Wednesday, December 21, 2011

මෙහෙම වෙන්නේ ඇයි?

2 comments

සිරස කියනව : "රනිල් පන්නමු" .
ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය/ මාධ්‍ය නිදහස /ප්‍රජාතන්ත්‍රවාදය.

රනිල් කියනව : "සිරස පන්නමු".
හැබයි ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාකිරීම / මාධ්‍ය මර්ධනය / ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති කම.

ඇයි ඒ වෙනසක්?

Thursday, November 17, 2011

සය වසරක යුග මෙහෙවර

සය වසරක යුග මෙහෙවර

පන්නා රුහිරු හෙලු කොටි රැල ඉමෙන්     එහා
පෙන්නූ එඩි බලෙන් ලක් දිව එකලු           කලා
පන්නා දැයම පිම්මක් ජය ටැඹෙන්          මෙහා
පෙන්නූ ජවය සෑහේ නව යුගෙන්              එහා....

සය වසරකදි කල මෙහෙවර ජන         ආලෙන්
පසසමු ලොබ නැතුව නිසි ලෙස බර      දීමෙන්
එනමුදු තව යන්න ඇති දුර ජන            ලීලෙන්
සිහි කොට  ගත යුතුයි ඔබ නිසි        වගකීමෙන්..

.
-කැලුම් නිරංජන
2011-11-18

Wednesday, March 16, 2011

මෙදා චන්දෙට මොකද උනේ?

2 comments
2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසූ රටේ දේශපාලන කරලියේ ඉහල තැන් කිහිපයක සහ තවත් කිහිප දෙනෙකු දැකිවිය හැකි අදහස් කිහිපයක් චන්දයට පෙර මෙලෙස අනුමාන කරමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා....

"තිස් අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය ජනතාව අමතක කරල නෑ.ජනතාව නැවත නැවතත් මේ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ රට ජාතිය කෙරෙහි තිබෙන ආදරයයි. නොමග යැවීම් තිබුනත් බහුතර දෙශමාමක ජනතාව මා කෙරෙහිත් මගේ රජය කෙරෙහිත් තැබූ විශ්වාසයට මාගේ හදවතින්ම නැගෙන ප්‍රණාමය මම මෙ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි.
පලමුවත් මව්බිම..... දෙවනුවත් මව්බිම ....තෙවනුවත් මව්බිම....

මාතෘභූමියට ජය වේවා !!! "


යටිසිත :
මෙදා පර ලේසි උනෙ නෑ වැඩේ. කොහෙද මට විතරක් මේක කරන්න පුලුවන්ද.ඇමතිවරු හැට හුට හමාරක් හිටියට වැඩක් කරන්නේ කී දෙනාද.අම්මප මුන් ඔක්කොම ගෙදර යවන්න හිතෙනව වෙලාවකට මට.යන්තම් රනිල -සජිත දෙන්නගෙන් එකෙකුටවත් මට තරම් මිනිස්සුන්ට කිට්ටු වෙන්න බැරි එක වාසනාවට ගියා.....චන්ද ටිකක් අඩු වෙලා තියෙනව තමයි. ඒක එක අතකට සාධාරණයි.මිනිස්සුන්ට ප්රවශ්න.කමක් නෑ.බලමු ඉස්සරහට තව මොනවහරි කරන්න....ආයෙ චන්දයක් එන්නේ 2016 නේ


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

මෙය තනිකරම රජය රාජ්‍ය සම්පත් යොදාගෙන අයුතු විදියට ජයග්‍රහහණය කරා.ජනතාව කබලෙන් ලිපට වැටුන.නමුත් ආණ්ඩුව ලබා ගෙන තියෙන්නේ රටේ ජනගහනයෙන් 30% ක බලයක් විතරයි.රටෙ බහුතරය ආණ්ඩුවට විරෝධය පල කරල තියෙනව.අපි මේ දුෂිත ඒකාධිපති පවුල් පාලනය පන්නල නුදුරේදීම එජාප ආණ්ඩුවක් බිහි කරන්න එකමුතුව වැඩ කරමු කියල මම ජනතාවට කියනව...




යටිසිත :
රටේ ජනගහනයෙන් 30% ක් ආණ්ඩුවට දුන්න කිව්වට බලද්දි මට හම්බ වෙලා තියෙන්නේ 12% ක් විතර :(මේ මහින්දය ඉන්නකන් පුතෝ අපිට ගොඩ ඒමක් නෑ.මූ මහ පුදුම යකෙක්.මේ යකා වගේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න මටත් පුලුවන් උනා නම්.කරුමේ...කරුමේ... මගේ නොලැබීම :( කමක් නෑ.අපි හම්බන්තොටත් පරාද උනානේ.වෙලාවට එහෙම උනේ.නැත්නම් සජිත උඩුබුරන්න ගන්නව.යන්තම් මගේ විපක්ෂ නායක කම බේරගන්න පුලුවන් මෙදා පාරත්.
හම්බන්තොට ජනතාවට ස්තුතිවේවා !

අමාත්‍ය විමල් වීරවංශ මහතා

මෙදා පාරත් රටේ සාතිශය බහුතර දේශමාමක , ජාතිමාමක ජනයා පෙන්නුම් කලේ තමන් මේ මාතෘභූමියට තියෙන ඓන්ද්‍රීය බැඳීමේ තරමයි.අධිරාජ්‍යවාදී විජාතික බලවේග වල මෙරට ඉත්තන්ට මෙදා චන්දෙදි මෙරට සුජාත දෙශමාමක ජනතාව නියම පාඩම උගන්වල තියෙනව.රනිල් නෙවෙයි සජිත් ආවත් ප්‍රතිපලේ එකක් බව පෙන්නල ඉවරයි.
අයාලේ දක්කපු ජනතා විමුක්ති පෙරමුනට මෙදා පාර තිබුනු එකත් නැති වීමෙන් පේන්නේ එම පක්ෂයෙ නායකයන් කැමැත්තෙන් දිනා ගන්නා පාරාජයේ තරමයි.මෙතෙක් හිමිව තිබූ නෙල්ලි කැලේ බුරියගේ භූමුකාවවත් මින් ඉදිරියට ඔවුන්ට අහිමියි...
මගේ අම්මේ තත්තේ ,සහොදරයා සහොදරිය ,අපි පොරොන්දු වෙනව ඔබට,රටේ දේශමාමක ජාතිමාමක ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අපගේ කැපවීම පෙරටත් වඩා දැඩිව අපි පෙන්නනව කියල.
මාතෘභූමියට ජය වේවා... මාතෘභූමියට ජය වේවා......
මාතෘභූමියට ජය වේවා......

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා

මේ මැතිවරණය අතිශයින්ම දූෂිත එකක්.රජය ජනතාවට චන්දය දෙන එක උවමනාවෙන්ම වැලැක්වුවා.රාජ්‍ය සම්පත් උපරිම ලෙස තමන්ගේ මැතිවරණයට යොදා ගත්ත.කොහොම උනත් ආණ්ඩුවට මීට පෙර ලැබුනු චන්ද ගනනත් එක්ක සැසඳීමේදී පැහැදිලි චන්ද අඩු වීමක් පෙන්නුම් කරනව.එය ඇත්තටම සුභ ලකුණක්.අපි ලබන සිංහල අලුත් අවුරුදදට කලින් එජාප ආණ්ඩුවක් බිහි කරනව කියල මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.


අමාත්‍ය චම්පික රණවක මහතා...

මෙදා චන්දෙදි රටේ දේශමාමක ජාතිමාමක ජනයා විපක්ෂය විසින් ගෙන ගිය අභූත චෝදනා වලට රැහැනිව හොස් තමන්ගේ චන්දය පල කරල තියෙනව.මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව රට පංච මහා කේන්ද්‍රය කිරීමේ යෝධ වැඩපිලිවෙලට මෙමගින් ලැබෙන්නේ ලොකු හයියක්.මේ ජයග්‍රණය කරල තියෙන්නේ ජාතික බලවේගය.එදා අපි සිහළ උරුමය හරහා පෙරට ගත් ජාතික ව්‍යාපාරයේ හයියෙන් තමයි මෙ ජයග්‍රණය රටට ලැබෙන්නෙ.
අපි විදුලිබල මණ්ඩලය හරහා පෙන්නුම් කරල තියෙනව පාඩු ලැබූ රාජ්‍ය ආයතන ගොඩ ගන්නෙ කොහොමද කියල.මේ පරාජය අදිරාජ්‍යවාදී ඒජන්තය වෙච්ච රනිල්ගේ විතරක් නෙවෙයි බොල්ෂෙවික් පක්ෂ වල අවතාර වලටත් ජනතාවගෙන් එල්ල වුනු අතුල් පහරක් කියල කියන්න කැමතියි.
තවදුරරත් මේ ඉතුරු බිතුරු වලට ජාතික දේශපාලනයේ කාර්යකභාරයක් නෑ..
අපි මෙරට දෙශමාමක ජාතිමාමක දෙශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලන්නේ ඉදිරියටත් අපි සමග රැඳෙන්න.අපි මේ රට ආසියාවේ ආශ්චර්‍ය බවට පත් කරනව නුදුරේදිම.


පාර්ලිමේන්තු මන්ත්‍රී‍ අනුර කුමාර දිසානායක සහෝදරයා.

මෙය අන්ත දූෂිත , රාජ්‍ය බලය අතිශය අසාධාරණ ලෙස යොදා ගත්ත මැතිවරණයක්.අපිට තිස්සමහාරාමය අහිමි වීමෙන් පෙන්නුම් කරන්නේ එකයි.කොටින්ම මේක ජිල්මාර්ට් එකක්.
නමුත් අපිට අපි ලබපු චන්ද ප්‍රමානයේ අඩු වීමක් තිබුනත් අපිට ඒ ගැන දුකක් නෑ.අපිට තියෙන්නේ සතුටක්.බත් පැකට් එකට,රුපියල් සීයට ලැබුනු චන්ද නෙවෙයි ඒවා.ඒව පිරිසිදු චන්ද.
අපිට චන්ද අඩු වුනාට එක අපේ පසුබෑමක් කියල කියන්න බෑ.ඒක ජනතාවගේ නොලැබීම.
නමුත් අනිත් අතින් ආණ්ඩුවට ලැබුනු චන්ද
ප්‍රමානයත් අඩු වීමෙ න් පෙන්නුම් කරන්නෙ කුමක්ද?ඔවුන් ජනතාව අතරින් ප්‍රතික්ෂෙප වෙලා කියන එකයි.
අපි මේ රටේ දෙශප්‍රේමී ජනතාවට සහතික වෙනවා සරත් ෆොන්සේකා හිර කරගෙන KP රජ ගෙදර තියා ගෙන ඉන්න මේ එ කා ධිපති වියරු දූෂිත අකාර්යක්ෂම පවුල් පාලනය නුදුරේදීම ගෙදර යවල සෑම දෙනටම සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජවාදී රාජ්‍යයක් බිහි කරන්න කැප වෙනව කියල.


සජිත් ප්‍රේමදාස මහතා...


මේ චන්දෙදි අපි පෙන්නුම් කල හම්බන්තොට එදා මගේ පියානන් සිටියදී ලබා ගත් චන්ද ගනනම මෙදා පාරත් අපි අරන් තියෙන්ව කියල.ජන්දය පැරදුනත් එමගින් ජනතාව පෙන්නුම් කරන්නේ ප්‍රේමදාස යුගයක් ඇති වෙනවට ජනතාවගේ තියෙන කැමැත්තයි.අපි අප්‍රේල් 12 වෙනිදයින් පස්සේ මේ අපේ පක්ෂය ටයි කෝට් කාරයන්ගෙන් මුදවගෙන සැබෑ ජන දුක හඳුනන ගමේ ගොඩේ පොඩි මිනිහගේ හැඟීම් තේරෙන,රෙද්ද බැනියම අඳින ,බිම් මට්ටමේ ගම් මට්ටමේ ජනයා නගා සිටුවන නැවතත් පොඩි මිනිහ ගැන හිතන ප්‍රේමදාස යුගයක් නැවත බිහි කරනව කියල මම පොරොන්දු වෙනව අම්මේ තත්තේ.

-රිපෝටර් කොලුවා

Wednesday, December 22, 2010

තාත්තාගේ කවිය...

2 comments



නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතී
ගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇති
වැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතී
නොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .


පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.
මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්
ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්
නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............


මතකද එදා දුර දිග බැලු දීඝායූ
මාතුපෝසකයි මව කර පිට පීනූ
දම්පල් තුමා වගේ රට දැය ගැන සිතුනූ
වෙයන් පුතුනි එයමයි නුඹෙ උරුමෙ දිනූ………

-පුතා




කැලුම් නිරංජන

Saturday, November 13, 2010

දෙවන වර අභියෝගය........

14 comments

හින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තම දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ඇරඹීමට තව ඇත්තේ සතියක පමණ කාලයකි.පලමු ධූරකාලය නිමා වන විට ලෝකයේ අපට බහුල උදාහණ ඇත්තේ තම මුල් ජනප්‍රියතාවය අඩු වූ පාලකයන් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කරමින් සිටින්නේ එහි විලෝමයයි.2005 දී ලද කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් දෙවන වර ලැබූ අති දැවැන්ත ජයග්‍රහණයෙන් වසරකට පමණ පසුව දෙවන ධූර කාලය නිල වශයෙන් අරඹන මොහොත වන විට රටේ යහපත් ඉදිරි ගමන් මග වෙනුවෙන් මෙවර ඉටු කල යුතු යුතුකම් සහ වගකීම් රාශියක් ඔහු හමුවේ ඉතිරිව පවතී.පලමු ධූර කාලයේදී ඔහු හමුවේ තිබූ සහ ඉතාමත් ප්‍රශස්ථ ලෙස ජයගත් බරපතල අභියෝගය සමග සැසඳිමේදී මෙය එතරම් දෙයක් නොවේ යැයි යමකු සිතුවත් කාරණය බරපතල වන්නේ පලමු අභියෝගය ජය ගැනීමට ඔහුට ජවය සැපයූ ජවාධික පරිවාර සේනාංකය වැනි සහායක බල ඇණියක් මෙවර අභියෝගය ජය ගැනීමට සිටීද යන පැනය මතු වන බැවිනි.කෙසේ වෙතත් කුමන බාධක හමුවේ වුවත් බහුතර ජනයා අපේක්ෂා කරන්නේ තමන් අපෙක්ෂා කල තැනට රට ගමන් කරවීමට වත්මන්මහින්ද රාජපක්ෂ පාලනය කටයුතු කරාවිය යන්නය.සාතිශය බහුතර ජනයා මහින්ද රාජපක්ෂ පිලිබඳ තවමත් නොසිඳුනු විශ්වාසයකින් කටයුතු කරන්නේ එම අපෙක්ෂාවෙනි.බහුතරය තවමත් එසේ විශ්වාසයෙන් පසු වුවත් තවත් කොටසක් ඉක්මන් ප්‍රතිපල අපෙක්ෂාවෙන් සිට එය නොලැබේයැයි කලින්ම තීරණය කර මඳක් පසු බසිමින් සිටී.නමුත් ඒ කොටස්වලද යටි සිත් මහින්දගෙන් යහපත් යමක් සිදුවේයැයි අපෙක්ෂා කරන්නේ යැයි පැවසීම මුසාවක් නොවේ.

ඒ අතර වත්මන් පාලනයෙන් දේශපාලන ලෙස නනත්තාර කරවූ කොටස් (එජාප ,ජවිපෙ මෙන්ම ඉතුරු බිතුරු වූ කොටි වලිග මෙන්ම රටට වින කෙටූ ඊනියා රාජ්‍ය නොවන කල්ලි ) තම තමන්ගේ දෙශපාලන ශරීරයන් තව දුරටත් ජීවී තත්වයෙන් පවත්වා ගැනීමේ මාරාන්තික අරගලයක නියැලෙමින් සිටින අයුරු දැකිය හැකිය. එහි කොටස් ලෙස සමහරුන් ගම දිනා ගැනීමට යැයි කියා ටයි කෝට් හැඳ වෙල් එලිවල දුව ඇවිදිදී තවත් කල්ලියක් තමන්ට සුපුරුදු ලේ සොලවන අරගලයකට අවශ්‍ය මානසික ශක්තිය තම කාඩර්වරුන්ට සපයන ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින අයුරු දැකිය හැකිය.මොන දහන් ගැට දැම්මත් අවසානයේ තමන්ගේ ප්‍රත්පත්ති ,බටහිර අවශ්‍යතා පෞද්ගලික අවශ්‍යතා සහ පක්ෂ අවශ්‍යතා යන පටු සීමාවෙන් ගලවා ගෙන රටේ අවශ්‍යතා වෙනුවෙන් සකස් කර ගැනීමෙන් තොරව මහින්ද රාජපක්ෂගෙන් එල්ල වූ දේශපාලන අභියෝගය ජය ගත නොහැකි බව මෙම කල්ලි අවබෝධ කර ගත යුතුය.මහින්දගේ රටට හිතරකර ගමන් මග (එය මිත්‍යාවකැයි,රැවටීමකැයි කියා අවශ්‍යනම් කෙනෙකුට නොසලකා හැරිය හැක.එය සනාථ කිරීමට උවමනා නම් උදාහරණද එකින් එක පෙනවා දීමටද යමෙකු ඉදිරිපත් විය හැක.නමුත් අප මෙහිදී සලකන්නේ එක් එක් වියුක්ත කාරණා නොව සමස්ථය වන බැවින් රාජපක්ෂ පාලනය පරම පිවිතුරු පරමාදර්ශී එකක් නොවූවත් එහි සම්ප්‍රයුක්තය රටට හිතකර එකක් යැයි පැවසීම අතිශෝක්තියට නැගීමක් නොවේ ) අභිබවා යා හැක්කේ වත්මන් පාලනයේ අඩු පඩු මෙන්ම යහ ලක්ෂණද එක පමණට විසල් මනසින් දකිමින් එය අභිබවා යා හැකි දැක්මකින් සන්නධ වන දේශපාලන ව්‍යාපාරයකට විනා තැන තැන සිදු කරනා අක්‍රමවත් සාම්ප්‍රදායික දේශපාලන ගරිල්ලා පහරදීම් වලින් නොවේ.

ඒ අතින් බලද්දී එවැනි මාවතක් පේන තෙක් මානයක නොමැති බව පැහැදිලිව පෙනේ.නායකත්ව අර්බුධයෙන් ගිනිගෙන දැවෙන තම පක්ෂ අභ්‍යන්තරය තම තමන්ගේ පෞද්ගලික වාසියට ගැලපෙන අයුරින් කළමනාකරනය කර ගැනීමේ සටනට මුහුණ දී ඇති එජාපයෙන් මේ මොහොතේ එවැනි විදග්ධ මැදිහත්වීමක් අපෙක්ෂා කිරීම නිරර්ථක උත්සාහයකි.වත්මන් නායකත්වයේ විජාතික ඒජන්ත ස්වරූපය මකා දැමීමට වෙල් දෙනි දිගේ දුව පැන ඇවිදිමින් සිදු කරනා නාටක , ගම දිනා ගැනීමට කේසේ වෙතත් පක්ෂ නායකත්ව අසුන රැක ගැනීමටවත් ප්‍රමාණවත් වේ දැයි සැක සහිතය.
ඒ අතර ජාතිකත්ව මගෙන් තීරණාත්මකව පීලි පැන්නවූ තම පක්ෂට ඉන් පසු උරුම වූ යලි සකස් කර ගත නොහැකි තරමේ දේශපාලන අනථභාවයෙන් පීඩා විදින ජවිපෙන්ද තව දුරටත් එවැනි අර්ථවත් මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකිය. (71 /88-89 දීවත් ඔවුන් මේ තරම් දේශපාලන නන්නත්තාරවීමකට ලක් වී නැතැයි සිතේ.එයුගයෙදී මර්දනයේ දඬු අඬුවට හසු වුවත් ඔවුන්ගේ දේශපාලන පෞරුෂය සමාජය ඉදිරියේ මේ තරම් හෑල්ලූ වූ අවධියක් නොමැත.සරසවි තුලින් පැන නැගී ඇති වත්මන් තත්වය හමුවේ යලි සමාජය ඉදිරියේ යම් කිසි දුරකට ක්‍රියාකාරී වීමට ඔවුන්ට ආවස්ථාව උදා වී ඇත්ත් එයද තාවකාලික වනු ඇත.)

විකල්ප මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකි මේ මොහොතේ රාජපක්ෂ පාලනයේ වගකීම විය යුත්තේ ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව ලෙහෙසියට නොසලකා වගකීමෙන් කටයුතු කරමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සක්‍රීයව මැදිහත්වීමය.එසේ නොමැතිව 77 දී 5/6 ක පාර්ලිමෙන්තු බලයකින් සමන්විත වූ JR‍ පාලනය මෙන් ඉබාගාතේ ඇවිද්දහොත් සිදු වන්නේ ඉතිහාසයෙ JR ට උරුම වූ තැනම මහින්ද රාජපක්ෂටත් උරුම වීමය.එපමනක් නොව JR රට පත්කල විසකුරු තැනටත් වඩා ශෝචනීය තැනකට රට පත්වීමය.තාවකාලික උන්මාදය ගෙන එන සබන් බුබුළු සංදර්ශන වෙනුවට දීර්ඝ කාලින දැක්මක් සහිතව රට මෙහෙයවිය යුත්තේ එබැවිනි.පලමු ධූර කාලයේදී රටට අත් කරදුන් විශ්ෂ්ඨ ජයග්‍රහණය මල් පල ගැන්විය හැක්කේ එලෙස පමනි.

මෙහිදී මූලික අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන ක්‍රියාදාමය වෙතටයි.එහිදී බොහෝ දෙනා අපෙක්ෂා කරන්නේ තම තමන්ගේ ඇසට අසුවන භෞතික සංවර්ධනය පමනි.නමුත් ඒ බටහිර සංවර්ධන උපාය උපක්‍රම අභිබවා යන අපට උරුම අපේම සංවර්ධන මාවතක් සකසා ගැනීම කර යුතු මුඛ්‍ය කාර්යයකි.සිංගප්පූරුව හෝ මැලේසියානු පන්නයේ කොන්ක්‍රීට් සංවර්ධනයක් වෙනුවට අපෙ රටට උරුම සංවර්ධන මාවතක් නිර්මාණය කර ගත යුතුය.එහිදී පුද්ගල අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ඕනෑම කැප කිරීමක් කිරීම වෙනුවට පුද්ගලයා සහ සමාජය ගැන එක ලෙස සිතා පරිසසරය කාබාසිනියා නොකරන පරිසරය හා සම්බන්ධ තිරසාර සංවර්ධන පිලිවෙතක් අනුගමනය කිරීමෙන් තොරව සිදුකරනා මොන යම් හෝ සංවර්ධන ක්‍රියාවලියක දීර්ග කාලීන ප්‍රතිඵලය යහපත් එකක් විය නොහැක.එයින් අදහස් කරන්නේ භෞතික සංවර්ධන ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු බව නොවේ.ක්ෂණික ප්‍රතිඵල අපෙක්ෂාවෙන් ඔබ්බට ගිය දීර්ඝ කාලීනව අවම වශයෙන් තව වසර 50 වත් ඉදිරිය දකින සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වහ වහා පියවර ගත යුතුය.එහිදී මාර්ග ,විදුලි බලය , වරාය ,ගුවන් තොටුපොළ ආදී ප්‍රමුඛ අංශවල සංවර්ධනය වඩා වැදගත් වන අතර එයට සමගාමීව මෙරට ප්‍රමුඛම ක්ෂේත්‍රය වන කෘෂිකාර්මික අංශය කෙරෙහිද දැනට වඩා සක්‍රීය මැදිහත්වීමක් කිරීම අත්‍යවශ්‍ය වේ.රජය මේ අංශවල සිදු කරනා බොහෝ ක්‍රියාකාරකම් වල දැනට ඇත්තේ සංදර්ශනාත්මක ස්වරූපයක් පමණි.යහපත් බොහෝ කාර්යයන් ආරම්භ වුවත් ඒවා දීර්ඝකාලීන වැඩපිලිවෙලකින් යුක්ත නොවීම නිසා බොහෝ ඒවා අතර මග ඇනහිටී,තවත් ඒවා ලත් තැනම ලොප් වී යයි.උදාහනණයක් ලෙස 'අපි වවමු රට නගමු' වැනි ප්‍රශස්ථ සංකල්පයක් ප්‍රදර්ශනාත්මක අර්ථයෙන් පමණක් ක්‍රියාවට නැගුන මුලදී බොහෝ දෙනා ඒ වෙනුවෙන් සක්‍රීයව තම දායකත්වය සැපයීය.තම නිවසේ ඇති කුඩා ඉඩ කඩෙන් පවා ප්‍රයොජන ගැනීමට උනන්දු විය.නමුත් ප්‍රදර්ශනාත්මක කාලය අවසන් වීමෙන් පසු ඒ ගැන යෙදු අවධානය නැතිවී යාමෙන් නැවතත් පරන තැනටම පත් වීමට සිදු වී ඇත.
ඒ සමගම සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනා ගෙන කටයුතු කිරීමද මීට වඩා ක්‍රමවත්ව සිදු කල යුත්තේ දැනට ඒ අතින් පෙන්වන සාර්ථකත්වය ගැන සෑහීමට ලක් විය නොහැකි බැවිනි.සංචාරක කර්මාන්තය දියුනු කිරීමේ අරමුනෙන් යයි කියා මෑතකදී කැසිනෝ පිලිබඳ පනතක් කඩි මුඩියේ සම්මත කර ගැනීම එම ප්‍රමුඛතා සැලකිල්ලට නොගන්නා බවට කදිම උදාහරණයකි.සංචාරක කර්මාන්තයේ දියුණුව අපේක්ෂාවෙන් නම් කැසිනෝ පනත සම්මත කර ගැනීමට පෙර කල යුතු කාර්‍යයන් රාශියක් ඉතිරිව පවතී.සංවර්ධන ක්‍රියාවලියේදී සිදුවන මෙවැනි අඩුපාඩු අවම කර ගැනීමට නම් ඒකාබද්ධ ආර්ථික සංවර්ධන උපායක් අනුගමනය කල යුතුය.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීම හරහා ජනාධිපතිවරයා බලා පොරොත්තු වන්නට ඇත්තේ මෙම අරමුනයි.එබැවින් දැන් කලයුත්තේ ඒ සඳහා පෙරට වඩා ක්‍රියාශීලීබවකින් මෙම අංශ ක්‍රියාත්මක කිරීමය.

නීතිය හා සාමය සුරැකීම අතින්ද දැනට වඩා ඉහල සඵලතාවයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොපමාව සිදු කිරීමද අත්‍යවශ්‍ය කාර්යයකි.විශේෂයෙන් පොලිස් සේවය මුල සිට අග දක්වා පූර්ණ වෙනස්කමකට ලක් නොකරන්නේ නම් යහපත් සමාජයක් බිහි වේ යැයි බහුතරය තුල ඇති අපෙක්ෂාව උපන් ගෙයිම වල දැම්මාට වරදක් නැත.8 සමත් පොලිස් සේවයක් වෙනුවට උගත් මනා ලෙස පුහුණුවක් ලත් නිලධාරීන්ගෙන් යුත් විධිමත් පොලිස් සේවයක් බිහි කර නොගන්නේ නම් තව දුරටත් සිදුවන්නේ මේ මජර ක්‍රමයම විකාශනය වීමක් පමණි.ඒ අතර දෙලක්ෂ පනස්දහසක් පමණ වන හමුදා සාමාජිකත්වයද හැකියාව ඇත්නම්( දැනටමත් ක්‍රියාත්මක වන පරිදිම ) සංවර්ධන කටයුතු සඳහා මැදිහත් කර ගත යුතුය.විශේෂයෙන් උතුරු පළාත තුල දියත් කර ඇති සංවර්ධන කටයුතු වලට තව තවත් ඒ දායකත්වය යෙදවිය යුතු අතර එහිදී හමුදා සාමාජිකයන්ට අමතර ප්‍රතිලාභ ලැබෙන වැඩපිලිවෙලක්ද සැකසිය යුතුය.

මේ කුමන කාර්යක් කිරීමටත් රට තුල දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කර ගත යුතුය.මහින්ද රාජපක්ෂට ඒ වෙනුවෙන් ඒ තරම් මහන්සි වීමට හේතුවක් නොමැත්තේ පසු ගිය මැතිවරණයෙන් ජනතාව නොසෙලවෙන බලයක් ලබා දී ඇති බැවිනි.පෙරදී මෙන් පාර්ලිමෙන්තු ඔලුගෙඩි සෙල්ලම් තුලින් ආණ්ඩු පෙරලිය නොහැකි වන සේ ස්ථාවර බලයක් ආණ්ඩුව සතු වන බැවිනි.නමුත් දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම සඳහා නොව විපක්ෂය නැති බංගස්ථාන කිරීමේ අරමුණින් මන්ත්‍රීවරු බිලී බෑමද වහා නතර කල යුතුය.වරප්‍රසාද වරදාන ඇමති තනතුරු ලබාදී තම පිල තව තවත් ලොකු කර ගැනීම හරහා තම පිල මෙන්ම එමගින් පොදු මහජනයා මත වැටෙන නාස්තිකාර වියදම්ද වැඩි වනු ඇත. පලමු ධූරකාලයේදී නම් යුද්ධය අවසන් කිරීමේ අරමුණින් තිබිය යුතු දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම වෙනුවෙන් කලා යැයි එය සාධාරනය කල හැකි නමුත් 2/3 ත් අබිභවා ඇති මේ අවස්ථාවේ සිදු කරන එවැනි ක්‍රියා මගින් සිදුවන හානිය ගැන මහින්ද රාජපක්ෂ මහතා දැඩි අවධානය යොමු කල යුතුය.(රජයක් පිහිටුවන කාලයක් පිලිබඳ ඉඟියක්වත් නොමැතිව ලත වන විපක්ෂ මන්ත්‍රීන් තව තවත් ආණ්ඩුවට ආකර්ෂණය වීම ඉදිරියේදීත් සිදුවිය හැකි නමුත් එය පාලනය කර ගැනීමේ කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරේ. )ඒ සමගම රජයේ සමහර මැති ඇම්තින් ගේ ජනතාව නොඉවසනා අමන ක්‍රියාමාර්ග හමුවේ ජනාධිපතිවරයා අනුගමනය කරමින් පවතිනා නිද්‍රාශීලී පිලිවෙත පිලිබඳවද බහුතර ජනයාගේ (මේ පාලනය ගැන ඉමහත් බලාපොරොත්තු තමා සිටිනා ජනයාගේ පවා ) ඇත්තේ කිසි සේත්ම යහපත් ප්‍රතිචාරයක් නොවේ.ඔහු වටා සිටිනා දුසිම් ගනනක් වන උපදේශකයනේ වගකීම විය යුත්තේ මෙම ජන මතය ඔහු වෙත ඉදිරිපත් කිරීමය.
එසේ නොවුවහොත් ස්ත්‍රී දූෂකයන් , කුඩු වෙළඳුන් , මැරයන් මග සහවාසයෙන් පවත්වාගෙන ගිය පෙර රජයන්ගෙන් මේ රජය වෙන් කර ගැනීමට නොහැකි වනවා ඇත.එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙශපාලන සෞඛ්‍යට නම් කෙලෙසින්වත් හිතකර නොවනු ඇත.

දූෂණය සහ නාස්තිය යන්න ආසියාතික රටවලට පමනක් නොව 'සුදු' යුරෝපයේ ආණ්ඩුවලටද එල්ලවන පොදු චෝදනාවයි.ආසියාතික රටවල් වලදී මෙම චෝදනාව තවත් උස්ව නැගෙයි.ශ්‍රී ලංකාව තුලද එහි වෙනසක් දැකිය නොහැක.මාරුවන් මාරුවට සෑම විපක්ෂයක්ම පවතින ආණ්ඩුවට මෙම චෝදනාව එල්ල කිරීම පුරුද්දක් කර ගෙන සිටී.සෑම විපක්ෂයක්ම පොදුවේ නගන මෙම චෝදනා බොහෝ දුරට ඒ ඒ පක්ෂවල දේශපාලන අරමුණු වෙනුවන් කරනා තාවකාලික සංදර්ශන විනා සැබෑවන් නියම පරිමාණයෙන් නිරූපණය වන්නක් නොවේ.[මෙයින් අදහස් කලේ ආණ්ඩුවල දුෂණය හා නාස්තිය නැති බව නොවේ.විපක්ෂ බොහෝ දුරට චෝදනා කරන්නේ ලොකුම දූෂිතයාට නොව ලොකුම දේශපාලන අභියෝගය එල්ල කරන්නාටය.එබැවින් සැබෑ දූෂිතයන්ට තමන්ගේ ක්‍රියා කිසිම අපහසුවකින් තොරව කර ගෙන යාමට ඉඩ සැලසේ.]කෙසේ නමුත් වැඩිපුර වැඩ කරන විට වැඩිපුර චෝදනා එල්ල වීමද ස්වාභාවිකය.එලෙසම වැඩිපුර වැඩ කෙරෙන විට හොරකම දූෂණයට ඇති අවස්ථාද වැඩිය.එබැවින් කල යුත්තේ දූෂ්ණය හා නාස්තිය අවම කර ගත හැකි ක්‍රමවත් ප්‍රායොගික වැඩ පිලිවෙලක් ක්‍රියාවට නැගීමය.එලෙස දූෂණයට හා නාස්තියට අනුබ්ල දෙන්නන්නට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලැබෙන වැඩපිලිවෙලක්ද අත්‍යවශ්‍යය.මෙහිදී ඉහල සිට පහලට නාස්තිය අවම කිරීමට ලබා දෙන ප්‍රායෝගික ආදර්ශයද වඩා වැදගත්ය.අද වන තුරුත් මේ අංශයෙන් නම් රාජපක්ෂ පාලනය පෙන්නුම් කරමින් සිටින්නේ පෙර රජයන්ගේම විකාශනයකි.කල යුතු, කල හැකි කාර්යන් පවා අතපසු කරමින් සිටිනා ස්වරූපයකි.එමගින් සිදුවන්නේ ජනතා විශ්වාසය යලි යලි හැදිය නොහැකි අයුරින් පලුදු වීමයි.එමගින් කිසිඳු වාසියක් රටට අත් නොවන්නේ එමගින් දෙශපාලන ලෙස වාසි ලැබෙනා කණ්ඩායම්ද අතීතයේ මහා පරිමාන අල්ලස් දූෂන හොරකම සහ නාස්තියට කප් ගැසූවන් වීම නිසාය. (අද දූෂණයට එරෙහිවන බොහෝ දෙන තමන් සුදනන් යැයි පෙන්වීමට දත කෑවත් එදා ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව සිදු වූයේත් එමරජයක් පැවති කාලයේ බව මොවුන් අමතක කරන්නට හදති.එලෙසම එම මහා පරිමාණ වැට් බදු වංචාවේ ප්‍රධාන චූදිතයා 2001 චන්ද්‍රිකා ආණ්ඩුව පෙරලීමට ජනබල මෙයෙයුමට මූල්‍ය දායකත්වය සැපයූ බවට එල්ල කරන චෝදනාවට මෙතෙක් පිලිතුරු ලැබී නොමැත )

මීට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයේද දුර පෙනෙන ප්‍රතිසංස්කරණ වහා ඇති කල යුතුය.එහිදී පෞද්ස්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ කතා බහ ප්‍රධාන මතෘකාව වීම නොවැලැක්විය හැකිය.කඩි මුඩියේ එක් එක් පාර්ශායන් සමග වෛරය පිරිමසා ගැනීමෙන් ඔබ්බට සිතා රටේ ඉදිරි ගමන් මග යහපත වෙනුවෙන් පමණක් සිතා එය සලකා බැලිය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.(ඒ පිලිබඳ ඉදිරි ලිපියකදී වැඩි අවධානය යොමු කරමු.) තාවකාලික පැලැස්තර ඇලවීමෙන් තොරව ඉදිරිය බලා අපිට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කටයුතු කිරීම ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම සමගාමීව සිදු විය යුත්තකි.එසේ නොකර විදේශ විනිමය ඉපයීමේ පටු අරමුණෙන් පමනක් කටයුතු කලහොත් සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නටය.


මේවා සාමන්‍ය ජනතාව වත්මන් පාලනයෙන් අපේක්ෂා කරනා තවමත් ඉටු වන පාටක්වත් නොමැති අපෙක්ෂාවන්ය.මෙවැනි ලුහුඩු සටහනකින් මහින්ද රාජපක්ෂ පාලනය බාර ගත යුතු ඉදිරි අබියෝග වල නිවරදි චිත්‍රයක් නියම පරිමාණයෙන් නිරූපනය කිරීමට අපහසු වුවත් මෙම සරල කරුණු පිලිබඳ අවධානය යොමු කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පිලිබඳ මහුතර ජනයා තවමත් නොසිඳා බලා සිටිනා බලාපොරොත්තු සහ කැපකිරීමට නිසි අගයක් ලැබෙනු ඇත.එසේ නොකර රට ලැබූ මේ ස්වර්ණමය අවස්ථාව සරල කාරණා නිසා නැති නාස්තිකර දැමුවහොත් එවැනි අවස්ථාවක් තව සියවස් කිහිපයක් යන තුරු ජාතියට නොලැබෙනු ඇත.
අපේ කාලයේ දුටුගැමුණු චරිතයට සාර්ථකව පණ පෙවූ ඔහු ඉදිරියේ ඇත්තේ' පරාක්‍රමබාහු යුගයක්' නැවතත් බිහි කිරීමය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ ඇති දෙවන වර අභියෝගය මෙයයි...........

- කැලුම් නිරංජන

Sunday, March 14, 2010

උරුමයේ යුතුකම

1 comments


නොනිමෙන ගමනේ
මේ දිවි සසරේ......
මිනිසෙකු ලෙස ලැබු
මේ දිවි වරමේ.......
සිහළෙකි ඔබ දිනු
මේ ලක් දෙරණේ.........

දෙදහස් හයසිය වසරක උරුමේ
දෝතින් ගෙන වැඩි ඔබෙ පින් මහිමේ......
සම්බුදු සසුනේ තිර මග රැකුණේ
යුතු කමෙනුයි ඔබෙ ඉටු කල සොඳිනේ.....
නිවනට මග සලසා අන් දනගේ
සසර සරන මග තව දිග්ගැසුනේ......
සම්බුදු සසුනේ තිර මග වෙනුවෙන්
තම සැප කල් දැමු ජාතිය ඔබගේ......

යුතුකම ඉටුකල සිහළ දරුවනේ
ගැමුණු පරපුරෙනි ඔබ පණ ලැබුණේ......

-කැලුම් නිරංජන

Saturday, February 6, 2010

ජනාධිපතිවරණය දෙසට...

1 comments

පේක්ෂා කල පරිදිම ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ දෙවනවරටද ජනපති බවට පත් කරමින් විජයග්‍රාහීව නිම විය.මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය මෙය යැයි පැවසුවද වරදක් නැත.2005 මැතිවරණ ජයග්‍රහණයෙන් රටට ලබා දුන් ජයග්‍රහණය තව දුරටත් බලාත්මක කිරීමට බහුතර දේශමාමක ජනයා මෙවර මහින්ද රාජපක්ෂ ජනපති කිරීමට දායක විය.එය හුදු ජයග්‍රහනයක් පමණක් නොවීය .2005දී තමන් ලද 50% කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් 57% අධික බොලීවියානු ඉවෝ මොරාලස් පන්නයේ දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගනිමිනි.එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයාට (ඊනිය පොදු අපේක්ෂකයාට ) වඩ දහ අට ලක්ෂයකට අධික සාතිශය බහුතර චන්ද සංඛ්‍යාවක් ලබගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි විය.මෙය 2005 දී ලද ජයට වඩා සුවිශේෂී වන්නේ ප්‍රතිවාදී අපෙක්ෂකයා සියලු විපක්ෂ කණ්ඩායම් වල පූර්ණ ආශිර්වාදය (රනිල් වික්‍රමසිංහ මහතාගේ සැබෑ සහයෝගය ඔහුට ලැබුනේදැයි සැකයක් ඇති විය හැකි වුවත් ) ලද අපෙක්ෂකයා ,එනම් සෝමවංශ අමරසිංහගේ භාෂාවෙන්ම කියන්නේ නම් මහින්ද රාජපක්ෂ පැරදවිය හැකි හොඳම 'ජොකියා' මෙවර ඉදිරිපත් කල බැවිනි.


ජනාධිපතිවරණය ගැන කසු කුසුවක් දේශපාලන ලෝකයේ පැතිරෙත්ම (මීට මාස හතරකට පමණ පෙර ) සියලු විපක්ෂ කණ්ඩායම් එම අභියෝගයට මුහුණ දේන්නේ කෙසේද යන වියවුලට පත් වී සිටියහ.නන්දි කඩාල් කලපුවේදී දෙමළ ජාතිවාදයේ ත්‍රස්ත පෙරමුණ අවසන් හුස්ම යවන තැනට වැඩ සැලැස්වූ මහින්ද රාජපක්ෂ ඒ වනවිට නිතරඟ ඊලඟ ජනාධිපති බව බොහෝ දෙනා තීරණය කර තිබින.(නමුත් එසේ තීරණය කල සමහර කොටස් මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දය පාවිච්චි කරන්නට ඇත.) රනිල් වික්‍රමසිංහ මහතා පවා එය අවබෝධ කරගෙන සිටියාට සැක නැත.තමන් මෙවර ජනාධිපතිවරණයේදී ලබන නියත පරාජයෙන් පසු විපක්ෂ නායක ධූරය රැක ගැනීමේ අභියෝගය ජය ගැනීම පහසු නොවන බවත් එසේ වුවහොත් මහින්ද පාලන යුගයෙන් පසුව එනම් 2017 හෝ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වන බවත් තම මාමාගේ කපටි දේශපාලන උරුව ලද රනිල් වික්‍රමසිංහ මහතාට නොතේරෙන්නට හේතුවක් නැත.නමුත් තමා වෙනුවන එජාපයෙන් වෙනත් නායකයෙකු (එස් බී/ කරු හෝ සජිත්) ජනාධිපති අපේක්ෂකත්වය වෙත ඔසවා තබන්නටද රනිල් වික්‍රමසිංහ මහතා පසුබට විය.එසේ වුවහොත් ඔහු පරාජය වුවත් ඉන් පසු නැවත තමාගේ විපක්ෂ නායකත්වයට අභියෝගයක් විය හැකි බව මේ සූර දේශපාලඥයාට වැටහී යාම අරුමයක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණටද ඒ වන විට අත්ව තිබූ ඉරණම අතිශය අභියෝගාත්මක විය.
පසුගිය වසර තිහේම පමණ ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණය වහ කදුරු මෙන් තිත්ත අත්දැකීමක් විය.ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එයින් අවසන් ජයග්‍රහනයක් මේ කපේදී ලද නොහැකි බව තේරුම්ගෙන සිටි ඔවුන් බොහෝ විට කුමක් හෝ උප්පරවැට්ටියකින් එය මග හැර ගියේය.94,2005 දී සිදු වූයේ එයයි. මෙවර ඔවුන්ට එය තවත් මාරාන්තික සටනක්වූයේ ඒ වන විට මහින්ද පාලනය හේතුවෙන් පක්ෂය ඉතිහාසයේ කවරදාටත් වඩා කේඩෑරි වී ගොස් තිබූ බැවිනි.තමන්ට චන්දය දෙන සාමාන්‍ය ජනයා තබා තමන්ගේ බහට අතිශය අවනත තම කේඩරයන් පවා පක්ෂය තුල රඳවා ගැනීමට නොහැකි අතෝරයකට ඔවුන් මුහුණ දී සිටියහ. නායකයන් අතලොස්සකගේ අනුවණ තීරන හේතුවෙන් ජාතිකත්ව මගෙන් පීලි පැන්නවූ ජවිපෙ නැවත පීලිගත කල නොහැකි තත්වයට පත්ව තිබිණ.මෙතෙක් පක්ෂයට ජයග්‍රහණ ගෙන ආවේ එම ජාතිකවාදී ගම්බද ජන බලවේගය අමතක කර මාක්ස්වාදී පුස්ස පසුපස හඹාගිය ඔවුන්ට අත්වන්නේද ලංකාවේ සමසමාජ ,කොමියුනිට්ස් පන්නයේ විනාශයක් බව ඔවුන්ගේ තක්සේරුවට හසු නොවීය.තමන් අත එතෙක් තිබූ ජාතිකත්වයේ ප්‍රබල මෙහෙයුම්කරු යන ධජය මහින්ද රජපක්ෂ හිමි කර ගනිද්දී ඔවුන් කලේ එය තව දුරටත් මහින්දටම අත් වන්නට ඉඩ දෙන ජාතිකත්වයට එරෙහි පිල සමග යහන්ගත වන්නට පිඹුරුපත් සැකසීමය.( එහිදී ප්‍රබුඛ වැඩ කොටසක් එජාප ටයි කෝට් කල්ලිය සමග එක්වූ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා අතින් සිදු විනැයි පවතින කරුණ ඔවුන් අතින්ම හෙලිදරව්වන දිනය වැඩි ඈතක විය නොහැක ). මෙවැනි වාතාවරණයක් යටතේ 2006 දී ජවිපෙ ලද (මහින්ද රාජපක්ෂ මහතා පලමු ජනාධිපතිවරණ මධුසමය ගත කරන කාලයේදී පවා ) මිලියනයකට ආසන්න චන්ද ප්‍රමාණය 2009 වෙද්දී දෙලක්ෂයක් දක්වා පල්ලම් බැස්සවූ මහින්ද රාජපක්ෂ පාලනය සමග තවදුරටත් ඔට්ටු ඇල්ලීම හානිකරයැයි සිතූ ජවිපෙ නායකයන් එම පාලනය හමාර කිරීමට තීරණය කලේය.රටට කුමන ප්‍රතිඵලය අත් වුවත් තම පක්ෂය ජීවී තත්වයේ තව දුරටත් පවත්වා ගැනීමට නම් ඔවුන්ට එය කල යුතුම වීය.එහිදී ඔවුන් පලමුවත් පක්ෂය දෙවනුවත් පක්ෂය තෙවනුවත් පක්ෂය යන තමන්ට හුරු සටන් පාඨය වෙනුවෙන් පෙල ගැසුණහ.


විපක්ෂයේ ප්‍රධන ධාරා මෙලෙස අර්බුධයට යද්දී එයට සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනය ඔවුන්ට දිව ඔසුවක් විය.ඔවුන් සොයාපු දේ හම්බ විය.තම පරාජය මකා ගන්නට වීරයෙක් ඉදිරිපත් විය.තමන්ගේ විමුක්තියට මේ ඉදිරිපත් වුනේ එදා තමන්ම ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කී අයෙකු බව ඔවුන් අමතක කර දැම්මේය.දකුණේ පුද්ගල පැහැරගැනීම් වලට තමන් එදා සෘජුවම ඇඟිල්ල දික්කල පුද්ගලා බව අමතක කලේය.කොටින්ම ජවිපේ එක් වූයේ තම සදාධාරණීය නායකයා බොරැල්ල කනත්තේ පන පිටින් පුළුස්සා තවත් ජීවිත හැටදහසක් දැයට අහිමි කල එජාපය ප්‍රමුඛ දුෂ්ට බලවේග සමග බව ඔවුන් අමතක කලේය.කොටි පරදවන සටනේ කකුලෙන් ඇදි UNP , TNA හවුල සමග එක ගේ දීග කන්නට පමණක් නොව එහිදී තමන් විසින්ම එදා ඔවුන්ට ගැසූ දේශද්‍රෝහී කොටි හන තමන් හැඳි වතම ඔසවා වසන් කරන්නට තරම් ජවිපෙ දීන විය.කුමන ආලවට්ටම් ඉදිරියට දැම්මත් මොවුන් සතු පොදු ලකුණ වූයේ රාජපක්ෂ විරෝධය පමණි.ඒ සඳහා කොතරම් පරස්පර,නොගැලපීම් තිබුනත් මේ අශුද්ධ සංධානය එක්ව පෙළ ගැසිණ.



ඉන් පසු මාස දෙකක් පමණ පුරාවට මේ එක් එක් පාර්ෂව වල බහුරූ කෝලම් ජනතාවට ප්‍රදර්ශනය විය.පාවාදීම් ,දූෂණ චෝදනා ආදීයෙන් බහුල වූ ජනාධිපතිවරණය අවසානයේ ජනතා තීන්දුව ලැබී තිබේ.ගොබෙල්ස්ලාගේ ක්‍රියාකාරකම් ප්‍රබල වන බවක් මතුපිටින් දක්නට ලැබුනත් සමස්ථ ප්‍රතිඵලය තුලින් එය පුස්සක් බව පැහැදිලි විය.ජාතිමාමක ජන මනස ෆොන්සේකාගේ හමුදා ඇඳුම පෙන්නා ගසා කන්නට සැදූ දුෂ්ඨ බලවේග අන්ත පරාජයට ලක් විය.විශ්මිත යුධ ජයග්‍රහණයේ කීර්තිය එහි එක් නියමුවකු බිලී බා ගැනීමෙන් පමණක් කල නොහැකි බව එම ජයග්‍රහනය ලැබීමේදී කකුලෙන් ඇදි කකුල් මාට්ටු දැමූ බලවේගවලට රිදෙන්නට ඉලපත් පහරක් දෙමින් බහුතර ජාතිමාමක ජනයා ඔප්පු කර පෙන්වීය.මුලදී ෆොන්සේකා වටා තිබූ ජාතිමාමක ජනතා සහාය අවසන් භාගය (විශේශයෙන් දෙමළ සංධානය සමග එක් වීමෙන් පසු ) වන විට නොසලකා හැරිය හැකි තරම් කුඩා භාගයක් විය.කොතරම් උස් හඬින් බෙරිහන් දුන්නද ජවිපෙට තමන් සිටින තැන හොඳින් පැහැදිලි වූ අතර වෙනස් නොවන්නේ නම් තව දුරටත් මේ දේශපාලන කරලිය තුල තමන්ට හිමි වන්නේ ප්‍රචාරණ ආයතනයක කාර්යභාරයට වඩා වැඩි යමක් නොවන බව ඔවුන් වටහා ගත යුතුය.


අවසානයේ සියලු රටට හිතැති බලවේග අපෙක්ෂා කල පරිදිම ජාතිමාමක ජනතාවගේ නියෝජිතයා ජයග්‍රහණය ලබීය.කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය සඳහා දෙමළ සහ මුස්ලිම් ජනතා සහාය සුපුරුදු පරිදි නොලැබී ගියේය.ඔවුන් තව දුරටත් මහින්ද රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ නායකයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේ ඇති ප්‍රබල අභියෝගය නම් තමන් සුළු ජාතින් ලෙස තවමත් සිතනා එලෙසින් කටයුතු කරනා මෙම බලවේග ප්‍රධාන සංස්කෘතිය තුලට අවශෝෂණය කර ගන්නේ කෙලෙසද යන්නයි.


-කැලුම් නිරංජන

Wednesday, November 25, 2009

මහින්ද දිනවිය යුත්තේ ඇයි?

10 comments

නාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ගැන මේ වන විටත් තහවුරු වී නොමැත.නමුත් ඔහු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව අද කිසිවකුටත් තවදුරටත් රහසක් නොවේ.

එහි පලමු වෙඩි මුරය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාට සහාය පල කලේය.පසු ගිය සිව් වසරක මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුල ජනතා විමුක්ති පෙරමුණ එහි ඉතිහාසයේ ලැබූ දරුණුතම කඩා වැටීමට ලක් වීමේ වාඩුව මේ සමගම සම්පූර්ණ කර ගැනීම ජවිපෙ අභිප්‍රායයි.ජාතිකත්වයේ මගින් පීලි පැන්නවූ ජවිපෙට අද උරුම වී ඇත්තේ තමාගේ සදාදරණීය නායකයා පන පිටින් බොරැල්ල කනත්ත පෝරණුවේ පුච්චා දැමීමට සෘජුව අණ දුන් රනිල් වික්‍රමසිංහගේ අනවරත පරාජය නවතා ගැනීමට මුක්කුවක් වීමටය.එහිදී යලි කිසිදා එජාප පාලනයක් ඒමට ඉඩ දෙන්නේ නැතැයි සහතික වූ ජවිපෙ වත්මන් නායකයා නොහොත් ජවිපෙ බිහිකල හොඳම දේශපාලන න්‍යායාචර්‍යවරයාගේ මතයද පරාජය කිරීමට අද එහි සිටිනා අනුර-ටිල්වින් කල්ලිය සමත් වී තිබේ.
ස්ථාවර දේශපාලන යුගයකදී තමන්ගේ මුග්ධ දේශපාලනයට ඇති ඉඩ කඩ සීමිත බව ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටිනා ජවිපෙ අද කැස කවන්නේ කෙසේ හෝ දේශපාලන ස්ථාවරත්වය අහිමි වන තැනට වැඩ සලස්වන්නටය.ඔවුන්ගේ දේශපාලනයට ඉඩක් පවතින්නේ එම අස්ථාවරත්වය තුල පමණි.තවද මහින්දගේ ජාතිකත්ව ලැදියාවටද සෘජුව මුහුණ දී ගත නොහැකි ඔවුන් ඒ සඳහා පිලිතුරක් සොයා ගෙන තිබේ.එනම් තමාට අහිමි ජනතා කැමැත්ත පික් පොකට් ගැසීමටය.නැතහොත් මංකොල්ල කා ගැනීමටය.ඒ සඳහා සුදුසුම චරිතය ඔවුන්ට හමු වී ඇත.2006 දී තනිව තරඟ කර ලබා ගත් දොලොස් ලක්ෂයකට අධික චන්ද ප්‍රමාණය පසු ගිය පලාත්සභා මැතිවරණයේදී යන්තම් දෙලක්ෂය ඉක්මවා යාමට පමණක් සිදු වන තැනට කඩා වැට්ටුවේ මහින්දගේ ජනතාවාදී ගමනයි.ජවිපෙට හිමිව තිබූ සටන් පාට තවදුරටත් වලංගු වීමට ඉඩ නොතබූ ඒ මහින්ද යුගය ජවිපට තිත්ත වී තිබේ.තම පක්ෂය තීරණාත්මක ලෙස දෙකඩ වූයේද මේ මහින්දගේ දේශපාලන ගමනම බව ජවිපෙට රහසක් නොවේ.එබැවින් සිදු කල යුත්ත ජවිපේ තෝරා ගෙන තිබේ.එනම් රටට කුමක් වුවත් තම පක්ෂය තව දුරත් ජීවී තත්වයේ පවත්වාගැනීමට නම් මහින්ද පාලනය හමාර කල යුතුය.ඒ සඳහා තම දේශපාලන නායකයා ඇතුළු 60,000ක් තරුණයක් ඝාතනය කලේ යැයි තමන් විසින්ම චෝදනා කල එජාපය සමග එක ගේ කන්නට ජවිපෙ සියලු සදාචාරාත්මක සළු පිළි ඉවතලා දේශපාලනිකව නිරුවත් වී තිබේ.මෙතැන් සිට දිග හැරෙනු ඇත්තේ එම ලැජ්ජාසහගත දීගයේ හිරිකිත ජවනිකාය.තමන් විසින්ම රනිල් ප්‍රමුඛ එජාපයේ නලලේ කෙටූ දේශද්‍රෝහී හන තම හැඳ සිටින සරමම ඔසවා ජනතාවගෙන් වසන් කිරීමට ජවිපෙ නායකයන් කටයුතු කලහොත් පුදුම විය යුතු නැත.ඒ ඔවුන් අද පත්ව ඇති බංකොලොත්කමේ ප්‍රමණයයි.

එජාපයද 1994 සිට තමන් ලබන අවමන් සහගත පරාජය ආපසු හැරවීමට මගක් සොයමින් සිටින්නේ බොහෝ කලක සිටය.එතෙක් තමන් ලබමින් සිටි පරාජය මහින්ද රාජපක්ෂගේ ආගමනයෙන් තවත් තීව්‍ර විය.එහිදී ජයග්‍රහණය තමන්ට පෙනෙන මානයෙන්ද තවත් ඈතින් ඈතට ඇදී ගියේය.මහින්ද රාජපක්ෂ ත්‍රස්ත මර්දන සටනට නායකත්වය දුන් දා සිට එයට එරෙහි වීම රනිල් කල්ලිය සිදු කර ගත් බරපතලම දේශපාලන වැරැද්ද විය.කොටි පරාද වීම ලක් වැසි බහුතරයේ ඒකායන අරමුණ වුවත් මේ කේම්බ්‍රිජ් කල්ලියේ අරමුණ එයට සපුරා වෙනස් ස්ථාවරයක විය.මාවිලාරුවෙන් පටන් ගත් සටන මහින්දට කොයි මොහොතේ පරාජය අත් වේදැයි නොඉවසිල්ලෙන් බලා සිටියේ මෙම දේශද්‍රෝහී කල්ලියයි.එයට පැති සහාය (side support ) ජවිපෙ කම්කරු ,වතු වෘත්තීය සමිතිවලින් ලැබුනු බවද අමතක නොකල යුතුය.ජවිපෙ ප්‍රධනත්වයෙන් එකල මෙහෙයවූ අසාර්ථක වැඩ වැරීම් බොහෝ දෙනාට අද අමතක වී ඇත.ත්‍රස්ත මර්දන සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පොදු සතුරා බවට පත් කර ගත් මෙම එජාප නඩය ඉන් නොනැවතී යුද්දයේ හමුදා නායකත්වයද නිර්දය විවේචනයට ලක් කල අයුරු විවේචනයට ලක් වූවන්ට අද අමතක වුවත් දේශහිතෛෂී ජනයාට අමතක නැත.මක් නිසාද යත් ඔවුන් එදා සිදු කල පහර දීම් වල සෘජු බලපෑම එල්ල වන්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට නොව මව් බිමේ ඉරණමට වන බැවිනි.ත්‍රස්ත මර්දන සටනේ ගෞරවය පික් පොකට් ගැසීමට අද වලි කන්නේ මෙම ද්‍රෝහීන් ය.

සරත් ෆොන්සේකා මහතා ඇමට දමා මේ අල්ලන්නට හදන්නේ බහුතර ජනයාගේ දේශමාමකත්වයයි.එය කිසිදා රනිල් වික්‍රමසිංහ යොදවා සිදු කර ගත නොහැකි බව සියල්ලන්ට ප්‍රත්යක්ෂ වී තිබේ.එබැවින් සරත් ෆොන්සේකා සහ රජය අතර ඇති වූ මත භේදය දඩමීමා කර ගනිමින් බොර දියේ මාලු බෑමට මේ කරනා නින්දා සහගත උත්සාහය දැනුවත් ප්‍රතිවිරෝධයකින් පරාජය කල යුතුය.

එකල දේශප්‍රේමීයකු වූ සරත් ෆොන්සේකා මහතා අද වන විට දේශදෝහියකු කර ඇත්දැයි සමහරෙක් තුල ප්‍රශ්නයක් පැන නැගිය හැක.දේශප්‍රේමී හෝ දේශද්‍රෝහී වන්නේ උපතින් රැකියාවෙන් හෝ තනතුරෙන් නොවේ.තමන් මාතෘභූමිය වෙනුවෙන් සිදු කරනා මෙහෙවරෙනි.එසේ බැලූ කල යුද හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා සුපිරිම ගනයේ දේශප්‍රේමීයෙක් විය.ඒ පිලිබඳ කිසිඳු විවාදයක් තිබිය නොහැක.නමුත් අද වන විට ඒ මහත තෝරා ගෙන ඇත්තේ තමන්ට උචිත පිල නොවේ.(ඒ මහතාගේ දේශපාලන මතය එජාපයට හිතැති එකක් විය හැක.).එහි සිටින්නේ ඒ මහතාම වරක් ප්‍රකාශ කල පරිදි මව්බිමේ ජයග්‍රහණය ගැන දුක් වන නිවටයන්ය.ත්‍රස්තයන් කරේ තබා ගෙන සිටි ද්‍රෝහීන්ය.තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් තම ඕනෑම දෙයක් පාවා දීමට හැකි ජුදාස්ලාය.මේ සිඟාලයන්ගේ සැබෑ අරමුණ සරත් ෆොන්සේකා රජ කරවීම නොව තමන්ට දිනා ගත නොහැකි බහුතර ජන මනස හමුදා ඇඳුම පෙන්නා දිනා ගැනීමට බව සරත් ෆොන්සේකා හැරුණු කල අන් සියලු දෙනාට වැටහෙන කාරණයකි.

දෙශද්‍රෝහී වන්නේ නම් ඒ මහින්ද රාජපක්ෂට එරෙහි වීම නිස නොව මව්බිමේ සතුරන් හා එක් වීම නිසාය.අනිත් අතින් මහින්ද රාජපක්ෂ සමග සිටිම පමනක් දේශප්‍රේමියකු වීමට සුදුසු කමක් නොවන බව කොටි ත්‍රස්තයන්ට උඩ ගෙඩි දුන් සහ දෙන ඵ් චන්ද්‍රසේකරන් වැනි ද්‍රෝහීන් ගැන සැලකීමේදී වටහා ගත හැක.දේශද්‍රෝහියෙකුට වුවද තම වැරැද්ද නිවරදි කර ගනිමින් මව්බිම වෙනුවෙන් කැප වේ නම් දේශප්‍රේමියකු විය හැකි බව විර කැප්පෙටිපොළ ජාතියට තහවුරු කර දී ඇත.එහි අනිත් පැත්තද එසේම බව අලුතෙන් කිව යුතු නොවේ.


මහින්ද විවේචනය කරන්නන්ගේ අනෙක් ප්‍රධාන විවේචනය නම් දූෂණය නාස්තිය සහ ඥාති සංග්‍රහය ගැන එල්ලවන චෝදනාය.මින් සමහරක් අතිශෝක්තියට නැගූ ඒවා වන නමුත් මහින්ද ජනාධිපතිවරයාගෙන් අපේක්ෂාකල ප්‍රගතියක් ඒ ක්ෂේස්ත්‍රවලදී අත් කරගෙන නොමැති බව පිලිගත යුතු සත්‍යකි.( නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය පසුගිය රජයන් හා සසඳා කරනු ලබව විවේචනයක් නොවන බවය.අතිශෝක්තිය නැගූ පංගුව අත් හැරි කල පසු ගිය බොහෝ රජයන්ට වඩා වත්මන් පාලනය සුජාත විය හැක.නමුත් බහුතරය අපේක්ෂා කරන මට්ටම එය නොවේ)
එබැවින් ඉදිරියේදී බිහි කර ගන්නා තමන්ගේ රජයේදී මේ නාස්තිය හා දූෂණය මුලිනුපුටාදැමීමට මහින්ද රාජපක්ෂ මහතාට දනුවත් සක්‍රීය වැඩ කොටසක් කිරීමට සිදු වනු ඇත.එසේ වුවත් සරත් ෆොන්සේකා ඇමට යොදා බිහි කර ගැනීමට තැත් කරන රජයෙන් එය මේ තරමකින් හෝ ඉටු නොවන බව පැහැදිලි වන්නේ දින 180වකට වඩා අඩුවන පාලන කාලයකට මුහුණදී ධූරය අත් හැරීමට නියමිත ෆොන්සේකා පසුපස සහ ඉන් ඉදිරියට රජ කරන්නේ මීට වසර හයකට පමන පෙර රට සූරා කෑ ටයි කෝට් හැඳි චෞර රැලම වන බැවිනි.රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණමින් කොමිස් කෑ ඒ දෝහී අතීතය සරත් ෆොන්සේකාගේ නිල ඇඳුමෙන් වසන් කල නොහැක.


එබැවින් සිදු කල යුතු දේ සක් සුදක් සේ පැහැදිලිය.ජනතා ජයග්‍රහණය පික් පොකට් ගැසීමට සැරසෙන ද්‍රෝහීන් පරදවා බහුතර දේශමාමක ජනයා අපේක්ෂා කරන සමෘද්ධිමත් මාතෘ භූමියක් බිහි කර ගැනීමේ තීරණය නොපැකිළ ගැනීමය.මාතෘභූමිය එක් සේසත් කිරීමේ මාහැඟි කාර්‍යයට කෘත ගුණ සැලකීම සියල්ලන්ගේ අත් හල නොහැකි යුතුකමයි.සිදු කරනා හීන් නූල් සූත්තර සහ වියරු කුමන්ත්‍රණ පරදා මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් තම යුතුකම සහ වගකීම ඉටු කිරීමට තරම් නිරවුල් අවබෝධයක් බහුතර දේශම්මාමක ජනයාට ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

-කැලුම් නිරංජන

Sunday, November 8, 2009

පොදු අපේක්ෂකයා දිනවමු!!!

3 comments

ද දවසේ දේශපාලන සටන් බිමේ ප්‍රධාන කාතෘකාව බවට පත්ව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා එහිදී ඉදිරිපත් වීමට යන පොදු අපේක්ෂකයා පිළිබඳ කතා බහයි.දශක එක හමාරකට අධික කාලයක් පුරා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දිගින් දිගටම පරාජය ලබන එජාපය මෙවරද ඒ සුපුරුදු අමිහිරි අත්දැකීමම විඳ ගන්නා බව එජාප පාක්ෂිකයාම සාක්කි දරයි.
පළාත් සභා චන්ද සියල්ල අවසානයේ ඔවුන් ලද 25% ආසන්න චන්ද ප්‍රමාණය කියා පෑවේ එහි සන්ඛ්‍යාත්මක නිරූපණයයි.(මහ මැතිවරණයකදී තත්වය වෙනස්වේ යැයි සිතා හිත හදා ගැනීමට අවශ්‍යනම් එජාප හිතවාදීන්ට හැකි නමුත් මෙය ආපසු හැරවීමට සමත් ආශ්චර්‍යයක් නුදුරේදී සිදුවෙතැයි අපේක්ෂා කල නොහැක ).
තමන් අනුගමනය කරන බටහිර ගැති නව ලිබරල්වාදී විජාතික චින්තනයෙන් බැහැර නොවී සිදුකරන පැලැස්තර දැමීම් තුලින් හෝ සිදුකරන හීන් නූල් සූත්තර හා කුමන්ත්‍රණ මගින් බහුතර ජාතිමාමක ජන මනස දිනා ගත නොහැකි බව මේ නිවටුන් අවබෝධ කර ගත යුතුය.

ජවිපෙ ඉරණමද එසේමය.ජතිකවාදී මාවතෙන් පීළි පැන්නවූ ජවිපෙ එයට හිමි විය යුතු නියත පරාජයට මුහුණ දෙමින් සිටී.71 දී අධිරාජ්‍යවිරෝධී සිරිමා රජයට එරෙහිව සිදුකල අරගලය සේම 2005න් පසු අනුගමනය කරන වෛරී දේශපාලන භාවිතය නිසා විනාශයට අත වනමින් සිටී.එහිදී ත්‍රස්ත විරෝධී අරගලයේ තමන්ට හිමි ගෞරවයයේ පංගුවද මහින්ද රාජපක්ෂගේ බුක්තියට ලියාදී ලිප්ටන් වට රවුමේ බෙරිහන් දීම හැරෙන්නට වෙනත් 'උපාය මාර්ගයක් තෝරන්නට' ඔවුන්ට ඉතිරිව නැත.අද ඔවුන්ගේ ප්‍රමුඛ කාර්‍ය බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය මට්ටු කිරීමයි.රට වෙනුවෙන් බජිරි හෝ කා රට රැක ගමුයි කී පක්ෂයට අද අත්ව ඇත්තේ අහිංසක සිසුන් අරලිය ගහ මන්දිරය අබියස අධි ආරක්ෂිත කලාපයට දක්කා ඔලු පලන්නට සැලැස්වීම පමණි.දේශපාලනය තුල තමන්ට හිමි සටන් පාට අහිමි කරමින් එතෙක් තමන් අත පැවති දේශප්‍රේමී ධජය මහින්ද රාජපක්ෂ විසින් හිමි කර ගැනීමත්,තමාගේ පක්ෂයට එල්ල වූ දෙකඩ වීමේ අභියෝගයත් අන් සියලු කාරණා වලට වඩා ඔවුන්ට ප්‍රමුඛ විය.මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා බවට පත් වන්නේ මෙම කාරණා මතය.මහින්ද රාජපක්ෂ සමග ඇති දේශපාලන වෛරය විසින් ඔවුන්ගෙ ඇස් අන්ධ වී ඇත.එසේ නොවූයේ නම් එක්සත් ජනපදය බිරිතානිය ප්‍රමුඛ බටහිර බලවේග සමග මහින්ද පලවා හැරීමේ සටනට පොහොර දමන්නට එදා සිටි දෙශප්‍රේමී ජවීපෙට හැකි වන්නේ කෙසේද?


මේ තත්වය හොඳින් පැහැදිලි කර ගත හැකි සාධකයක් අන්තර්ජාතික දේශපාලන වටපිටාව නිරීක්ෂණය කිරීමේදී දැක ගත හැක.ඇඑජ ප්‍රමුඛ බටහිර කඳවුරට අද වන විට මහින්ද රාජපක්ෂ යනු හියුගෝ චාවේස් තරම් හතුරෙකි.අහමදිනිජාඩ් තරම් හිතුවක්කාරයෙකි.ඒ වෙන කිසිවක් නිසා නොව කොටි ත්‍රස්තයන් පැරදවීමේ සටනේදී මහින්ද අනුගමනය කල කෙලින් සිට ගැනීමේ පිළිවෙතයි.මෙතෙක් සිටි කිසිම නායකයකු සිදු නොකල තරමේ රාජතාන්ත්‍රික අරගලයක් කරන්නට මහින්ද රාජපක්ෂට පසු ගිය කාල වකවානුවේදී සිදු විය.එසේ වූයේ තම ප්‍රභාකරන් නැමති තම ඒජන්තයා බේරා ගැනීමට බටහිර රටවල් සිදු කල අනවරත බලපෑම්ය.මහින්ද එයට සිදු විය අයුරින්ම අපේක්ෂා කල නොහැකි මට්ටමක සමත්කමක් ප්‍රදර්ශනය කලේය.එසේ නොවුයේ නම් මහ කොටියා වෙල්ලියාමුල්ලිවයික්කාල් හිදී අවසන් ගමන් නොයනු ඇත.ඒ වෙනුවට එදා JR‍ යුගයේ වඩමාරච්චි සටනට අත් වූ ඉරණමම මෙම සටනද අත් වන්නට තිබූ ඉඩ කඩ වැඩිය.
එසේ වූයේ නම් කොතරම් ප්‍රබල යුද උපාය මාර්ගයක් වුවත් සාක්ෂාත් කර ගත නොහැකි වන්නට ඉඩ තිබිණ. මහින්ද රාජපක්ෂගෙන් ලද එම එඩිතර දේශපාලන නායකත්වයත් එයටම මුසු වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නිවරදි මග පෙන්වීමත් සරත් ෆොන්සේකාගේ යුද උපාය මාර්ගික ප්‍රවේශයත් කොටි පැරදවීමේ සටනේ එක සේ වැදගත් සාධක විය.එයට අමතරව මේ සඳහ කැපකිරීම් කල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ජයග්‍රහණය පිටුපස සිටි බව අද ඊයේ දේශප්‍රේමී සළු පිලි පලඳවාගත්තවුන් හැර අන් සියලු දෙනා පිලි ගන්න සත්‍යකි.

වසර තිහකට අධික කාලයක් තිස්සේ එතෙක් සිටි නායකයින් තම දේශපාලන පැවැත්ම තහවුරු වන සේ පමණක් කලමණාකරනය කර ගත් යුද්ධය තම ජීවිතයට එල්ලවන අභියෝගයද නොසලකා අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපතිවරයාට එම මාහැඟි කාර්ය්‍යට කෘත ගුණ සැලකීමට බහුතර දේශමාමක ජනයා පෙළ ගැසී සිටි මොහොතක ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා හිටපු යුධ හමුදාපතිවරයා ඉදිරිපත් වන බවට කනින් කොනින් පැතිර ගිය ආරංචිය ඉදිරියේදී තහවුරු වන හැටියක් පෙන්නුම් කරමින් තිබේ.මෙම ආරන්චිය සමගම දෙශප්‍රේමී ජනයා දෙගිඩියාවකට පත්ව ඇති සැටියක් පෙනේ.තමා කෘත ගුණ දැක්විය යුත්තේ කාටදැයි තෝරා ගැනීමේ අතෝරයට ඔවුන් මුහුණ දී සිටී.ක්‍රිකට් තරඟයක් ජයග්‍රහණය කල පසු ප්‍රතිවාදී කණ්ඩායම විසින් ජයග්‍රාහී කණ්ඩායමෙ ප්‍රබලම සාමාජිකයකු තම පිලට ගත්තා වැනි තත්වයක් උදා වී තිබේ.


එජාප මංගල හවුල විසින් තමගේ පොදු අපෙක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට කැස කවන අතර ජවිපෙද මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමේ පරම වූ අරමුණින් යුතුව ඊට තම නොමසුරු සහය පල කරමින් සිටී.මුලින්ම කිව යුත්තෙ පොදු අපෙක්ෂකයෙකුගෙ පිහිට පැතීමට සිදුව ඇති සියලුම දෙනා තමන්ගෙ නොහැකියාව ප්‍රදර්ශනය කර හමාර බවය.මහින්ද රාජපක්ෂට තනිව මුහුණ දී ජය ගැනීමට මේ කිසිම බංකොලොත් පක්ෂයකට අද ශවසේ නොහැකිය.පොදු අපේක්ෂකයා සරණ යාමට සිදු වී ඇත්තේ එබැවිනි.කෙසේ නමුත් ඔවුන් මහින්දට මුහුණ දී තරඟයක් දිය හැකි (කවුරුන් කෙසේ කීවද ජයග්‍රහණය කිරීම හිතළුවක් පමණි ) හොඳම අපෙක්ෂකයා තෝරා ගෙන ඇති සේය.කොටි පැරදවීමේ සටනේ ප්‍රධාන කොටසක් රඟ පෑවේ සරත් ෆොන්සේකාය.එය මහින්ද රාජපක්ෂ කල කාර්ය සමග සැසඳීම අනුවන කමකි.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා සමග මතවාදී ගැටුමක් ජතිකවාදී කිසිවකුටත් නොමැත.ඔහු සුපිරි ගනයේ දේශප්‍රේමියෙකි.සෘජු ප්‍රතිපත්තිවලින් යුතු අවංක නිලධාරියෙකි.කොටි පැරදවීමේ සටනින් පසු ඔහු වඩාත්ම සුදුසු ජනාධිපතිධූරයට බවද සැබෑය.නමුත් මේ එයට අවස්ථාව නොවේ.මහින්ද රාජපක්ෂ සමග සැසඳීමේදී සරත් ෆොන්සේකා සිටින්නේ ගව් ගනනක් පසු පසිනි.
තවද සරත් ෆොන්සේකා යනු මහින්ද රාජපක්ෂට විකප්ලයක් ද නොවේ.එබඳු තෝරා ගැනීමක් සිදු කිරීමට අවස්ථාවක් එලඹියහොත් බහුතර දේශප්‍රේමීන් මහින්ද රාජපක්ෂ තෝරා ගනු ඇත.සරත් ෆොන්සේකා මහතාට මේ රජයෙන් සිදු වූ යම් අසාධාරණයක් වෙයි නම් එය විසඳා ගත යුත්තේ වෙනම තලයකදීය.එයට ජාතිකවාදී සංවිධානවල සෘජු සහයද සරත් ෆොන්සේකාට ලබා ගත හැක.එසේ නොකර මහින්ද රාජපක්ෂ සමග ඇති අරෝවට ජාතික පිළ අමතක කර රනිල්-මංගල-හකීම්-ටිල්වින් අශුද්ධ විජාතික සන්ධානය සමග දීග කෑමට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වෙයි නම් ඒ ඒ මහතාගේ කීර්ති නාමයේ අවසානයයි.එහිදී ලබන නියත පරාජයෙන් පසු ජාතික වීරයෙක් ලෙස අබිමන් ලබා සිටින ඒ මහතා විනාශ වී යනු ඇත.විජාතික බලවේගවල යටි අරමුණද එය විය හැක.මක් නිසාද යත් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්නේ එය අහෝසි කිරීමෙ ප්‍රතිපත්තිද සමග බව සැල වන බැවිනි.ජයග්‍රහණය කරාවි යයි මොහොතකට සිතුවත් එමගින් සරත් ෆොන්සේකා මහතාට ලැදි ජනතා පැතුම් ඉටු වන්නේ නැත.එමගින් සිදු වන්නේ නැවත වටයකින් දේශද්‍රෝහී රනිල් රටේ නායකත්වයට ගෙන ඒමය.මක් නිසාද යත් ඒ බව දින 180ක් ඇතුලත ජනාධිපති ධූරය අහෝසි කර පත්වන අගමැති ධූරය රනිල්ට පිරි නැමිය යුතු යැයි සඳහන් වන බැවිනි.

එදා යුද්ධයට සෘජුව එරෙහි වූ විජාතික පක්ෂ සහ මහින්දට ඉන්දීය බලපෑම් හමුවේ යුද්ධය අවසන් කල නොහැකි වෙතැයි සිතා දේශපාලන තීරණ වෙනස් කල රතු තොප්පිකරුවන්ගේ අපේක්ෂකයා බවට සරත් ෆොන්සේකා මහතා පත් විය යුතු නැත.ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු යැයි කියූ සමහරුන් රටේ නායකත්වයට එතුමා කරේ තමා ගැන්මට සැරසේන්නේ බලකාමය නිසාම බව එතුමාට අවබෝධ විය යුතුය.සරත් ෆොන්සේකා යනු එවැනි දේශපාලන අනාථයන්ගේ සහ දේශපාලන නපුංසකයන්ගේ අතකොලුවක් බවට පත්විය යුතු චරිතයක් නොවේ.


මව්බිම මුදා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ සැබෑ දේශප්‍රේමීන්ට පමණි.එය පික් පොකට් ගැසීමට දේශප්‍රේමී ජනයා ඉඩ නොදෙනු ඇත.කුමන අයකු හමුවේ වුවත් පරාජය මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජාතියේම පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කරවීම සියලු දේශමාමක ජනයාගේ අද යුගයේ අවශ්‍යතාවයයි.මව්බිම ජයහ්‍රහණය කල හැක්කේ එලෙස පමණි.එබැවින් දේශමාමකයිනි මහින්ද රාජපක්ෂ නම් වූ
පොදු අපේක්ෂකයා දිනවමු.

-කැලුම් නිරංජන

(මහමැති/ජනපති )වරණය සහ පරාජයේ සැර බාල කිරීම !!!!!!!!

5 comments

දේශපාලන පොර පිටිය වෙන කවරදාටත් වඩා අතිශය උණුසුම් වෙමින් තිබේ.මැතිවරණය පිලිබඳකතා බහ කා අතරත් ගුමු ගුමු දෙයි.ඒ අතරින් මුලින්ම පවත්වනුයේ මහ මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයදැයි තවමත් නිශ්චිත ලෙස තහවුරු නොවූ වටපිටාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ එකඹෙන අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේදැයි පිඹුරුපත් සකසමින් සිටී.2010 අප්‍රේල් මසට කලින් වත්මන් පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වන බැවින් ඊට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර,2009 නොවැම්බර් 19 වනදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම හිමි විධායක බලය යොදා ගත හැකිය.මැතිවරණ කතාබහ කරලියට පැමිණි විගස මෙතෙක් කලක් අනවරත පරාජයකට ලක් වෙමින් සිටි පක්ෂ භූමි තෙල් ඇඟ වැදි ගැරඬින් සේ කුපිත වී ඇති සේය.

නැගෙනහිරින් ඇරඹි පළාත් සභා චන්ද උතුරු මැද,සබරගමුව,වයඹ ,මධ්‍යම,බස්නාහිර,ඌව හරහා දකුණට පැමිණෙද්දී 67% දක්වා 2/3ක චන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම දක්වා එක්සන්ත් ජනතා නිදහස් සංධානය අති විශිෂ්ඨ ලෙස ජනතාව වෙතින් අභිෂේක ලබා තිබිණ.(දකුණේදී 80% නොලැබුන බැවින් රජය පරාජය වී ඇතැයි පවසන ක්ෂුද්‍ර මොළ ඇත්තන්ට ස්වයං වින්දනයක් ලැබීමට මෙය බාධාවක් නොවේවා).ඒ සමගම එජාප චන්ද ප්‍රමාණය බරපතල ලෙස නාය යමින් 25% චන්ද ප්‍රමාණයක් දක්වා අඩු වී තිබිණ.එය ජයග්‍රහණය කෙසේ වුවත් අඩුම තරමේ ඉදිරි මැතිවරණවලදී තරඟයක් දිය හැකි මට්ටමකවත් නොමැති බව ඒ ඒ පක්ෂවල ජාතික සංවිධායකයන්ට නොතේරුණත් (නොතේරෙනවා නොව ඔවුන්ටද තේරෙන එය අනිත් අයට තේරුම් යාම වැලැක්වීමට වලි කති ) ගමේ කැපුවත් කොළ යයි කියා ගන්නා පාරම්පරික UNPකාරයා පවා අවබෝධ කරගත් සත්‍යකි.
ජනතා විමුක්ති පෙරමුණටද අත් වී ඇති ලැජ්ජාසහගත ඉරණමද අරලිය ගහ මැදුර ඉදිරියට ගුටි කෑම පිණිසම දක්කන අසරණ විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ හිසින් ගලන ලේ පහරින් වසන් කල නොහැක.තමාගේ බලය යටතේ පවතින තිස්සමහාරාමයේදී ලැබූ චන්ද ප්‍රමාණය 2006දී තනිව තරඟ කර ලබා ගත් ප්‍රමාණයෙන් හරි අඩක් දක්වා අඩු වීමම ඔවුන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමේ තරම කියා පායි.

මැතිවරණ දෙකක් අබියස සිටියදී මොවුන්ගේ අසාමාන්‍ය කලබලවීමට හේතුව එයයි. ජනාධිපතිවරණය මුලින් පැමිණියහොත් රනිල් වික්‍රමසිංහ නොව එජාපයේ කුමන අයෙක් ඉදිරිපත් කලද අත්වන පරාජයේ තරම කියා පැමට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන තෙක් නිදි වැරීමට අවශ්‍ය නොවේ.ඒ බව නොතේරෙන්නෙකු එජාපයෙන් පවා සොයා ගත හැකි යැයි නොසිතේ.
එජාපයෙන් එසේ අපේක්ෂකයකු ඉදිරිපත් කලහොත් ජවිපෙට වන්නේ සිය දිවි නසා ගන්නටය.එජාපය නැවත බලයට පැමිණෙන්නට කිසිඳු ඉඩක් ජවිපෙ සිටින තුරු දෙන්නේ නැතැයි වේදිකාවේ සහතික කර මොර දුන් ජවිපෙ වියපත් නායකයාගේ එම අරමුණ ට එරෙහි වන්නට එජාපය සමග රහස් සබඳතා පවත්වන්නේ යැයි කියැවෙන ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන්ට ශක්තියක් ඇත්ද?
එසේ නැතිනම් එම අරමුණ වෙන්නුවෙන් මහින්ද රාජපක්ෂ සමග එකඟතාවයකට නැවත පැමිණෙන්නට ජවිපෙ අනෙකුත් කණ්ඩායමට හැකියාවක් ඇතිද?

එසේ කල නොහැකිනම් කල හැකි වන්නේ 82 දී රෝහණ විජේවීර,99දි නන්දන ගුණතිලක මෙන් තනිව තරඟ කිරීමය.එමගින් මහින්ද ලබන නියත ජයග්‍රහනයේ සැර බාල කිරීමය.එමගින් වක්‍රව රනිල් ලවන නියත පරාජයේ ප්‍රමාණය කුඩා කිරීමය.නමුත් ඉන් සිදු වන්නේ ඉන් ජනාධිපතිවරණයත් සමග එලඹෙන මහ මැතිවරණයේදී එතෙක් සිදු වූවාටත් වඩා වැඩි බරකින් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමය.දිස්ත්‍රික්ක තුන හතරකින් පමනක් ලැබෙන්නට නියමිත මන්ත්‍රීවරු හතර පස් දේනාද අහිමි කර ගැනීමය.ඒ සමගම තමාගේ පාර්ලිමේන්තු දේශපාලනයේ අවසන් හුස්ම දක්වා පැමිණීමටය.

පොදු අපේක්ෂක කතාව කරලියට එන්නේ මෙවන් පසුබිමකය.(පොදු අපේක්ෂකයා ගැන මී ලඟ ලිපියෙහි සඳහන් කෙරෙනු ඇත ) එබැවින් මෙම පරාජිත බලවේග සියල්ලම (එයට එජාපෙ -ජවිපෙ මෙන්ම දේශපාලන හිඟන්නකු බවට පත් වී ඇති මංගල -හකීම් ද ඇතුලත්ය ) තමන්ට හැකි සියලු වෙර දරා අද දවසේ සිදු කරමින් සිටින්නේ ජනාධිපතිවරණයට මුහුණ දීම මග හරින්නටය.මග හැර මුලින් මහ මැතිවරණයක් ලබා ගන්නය.එමගින් ජනාධිපතිවරණයේදි ලබන සෘජු පරාජය වෙනුවට මන්ත්‍රී ධූර අඩු වීමක් දක්වා එහි සැර බාල කිරීමටය.(ජවිපෙට එය එසේ වුවත් එජාපයට බොහෝ විට දැනට තමන් සමග සිටින මන්ත්‍රී ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැක.මක් නිසාද යත් ඔවුන් සමග දැනට සිටින්නේ 2004 ලබා ගත් මන්ත්‍රී ධූර අසු ගනනින් හරි අඩක් පමණ ප්‍රමාණයකි.ඉතිරි අඩ සිටින්නේ රජය සමගය ). එබැවින් මුලින් මහ මැතිවරනයක් පැවැත්වුවහහොත් එය ජනාධිපතිවරණයක් තබා අත්වන ඉරණම සමග සසඳද්දී මෙම බලවේගවලට දිව ඔසුවකි.

කෙසේ නමුත් මහ මැතිවරණයක් එලඹුනහොත් රටක් ලෙස බැලූ කලද එය එතරම් අයහපත් නොවේ.එමගින් දැනට පවතින විකෘති පාර්ලිමෙන්තු සංයුතිය නැවත ප්‍රකෘති තත්වයට පත් වනු ඇත.එහිදී දෙමළ කොටි ත්‍රස්තයන්ගේ පිහිටෙන් බලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණය සැල කිය යුතු ප්‍රමාණයකින් අඩු වනවා ඇත.(නමුත් උතුරේදි එය එතරම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු නොවන බව පසුගිය පළාත් පාලන චන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේ.කොතරම් ත්‍රස්ත බියෙන් මුදා ගත්තත් උතුරු වසන්තය නමින් කොතරම් වියදම් කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කලත් උතුරේ බහුතර දෙමළ ජනයා ආණ්ඩුවට චන්දය දීමට කැමැත්තක් නැත.නමුත් නැගෙන හිර තත්වය මීට හාත්පසින් වෙනස් වේ.)තවද ශ්‍රී ල නි ප මනාපවලින් පාර්ලිමේන්තුවේ රඟන ජවිපේ මන්ත්‍රී ප්‍රමාණය 38 සිට (ජනිපෙ වෙන් වූ පසු ඉතිරි වූයේ 25 පමණි ) දෑතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු වනු ඇත.

එමගින් නැවත යම් තරමක හෝ ප්‍රකෘති තත්වයට පත්වන පාර්ලිමේන්තුව බහුතර දේශප්‍රේමී ජනයා අපේක්ෂා කරන ත්‍රස්ත බියෙන් මුදා ගැනීමේන් පසු බිහිවන යහ පාලනයෙන් යුතු අලුත් ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමේ දිශාවට මෙහයවීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වනු ඇතැයි දේශමාමක ජන පැතුමයි.. . . . .


- කැලුම් නිරංජන