Saturday, February 6, 2010

ජනාධිපතිවරණය දෙසට...

1 comments

පේක්ෂා කල පරිදිම ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ දෙවනවරටද ජනපති බවට පත් කරමින් විජයග්‍රාහීව නිම විය.මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය මෙය යැයි පැවසුවද වරදක් නැත.2005 මැතිවරණ ජයග්‍රහණයෙන් රටට ලබා දුන් ජයග්‍රහණය තව දුරටත් බලාත්මක කිරීමට බහුතර දේශමාමක ජනයා මෙවර මහින්ද රාජපක්ෂ ජනපති කිරීමට දායක විය.එය හුදු ජයග්‍රහනයක් පමණක් නොවීය .2005දී තමන් ලද 50% කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් 57% අධික බොලීවියානු ඉවෝ මොරාලස් පන්නයේ දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගනිමිනි.එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයාට (ඊනිය පොදු අපේක්ෂකයාට ) වඩ දහ අට ලක්ෂයකට අධික සාතිශය බහුතර චන්ද සංඛ්‍යාවක් ලබගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි විය.මෙය 2005 දී ලද ජයට වඩා සුවිශේෂී වන්නේ ප්‍රතිවාදී අපෙක්ෂකයා සියලු විපක්ෂ කණ්ඩායම් වල පූර්ණ ආශිර්වාදය (රනිල් වික්‍රමසිංහ මහතාගේ සැබෑ සහයෝගය ඔහුට ලැබුනේදැයි සැකයක් ඇති විය හැකි වුවත් ) ලද අපෙක්ෂකයා ,එනම් සෝමවංශ අමරසිංහගේ භාෂාවෙන්ම කියන්නේ නම් මහින්ද රාජපක්ෂ පැරදවිය හැකි හොඳම 'ජොකියා' මෙවර ඉදිරිපත් කල බැවිනි.


ජනාධිපතිවරණය ගැන කසු කුසුවක් දේශපාලන ලෝකයේ පැතිරෙත්ම (මීට මාස හතරකට පමණ පෙර ) සියලු විපක්ෂ කණ්ඩායම් එම අභියෝගයට මුහුණ දේන්නේ කෙසේද යන වියවුලට පත් වී සිටියහ.නන්දි කඩාල් කලපුවේදී දෙමළ ජාතිවාදයේ ත්‍රස්ත පෙරමුණ අවසන් හුස්ම යවන තැනට වැඩ සැලැස්වූ මහින්ද රාජපක්ෂ ඒ වනවිට නිතරඟ ඊලඟ ජනාධිපති බව බොහෝ දෙනා තීරණය කර තිබින.(නමුත් එසේ තීරණය කල සමහර කොටස් මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දය පාවිච්චි කරන්නට ඇත.) රනිල් වික්‍රමසිංහ මහතා පවා එය අවබෝධ කරගෙන සිටියාට සැක නැත.තමන් මෙවර ජනාධිපතිවරණයේදී ලබන නියත පරාජයෙන් පසු විපක්ෂ නායක ධූරය රැක ගැනීමේ අභියෝගය ජය ගැනීම පහසු නොවන බවත් එසේ වුවහොත් මහින්ද පාලන යුගයෙන් පසුව එනම් 2017 හෝ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වන බවත් තම මාමාගේ කපටි දේශපාලන උරුව ලද රනිල් වික්‍රමසිංහ මහතාට නොතේරෙන්නට හේතුවක් නැත.නමුත් තමා වෙනුවන එජාපයෙන් වෙනත් නායකයෙකු (එස් බී/ කරු හෝ සජිත්) ජනාධිපති අපේක්ෂකත්වය වෙත ඔසවා තබන්නටද රනිල් වික්‍රමසිංහ මහතා පසුබට විය.එසේ වුවහොත් ඔහු පරාජය වුවත් ඉන් පසු නැවත තමාගේ විපක්ෂ නායකත්වයට අභියෝගයක් විය හැකි බව මේ සූර දේශපාලඥයාට වැටහී යාම අරුමයක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණටද ඒ වන විට අත්ව තිබූ ඉරණම අතිශය අභියෝගාත්මක විය.
පසුගිය වසර තිහේම පමණ ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණය වහ කදුරු මෙන් තිත්ත අත්දැකීමක් විය.ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එයින් අවසන් ජයග්‍රහනයක් මේ කපේදී ලද නොහැකි බව තේරුම්ගෙන සිටි ඔවුන් බොහෝ විට කුමක් හෝ උප්පරවැට්ටියකින් එය මග හැර ගියේය.94,2005 දී සිදු වූයේ එයයි. මෙවර ඔවුන්ට එය තවත් මාරාන්තික සටනක්වූයේ ඒ වන විට මහින්ද පාලනය හේතුවෙන් පක්ෂය ඉතිහාසයේ කවරදාටත් වඩා කේඩෑරි වී ගොස් තිබූ බැවිනි.තමන්ට චන්දය දෙන සාමාන්‍ය ජනයා තබා තමන්ගේ බහට අතිශය අවනත තම කේඩරයන් පවා පක්ෂය තුල රඳවා ගැනීමට නොහැකි අතෝරයකට ඔවුන් මුහුණ දී සිටියහ. නායකයන් අතලොස්සකගේ අනුවණ තීරන හේතුවෙන් ජාතිකත්ව මගෙන් පීලි පැන්නවූ ජවිපෙ නැවත පීලිගත කල නොහැකි තත්වයට පත්ව තිබිණ.මෙතෙක් පක්ෂයට ජයග්‍රහණ ගෙන ආවේ එම ජාතිකවාදී ගම්බද ජන බලවේගය අමතක කර මාක්ස්වාදී පුස්ස පසුපස හඹාගිය ඔවුන්ට අත්වන්නේද ලංකාවේ සමසමාජ ,කොමියුනිට්ස් පන්නයේ විනාශයක් බව ඔවුන්ගේ තක්සේරුවට හසු නොවීය.තමන් අත එතෙක් තිබූ ජාතිකත්වයේ ප්‍රබල මෙහෙයුම්කරු යන ධජය මහින්ද රජපක්ෂ හිමි කර ගනිද්දී ඔවුන් කලේ එය තව දුරටත් මහින්දටම අත් වන්නට ඉඩ දෙන ජාතිකත්වයට එරෙහි පිල සමග යහන්ගත වන්නට පිඹුරුපත් සැකසීමය.( එහිදී ප්‍රබුඛ වැඩ කොටසක් එජාප ටයි කෝට් කල්ලිය සමග එක්වූ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා අතින් සිදු විනැයි පවතින කරුණ ඔවුන් අතින්ම හෙලිදරව්වන දිනය වැඩි ඈතක විය නොහැක ). මෙවැනි වාතාවරණයක් යටතේ 2006 දී ජවිපෙ ලද (මහින්ද රාජපක්ෂ මහතා පලමු ජනාධිපතිවරණ මධුසමය ගත කරන කාලයේදී පවා ) මිලියනයකට ආසන්න චන්ද ප්‍රමාණය 2009 වෙද්දී දෙලක්ෂයක් දක්වා පල්ලම් බැස්සවූ මහින්ද රාජපක්ෂ පාලනය සමග තවදුරටත් ඔට්ටු ඇල්ලීම හානිකරයැයි සිතූ ජවිපෙ නායකයන් එම පාලනය හමාර කිරීමට තීරණය කලේය.රටට කුමන ප්‍රතිඵලය අත් වුවත් තම පක්ෂය ජීවී තත්වයේ තව දුරටත් පවත්වා ගැනීමට නම් ඔවුන්ට එය කල යුතුම වීය.එහිදී ඔවුන් පලමුවත් පක්ෂය දෙවනුවත් පක්ෂය තෙවනුවත් පක්ෂය යන තමන්ට හුරු සටන් පාඨය වෙනුවෙන් පෙල ගැසුණහ.


විපක්ෂයේ ප්‍රධන ධාරා මෙලෙස අර්බුධයට යද්දී එයට සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනය ඔවුන්ට දිව ඔසුවක් විය.ඔවුන් සොයාපු දේ හම්බ විය.තම පරාජය මකා ගන්නට වීරයෙක් ඉදිරිපත් විය.තමන්ගේ විමුක්තියට මේ ඉදිරිපත් වුනේ එදා තමන්ම ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කී අයෙකු බව ඔවුන් අමතක කර දැම්මේය.දකුණේ පුද්ගල පැහැරගැනීම් වලට තමන් එදා සෘජුවම ඇඟිල්ල දික්කල පුද්ගලා බව අමතක කලේය.කොටින්ම ජවිපේ එක් වූයේ තම සදාධාරණීය නායකයා බොරැල්ල කනත්තේ පන පිටින් පුළුස්සා තවත් ජීවිත හැටදහසක් දැයට අහිමි කල එජාපය ප්‍රමුඛ දුෂ්ට බලවේග සමග බව ඔවුන් අමතක කලේය.කොටි පරදවන සටනේ කකුලෙන් ඇදි UNP , TNA හවුල සමග එක ගේ දීග කන්නට පමණක් නොව එහිදී තමන් විසින්ම එදා ඔවුන්ට ගැසූ දේශද්‍රෝහී කොටි හන තමන් හැඳි වතම ඔසවා වසන් කරන්නට තරම් ජවිපෙ දීන විය.කුමන ආලවට්ටම් ඉදිරියට දැම්මත් මොවුන් සතු පොදු ලකුණ වූයේ රාජපක්ෂ විරෝධය පමණි.ඒ සඳහා කොතරම් පරස්පර,නොගැලපීම් තිබුනත් මේ අශුද්ධ සංධානය එක්ව පෙළ ගැසිණ.



ඉන් පසු මාස දෙකක් පමණ පුරාවට මේ එක් එක් පාර්ෂව වල බහුරූ කෝලම් ජනතාවට ප්‍රදර්ශනය විය.පාවාදීම් ,දූෂණ චෝදනා ආදීයෙන් බහුල වූ ජනාධිපතිවරණය අවසානයේ ජනතා තීන්දුව ලැබී තිබේ.ගොබෙල්ස්ලාගේ ක්‍රියාකාරකම් ප්‍රබල වන බවක් මතුපිටින් දක්නට ලැබුනත් සමස්ථ ප්‍රතිඵලය තුලින් එය පුස්සක් බව පැහැදිලි විය.ජාතිමාමක ජන මනස ෆොන්සේකාගේ හමුදා ඇඳුම පෙන්නා ගසා කන්නට සැදූ දුෂ්ඨ බලවේග අන්ත පරාජයට ලක් විය.විශ්මිත යුධ ජයග්‍රහණයේ කීර්තිය එහි එක් නියමුවකු බිලී බා ගැනීමෙන් පමණක් කල නොහැකි බව එම ජයග්‍රහනය ලැබීමේදී කකුලෙන් ඇදි කකුල් මාට්ටු දැමූ බලවේගවලට රිදෙන්නට ඉලපත් පහරක් දෙමින් බහුතර ජාතිමාමක ජනයා ඔප්පු කර පෙන්වීය.මුලදී ෆොන්සේකා වටා තිබූ ජාතිමාමක ජනතා සහාය අවසන් භාගය (විශේශයෙන් දෙමළ සංධානය සමග එක් වීමෙන් පසු ) වන විට නොසලකා හැරිය හැකි තරම් කුඩා භාගයක් විය.කොතරම් උස් හඬින් බෙරිහන් දුන්නද ජවිපෙට තමන් සිටින තැන හොඳින් පැහැදිලි වූ අතර වෙනස් නොවන්නේ නම් තව දුරටත් මේ දේශපාලන කරලිය තුල තමන්ට හිමි වන්නේ ප්‍රචාරණ ආයතනයක කාර්යභාරයට වඩා වැඩි යමක් නොවන බව ඔවුන් වටහා ගත යුතුය.


අවසානයේ සියලු රටට හිතැති බලවේග අපෙක්ෂා කල පරිදිම ජාතිමාමක ජනතාවගේ නියෝජිතයා ජයග්‍රහණය ලබීය.කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය සඳහා දෙමළ සහ මුස්ලිම් ජනතා සහාය සුපුරුදු පරිදි නොලැබී ගියේය.ඔවුන් තව දුරටත් මහින්ද රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ නායකයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේ ඇති ප්‍රබල අභියෝගය නම් තමන් සුළු ජාතින් ලෙස තවමත් සිතනා එලෙසින් කටයුතු කරනා මෙම බලවේග ප්‍රධාන සංස්කෘතිය තුලට අවශෝෂණය කර ගන්නේ කෙලෙසද යන්නයි.


-කැලුම් නිරංජන

1 comments:

  • February 6, 2010 at 12:09 PM

    මචං කැලුම්, මේ සුළු ජාතී සීන් එක විපක්ෂයේ අයට දැන් තියෙන් එකම පොයිට් එක. මොකද ඔය මොක මොක කීවත් මිනිස්සු විදියට අපිට අපේ ජාතිය ආගම ගැන හිතෙනවා අනිත් ජාති ආගම් වලට වඩා. ඒක හින්දා කවුරු හරි ජාති, කුල සීන් ගැන කිව්වාම පොඩ්ඩක් අහන්න හිතෙනවා..

    මේක වෙනස් වෙන්න ඕනෑ. නමුත් වෙනස් වෙන්න දෙන්නේ නෑ ඕනෑම විපක්ෂයක්. ඒක පාඩුවක් හින්දා..

    නමුත් මොනවා ගරි කල යුතුයු රටක් විදියට එකට යන්න නම්...

    /බිඟුවා...!