Sunday, July 26, 2009

'භූමි පුත්‍ර UNP’ ය හෙවත් අභිසාරිකාවගේ කුමරි බඹසර

2 comments
සුගිය දශක එක හමාරකට අධික කාලයක සිට ජාතික බලවේගවලට සෘජුව මුහුණ දී ගත නොහැකිව දිගින් දිගටම දේශපාලන පරාජයන් ලබමින් විපක්ෂ දේශපාලන භූමිකාව තම බුක්තියට සවි කර ගත් එ.ජා.ප ය එහි අලුත්ම දේශපාලන ජවනිකාවට පෙර ගමන් යමින් සිටී. එනම් රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණෙන් පෙළ ගැසෙන ඊනියා ජාතික දේශපාලන සම්මුතියක් ගොඩනගාගැනීමේ කාර්යභාරයයි. ඒ සඳහා පෙර සූදානමක් ලෙස එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා නව ප්‍රතිපත්ති මාලාවකට තම අනුමැතිය පල කලේය.මෙතෙක් කලක් ජාතික පිලේ දේශපාලන බලවේග නියෝජනය කල හා එ.ජා.ප ය ඇතුලු විජාතික බලවේග සමග එක පෙළට සිට ගත් දේශපාලන බලවේග වල දැඩි ගර්භාවට ලක්වූ ඒකීය ශ්‍රී ලංකාවක් යන සංකල්පය තම ප්‍රතිපතත්තිය බවට යෝජනා කර ඇත.

එය සැබෑවක් නම් ළිං මැඩි මතවාදයැයි තමන් විසින්ම ප්‍රතික්ෂේප කල මතවාදය වෙත නැවත යාමට එ.ජා.ප යට සිදුවීම දෙවයේ සරදමකි.නැවත යාමට යන්නෙන් අදහස් කලේ 1987 ඉන්දියන් බලපෑම හමුවේ තම ඒකීය රාජ්‍යය මතවාදය පසෙක දමා ෆෙඩරල් මතවාදය භෞතීස්ම කල JR ට පෙර එ.ජා.ප ය පවා සිටියේ ඒකියා රාජ්‍ය සංකල්පය පිළිගන්නා පසුබිමක බැවිනි. J R ගේ 1977 ව්‍යවස්ථාවේ පවා එය පැහැදිලිව සටහන් කිරීමම එයට නිදසුනකි.නමුත් ඉන්දීය දඬු අඬුවට හසු වූ J R තම පක්ෂය එතෙක් රැකි ප්‍රතිපත්තිය ඉවතලීය.

එකල මව්බිම සුරැකීමේ ව්‍යා‍පාරය සමග එක්වූ ශ්‍රී ල නි ප ය,ජ.වි පෙ (ඔවුන් එකල තහනම් දේශපාලන සංවිධානයක් ලෙස සිටියදී පවා) සහ මහජන එක්සත් පෙරමුණ J R ගේ අර්ධ ෆෙඩරල්කරණය සඳහා ඉදිරිපත්කල 13 වන සංශෝධනයට එරෙහිව විරෝධය පෑහ.(එහිදී එ.ජා.ප ආරම්භක පරම්පරාවේ ඉතිරි වූ පුරුක වන, එකල එජාපයෙන් නෙරපා සිටි එක්‌සත් ලංකා ජනතා පක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කල රුක්මන් සේනානායකද එම වෙනසට එරෙහි මතයක සිටි බවද අමතක නොකල යුතුය)

එහෙත් එතෙක් ශ්‍රී ලං නි ප උරුම ප්‍රතිපත්තිය වූ ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය විජාතික බලවේගවල සහයෝගය සහ අනුදැනුම මත බලයට පැමිණි චන්ද්‍රිකා විසින් 1994 දී අත් හැර දැමීය.ඒ වෙනුවට තම කලින් සිටි මහජන පක්ෂයේ ෆෙඩරල්කරණ ප්‍රතිපත්තිය ශ්‍රී ල නි පය තුලට පොම්ප කිරීමට කටයුතු කලේය. එහි ප්‍රමුඛයන් වූ මංගල-SB හවුල එ සඳහා තම ප්‍රබල දයකත්වය සැපයීය. චන්ද්‍රිකා ෆෙඩරල් මතවාදය ශ්‍රී ල නි ප ය තුලට ඔබ්බවද්දී එකල වන විට ප්‍රේමදාස සහ විජේතුංග පාලනය තුලදී තම පක්ෂය තුල යට ගැසී වල් වැදී තිබූ J R විසින් භෞතීස්ම කල ෆෙඩරල් මතය යලි අලු දූවිලි ගසා දමා නව ජවයකින් යුතුව කරලියට ගෙන ඒමට එ.ජා.ප නායකත්වයට පත් රනිල් වික්‍රමසිංහ කටයුතු කලේය.චන්ද්‍රිකා සමග හරි හරියට සිටීමට මෙන් තව තවත් ඒකීය මතවාදයෙන් ඔබ්බට තම පක්ෂය තල්ලු කරගෙන ගියේය.එය කෙතෙක් වීද යත් රනිල්ට සාපේක්ෂව චන්ද්‍රිකා 'හොඳ' තැනක සිටී යැයි බහුතරය පිළිගන්නා තැනට රනිල්ගේ ෆෙඩරල් ප්‍රතිපත්තිය ප්‍රබල වීය. රනිල් සමග සටනේදී චන්ද්‍රිකා පෙරමුණ ගත්තේ එබැවිනි.එකල රනිල් වෙනුවට එ.ජා ප ය තුල ජාතික මතවාදයට ලැදි අයෙකු නායකත්වයේ සිටියේ නම් චන්ද්‍රිකාට හිමි වන තැන වටහා ගන්නට තිබිණ.

කෙසේ නමුත් 2005 වන විට චන්ද්‍රිකාගේ ෆෙඩරල්කරණ මතවාදයත් සමග එකල ජ.වි.පෙ,ම.එ.පෙ.,සිහළ උරුමය වැනි බලවේග හැරුණු විට බහුතරයක් පක්ෂ ෆෙඩරල් මතවාදය කරපින්නාගෙන සිටියත් ජනාධිපතිවරණ සටනට එළඹෙත්ම මහින්ද රාජපක්ෂ මහතා එම සියලු බැමි අමතක කර දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුම ඒකීය මතවාදය නැවතත් පිළිගනිමින් එතෙක් පීළි පන්නා තිබූ ශ්‍රී ල නි ප ය නිසි පරිදී පීළි ගත කලේය. ජාතික බලවේගවල නොමඳ සහය එතුමන්ට ලැබෙන්නේ මෙම ප්‍රතිපත්තිමය පීලිගතකිරීමත් සමගය.එතැන් සිට මහින්ද රාජපක්ෂ මහතා ජාතික පිළේ සෘජු ඒජන්තයා විය.

ඒ සමගම නොනවතින පරාජයකට මුහුණ දෙමින් සිටින එ ජා ප ය එය නවතාලීමට නව මං සොයමින් සිටී.එහිදී තමන්ගේ ෆෙඩරල් මතවාදී හණ ප්‍රබල අවාසියක් බව ඔවුන්ට ඒත්තු ගොස් ඇති සැටියක් පෙනේ.මීට ටික කලකට ඉහතදී ෆෙඩරල් මතවාදයෙන් තමන් ඉවත්වන බව එ .ජා ප ය නිවේදනය කලේ එබැවිනි.එය තව දුරටත් ප්‍රදර්ශනාත්මකව තවුරු කිරීමට මෙන් තම නව ප්‍රතිපත්ති වෙනස්කම් තුලදී ඒකීය මතවාදය පිළිගැනීමට ඔවුන් එකඟ වී ඇත.මෙය සැබෑවක් නම් එය පිලිබඳ සතුටු වීමට සියලු දේශමාමකයන් කැමති වනවා ඇත.නමුත් පෙනෙන්නට ඇති කාරණා අනුව මෙය වෘක පෙනුම වසා ගැනීමට බැටලු හම පොරවාගැනීමක් පමණි.නැතහොත් සැබෑ ලෙසම ඒකීය මතවාදය වෙත අපගමනය වීමක් නොවේ.

'අප ඒකීය යන්නේන් අදහස්කරන්නේ දේශපාලන ඒකීය භාවයක් පමණයි.ඒ තුල අවශ්‍යනම් ෆෙඩරල් දක්වා වුවත් යා හැකියි '
- SB දිසානායක 2009 ජුලි 22

එ ජා ප ජාතික සංවිධායකවරයාගේ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එයයි. ඒකීයභාවය තුල සිටිමින් ෆෙඩරල් රාජ්‍යයක් දක්වා වුවත් යා හැකි යැයි පැවසීම අබිසරුලියකගේ කුමරි බඹසර අපේක්ෂා කිරීම වැන්නක් බව මේ අම්බරුවන් වසන් කරති. එදා චන්ද්‍රිකා ශ්‍රී ල නි පය ෆෙඩරල්කරණය කරනවිට ඊට පූර්ණ සහය පල කල මංගල-SB හවුල අද එ.ජා.ප ය නැවත ඒකීය ප්‍රතිපත්තියට ගෙන එනවා යැයි කී සැනින් එහි ඇති ව්‍යාජත්වය වටහා ගැනීමට තරම් අප දැනුවත් විය යුතුය.ඔවුන්ගේ මෙම සියලු උප්පරවැට්ටි මහින්ද රාජපක්ෂ සමග සිටින ජාතික මතවාදී බහුතරය නිසා සැමදා ලබන පරාජයෙන් ගැලවීමට එම මතවාදීන් එ ජා පය වෙත නම්මාගැනීමට බව පැහැදිලිය.නමුත් මෙවැනි බොරු සන්දර්ශනවලින් නොමග යෑමට තරම් බහුතර දේශමාමක ජනයා බොළඳයන් නොවන බව මේ කපටි නිවටයන් අවබෝධ කර ගත යුතුය.

රෑ සමනළියකගෙන් කුමරි බඹසර අපේක්ෂා කිරීමට තරම් ඔවුන් අමනයන් නොවේ. . . . .

- කැලුම් නිරංජන

2 comments: