Tuesday, April 3, 2012

LLRC කඩතුරාවෙන් වසන්නට තනන, ජිනීවා බලහත්කාරයේ අඳුර විනි

0 comments
පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුව තුලදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් යෝජනාව සම්මත වීමත් සමගම අවදියෙන් සිටින බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.යෝජනාව සම්මත වීමට ප්‍රථම සිටම ඇතිවූ සංවාදය තුල පවා ප්‍රධාන මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටින ධාරාවන් දෙකක් පැහැදිලිව හඳුනා ගත හැකි විය.
එක් පාර්ශවයක් මෙය බියකරු බිල්ලෙකුගේ ආගමනයේ මුල් පියවර ලෙස දකිද්දී අනෙක් ප්‍රධාන කොටස මෙය එතරම් ගනන් ගත යුතු නැති හුදු කොලොප්පමක් එසේත් නැතිනම් නාඩගමක් ලෙස අර්ථ ගැන්විය.මේ අතර තවත් බොහෝ දෙනා මේ සංවාදය තුලදී මේ පිලිබඳ කිසිදු පැහැදිලි අදහසක් නොමැතිව හුදු ප්‍රෙක්ෂක මට්ටමේ සහභාගීත්වයක් පමණක් පෙන්වීය.ඒ කෙසේ වෙතත් ඇමරිකන් යෝජනා වැඩි චන්දයෙන් සම්මත වීමත් සමගම බොහෝ දෙනා තමන් කලින් දැරූ මතයෙහි නිරවද්‍යතාවය සහතික කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනු පෙනේ.එසේ කල නොහැකි බව වටහා ගත් පිරිස් කලින් දැරූ මතයෙන් අපගමනය වෙමින් මේ මොහොතේ තමන්ගේ න්‍යායපත්‍රයන්ට අනුකූල වන ලෙස තම මතය ගලප්පවා ගැනීමට තැත් කරනු පෙනේ.
මෙහිදී අපට වැඩිපුර ඇසෙන අදහස් කිහිපයක් මෙලෙස සරලව සටහන් කල හැක.
  1. “ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාව පිලිබඳ නිකරුණේ බිය වීමට කිසිම හේතුවක් නැත.එහි ඇත්තේ ආණ්ඩුව විසින්ම පත් කල LLRC කොමිෂන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙසය.ආණ්ඩුවත් එයට කැමති බැවින් ඇත්තටම ගැටුමක් නැත.ආණ්ඩුව මේ මොහොතේ බොරු බිල්ලෙක් මවා මේ සරල කරුණ මහමෙරක් කර පෙන්වන්නට උත්සාහ කරන්නේ ජනයා පෙලන සැබෑ ගැටලුවලින් අවධානය ඉවත් කිරීමටය.බොරු දේශප්‍රේමී කඩතුරාවෙන් තම නොහැකියාව වසා ගන්නටය. “
  2. “ශ්‍රී ලංකාව යුධ අපරාධ පිලිබඳ රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කර නොමැති බැවින් ‘විදුලි පුටු’ පෙන්වමින් කරන බොරුව, හුදු රඟපෑමක් පමණකි.(රනිල් වික්‍රමසිංහට පින් සිදු වන්නට ) අප රටට යුධ අපරාධ චෝදනා නැගිය නොහැක.”
  3. “ජිනීවා මානව හිමිකම්  යෝජනාව ඉතා බරපතල කරුණකි,ඉදිරියේදී අනතුරු රැසක මූලාරම්භය මෙයයි.රටේ ස්වෛරී භාවයට තර්ජනයක් මෙන්ම ආර්ථික සම්බාධක මෙන්ම අවසානයේ ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවේ ත්‍රස්ත විරෝධී සටන මෙහෙයවූවන් වැරදිකරුවන් වීමේ අවධානමක් ඇත”
  4. “මේක රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් විතරයි.ආණ්ඩුවේ අවසානයෙ ආරම්භයයි මේ.ලිබියාවේ වගේ ‘ජනතාව’ පාරට බහින දවස වැඩි ඈතක නෙවෙයි. ලෝකය පුරාම ‘ ඒකාධිපති ‘ නායකයන් නැතිවෙලා යන කාලයක් මේක.ඇමරිකාව හරහා උනත් කමක් නෑ මේ මහින්ද ගෙදර යවන්න පුළුවන් නම්”
  5. “මේක ආණ්ඩුවට ලැබුනු කනා චාන්ස් එකක්.ජනතා විරෝධය ආණ්ඩුවට එල්ල වෙද්දි ආයෙත් බොරු දේශප්‍රේමයක් උඩට අරගෙන ජනතාවගේ අවධානය වෙනතකට ගෙනියන්නයි මේ හදන්නේ.අපේ රටේ මිනිස්සුන්ටත් ‘දේශප්‍රේමය’ කියල කිව්වොත් ඕන බොරුවකට අහුවෙනව.”
මේ ජිනීවා යෝජනා සම්බන්ධව විවිධ කණ්ඩායම් දරන මතයන් වල සාරාංශයක් ලෙස සැලකිය හැක.මේ අදහස් කෙතෙක් දුරට සාධාරණද? කෙතෙක් දුරට සංගතද?

”නංගි පෙන්නා අක්කා දීම” - ජිනීවා යෝජනා උගත් පාඩම් ගැන පමණද?

ජිනීවා සමුළුවේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවේ එකම කාරණය උගත් පාඩම් කොමිෂන් වාර්ථාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම යැයි බොහෝ දෙනා දරන අදහසයි.විශේෂයෙන් අණ්ඩු විරෝධී කණ්ඩායම් වල මූලික ප්‍රකාශිත අරමුණ මෙයයි.ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ම පත් කල කොමිෂම් වාර්ථාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම අසාධාරණදැයි ඔවුහු පෙරළා අසති.එසේ අසාධාරණ නම් මෙම කොමිෂම පත් කලේ අහවල් දෙයකටදැයිද ඔවුහු අසති.මෙම කරුණු සැබෑද?
ඇමරිනක් යෝජනාව දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනෙන්නේ එය ‘උගත් පාඩම් යෝජනා ක්‍රියාත්මක කරන්න’ යනුවෙන් සඳහන් දවටනය ඔතා එවූ කාල බෝම්බයක් බවය.දවටනය ඉවත් කලද බෝම්බය එකවර පුපුරා නොයන බැවින් අනතුරක් නැතැයි කෙටි නිගමනයකට එලඹීමට ඉඩ වැඩිය.නමුත් ඇමරිකන් යෝජනාවේ අවධානයෙන් ඈත් කල ප්‍රධාන කරුණු කිහිපයක් මෙලෙස සඳහන් කල හැක
  • “පලාත්බදව බලය විමධ්‍යගත කිරීම පිළිබඳ දේශපාලන විසඳුමකට ඒම”
  • “අන්තර් ජාතික නීතිය බරපතල ලෙස උල්ලංගනය කිරීම පිලිබඳ උගත් පාඩම් කොමිෂමේ වාර්ථාව ප්‍රමානවත් අවධානය යොමු කර නොතිබීම ගැන කනස්සල්ල”
  • “උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ අඩංගු නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට මෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා ගැන කටයුතු කිරීමට රජය ගෙන ඇති හා ගන්නා පියවර….”
  • “ඉහත සඳහන් පියවර කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහය ලබාදීමට ශි‍්‍ර ලංකා රජය සමග කතිකා කරමින් හා සමගාමීව. මානව හිමිකම් කවුන්සිලය හා අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග සැපයීමත්…” [ උපුටා ගැනීම ඇමරිකන්  යෝජනාවෙන් ]
උගත් පාඩම් කොමිෂමේ අඩංගු ‘ජනතාව වෙත බලය ලැබෙන ක්‍රමයක් ස්ථාපිත කිරීම’ යන්න වෙනුවට ඇමරිකන් යෝජනාවේ ඇත්තේ ‘පළාත්බදව බලය බෙදන’ ලෙසය.මෙය වචන කිහිපයක වෙනසක් වුවත් අර්ථයෙන් ගත් විට බරපතල කරුනකි.පළාත්බදව බලය බෙදීම යන කාරණය පසුගිය දශක දෙක හමාරකට වැඩි කාලයක් තිස්සේ රටේ බරපතල ලෙස ප්‍රතිවිරෝධතා එල්ල වූ කාරණයකි.බොහෝ අවස්ථාවලදී මැතිවරණවලදී තීරණාත්මකව ඒ මතය බහුතරය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද්දකි.ආණ්ඩු ගෙදර යවන්නට ආණ්ඩු හදන්නටද තීරණාත්මක ලෙස වැදගත් වූ මෙම කරුණ LLRC යෝජනාවේ කරුණුවලටද පටහැනි වෙමින්  ඇමරිකන් යෝජනාවට ඇතුලත් වූයේ අත් වැරදීමකින් නම් නොවේ.ගම් සභා වැනි බොහෝ දෙනා එකඟ වන ක්‍රමයකට මෙම යෝජනාව හරහා යා හැකි යැයි සමහරු බලාපොරොත්තු වුවත් ඇමරිකාව එමගින් තෘප්තිමත් නොවන බව මේ ‘පලාත්බදව බලය බෙදනු’ යන වගන්තියේ “සැඟවුනු” අරුතයි. LLRC වාර්ථාවේ කරුණු පවා තමන්ට අභිමත ලෙස තම අරමුණු වලට අනුකූල වන ලෙස මෙලෙස විකෘති කර ඇත්තේ මෙරට බොහෝ දෙනාද සිතා සිටින පරිදි හුදු LLRC නිර්දේශ ඉටු වනු දැකීමේ පිවිතුරු චේතනාවෙන් නොව නොව බටහිර අභිමතය ඉටු කර ගැනීමේ බලහත්කාරයට අප කොටු කර ගැනීමටය.
‘අන්තර් ජාතික නීතිය බරපතල ලෙස උල්ලංගනය කිරීම පිලිබඳ උගත් පාඩම් කොමිෂමේ වාර්ථාව ප්‍රමානවත් අවධානය යොමු කර නොතිබීම ගැන කනස්සල්ල’ යනුවෙන් ඇමරිකන් යෝජනාවේ සඳහන්ව ඇත්තේ හුදු අවමංගල සභාවක ශෝකය ප්‍රකාශ කරනවාට වඩා එහා ගිය කරුණකි.කනස්සල්ලට පත් වීමෙන් මෙය අවසන්  නොවනු ඇත.ඇමරිකන් යෝජනාවේ 3 වැනි කරුණ ලෙස අඩංගු “මානව හිමිකම් කවුන්සිලය හා අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග සැපයීම” යන්න මගින් ආවරනය කරන්නට අපේක්ෂා කරන්නේ මෙම කරුණ බවට සැක නැත.එම විශේෂ ක්‍රියාමාර්ග කුමක්දැයි මෙම වාක්‍ය තුලින් පැහැදිලිව නොපෙනුනත් ඇත්ත කාරණය වන්නේ මේ කමිටුවට රටවල් කිහිපයකින් නියෝජිතයින් පත් කර , මොවුන් ලංකාවට පැමිණ ඉදිරිපත් වන පැමිණිලි විභාග කර ඒ පිලිබඳව ලංකාවේ රජය ගන්නා පියවර සෑහීමකට පත් නොවන බවට කරන නිර්දේශ හරහා අන්තර්ජාතික මැදිහත්වීමේ දෙවනි වටය ආරම්භ කිරීමට පොට පාදා ගැනීමට “විශේෂ කි‍්‍රයාමාර්ග සැපයීම”යන්න භාවිතා කරනු ඇත යන්නය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ වෙබ් අඩවියේ  මෙම ‘විශේෂ ක්‍රියාමාර්ග’ (Special Procedure) පිළිබඳ පැහැදිලි විස්තරයක් දක්වා ඇත.
“උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ අඩංගු නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට මෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා ගැන කටයුතු කිරීමට රජය ගෙන ඇති හා ගන්නා පියවර විස්තරාත්මකව දක්වන පරිපූර්ණ කි‍්‍රයාකාරී සැලැස්මක් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.”[ඇමරිකන් යෝජනාවේ දෙවන කරුණ ]
මෙහිදී පැහැදිලිව පෙනෙන්නේ උගත් පාඩම් කොමිෂම් යෝජනාවලින් පමණක් මේ ඇමරිකන් යෝජනාවට පිළිතුරු දිය නොහැකි බවය.එයත් සමගම ‘ජාත්‍යනතර නීති උල්ලංගනය’ට අදාලවද කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.මෙය හුදෙක්ම LLRC යෝජනාම නොවේ යැයි නිගමනය කල හැක්කේ මෙම කරුණු හෙතුවෙනි.වැදගත්ම කරුණ වන්නේ මෙම ඊනියා ‘ජාත්‍යන්තර නීති උල්ලංඝනය’ යන්නෙන් අදහස් කරන්නේ වෙනකක් නොව ත්‍රස්ත මර්දන සටනේ අවසන් අදියරේ ත්‍රස්තයන් සමූලඝාතනය කිරීමේ ‘වරද’යි.
මේ කරුණු අනුව පෙනී යන්නේ ජිනීවා සම්මත යෝජනාව හරහා සිදු වී ඇත්තේ උගත් පාඩම් කොමිසම නංගි පෙන්නා යුධ අපරාධ නැමති අක්කා දීග දීමට බටහිරයන් කටයුතු කරමින් සිටින බවය,’ජිනීවා යෝජනා හුදු LLRCයෝජන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් පමනි,සහ රජයද එයට එකඟ බැවින් මෙය යෝජනා ඉටු කිරීමේ කාල වකවානු පිලිබඳ සරල සුමට ගැටුමක් පමනි’ යනුවෙන් පලවන අදහස් ගැඹුර අමතක කර හුදු මතුපිට ස්පර්ශයෙන් එලඹි සදොස් සහගත නිගමනයක් බවය.

රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීමෙන් මුක්තිය ලැබේද?

ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීමට එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ විදුලි පුටුවට ගෙන යැමට නොහැකි බව බොහෝ විපක්ෂ මතධාරීන් අතර ප්‍රචලිත අදහසයි.මෙහි සැබෑවක් තිබේද?රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම නිසා අපට මුක්තිය ලැබේද?
රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ වගකීමක්  නොව,එවකට ඔහු අගමැතිවරයා පමනක් බවත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එකඟවන්නේ අගමැතිවරයා නොව විධායක ජනාධිපතිවරයා බවටත් නීති විශාරදයන් මතු කරන කරුණ ඉවත ලිය හැක්කක් නොවේ.එම කරුණ කෙසේ වෙතත් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකල පමණින් අපට මුක්තිය නොලැබෙන බවට ජාත්‍යත්වර උදාහරණ බොහොමයකි .සුඩානයේ හිටපු  ජනාධිපති ඔමාඅල් බාෂිර් ,  ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්  , යුගොස්ලෝවියාවේ  ස්ලොබොදාන් මිලසොවිච් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට ගෙන එන්නේ ඔවුන් රෝම ප්‍රඥ්ඥප්තිය අත්සන් නොකර තිබියදීය.
එසේ වන්නේ රෝම ප්‍රඥ්ඥප්තිය තුලම එය අත්සන් නොකල රටවලට අදාල වන සේද වගන්ති අඩංගු කර ඇති බැවිනි .එහිදී  අපරාධ නඩු මෙහෙයුම්කරුට (Prosecutor) අභිමත ලෙස පරීක්ෂණ පවත්වා මූලික නඩු විභාග මණ්ඩලය වෙත යෝජනාවක් යොමු කිරීමට බලයක් තිබෙන බැවින් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම මගින් අප සුරක්ෂිත යැයිද අපට මුක්තිය ලැබේ යැයිද කරන ප්‍රකාශ දේශපාලන වේදිකාවට පමණක් සෑහෙන ඉන් එහාට වලංගුභාවයක් නොමැති කරුණකි.
මේ කරුණු අනුව ජිනීවා සම්මත යෝජනා යනු උගත් පාඩම් කොමිසම නැමති නංගි පෙන්නා යුධ අපරාධ නැමති අක්කා දීග දීමට බටහිරයන්ගේ අරමුණ බව අප වටහා ගත යුතුය.උගත් පාඩම් කොමිසමෙන් බාහිර කරුණු නොසලකා හැරියත් ඇමරිකන් න්‍යායපත්‍රයට අනුකූලව ඒවා ඉටු කිරීමට අප බැඳී නැත. මෙය රටේ අභ්‍යන්තරව පත් කල කොමිෂමකි.එහි යෝජනා ඉස්පිල්ලක් පාපිල්ලක් හැර ඉටු කිරීමේ හැකියාවද රජයට නැති වන්නට ඉඩ ඇත.සියලු යෝජනා ක්‍රියාත්මක කල යුත්තේ අපගේම යාන්ත්‍රණයක් හරහා පමණි.අන්තර්ජාතික කල්ලි කණ්ඩායම්වල බලහත්කාරයට යටත්ව ඒවා ඉටු කල යුතු නැත.සංහිඳියාව ඇති කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙරටට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

ඉදිරි අනතුර  
ඇත්තටම යකා හිතනතරම් කලු නැද්ද?
මේ යෝජනාව සම්මත වූවාට අපට සිදුවන කෙංගෙඩියක් නැතැයි පවසන්නන් වටහා ගත යුතු කරුණ නම් ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බවය.මේ යෝජනාවෙන් එකවර ආර්ථික සම්භාධක හෝ හේග් නුවර යුධ අධිකරණය වෙත ත්‍රස්ත මර්දන මෙහෙයුමට සහභාගීවූවන් දක්කාගෙන නොයනු ඇත. නමුත් කෙමෙක් කෙමෙන් පියවරෙන් පියවර හරකා වැට පනින්නේ පොල් පැලය කන්නට බව වටහාගැනීමට අංජනම් බැලිය යුතු නොවේ.උගත් පාඩම් නිර්දේශ හා අනෙකුත් අමතර කාරනා ඉටු කරන තැනට රට පත් කිරීමටත් ඒවා හැසිරවීමේ බලය ඇමරිකාව අතට ගැනීමටත් ඒ හාරහා තමන්ට අවශ්‍ය තැනට රට පත් කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව බවට සැක නැත.ඒ අතරතුර හැකිනම් ජනතා විරෝධය අවුලුවන ඊලම් පිපාසය සංසිඳෙන පන්නයේ 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන අසමමිතික බලය බෙදීමක් උතුරු හා නැගෙනහිරට ලබා දීමට බල කෙරෙනු ඇත.එමගින් ඊළාම් පිපාසය සංසිඳවන ගමන්ම රට බෙදීමට එරෙහි ජනතා විරෝධය අවුළුවා තමන්ට අභිමත නොවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම ලෙස වූ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ උත්සාහයද අත් නොහරිනු ඇත.ආණ්ඩුව තම දඬු අඬුවට කැමැත්තෙන් හසු නොවන්නේ නම් අතරමගදී ආර්ථික සම්බාධක වැනි උත්සාහයන්ද අත් හදා බලනු ඇත.
කෙසෙ වුවත් මේ ජිනීවා අනතුර හමුවේ ආණ්ඩුවේ හැසිරීමේ සද්භාවයක් ඇත්ද?බටහිර බලපෑමේ බරපතලකමට  සාපේක්ෂව ආණ්ඩුවේ සද් භාවය සෙවීම මේ මොහොතේ තේරුමක් නැති දෙයක් යැයි යමෙකු පවසන්නට ඉඩ ඇතත් ජිනීවා අනතුර දඩමීමා කරගෙන තම අසමත්කම් වසා ගැනීමට ආණ්ඩුවේ අපෙක්ෂාවක් ඇතැයි කිසිවකු චෝදනා නැගුවහොත් එය සම්පූර්ණ මුසාවක්ම නොවේ.ආණ්ඩුව මේ මොහොතේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් පහදා ඉදිරි අනතුරක් ඇත්නම් ඒ වෙනුවෙන් ජනතාව සූදානම් කල යුතුය.කාර් රේස් පැද හෝ දඩ බල්ලන්ට නිදැල්ලේ වීදි බසින්නට ඉඩ දී නම් මේ අභියෝගයෙන් ගොඩ ඒම උගහටය.ආණ්ඩුව කල යුත්තේ ජාත්‍යන්තර මිතුරු පාර්ශව හරහා බටහිර බලපෑමෙන් මිදෙන අතරතුර අවම වශයෙන් අහරින් වත් ස්වයංපෝෂිත  වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග (සංදර්ශන වලින් එහා ගිය වැඩපිලිවෙලක් හරහා ) ගැනීමය.තමන්ගෙන් ඇස් පනාපිට සිදුවන කළමනාකරණ දුර්වලතා මෙන්ම දේශපාලන ජඩකම් විචාරශීලීව දැනුවත් මනසින් විමසා බලා ඒවා නිවරදිකරගැනීමය.ඒ හරහා තමන්ගෙන් ඈත් වෙමින් සිටින ජනතා කැමැත්ත නැවත එකම එකම අරමුණක්  වටා එකතු කිරීමය. සාධාරණය  ඇති සමාජයක් ගොඩනැගෙන බවට විස්වාසය මෙරට තුල මුලින් ස්ථාපිත කිරීමත් එම අරමුණට බාධාවන සියලු සාධක පුද්ගලයා කවුද යන්න  නොසලකා ඉවත් කිරීමත් එමගින් වක්‍රාකාරයෙන් බටහිර මෙහෙයුමට නිද්‍රාශීලීව සහයවන තත්වයට ජනතාවට ලැබෙන ඉඩ අහුරා දැමීමද වහ වහා කල යුතුව ඇත.
බටහිර දඬු අණුවට හසුව ආරාබි වසන්තය පන්නයේ විනාශයකින් මේ නෙයියාඩගම කෙලවර නොවී මේ නැගී ඇති මේඝ වලාවෙන් රිදී ඉරක් මතුකරගත හැක්කේ එලෙස පමණි.

-කැලුම් නිරංජන
 ලංකාසීනිවුස් වෙබ් අඩවිය පල කරන ලද ලිපියකි
2012-04-02

0 comments: