිපතිතුමනි මේ බල්ලන් බැඳ දමනු. . . .
මක් නිසාද යත් බල්ලන් සපාකෑවහොත් එහි වන්දිය ගෙවන්නට සිදු වන්නේ ඔහුගේ අයිති කරුට වන බැවිනි.


-කැලුම් නිරංජන

0 comments: