Saturday, June 13, 2009

රටේ අනාගතය සහ යූ ඇන් පි ය . . . .

2 comments

අද දවසේ කිසිවකුත් අවදානය යොමු නොකරන එක්සත් ජාතික පක්ෂය හා සබැඳි මාතෘකාවක් ගැන අවධානය යොමු වූයේ පසු ගිය සතියේ එහි නායකයකු පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකි.

බෙදුම්වාදය රජ කරවීමට කටයුතු කරන අය ඒ සඳහා පිඹුරුපත් සකසනවා
-සජිත් ප්‍රේමදාස
2009 ජුනි 10 ලක්බිම

එක්සත් ජාතික පක්ෂය යනු අධිරාජ්‍යවාදී පාලනයෙන් පසු මෙරට පාලනය කල පලමු දේශපාලන පක්ෂය විය.1947 දී එය බිහි වන්නේම අධිරාජ්‍යවාදීන්ගෙන් පසු ස්වදේශිකයන්ට බලය පැවරීමේදී සිදු වන පරතරය අවම කරවීමේ අරමුණෙන්මය.එනම් අධිරාජ්‍යවාදී පාලනයත් එ.ජා.ප පාලනයත් අතර ඉරක් ගසා වෙන් කල හැකි පැහැදිලි වෙනසක් දක්නට නොවීය.එය අධිරාජ්‍යවාදී පාලනයේම තවත් දිගුවක් පමණක් විය.
නව ලිබරල් වාදී හා වෙළඳපොළ විසින් මෙහෙයවන ආර්ථික ක්‍රමයක් පිළිබඳ විස්වාස කරන ඔවුන් පූර්ණ දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයක් විය.

ජාතියේ පියා නමින් හැඳින්වූ ඩී එස් සේනානායක මහතා තුල එකල ප්‍රබල බලවේගය වූ සමසමාජ සහ කොමියුනිට්ස්වාදීන්ට වඩා යම් ජාතිකත්වයක් නිරූපණය වුවද සැබෑ ලෙසම ඔහු ඓන්ද්‍රීයව මේ ලක් පොලව හා බැඳුනු ජාතිකත්වයක් නියෝජනය නොකලේය.රෝල් කෝට් ටොප් හැට් පැලඳි ඔවුන් නියෝජනය කලේ අධිරාජ්‍යවාදීන්ගෙන් පසු මෙරට බලය සුමටව හුවමාරු කල හැකි අධිරාජ්‍යවාදීන්ගේම දිගුවකි.
කෙසේ වෙත්ත් 1947 සිට 1956 දක්වාද , 1965 සිට1970 දක්වාද 1977 සිට 1994 දක්වාද ආණ්ඩු ප්ක්ෂය ලෙස රාජ්‍ය පාලනය සිඩු කිරීමට එ.ජා.ප ය ට හැකි විය.ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගත වූ වසර 61න් 33 ක් ම රට පාලනය කලේ එ.ජා.ප යයි.
1978 දී ස්ථාපිත විධායක ජනාධිපතිධූරයේ 1994 දක්වා කටයුතු කිරීමට එ ජා ප යට හැකි විය.

නමුත් 1994න් පසු උදාවන යුගය එ.ජා.ප.යට තීරණාත්මක විය.එනම් දේශීය විදේශිය සකල බලවේගවල සහයෙන් සිදුවූ චන්ද්‍රිකාගමනය සහ එ.ජා.ප නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත් වීමය.
චන්ද්‍රිකාගේ දේශපාලන ආගමනය වන විටත් එ ජා ප ය තුල යම් ජාතිකත්වයක් නිරූපණය විය..
J R ජයවර්ධන කූට පාලකයා පවා ජාතිකත්වය සෘජුව ප්‍රතික්ෂේප නොකලේය.ඔහු වංචනික ලෙස එය ගසා කෑවේය.ඉන් පසු පැමිණි R‍ ප්‍රේමදාස මහතා තුල ඊට වඩා යම් ජාතික හැඟීමක් තිබුනු අතර,කෙටි කලක් නමුත් රාජ්‍ය පාලනය කල ඩී බී විජේතුංග මහතා මෙ සියල්ලන්ටම වඩා ජාතිකත්ව පිළ නියෝජනය කලේය.
නමුත් 94දී පක්ෂ නායකත්වයට පත් රනිල් වික්‍රමසිංහ මහතා මේ සියල්ලන්ට වඩා වෙනස් විය.ජාතිකත්ව හැඟීමක් පවා නොවූ ඔහු චන්ද්‍රිකා සමගම ඊට අනුරූපවම සහ ඊටත් වඩා ජාතිකත්වය ප්‍රතිෂේප කලේය. ඒ වෙනුවට නව ලිබරල් වාදයත් බටහිර ගැති විජාතික ප්‍රතිපත්තිත් පක්ෂය තුල මුල් බැස්සවීය.ජාතිකත්වයට යම් පමනකට හෝ ලැදි අංකුර නායකයන් විනාශ කරමින් තමන්ට හිතවාදී සීනි බෝල මතවාදය අදහන කූල්ටර් පැලැන්තියේ බලය පක්ෂය තුල තහවුරු කලේය.
ජන්මයෙන්ම ජාතිකත්ව විරෝධී පිළ නියෝජනය කල ඔහුගෙන් මීට වඩා දෙයක්
බලාපොරොත්තු වීම අණුවන කමකි.94 සිට එක් 2001 මැතිවරණය හැරෙන්නට සියලු මැතිවරණවලින් පාහේ මෙරට අති බහුතරයක් ජනතාව රනිල් ප්‍රමුඛ මෙම නඩය ප්‍රතික්ෂේප කලේ එහෙයිනි.
(2001 දී ඔහු බලයට පත්වන්නේ එහි අපගමනයක් නිසා නොව එකල පැවති චන්ද්‍රිකා පාලනයේ අත්තනෝමතික තීරණත් ,ඒ සමගම බද්ධ වූ විදේශීය බලවේගවල සහයත් ලැබීම හේතුවෙනි.ඒ වසර 3 තුලදී පවා එම රජයෙන් සිදු කල අමනෝඥ ක්‍රියා පටිපාටිය බහුතර ජනයාගේ සිත් තුලින් ඉවත් කිරීම පහසු නොවනු ඇත)
.

අද වන විට ගෙවී යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රාජ්‍ය කාලයේ හොඳම සහ ජනප්‍රියම අවදිය වන අතර ඉදිරියේදී එන ඊලඟ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද පහසුවෙන් ජය ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානයට හැකි වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක.
නමුත් ඉන් පසු මහින්ද රාජපක්ෂ යුගය නිමා වීමට ඇති ඉඩ කඩ වැඩිය.ඉන් පසු සමහර විට ඊලඟ ජනාධිපතිවරයාද ශ්‍රී.ලං .නි.ප තුලින් බිහි වීමට ඉඩ කඩ පවතී.
නමුත් රනිල් වික්‍රමසිංහ නම් බලා පොරොත්තු වන්නේ ඊලඟ මහින්ද රාජපක්ෂ වාරයෙන් පසුව හෝ තමන්ට බලය ලබා ගත හැකිය යන්නයි.නමුත් ඔහුට එතෙක් පක්ෂ නායකත්වය රැක ගැනීමට හැකි වේ යැයි සිතිය නොහැක.පක්ෂය තුල නොනැවතී නැගෙන නායකත්ව විරෝධී රැල්ල 2016 වනතුරු යට ගසා ගැනීමට ඔහුට නොහැකි වනු ඇත.එසේ වීමට නම් පාර්ලිමේන්තු බලය හෝ තමන් වෙත දිනා ගැනීමට ඔහුට සිදු වනු ඇත.නමුත් දක්නට ලැබෙන පෙරනිමිති දෙස බලන විට පෙනී යන්නේ එලෙස සිදු වීමට ඇති අවකාශය ඉතාම අල්ප බවය.
එසේ නම් එ.ජා .ප ඊ ලඟ නායකත්වයට පත් කර ගත යුත්තේ කවරෙක්ද?
එහි පෙරමුණේ සිටිනුයේ S B දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන නම්ය.

කලක් ශ්‍රී ලං නි ප මහ ලේකම් ධූරයද දැරූ S B 2001 සිදු කල පක්ෂ මරුවෙන් පසු එ ජා ප ජාතික සංවිධායකවරයා විය.
නොහික්මුණු ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධියක් උසුලන මොහුගේ එවැනි ප්‍රකාශයක් නිස දෑ අවුරුදු සිර දඬුවමකටද ලක් වන්නට සිදු විය.නමුත් අපට වඩා වැදගත් වන්නේ එය නොවේ .ඔහු නියෝජනය කරන්නේ කුමන පිළද යන්නයි.කුමන මතවාදයද යන්නයි.ඔහු ප්‍රසිද්දියේම ජාතිකත්ව මතවාදය ප්‍රතික්ෂේප කරන්නෙකි.ජාතිකත්ව මතවාදීන් නුරුස්සන්නෙකි.විජාතික බටහිර මතවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටින්නෙකි.විජාතික මනසක් හිමි ලිබරල්වාදියෙකි.පරීක්ෂා කර බැලීමට වත් නායකත්වය හිමි නොවිය යුතු රනිල් වික්‍රමසිංහයන් හා සමානවම ප්‍රතික්ෂේප කල යුත්තෙකි.මොහු රනිල් වික්‍රමසිංහයන්ට වඩ භයානක වන්නේ රනිල් වික්‍රමසිංහයට නොමැති මොහු සතු දරඳඩු බවය.එම නොහික්මුණු කම රටට අහිතකර මතවාදය සමග එක් වූ කල නියතලෙසම රට විනාශය කරා ගමන් කරවීමට එයම ප්‍රමාණවත්ය.එබැවින් මොහු එ ජා ප නායකත්වයට පත් වීම වැලැක්වීම එ ජා ප ය තුල සිටින ජාතික බලවේග නියෝජනය කරන්නන්ගේ වගකීමකි.


නමුත් ඊලඟ විකල්පය කලින් එක තරම් නපුරු නොවන හැඩක් පෙනේ.හම්බන්තොට දිස්ත්‍රික්කය තුලින් දේශපාලන ගමන ඇරඹූ සජිත් ප්‍රේමදාස ,R ප්‍රේමදාස මහතා සතුව තිබූ සහ නිවරදි අයුරින් භාවිතා නොකල ජාතිකත්ව මතවාදයට හිතවාදී බවක් නිරූපණය කරයි.පසුගිය දශකය පුරාවට නිරීක්ෂණය කරන කල ඔහුගේ මෙම ජතික මතවාදයට දක්වන හීලෑකම පැහැදිළිවම නිරීක්ෂණය කල හැක.විජාතික මතවාදයට හිතකර පක්ෂය තුල රැඳෙමින් වුවද ජාතිකත්වයට ලැදි තම 'ජාතිකවාදී දෙශපාලන කුමර බඹසර' නැති කර නොගැනීමට ඔහු උත්සාහ කරමින් සිටී.එය පැසසිය යුතු කාරණයක් බව සැබෑ නමුත් සිදු විය යුතු පරිණාමයන් තවමත් ඉතිරිව පවතී.නමුත් දැයට හිතවත් මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු දෙනාගේම වගකීම වන්නේ මෙම අංකුර නායකයාගේ දේශපාලන ගමන් මග රටට හිතකර දිශාවකට තල්ලු කරගෙන යාමය.එය තව තවත් ජාතිකත්ව මතවාදයෙන් පුරවාලීමය.මක් නිසාද යත් අපට එ .ජා .ප යෙන් බාහිර නායකත්වයක් රටේ නායකත්වයට පත් කර ගැනීමට නොහැකි වාතාවරණයකට වුවද මුහුණ දීමට සිදු විය හැකි බැවිනි.එබැවින් කල යුතුව ඇත්තෙ එ.ජා.ප ය තුලද රටට හිතකර මතවාදය තහවුරු කල හැකි නායකත්වයක් බිහි කිරීමය.

- කැලුම් නිරංජන




2 comments:

  • June 27, 2009 at 2:01 AM

    ඇත්ත, නමුත් ජාතිකත්වයට බරවුණත් ජාතිවාදී කෙනෙක් වීමත් අර්බුදයට හේතුවක්. ඊට වඩා නම්‍යශිලි හා දුර්දර්ශි වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාසටත් ඒ දැක්ම තියෙනවා. ඔහු පොලව මට්ටමේ සිටිමින් දුගී අයට උපකාරී කරන කෙනෙක්නේග

  • June 27, 2009 at 11:15 AM

    ජාතිවාදය සහ ජාතිකවාදය කියන්නේ එකම අදහස නෙවෙයි.සියල්ලන්ම ජාතිවාදය ප්‍රතික්ෂේප කල යුතු බව ඇත්ත.නමුත් ජාතිකවාදය කියන්නේ ඉන් ඔබ්බට ගිය කාරණයක්.
    ඔබ කියූ කාරණය එනම් දුගී ජනයාට උපකාරී කරන කියන අදහස ඇත්ත.නමුත් අපට වඩා වැදගත් වන්නේ එය නොවෙයි.ඔහු රටට කොතරම් හිතවාදීද කියන එකයි....