Friday, August 21, 2009

'අනර්කලීලාට' කුමක් කරමුද?

10 comments
කුණු පළාත් සභා මැතිවරණයේ උණුසුම දේශපලන පොර පිටිය නැවතත් උණුසුම් කරමින් පවතී.ඒ එය අවසන් පළත් සභා මැතිවරණය වන බැවිනි.පළාත් 8ක මැතිවරණවලින් පසු ඊලඟට ඇත්තේ තීරණාත්මක මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයයි.පසුගිය පළාත් සභා හතෙහිම ජය ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස විසින් දිනා ගත්තේ තනි අශ්වයාගේ තරඟයකිනි.එම අශ්වයා සමග තරඟයට පිවිස සිටියේ හොඳටම වැහැරුණු කොටලුවන් සහ අතරමං වූ බූරුවන් කිහිපදෙනෙකුත් පමණි.එබැවින් තරඟයක් දී ගත හො නොහැකිව නියත ජයක් අශ්වයා හිමි කර ගත්තේය.ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයත් එහිම දිගුවක් බවට අනාවැකි කියන්නට අංජනම් බැලිය යුතු නොවේ.මෙයද එජාපය වසර පහලොවක් පුරා ලබන අනවරත් පරාජයේ තවත් එක් දිගුවක් බව සක්සුදක් සේ පැහැදිළිය.ජවිපෙට අත්වන ශෝකජනක ඉරණමද කලින්ම තක්සේරු කල හැක.ජවිපෙ එහි නිර්මාතෘවරයාගේ ගම් පියසේදීම සහ එහි ප්‍රබලම ව්‍යාප්තිය සිදු වූ බිමේදීම මෙතෙක් ලද බරපතලම කඩාවැටීමට මුහුණ පානවා ඇත.සුපුරුදු පරිදිම එජනිස 'විශිෂ්ඨ' ලෙස ජය ගන්නවා ඇත.එය ඉදිරියේදී එන මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණ ජයග්‍රහණයට ප්‍රබල උත්ප්‍රේරකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ අවස්ථාවේ මැතිවරණයේදී පුද්ගල සාධකයේ බලපෑම අල්ප වන අතර ජයග්‍රහණයට ප්‍රබලව හේතු වන්නේ රජයේ ත්‍රස්තවාදයට එරෙහිව ජය ගත් සටනත් ජනාධිපතිවරා ගැන ඇති අචල විශ්වාසයත් පමණි.එය ඔහුගේ ගම් පෙදෙසේදී අන් හැම තැනටම වඩා උස්ව නැගෙන රැල්ලක් වෙයි.නමුත් මෙතරම් පහසුවෙන් ජයග්‍රහණය ලබා ගත හැකි වාතාවරණයක් යටතේ පවා එජනිස අපේක්ෂක ලයිස්තු සැකසීමේදී එය මූලික 'තත්ව පරීක්ෂාව'වත් ලක් නොකිරීම අභාග්‍යකි.දැනට වාර්ථා වන අන්දමට අනර්කලී වැනි සමාජය ඉදිරියේ කුජීත වූ චරිත පවා ජනාධිපතිවරයාගේ ආර්‍ය ජාතික ඇඳුමේ සෙවනැල්ලෙන් මුවා කර පළාත්සභාවට තල්ලු කර යැවීමට කටයුතු කෙරෙමින් පවතී.අනර්කලී ඉදිරිපත් කරන්නේ මංගලට අභියෝගයට යැයි යමෙකු මෙය සාධාරණීකරනය කරනු ඇත.නමුත් මංගල වැනි වැලේ වැල් නැති දේශපාලන ගන්ධබ්බයෙකුට අභියෝග කිරීමට ඔහුගේ පන්නයේම චරිත කරලියට ගෙන ඒමට තරම් බලධාරීන් අමන වී ඇත්ද?අනර්කලී පමණක්ම නොවේ.එවැනි සහ ඊටත් වඩා කුණු වූ සහ ගඳ ගසන චරිත තවත් රැසක් ඇති අතර සුදු ඇඳුමින් වෙස් ගෙන සිටියත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඒ ඒ ප්‍රදේශවල ජනයා හොඳින් දනී.


එවැනි මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් කිරීමන් හැකි තාක් වැලකී සිටීමට ශ්‍රීලනිප බලධාරීන්ට මේ මොහොතේ ජවයක් පවතී.මක් නිසාද යත් අභියෝගයක් එල්ල කිරීමට වත් නොහැකි තරමට විපක්ෂ බලවේග හතර ගාතෙන් වැටී ඇති මේ අවස්ථාව එය කිරීමට හොඳම මොහොත වන බැවිනි.නමුත් ඒ සියලු අනගි අවස්ථාවන් නොසලකා හැරින තැනට කටයුතු සිදු වෙමින් පවතින බවට පෙරනිමිති පල වෙමින් තිබේ.හොරුන් ,තක්කඩියන් ,බුකිකරුවන්,ස්ත්‍රී දූෂකයන් පවා මැතිවරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් සහ වෙනත් බලපෑම් වලින් මනාප තරඟයෙන් මුල් තැනට පැමිණි අතීත අත්දැකීම් ගැන සිහි වෙත්දී මොවුන්ටද එම අභියෝගයෙන් ජය ගැනීම අපහසු නොවිය හැක.එබැවින් ඒ බව දන්නා බලධාරීන් කල යුත්තේ ඔවුන්ට මැතිවරනවලට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව මග හැරවීම මිස ඔවුන් පරාජය නොකලේ මන්දැයි ජනතාව පිට වරද පැටවීමට බලා සිටීම නොවේ.

මෙවැනි ගොන් බඳින කණු තම පක්ෂයෙන් ඉදිරිපත්වීම ගැන එහි නායකයා ලෙස ජනාධිපතිවරයා ලැජ්ජාවට පත් විය යුතුය.පවුලේ ඉල්ලීම් මත රට ගැන තීරණ ගැනීමට ගියහොත් ඔහු පිළිබඳ දේශ හිතෂී ජනයා තබා ඇති ගෞරවය සහ විශ්වාසය කඩා ඉහිරී යෑමට මෙවැනි සිද්ධීන් කිහිපයක් පමනක් වුවත් ප්‍රමනවත් විය හැකි බව ඔහු වටහා ගත යුතුය.ගෝඨාභය රාජපක්ෂටත් නාමල් රාජපක්ෂටත් දේශප්‍රේමී ජන හදවත් තුල හිමිව ඇත්තේ එකම ස්ථානය නොවන බව ඔහු අවබෝධ කර ගත යුතුය.යම් දිනක එම ස්ථානය එකම විය හැකි වුවත් එතෙක් ඉවසීමෙන් කටයුතු කල යුතුය.නැතහොත් කිරුළ හිමි කුමාරවරුන්ට පසු ගිය කාලයේ අත් වූ ඉරණමම අත්වීම වැලැක්විය නොහැක.

අවාසනාවට බලධාරීන් තමාගේ යුතුකම සරලව සලකා නොසලකා හැරියත් සියලු දේශප්‍රේමී ජනයා වෙත අත් හල නොහැකි වගකීමක් තිබේ.එනම් කුමන අන්දමේ බලපෑම් හමුවේ වුවත් තමාගේ ජාතියක් ලෙස කල යුතු වගකීම ඉටු කරන අතරම මෙවැනි අනර්කලී පන්නයේ චරිත පමනක් නොව සියලු හොරුන් තක්කඩියන් තම චන්ද කාඩ්පතින් පළවා හැරීමය.ඒ වෙනුවට යම් කිසි ප්‍රමානයකින් හෝ ජාතිකත්වයට ලැදි ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමය.ඒ හරහා හෝ තමන්ට කල හැකි නමුත් එය අමතක කර මෙවැනි අමන තීරණ ගන්නා බලධාරීන්ට මතක හිටින පාඩමක් ඉගැන්වීමය.

අනර්කලීලා පරදවා ගුණපාලලා තෝරා ගැනීමට තරම් නිරවුල් අවබෝධයක් සහ එඩියක් සැමදා ජාතියට මග කියන දකුණේ ජනයාට ඇතැයි අපි විශ්වාස කරමු.


- කැලුම් නිරංජන

Thursday, August 13, 2009

මැතිවරණ සහ අපේක්ෂකයෝ. . . . . .

1 comments
පසුගියදා එජනිස ට ති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර දෙමින් අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේ උණුසුම යන්නටත් මත්තේන් නැවතත් මැතිවරණ කතා බහක් කරලියට පැමිණ තිබේ.එම මැතිවරණයේදී එජාපයේ සිදු වූ දැවැන්ත නායෙ යාමත් ජවිපෙට මුහුණදීමට සිදු වූ ලැජ්ජාසහගත පරාජයත් ගැන තව දුරටත් ටීකා ටිප්පනි ලිවීම නිෂ්පල කාර්යයක් වන්නේ එය ඔවුන්ම තම දෑතින්ම වපුල දෙයින් ලද අස්වැන්න බැවිනි.ජාතික මතවාදයට සැබෑ ලෙස අවනත නොවීමේ වරදට ලද යුතු නිසි දඬුවම ඔවුන්ට ලැබිණ.දැන් ඉතින් ලද ජයග්‍රණයෙන් උදම් අනනු වෙනුවට කල යුත්තේ හැකි අයුරුන් එම පළාතේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමය.(පළාත් සභා තුලින් කල හැකි කෙංගෙඩියක් නොමැතිවුවත් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම ලබා ගත හැකි නායකත්වයක් ඌවට ලැබී අති බැවින් ඒ හරහාවත් යම් දෙයක් කිරීමට වග බලා ගත යුතුය )

ලද මැතිවරණ ජය ගැන මාධ්‍ය හමුවේ අදහස් පල කළ ශ්‍රීලනිප භාණ්ඩාගාරිකවරා පල කල අදහස එජාපයට තමා සිටින ස්ථානය ගැන නැවත සිතීමට හොඳ ප්‍රවේශයකි.


මැතිවරණ යනු රූප සුන්දරියන් හෝ අයෝමය පුරුෂයන් තේරීමේ තරඟ නොවන බව එජාප ය තෙරුම් ගත යුතුයි.

-ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

13 අහෝස්තු 2009

පසුගිය මැතිවරණවලදී එජාපය තමන්ට අත්වන අනවරත පරාජය නවත්වා ගැනීමට නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කලේය.එහිදි තමන් පරාජය වීමට බලපාන ප්‍රමුඛ සාධක අමතක කරවීමේ අරමුණින් මෙන් තරු සංකල්පය තම මැතිවරණ ව්‍යාපාරයට අදේශ කර බැලුවේය.(එජාපය පරාජය වීමට බලපාන ප්‍රමුඛ සාධක අතර ජාතික මතවාදයට ලැදි නායකත්වයක් නොමැති වීම සහ ජාතික මතවාදයට පිටුපා සිට ගනිමින් විජාතික ඒජන්තයකුගේ භූමිකාවට පණ පෙවීම ප්‍රධන වන බව එජාපය විසින්ම තම පරාජයට හේතු සෙවීමට පත්කල පණ්ඩිතරත්න වාර්ථාව මගින් පෙන්වා දී තිබේ).
උතුරු මැදදී ජානක පෙරේරාත්,සබරගමුවේදී රංජන් රමනායකත්,බස්නාහිරදී රෝසි සේනානායකත් ඉදිරිපත් වන්නේ ඒ අරමුණෙනි.ඔවුන් තමාගේ පක්ෂය තුල මනාප ගනනින් ප්‍රථම ස්ථානයට පැමිණියත් පක්ෂයක් ලෙසින් ලබන දැවැන්ත පරාජය වැලැක්වීමට තබා පරාජයේ දැවැන්ත බව අඩු කර ගැනීමටවත් ඔවුන්ට නොහැකි බව පසුගිය මැතිවරණ ප්‍රතිඵලවලින් ප්‍රත්‍යක්ෂ විය.

එජාපය දැන්වත් කල යුත්තේ මෙවැනි බොරු වැඩ ඉවත දමා තමන් පරාජය වීමට බලපාන ප්‍රතිපත්තිමය සහ මතවාදී අවුල විසඳා ගැනීමය.එය රනිල් නායකත්වයෙන් නෙරපීමෙන් පමණක්ම අත් කර ගත හැක්කක් නොව ඉන් එහා ගිය පුළුල් ප්‍රතිපත්තිමය වෙනසක් අරමුණු කරගත්තක් විය යුතුය.එසේ නොවුවහොත් සිදු වන්නේ දැනට සිදුවන පරාජයේ තවත් ප්‍රබල වූ දිගුවක් බව පැහැදිලිය.
කෙසේ වුවත් ශ්‍රීලනිප භාණ්ඩාගාරිකවරා ඉහත අදහස පල කල දිනම මාධ්‍ය මගින් වාර්ථා වු තවත් පුවතක් ඇසීමෙන් දකුණේ ශ්‍රීලනිප මතවාදීන් වික්ෂිප්ත වූ බවට සැක නැත.


අනර්කලී මාතරින් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට
-සිංහලයා පුවත්
12 අහෝස්තු 2009


අනර්කලී තරු සොයා යන එජාපයෙන් මැතිවරණයට යැයි පුවතක් පල වූවානම් එය අරුමයක් නොවිය හැකි වුවත් ශ්‍රීලනිපට මේ අවස්ථාවේ මෙවැනි බාල ගනයේ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්ද?

ශ්‍රීලනිප තුලින් බිහිවිය යුත්තේ මෙවැනි 'ටිපි ටිප්' වර්ගයේ චරිත නොවන බව එහි මුල් පුටු උසුලන්නන් අමතක කර ඇත්ද?
(මෙය අනර්කලී චරිත ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නොව.අනර්කලී මගින් නිරූපණය වන සමාජ තීරුව ගැනම ප්‍රශ්නයකි.) කුඩු වියාපාරිකයන්,කැසිනෝ කරුවන් ,ස්ත්‍රී දූෂකයන් මැතිවරණයට ඉදිරිපත් කරද්දීත් අප එහි බරපතලකම කලින්ම දුටුවෙමු.එහි ප්‍රතිචාරය නිසාදෝ මෙවර මැතිවරණයට එවැනි අපරාධවලට සම්බන්ධවූවන් ඉදිරිපත් නොකරන බවට එජනිස මහලේකම්වරයාට ප්‍රකාශ කිරීමට සිදු විය.

නමුත් අපරාධවලට සම්බන්ධවූවන් ඉදිරිපත් නොකිරීම පමණක් ප්‍රමණවත් වේද?

ශ්‍රීලනිප ට උරුම මතවාද දරන්නන් පෙරට ගැනීම ගැනීමට එම පක්ෂය්යේ බලධාරීන් කටයුතු කල යුතුය.මෙය එය සිදු කිරීමට හොඳම සහ කල හැකිම අවස්ථාවයි.මක් නිසාද යත් විපක්ෂය සමග මතවාදී තලයේදී ගව් ගනනක් ඉදිරියෙන් ජනතාව සමග සිටින අවස්ථාවක ශ්‍රීලනිප නිසි පරිදි ගොඩ නගා ගැනීම සිදු කල හැක.මක් නිසාද යත් එය මේ මොහොතේ මැතිවරණ ජයග්‍රහණවලට එහි කිසිඳු බලපෑමක් සිදු නොවන බැවිනි. ඒ බව අවබෝධ කර ගැනීමට ශ්‍රීලනිප මුල් පුටු හොබවන්නන් අමතක කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූ දිනක ඒ ගැන පසු තැවීමට සිදු වනු වැලැක්විය නොහැක.

එබැවින් අද දවසේ අනර්කලීලා පෙරට ගැනීම වෙනුවට කල යුත්තේ රටට දැයට හිතැති ශ්‍රීලනිප මතවාදයට කැපවෙන ධර්මදාසලාට ,ගුණපාලලාට අවස්ථාව දීමය.එමගින් අනාගතයට රටට දැයට හිතවත් නායකත්වයක් බිහිකරගැනීමට අවස්ථාව උදා කර දීමය.


- කැලුම් නිරංජන