Wednesday, January 18, 2012

ගමනක අවසානය ?


13 සංශෝධනයෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා රජය එකඟ වුණා - ඉන්දීය විදේශ ඇමැති කියයි

කුමන ආලවට්ටම් ඉදිරියට දමා පැමිණියත් මේ බමුණන් පැමිණෙන්නේම අපගේ 'ගෙල මිරිකීමට ' බව දැන් හොඳින් පැහැදිලිය.අනවරතව දැරූ 'පොලිස් හා ඉඩම් බලතල නොදෙම්යි' යන ජනාධිපතිවරයාගේ සෘජු පිළිවෙත බමුණන්ගේ බලයට යට වීද?
එසේ නම් මෙය "ගමනක අවසානය" ඉදිරියෙන් බව හැඟෙන පෙරමග සලකුණ වනු ඇත.


පෙර අදහස්

බමුණන්ගේ ලංකාගමනය හා දිය රෙද්දෙන් බෙල්ල කැපීම

Tuesday, January 10, 2012

යක්ෂයන් පළවා සරස්වතිය කැඳවමු....

1 comments
ඇඟ කිලිපොලා යන ඒ අඳුරු යුගය පුනරූපණය නොවීමට නම්.........


මේ දිනවල විශ්ව විද්‍යාල කිහිපයකම කිසියම් ගැටුම්කාරී ව්‍යාකූල තත්වයක් උද්ගත වී ඇති බව පෙනේ.එයිනුත් පේරාදෙණිය,ජයවර්ධනපුර,රුහුණ හා රජරට ප්‍රධාන තැනක් ගනී.රජරට හැරුණු විට අනෙක් බොහෝ තැන්වල මේ ව්‍යාකූලත්වය තුල ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගිය කෘතීම ස්වභාවයක් පෙනේ.උදාහරණයක් වශයෙන් ජ'පුර සරසවියේ ඇති වී ඇති තත්වය දැක්විය හැක.ජ'පුර සරසවිය අභියස 'සිසු විරු ස්මාරකයක ' ගඩොලක් ගැලවෙන්නට එල්ල කරන ලද 'අධිබල' බෝම්බ ප්‍රහාරයක් නිසා පසුගිය දිනක මුළු කොළඹ නගරයම අකර්මන්‍ය වී ගියේය. එදා කිලෝ දහස් ගනනක කොටි මහබැංකු ප්‍රහාරයෙන් පසුව පවා මෙවැනි ක්ෂණික අකර්මන්‍ය තත්වයක් ඇති නොවූ බව අපට මතකය.මේ අස්වාභාවික තත්වයට යටින් ඉහළ තලයකින් සැලසුම් කරන ලද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇත්දැයි සැක කිරීම අයුක්ති සහගත නොවේ.


මේ වියවුල් තත්වය හුදු ආණ්ඩු විරෝධී කඩාකප්පල්කාරීන්ගේ යටිකූට්ටු වැඩ නිසා සිදු වන සිදු වීම් ලෙස හෝ හුදු ආණ්ඩුවේ හෝ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ හිතුවක්කාරකම් නැතහොත් අමන කම් නිසා සිදු වුනි යැයි කලු-සුදු ලෙස විග්‍රහ කිරීම 100%ක් නිවරදි හෝ සාධාරණ නොවේ.එසේ නමුත් ආණ්ඩුවේ අසංවිධානාත්මක ක්‍රියා නිසාම ඇති වූවාට වඩා සංවිධානාත්මක යටී අරමුණක් සහිත වූවන්ගේ වැඩපිළිවෙලක කොටසක් ලෙස මතුකර ඉහළට ඔසවා ගත් තත්වයක් ලෙස දැකීම වඩා යුක්ති යුක්තය. එයට සාධක ලෙස සැලකිය හැක්කේ මේ බොහෝ තැන්වල විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් හරයෙන් ඉතා කුඩා ඒවා මෙන්ම ගෙහෙන් ගෙඩි එන්නා සේ හටගත් ගැටලුද නොවේ. තවද මේවා පොදු සමාජයේන් මතුවන දුක්ගැනවිලිවලට වඩා අතිධාවනකාරි කල්ලිවල න්‍යායපත්‍රයන්ට අනුව සකස් කරන ලද සටන් පාඨ වීමෙන්ද පෙන්නුම් කරන්නේ දෙවනුව සඳහන් කල කරුණ වඩා සාධරණ බවය. උදාහරණයක් ලෙස ජ'පුර සරසවි 'උපකුලපතිතුමා ධූරයෙන් පන්නා දැමීමේ' අරගලය දැන් වසර දෙක තුනකටත් වඩා පැරණි සටන් පාඨයකි.නමුත් අද එය අලුත ඇතිවූ තත්වයක් ලෙස උලුප්පා නව වටයකින් කරලියට පැමිණ ඇත්තේම ඉහත කී සංවිධානාත්මක විරෝධතා කල්ලිවල සැලසුම් වලට අනුරූපව බවට සැක නැත.

කෙසේ නමුත් මේ ඊනියා 'සිසු අරගල ' (මෙවා හුදෙක් සද් භාවයෙ කරනා පිරිසිදු සිසු අරගල ලෙස වටහා ගත්තවුන් වෙතොත් ඒ පුතේගුරුවාදී දේශපාලන කල්ලිවල පහල පෙලේ අනුගාමිකයන් අතලොස්ස පමණක් විය යුතුය.මේ අරගලවල අපෙක්ෂිත ඉලක්ක, ප්‍රකාශිත ඉල්ලක්ක අසලින් වත් නොයන එවා බව බොහෝ දෙනාට ඇඟිල්ලෙන් ඇන තේරුම් කරදිය යුතු නොවේ. ) නැමති ගින්නට අධිබල ' ගෑස් ' වක් කරන තත්වයක් බලය හොවබව පාලකයන් වෙතින්ද පෙන්නුම් කිරීම සරලව වටහා ගත නොහැකි තත්වයකි. ප්‍රශස්ථ මට්ටමේ විද්වත් කතිකාවකට භාජනය නොකර 'පෞද්ගලික විශ්ව විද්‍යාල පනත' වැන්නක් කරලියට ගෙන ඒම මෙන්ම මෙතෙක් කලක් ප්‍රශ්න ලෙස පොදු සමාජ කතිකාවට හසු නොවූ එදිනෙදා පරිපාලන කටයුතු (උදා :උසස් පෙළ ප්‍රතිඵල ) පවා මහා ආන්දෝලනාත්මක මෙන්ම විරෝධතා අවුලුවන ජරමර බවට වර්ධනය වන්නට නා නා විධියෙන් සහාය කල බොහෝදෙනාගේ (මේ බොහෝ දෙනා වත්මන් ආණ්ඩුව තුල සිටින්නන්මය )අරමුණ කෙසේ වෙතත් ක්‍රියා පටිපාටිය නම් ආණ්ඩු විරෝධය අවුළුවන ආකාරයේ එකක් බව කිව යුතුය.

වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා පිළිබඳ බොහෝ විවේචන තිබියදී පවා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සැබෑ ලෙසම ආදරය කරන,නිදහස් අධ්‍යපනයේ නිදහසට ආදරය කරන බොහෝ දෙනා ඔහු විසින් විශ්ව විද්‍යාල තුලින් 'නවක වදය' නමික් ක්‍රියාත්මක තිරිසන් ක්‍රියාවලියට එරෙහිව සිදුකරන සංවිධානාත්මකව කාර්‍යභාරයට තම සහාය පල කලේය. එහිදී අඩුපාඩු මධ්‍යයේ වුවත් කරගෙන යන නායකත්වය පුහුණුව වැනි ක්‍රියාකාරකම් සඳහා සහාය පල කල යුත්තේ එමගින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය තුල අරක් ගෙන ඇති ත්‍රාඩ ඒකාධිකාරය බිඳ දැමීමට එය පිටුවහලක් වන බැවිනි.(මෙයින් කියවෙන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය 'පෙර පාසල්' තත්වයට පත් කිරීමේ අටියෙන් කෙරෙන 'විශ්ව විද්‍යාල තුලට දේශපාලනය එපා' , 'අපට නිදහසේ ඉගෙන ගන්න දෙන්න' 'ශිෂ්‍යන්ට දේශපාලනය අවශ්‍ය නෑ' ආදී ලෙස නැගෙන ප්‍රාථමික අහිංසක ඉල්ලීම් සාධාරණීකරනය කිරීම නොවේ. විශ්ව විද්‍යාල තුල නොකල යුතුනම් දේශපාලනය කල යුත්තේ වෙන කොහිද? ) අවශ්‍යවන්නේ 'පිළිකා රෝගයෙන්' පෙළෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය නිරෝගී කරගැනීමය. ඒ සඳහා පොදු සමාජයේ නොගිනිය හැකි තරම් නියෝජනයක් සහිත අතිශය සුළුතර කල්ලියකට විශ්‍ය විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවීමේ ත්‍රාඩ ඒකාධිකාරය වහා අහෝසි වන ක්‍රියාමාර්ග ගත යුතුය. ප්‍රමාණවත් නොවෙතත් අවම තරමේ විශ්ව විද්‍යාල තුල බාහිර සමාජයේ ඇති අර්ධ නිදහසවත් තහවුරු කල යුතුය. එමගින් නිරෝගී ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට ඉඩ සැලසීය යුතුය. නමුත් එමගින් දැනට පවතින පොතේගුරුවාදී එහෙයියන්ගේ ග්‍රහණයෙන් මිදිය යුතු සේම පාලක පක්ෂවල උවමනා ඔවුන්ට අවශ්‍ය පරිදි ඉටුවන එහෙයිවාදයක්ද නොවිය යුතුය. නිරෝගී දැනුවත් විදග්ධ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයක් වර්ධනය කල හැක්කේ එවැනි වටපිටාවක පමණි. නැතහොත් ඇතිවන්නේඉඟුරු දී මිරිස් ගත්තා වැනි තත්වයකි.

ඒ අරමුණ හැරුණු කල වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග ප්‍රතිරෝධයන් රහිතව එකඟ විය හැකි කරුණු නැති තරම්ය. ප්‍රශ්න දෙක තුනක් ඇසීමෙන් පවා නිරුත්තර වන තරම් වන ප්‍රාථමික තර්ක ඉදිරිපත් කරමින් 'පෞද්ගලික විශ්ව විද්‍යාල පනත' යනුවෙන් අති ධාවනකාරී ක්‍රියාමාර්ගයකට ගමන් කිරීමෙන් වන්නේ මීට ඉහතින් සඳහන් කල සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ නිරෝගීභාවයට හේතුවන ක්‍රියාමාර්ග පවා අතරමග බිඳ වැටීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම වන 'පෞද්ගලික විශ්ව විද්යාල' පිළිබඳ කාරණය සමාජය තුල හොඳින් කලතා ඇතිකලයුතු කතිකාවකින් පසු සීරුවට ගත යුතු දේශපාලන තීන්දුවකි. නමුත් සිදු නොවන්නේද එයමය. ප්‍රකාශිත අරමුණුවලට වඩා මෙහි යම් සැඟවුනු අරමුණක් ඇත්දැයි සාධාරණ සැකයක් ගොඩ නැගෙන්නේ එහෙයිනි. 'පෞද්ගලික නම් එපා ' යනුවෙන් වීදි බසින හුදු විරෝධාකල්පිකයන්ට මෙන්ම 'මේක තමයි ට්‍රෙන්ඩ් එක .ලිං මැඩියොන්ට ඕව තේරෙන්නේ නෑ' යනුවෙන් නැගෙන 'ධනාත්මක', 'නූතනවාදී' සිතිවිලිකරුවන්ට මෙන්ම ඇමතිවරයා ඇතුලු බොහෝ දෙනාට මෙහි ගැඹුරින් හදාල ඒකමතියක් නොමැත. බොහෝ දෙනාගේ මේ පිලිබඳ මතය බොහෝ පටු සීමාවකට සීමාවන පෞද්ගලික කාරණා පමණි.

එබැවින් කල යුත්තේ සමාජයේ විවිධ තලයන් ඔස්සේ සිදුකරන දාර්ශනික කතිකාවකට ඉඩ සලසා එමගින් ලැබෙන අදහස්ද උපයෝගී කර ගනිමින් හුදු රැඩිකල් වෙනසක් වෙනුවට බොහෝ දෙනාට එකඟ විය හැකි සුමට ප්‍රතිසංස්කරණයකට යෑම මගින් මෙම තත්වයෙන් ගොඩ ඒමය. එසේ නොමැතිව හුදු වහසි බස් මගින් හෝ හුදු විරෝධතා මගින් අත්කරගත හැකි අවසන් ජයග්‍රහණයක් නොමැත.

කෙසේ නමුත් දැන් සිදුවන විරෝධතා ඉහතින් සඳහන් කල සාධාරණ යැයි හැඟෙන කාරණා නිසාම ඇති වූවක් නොවේ. මේ පසුපස නොව ඉදිරියෙන් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අන්තරය මගින් දැනුවත්ම ඉහලට මතු කර ගැනීමට තැත්කරනා උත්සාහයකි. මේ 'හෙංචයියන්' පසුගිය බොහෝ කලක සිටම තම මව් ව්‍යාපාරවල ඇතිවී ඇති බංකොලොත් භාවය මගහරවා ගැනීමට කිහිපවරක්ම  උත්සාක කලේය. නමුත් ඒවාට නිසි සමාජ ප්‍රතිචාරයන් නොලැබුනු බැවින් හුදු සාම්ප්‍රදායික විරෝධතාවයන්ගෙන් එහාට යමක් සිදු කරගැනීමට ඔවුන් අසමත් විය. (අන්තරය ජවිපෙට අනුබද්ධ සංවිධානයක් නොවේ යැයි පවසා ස්වයං වින්දනයක් ලැබීමට කිසිවෙක්ට ඇති අයිතියට බාධා නොකරන නමුත් එහි පහල පෙලේ අනුකාරක සාමාජිකයකු හෝ නොදැනුවත්ව ජවිපෙ වෙනුවෙන් අන්තරය හරහා කඩේ ගිය අයකු හෝ ගොසිප් අඩවි වලින් දැනුම ලබනා 'දේශපාලන උගතුන්' හැරුණු විට අන් බොහෝ දෙනා අන්තර යනු කුමක්දැයි හොඳින් දනී ).

නමුත් අද වන විට අන්තරය මෙහෙයවීමේ බලය නිල ජවිපෙන් මිදී ඊනියා ජන අරගල කරුවන් නමින් වෙස් බැඳ සිටින කල්ලියේ ග්‍රහණයට නතු වී ඇත.මේ හතු පිපෙන්නා මෙන් උඩට මතුවන 'සිසු අරගල' මේ අරගලකරුවන්ගේ තරම පෙන්වීමේ උපක්‍රමයක් පමණක්ම නොවේ.ඉන් එහා යන විනාශකාරී අරමුණක් මේ පිටුපස ඇති බවට අනුමාන කිරීම සදොස් නොවේ. සමහර විට මේ සංඥාව තමන් නිල ජවිපෙන් ඉවත් වීමේ සංකේතයක් විය හැක.එසේ වුවත් මේ මනෝලෝකවල සැරිසරන පොතේගුරුවාදී කැරලිකරුවන්ට (මේ කැරලිකරුවන්ට තල කැරැල්ලක්වත් ඔතා ගන්නට නොහැකි යැයි ඔවුන්ගේ අතීත නායකයින් දෙන සහතික එතරම් වලංගු ඒවා යැ‍යි සිතා ඔවුන්ගේ බලය අවතක්සේරු කල යුතු නොවේ .රටක් ගොඩ නැගීමට මහා බලයක් අවැසි වුවත් එය විනාශ කර දැමීමට සුළු කල්ලියකට වුවත් විභවයක් ඇත.ඒ විභවය තවත් වැඩිවන්නේ මතුපිටින් සුළු කල්ලියක් වශයෙන් පෙනුනද කරලිය පිටුපස මහා බලවතුන්ගේ ආශිර්වාදයද එක්වූ කල එය කිසි සේත් අවතක්සේරු කල නොහැකි බලයක් වන බැවිනි) රඟපෑමට තව තවත් අවස්ථා ස්ව කැමැත්තෙන් සකසාදීමට පාලකයන් තකතීරු වන්නේ ඇයි?

හිලරි- ඔබාමා-සාකෝසි පිහිටෙන් ලිබියානු පන්නයේ විනාශයකට අර අඳින 'අරාබි වසන්තයෙන්' උද්දාම වී සිටින කොටි බෙදුම්වාදයේ ඉතුරු බිතුරු සමග එක ගෙයි කන මේ විහිළුකාර කල්ලිවාදීන් තම දේශපාලන පැවැත්ම උදෙසා මේ මොහොතේ සිසු ජීවිත කිහිපයක් වුවත් බිල්ලට දීමට සූදානම්ය.එදා තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජීවිත දහස් ගනන් බිලිගත් කල්ලිවලට සිසු ජීවිත දෙක තුනක් යනු 'සිම්පල්' කාරණයකි.වෙහෙර ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද.සරසවි සිසුන්ගේ දෙමාපියන් විශේෂයෙන් මේ ගැන අවදියෙන් සිටීම ඇඟට ගුණය.කෙසේ නමුත් බලධාරීන්ද මේ තත්වයට තම ඇඟේ හයියෙන් හා කටේ හයියෙන් පිළිතුරු දීම නවතා මොලෙන් පිළිතුරු දිය යුතුය.විශේෂයෙන් මේ විනාශකාරී කල්ලි ඉදිරියේදී එක් එක් පෙරමුණුවල ඇති සුළු සුළු අරගල ඒකාබද්ධ කර දැවැන්ත කඩාකප්පල්කාරී පිළිවෙතකට යොමු වීමට ඇති ඉඩ කඩ වැඩිය.එබැවින් වහ වහා කල යුත්තේ මේ සුළු ගැටළු උපන්ගෙයිම සක්‍රීයව සද්භාවයෙන් මැදිහත්ව විසඳා ගැනීමය.ඒවා පටු අරමුණු වෙනුවෙන් වෙන්දේසියේ දැමීමට ඇති ඉඩ අහුරා දැමීමය.උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය තුල අධ්‍යන / අනධ්‍යන අංශ වල ඇති පරිපාලන ගැටළු පුළුල් සංවාදයකින් අරඹා වහා සමනය කල යුතුය.ඒ සමගම උසස්පෙළ ප්‍රතිඵල අවුල වැනි පරිපාලන ගැටළුද ජනතාවට පීඩාව අවම වන ලෙස විසඳමින් ඉදිරියට එවැන්නක් සිදු නොවන බවට ජනතාව තුල විශ්වාශය ගොඩ නැංවිය යුතුය.

මෙවැනි ක්‍රියාමාර්ග මගින් මේ ලදරු වලිප්පුකරුවන්ට තිබෙන අවසන් ඉඩද අහුරා දැමිය යුතුය.එසේ නොවුවහොත් වන්නේ මේ මේ මනෝ විකෘතිකරුවන්ගේ අරමුණු මුදුන් පැමිණ තනි තනිව නොව මුළු සමාජයම අඳුරු විලාපයක ගිලී යෑමය.'අරාබි වසන්තයේ' මායාවට රැවටී දෑස් නිලංකාර කරගත් අහිංසකයන්ගේ විලාපය අද වන විට පෙරට වඩා ලෝකය සතර දෙසින් ඇසෙමින් ඇත.ඔවුන් ප්‍රමාද වූවා වැඩිය.

එනිසා බලධාරීන් ඇතුළු සියලු දෙනා දැනුවත් මනසින් වහ වහා ක්‍රියාත්මක විය යුත්තේ මේ විකෘතිය හමුවේ සමාජයම ගෙවිය යුතු ලේ වන්දියෙන් ගලවා ගැනීමටය.
-කැලුම් නිරංජන
2012-01-09

Wednesday, January 4, 2012

බමුණන්ගේ ලංකාගමනය හා දිය රෙද්දෙන් බෙල්ල කැපීම.....

3 comments

ඉන්දීය විදේශ අමාත්‍ය එස් එම් ක්‍රිෂ්ණා නිල සංචාරයක් සඳහා මෙම මස 16 නදා ලංකාවට පැමිණෙන බව වාර්ථා වේ.දෙරටේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු පිළිබඳ ඉහළපෙලේ සාකච්චාවකට පැමිණෙන බව එක් පසෙකින් පැවසෙද්දී අනික් පසින් පැවසෙන්නේ ඉන්දියාව විසින් උතුරු ප්‍රදේශයේ ඉදිකරන නිවාස ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචනයට පැමිනෙන බවයි.

මේ එන්නේ ප්‍රකාශිත අරමුණු උදසාම නම් එහි ගැටලුවක් නැත.නමුත් මේ 'බමුණන්ගේ' යටි අරමුණ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට බලය බෙදා දීමේ ව්‍යාපෘතිය නැවත වටයකින් පන ගැන්වීමට බව දැනගැනීමට මලයාලම් අඳුන් බැලීම අවශ්‍ය නැත.ආණ්ඩුවේ ගිරා පෝතකයන්ද මේ දිනවල පොලිස් හා ඉඩම් බලතල සහිත 13 + සාකච්චා ගැන කන් කෙඳිරි ගාන්නේ මේ බමුණන්ට කොන්ද කෙලින් තබා ගෙන මුහුණ දීමට ඇති නොහැකියාව නිසාය.
'තොපි තොපේ වැඩක් බලාගනිලා.උඹලට කිසිම අදාල කමක් නැති අපේ වැඩ අපි බලාගන්නම්' යන අදහස කෙලින් දිය නොහැකි තාක් බමුණන් අනවරතව මෙවැනි ගමන් එනු ඇත.බමුණන්ගේ ගමන් හුදු විනෝද සවාරි නොවන බැවින් මේ සෑම උගුලකටම හසු වීමෙන් අවසානයේ අපි විසින්ම අපේ බෙල්ල දිය රෙද්දෙන් කපා ගනිමින් සිටින්නෙමු.
.

-කැලුම් නිරංජන

Tuesday, January 3, 2012

අවසන් බලාපොරොත්තුවත් අත් හැර දැමීමට සූදානම් වෙමු....

2 comments

පොලිස් හා ඉඩම් බලතලවල සීමාවන් පිලිබඳ ද්‍රජාස (TNA) සමග සාකච්චා කිරීමට රජය සූදානම්- රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල
-පුවතක්


කලක සිට මාන බල බලා සිටි දෙස් විදෙස් ද්‍රෝහී බලවේගවලට රැහැනිව මෙතෙක් පැහැදිලිව කෙලින් සිටි ආණ්ඩුව අවසාන මොහොතේ කොන්ද නමන හැඩක් පෙනේ.ආණ්ඩුවේ සියලු 'කුප්ප කම්' සියල්ල ඉවසා සිටියත් බහුතරක් වන ආණ්ඩු හදන සක්‍රීය ජනයා ආණ්ඩුව අත හැර යන තීරණාත්මක සංධිස්ථානය මෙයයි.මෙතෙක් සෘජුව ජනාධිපතිවරයා පවා පෙනී සිටි "මේ කප තිබෙන තුරු පොලිස් හා ඉඩම් බලතල නොදෙමියි" යන පිළිවෙතෙන් ඈත් වීම යනු 'ආණ්ඩු හදන ජනතාවගේ' අවසන් බලාපොරොත්තුවද කඩ වී යෑමයි.ඉන් එහාට ආණ්ඩු බලය අහිමි කර ගැනීමට ආණ්ඩුවට වැඩි 'වෙහෙසක්' දැරිය යුතු නොවේ.

-කැලුම් නිරංජන

Wednesday, December 21, 2011

මෙහෙම වෙන්නේ ඇයි?

2 comments

සිරස කියනව : "රනිල් පන්නමු" .
ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය/ මාධ්‍ය නිදහස /ප්‍රජාතන්ත්‍රවාදය.

රනිල් කියනව : "සිරස පන්නමු".
හැබයි ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාකිරීම / මාධ්‍ය මර්ධනය / ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති කම.

ඇයි ඒ වෙනසක්?

Thursday, November 17, 2011

සය වසරක යුග මෙහෙවර

සය වසරක යුග මෙහෙවර

පන්නා රුහිරු හෙලු කොටි රැල ඉමෙන්     එහා
පෙන්නූ එඩි බලෙන් ලක් දිව එකලු           කලා
පන්නා දැයම පිම්මක් ජය ටැඹෙන්          මෙහා
පෙන්නූ ජවය සෑහේ නව යුගෙන්              එහා....

සය වසරකදි කල මෙහෙවර ජන         ආලෙන්
පසසමු ලොබ නැතුව නිසි ලෙස බර      දීමෙන්
එනමුදු තව යන්න ඇති දුර ජන            ලීලෙන්
සිහි කොට  ගත යුතුයි ඔබ නිසි        වගකීමෙන්..

.
-කැලුම් නිරංජන
2011-11-18

Wednesday, March 16, 2011

මෙදා චන්දෙට මොකද උනේ?

2 comments
2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසූ රටේ දේශපාලන කරලියේ ඉහල තැන් කිහිපයක සහ තවත් කිහිප දෙනෙකු දැකිවිය හැකි අදහස් කිහිපයක් චන්දයට පෙර මෙලෙස අනුමාන කරමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා....

"තිස් අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය ජනතාව අමතක කරල නෑ.ජනතාව නැවත නැවතත් මේ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ රට ජාතිය කෙරෙහි තිබෙන ආදරයයි. නොමග යැවීම් තිබුනත් බහුතර දෙශමාමක ජනතාව මා කෙරෙහිත් මගේ රජය කෙරෙහිත් තැබූ විශ්වාසයට මාගේ හදවතින්ම නැගෙන ප්‍රණාමය මම මෙ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි.
පලමුවත් මව්බිම..... දෙවනුවත් මව්බිම ....තෙවනුවත් මව්බිම....

මාතෘභූමියට ජය වේවා !!! "


යටිසිත :
මෙදා පර ලේසි උනෙ නෑ වැඩේ. කොහෙද මට විතරක් මේක කරන්න පුලුවන්ද.ඇමතිවරු හැට හුට හමාරක් හිටියට වැඩක් කරන්නේ කී දෙනාද.අම්මප මුන් ඔක්කොම ගෙදර යවන්න හිතෙනව වෙලාවකට මට.යන්තම් රනිල -සජිත දෙන්නගෙන් එකෙකුටවත් මට තරම් මිනිස්සුන්ට කිට්ටු වෙන්න බැරි එක වාසනාවට ගියා.....චන්ද ටිකක් අඩු වෙලා තියෙනව තමයි. ඒක එක අතකට සාධාරණයි.මිනිස්සුන්ට ප්රවශ්න.කමක් නෑ.බලමු ඉස්සරහට තව මොනවහරි කරන්න....ආයෙ චන්දයක් එන්නේ 2016 නේ


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

මෙය තනිකරම රජය රාජ්‍ය සම්පත් යොදාගෙන අයුතු විදියට ජයග්‍රහහණය කරා.ජනතාව කබලෙන් ලිපට වැටුන.නමුත් ආණ්ඩුව ලබා ගෙන තියෙන්නේ රටේ ජනගහනයෙන් 30% ක බලයක් විතරයි.රටෙ බහුතරය ආණ්ඩුවට විරෝධය පල කරල තියෙනව.අපි මේ දුෂිත ඒකාධිපති පවුල් පාලනය පන්නල නුදුරේදීම එජාප ආණ්ඩුවක් බිහි කරන්න එකමුතුව වැඩ කරමු කියල මම ජනතාවට කියනව...




යටිසිත :
රටේ ජනගහනයෙන් 30% ක් ආණ්ඩුවට දුන්න කිව්වට බලද්දි මට හම්බ වෙලා තියෙන්නේ 12% ක් විතර :(මේ මහින්දය ඉන්නකන් පුතෝ අපිට ගොඩ ඒමක් නෑ.මූ මහ පුදුම යකෙක්.මේ යකා වගේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න මටත් පුලුවන් උනා නම්.කරුමේ...කරුමේ... මගේ නොලැබීම :( කමක් නෑ.අපි හම්බන්තොටත් පරාද උනානේ.වෙලාවට එහෙම උනේ.නැත්නම් සජිත උඩුබුරන්න ගන්නව.යන්තම් මගේ විපක්ෂ නායක කම බේරගන්න පුලුවන් මෙදා පාරත්.
හම්බන්තොට ජනතාවට ස්තුතිවේවා !

අමාත්‍ය විමල් වීරවංශ මහතා

මෙදා පාරත් රටේ සාතිශය බහුතර දේශමාමක , ජාතිමාමක ජනයා පෙන්නුම් කලේ තමන් මේ මාතෘභූමියට තියෙන ඓන්ද්‍රීය බැඳීමේ තරමයි.අධිරාජ්‍යවාදී විජාතික බලවේග වල මෙරට ඉත්තන්ට මෙදා චන්දෙදි මෙරට සුජාත දෙශමාමක ජනතාව නියම පාඩම උගන්වල තියෙනව.රනිල් නෙවෙයි සජිත් ආවත් ප්‍රතිපලේ එකක් බව පෙන්නල ඉවරයි.
අයාලේ දක්කපු ජනතා විමුක්ති පෙරමුනට මෙදා පාර තිබුනු එකත් නැති වීමෙන් පේන්නේ එම පක්ෂයෙ නායකයන් කැමැත්තෙන් දිනා ගන්නා පාරාජයේ තරමයි.මෙතෙක් හිමිව තිබූ නෙල්ලි කැලේ බුරියගේ භූමුකාවවත් මින් ඉදිරියට ඔවුන්ට අහිමියි...
මගේ අම්මේ තත්තේ ,සහොදරයා සහොදරිය ,අපි පොරොන්දු වෙනව ඔබට,රටේ දේශමාමක ජාතිමාමක ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අපගේ කැපවීම පෙරටත් වඩා දැඩිව අපි පෙන්නනව කියල.
මාතෘභූමියට ජය වේවා... මාතෘභූමියට ජය වේවා......
මාතෘභූමියට ජය වේවා......

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා

මේ මැතිවරණය අතිශයින්ම දූෂිත එකක්.රජය ජනතාවට චන්දය දෙන එක උවමනාවෙන්ම වැලැක්වුවා.රාජ්‍ය සම්පත් උපරිම ලෙස තමන්ගේ මැතිවරණයට යොදා ගත්ත.කොහොම උනත් ආණ්ඩුවට මීට පෙර ලැබුනු චන්ද ගනනත් එක්ක සැසඳීමේදී පැහැදිලි චන්ද අඩු වීමක් පෙන්නුම් කරනව.එය ඇත්තටම සුභ ලකුණක්.අපි ලබන සිංහල අලුත් අවුරුදදට කලින් එජාප ආණ්ඩුවක් බිහි කරනව කියල මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.


අමාත්‍ය චම්පික රණවක මහතා...

මෙදා චන්දෙදි රටේ දේශමාමක ජාතිමාමක ජනයා විපක්ෂය විසින් ගෙන ගිය අභූත චෝදනා වලට රැහැනිව හොස් තමන්ගේ චන්දය පල කරල තියෙනව.මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව රට පංච මහා කේන්ද්‍රය කිරීමේ යෝධ වැඩපිලිවෙලට මෙමගින් ලැබෙන්නේ ලොකු හයියක්.මේ ජයග්‍රණය කරල තියෙන්නේ ජාතික බලවේගය.එදා අපි සිහළ උරුමය හරහා පෙරට ගත් ජාතික ව්‍යාපාරයේ හයියෙන් තමයි මෙ ජයග්‍රණය රටට ලැබෙන්නෙ.
අපි විදුලිබල මණ්ඩලය හරහා පෙන්නුම් කරල තියෙනව පාඩු ලැබූ රාජ්‍ය ආයතන ගොඩ ගන්නෙ කොහොමද කියල.මේ පරාජය අදිරාජ්‍යවාදී ඒජන්තය වෙච්ච රනිල්ගේ විතරක් නෙවෙයි බොල්ෂෙවික් පක්ෂ වල අවතාර වලටත් ජනතාවගෙන් එල්ල වුනු අතුල් පහරක් කියල කියන්න කැමතියි.
තවදුරරත් මේ ඉතුරු බිතුරු වලට ජාතික දේශපාලනයේ කාර්යකභාරයක් නෑ..
අපි මෙරට දෙශමාමක ජාතිමාමක දෙශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලන්නේ ඉදිරියටත් අපි සමග රැඳෙන්න.අපි මේ රට ආසියාවේ ආශ්චර්‍ය බවට පත් කරනව නුදුරේදිම.


පාර්ලිමේන්තු මන්ත්‍රී‍ අනුර කුමාර දිසානායක සහෝදරයා.

මෙය අන්ත දූෂිත , රාජ්‍ය බලය අතිශය අසාධාරණ ලෙස යොදා ගත්ත මැතිවරණයක්.අපිට තිස්සමහාරාමය අහිමි වීමෙන් පෙන්නුම් කරන්නේ එකයි.කොටින්ම මේක ජිල්මාර්ට් එකක්.
නමුත් අපිට අපි ලබපු චන්ද ප්‍රමානයේ අඩු වීමක් තිබුනත් අපිට ඒ ගැන දුකක් නෑ.අපිට තියෙන්නේ සතුටක්.බත් පැකට් එකට,රුපියල් සීයට ලැබුනු චන්ද නෙවෙයි ඒවා.ඒව පිරිසිදු චන්ද.
අපිට චන්ද අඩු වුනාට එක අපේ පසුබෑමක් කියල කියන්න බෑ.ඒක ජනතාවගේ නොලැබීම.
නමුත් අනිත් අතින් ආණ්ඩුවට ලැබුනු චන්ද
ප්‍රමානයත් අඩු වීමෙ න් පෙන්නුම් කරන්නෙ කුමක්ද?ඔවුන් ජනතාව අතරින් ප්‍රතික්ෂෙප වෙලා කියන එකයි.
අපි මේ රටේ දෙශප්‍රේමී ජනතාවට සහතික වෙනවා සරත් ෆොන්සේකා හිර කරගෙන KP රජ ගෙදර තියා ගෙන ඉන්න මේ එ කා ධිපති වියරු දූෂිත අකාර්යක්ෂම පවුල් පාලනය නුදුරේදීම ගෙදර යවල සෑම දෙනටම සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජවාදී රාජ්‍යයක් බිහි කරන්න කැප වෙනව කියල.


සජිත් ප්‍රේමදාස මහතා...


මේ චන්දෙදි අපි පෙන්නුම් කල හම්බන්තොට එදා මගේ පියානන් සිටියදී ලබා ගත් චන්ද ගනනම මෙදා පාරත් අපි අරන් තියෙන්ව කියල.ජන්දය පැරදුනත් එමගින් ජනතාව පෙන්නුම් කරන්නේ ප්‍රේමදාස යුගයක් ඇති වෙනවට ජනතාවගේ තියෙන කැමැත්තයි.අපි අප්‍රේල් 12 වෙනිදයින් පස්සේ මේ අපේ පක්ෂය ටයි කෝට් කාරයන්ගෙන් මුදවගෙන සැබෑ ජන දුක හඳුනන ගමේ ගොඩේ පොඩි මිනිහගේ හැඟීම් තේරෙන,රෙද්ද බැනියම අඳින ,බිම් මට්ටමේ ගම් මට්ටමේ ජනයා නගා සිටුවන නැවතත් පොඩි මිනිහ ගැන හිතන ප්‍රේමදාස යුගයක් නැවත බිහි කරනව කියල මම පොරොන්දු වෙනව අම්මේ තත්තේ.

-රිපෝටර් කොලුවා

Wednesday, December 22, 2010

තාත්තාගේ කවිය...

2 comments



නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතී
ගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇති
වැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතී
නොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .


පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.
මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්
ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්
නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............


මතකද එදා දුර දිග බැලු දීඝායූ
මාතුපෝසකයි මව කර පිට පීනූ
දම්පල් තුමා වගේ රට දැය ගැන සිතුනූ
වෙයන් පුතුනි එයමයි නුඹෙ උරුමෙ දිනූ………

-පුතා




කැලුම් නිරංජන

Saturday, November 13, 2010

දෙවන වර අභියෝගය........

14 comments

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තම දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ඇරඹීමට තව ඇත්තේ සතියක පමණ කාලයකි.පලමු ධූරකාලය නිමා වන විට ලෝකයේ අපට බහුල උදාහණ ඇත්තේ තම මුල් ජනප්‍රියතාවය අඩු වූ පාලකයන් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කරමින් සිටින්නේ එහි විලෝමයයි.2005 දී ලද කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් දෙවන වර ලැබූ අති දැවැන්ත ජයග්‍රහණයෙන් වසරකට පමණ පසුව දෙවන ධූර කාලය නිල වශයෙන් අරඹන මොහොත වන විට රටේ යහපත් ඉදිරි ගමන් මග වෙනුවෙන් මෙවර ඉටු කල යුතු යුතුකම් සහ වගකීම් රාශියක් ඔහු හමුවේ ඉතිරිව පවතී.පලමු ධූර කාලයේදී ඔහු හමුවේ තිබූ සහ ඉතාමත් ප්‍රශස්ථ ලෙස ජයගත් බරපතල අභියෝගය සමග සැසඳිමේදී මෙය එතරම් දෙයක් නොවේ යැයි යමකු සිතුවත් කාරණය බරපතල වන්නේ පලමු අභියෝගය ජය ගැනීමට ඔහුට ජවය සැපයූ ජවාධික පරිවාර සේනාංකය වැනි සහායක බල ඇණියක් මෙවර අභියෝගය ජය ගැනීමට සිටීද යන පැනය මතු වන බැවිනි.කෙසේ වෙතත් කුමන බාධක හමුවේ වුවත් බහුතර ජනයා අපේක්ෂා කරන්නේ තමන් අපෙක්ෂා කල තැනට රට ගමන් කරවීමට වත්මන්මහින්ද රාජපක්ෂ පාලනය කටයුතු කරාවිය යන්නය.සාතිශය බහුතර ජනයා මහින්ද රාජපක්ෂ පිලිබඳ තවමත් නොසිඳුනු විශ්වාසයකින් කටයුතු කරන්නේ එම අපෙක්ෂාවෙනි.බහුතරය තවමත් එසේ විශ්වාසයෙන් පසු වුවත් තවත් කොටසක් ඉක්මන් ප්‍රතිපල අපෙක්ෂාවෙන් සිට එය නොලැබේයැයි කලින්ම තීරණය කර මඳක් පසු බසිමින් සිටී.නමුත් ඒ කොටස්වලද යටි සිත් මහින්දගෙන් යහපත් යමක් සිදුවේයැයි අපෙක්ෂා කරන්නේ යැයි පැවසීම මුසාවක් නොවේ.

ඒ අතර වත්මන් පාලනයෙන් දේශපාලන ලෙස නනත්තාර කරවූ කොටස් (එජාප ,ජවිපෙ මෙන්ම ඉතුරු බිතුරු වූ කොටි වලිග මෙන්ම රටට වින කෙටූ ඊනියා රාජ්‍ය නොවන කල්ලි ) තම තමන්ගේ දෙශපාලන ශරීරයන් තව දුරටත් ජීවී තත්වයෙන් පවත්වා ගැනීමේ මාරාන්තික අරගලයක නියැලෙමින් සිටින අයුරු දැකිය හැකිය. එහි කොටස් ලෙස සමහරුන් ගම දිනා ගැනීමට යැයි කියා ටයි කෝට් හැඳ වෙල් එලිවල දුව ඇවිදිදී තවත් කල්ලියක් තමන්ට සුපුරුදු ලේ සොලවන අරගලයකට අවශ්‍ය මානසික ශක්තිය තම කාඩර්වරුන්ට සපයන ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින අයුරු දැකිය හැකිය.මොන දහන් ගැට දැම්මත් අවසානයේ තමන්ගේ ප්‍රත්පත්ති ,බටහිර අවශ්‍යතා පෞද්ගලික අවශ්‍යතා සහ පක්ෂ අවශ්‍යතා යන පටු සීමාවෙන් ගලවා ගෙන රටේ අවශ්‍යතා වෙනුවෙන් සකස් කර ගැනීමෙන් තොරව මහින්ද රාජපක්ෂගෙන් එල්ල වූ දේශපාලන අභියෝගය ජය ගත නොහැකි බව මෙම කල්ලි අවබෝධ කර ගත යුතුය.මහින්දගේ රටට හිතරකර ගමන් මග (එය මිත්‍යාවකැයි,රැවටීමකැයි කියා අවශ්‍යනම් කෙනෙකුට නොසලකා හැරිය හැක.එය සනාථ කිරීමට උවමනා නම් උදාහරණද එකින් එක පෙනවා දීමටද යමෙකු ඉදිරිපත් විය හැක.නමුත් අප මෙහිදී සලකන්නේ එක් එක් වියුක්ත කාරණා නොව සමස්ථය වන බැවින් රාජපක්ෂ පාලනය පරම පිවිතුරු පරමාදර්ශී එකක් නොවූවත් එහි සම්ප්‍රයුක්තය රටට හිතකර එකක් යැයි පැවසීම අතිශෝක්තියට නැගීමක් නොවේ ) අභිබවා යා හැක්කේ වත්මන් පාලනයේ අඩු පඩු මෙන්ම යහ ලක්ෂණද එක පමණට විසල් මනසින් දකිමින් එය අභිබවා යා හැකි දැක්මකින් සන්නධ වන දේශපාලන ව්‍යාපාරයකට විනා තැන තැන සිදු කරනා අක්‍රමවත් සාම්ප්‍රදායික දේශපාලන ගරිල්ලා පහරදීම් වලින් නොවේ.

ඒ අතින් බලද්දී එවැනි මාවතක් පේන තෙක් මානයක නොමැති බව පැහැදිලිව පෙනේ.නායකත්ව අර්බුධයෙන් ගිනිගෙන දැවෙන තම පක්ෂ අභ්‍යන්තරය තම තමන්ගේ පෞද්ගලික වාසියට ගැලපෙන අයුරින් කළමනාකරනය කර ගැනීමේ සටනට මුහුණ දී ඇති එජාපයෙන් මේ මොහොතේ එවැනි විදග්ධ මැදිහත්වීමක් අපෙක්ෂා කිරීම නිරර්ථක උත්සාහයකි.වත්මන් නායකත්වයේ විජාතික ඒජන්ත ස්වරූපය මකා දැමීමට වෙල් දෙනි දිගේ දුව පැන ඇවිදිමින් සිදු කරනා නාටක , ගම දිනා ගැනීමට කේසේ වෙතත් පක්ෂ නායකත්ව අසුන රැක ගැනීමටවත් ප්‍රමාණවත් වේ දැයි සැක සහිතය.
ඒ අතර ජාතිකත්ව මගෙන් තීරණාත්මකව පීලි පැන්නවූ තම පක්ෂට ඉන් පසු උරුම වූ යලි සකස් කර ගත නොහැකි තරමේ දේශපාලන අනථභාවයෙන් පීඩා විදින ජවිපෙන්ද තව දුරටත් එවැනි අර්ථවත් මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකිය. (71 /88-89 දීවත් ඔවුන් මේ තරම් දේශපාලන නන්නත්තාරවීමකට ලක් වී නැතැයි සිතේ.එයුගයෙදී මර්දනයේ දඬු අඬුවට හසු වුවත් ඔවුන්ගේ දේශපාලන පෞරුෂය සමාජය ඉදිරියේ මේ තරම් හෑල්ලූ වූ අවධියක් නොමැත.සරසවි තුලින් පැන නැගී ඇති වත්මන් තත්වය හමුවේ යලි සමාජය ඉදිරියේ යම් කිසි දුරකට ක්‍රියාකාරී වීමට ඔවුන්ට ආවස්ථාව උදා වී ඇත්ත් එයද තාවකාලික වනු ඇත.)

විකල්ප මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකි මේ මොහොතේ රාජපක්ෂ පාලනයේ වගකීම විය යුත්තේ ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව ලෙහෙසියට නොසලකා වගකීමෙන් කටයුතු කරමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සක්‍රීයව මැදිහත්වීමය.එසේ නොමැතිව 77 දී 5/6 ක පාර්ලිමෙන්තු බලයකින් සමන්විත වූ JR‍ පාලනය මෙන් ඉබාගාතේ ඇවිද්දහොත් සිදු වන්නේ ඉතිහාසයෙ JR ට උරුම වූ තැනම මහින්ද රාජපක්ෂටත් උරුම වීමය.එපමනක් නොව JR රට පත්කල විසකුරු තැනටත් වඩා ශෝචනීය තැනකට රට පත්වීමය.තාවකාලික උන්මාදය ගෙන එන සබන් බුබුළු සංදර්ශන වෙනුවට දීර්ඝ කාලින දැක්මක් සහිතව රට මෙහෙයවිය යුත්තේ එබැවිනි.පලමු ධූර කාලයේදී රටට අත් කරදුන් විශ්ෂ්ඨ ජයග්‍රහණය මල් පල ගැන්විය හැක්කේ එලෙස පමනි.

මෙහිදී මූලික අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන ක්‍රියාදාමය වෙතටයි.එහිදී බොහෝ දෙනා අපෙක්ෂා කරන්නේ තම තමන්ගේ ඇසට අසුවන භෞතික සංවර්ධනය පමනි.නමුත් ඒ බටහිර සංවර්ධන උපාය උපක්‍රම අභිබවා යන අපට උරුම අපේම සංවර්ධන මාවතක් සකසා ගැනීම කර යුතු මුඛ්‍ය කාර්යයකි.සිංගප්පූරුව හෝ මැලේසියානු පන්නයේ කොන්ක්‍රීට් සංවර්ධනයක් වෙනුවට අපෙ රටට උරුම සංවර්ධන මාවතක් නිර්මාණය කර ගත යුතුය.එහිදී පුද්ගල අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ඕනෑම කැප කිරීමක් කිරීම වෙනුවට පුද්ගලයා සහ සමාජය ගැන එක ලෙස සිතා පරිසසරය කාබාසිනියා නොකරන පරිසරය හා සම්බන්ධ තිරසාර සංවර්ධන පිලිවෙතක් අනුගමනය කිරීමෙන් තොරව සිදුකරනා මොන යම් හෝ සංවර්ධන ක්‍රියාවලියක දීර්ග කාලීන ප්‍රතිඵලය යහපත් එකක් විය නොහැක.එයින් අදහස් කරන්නේ භෞතික සංවර්ධන ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු බව නොවේ.ක්ෂණික ප්‍රතිඵල අපෙක්ෂාවෙන් ඔබ්බට ගිය දීර්ඝ කාලීනව අවම වශයෙන් තව වසර 50 වත් ඉදිරිය දකින සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වහ වහා පියවර ගත යුතුය.එහිදී මාර්ග ,විදුලි බලය , වරාය ,ගුවන් තොටුපොළ ආදී ප්‍රමුඛ අංශවල සංවර්ධනය වඩා වැදගත් වන අතර එයට සමගාමීව මෙරට ප්‍රමුඛම ක්ෂේත්‍රය වන කෘෂිකාර්මික අංශය කෙරෙහිද දැනට වඩා සක්‍රීය මැදිහත්වීමක් කිරීම අත්‍යවශ්‍ය වේ.රජය මේ අංශවල සිදු කරනා බොහෝ ක්‍රියාකාරකම් වල දැනට ඇත්තේ සංදර්ශනාත්මක ස්වරූපයක් පමණි.යහපත් බොහෝ කාර්යයන් ආරම්භ වුවත් ඒවා දීර්ඝකාලීන වැඩපිලිවෙලකින් යුක්ත නොවීම නිසා බොහෝ ඒවා අතර මග ඇනහිටී,තවත් ඒවා ලත් තැනම ලොප් වී යයි.උදාහනණයක් ලෙස 'අපි වවමු රට නගමු' වැනි ප්‍රශස්ථ සංකල්පයක් ප්‍රදර්ශනාත්මක අර්ථයෙන් පමණක් ක්‍රියාවට නැගුන මුලදී බොහෝ දෙනා ඒ වෙනුවෙන් සක්‍රීයව තම දායකත්වය සැපයීය.තම නිවසේ ඇති කුඩා ඉඩ කඩෙන් පවා ප්‍රයොජන ගැනීමට උනන්දු විය.නමුත් ප්‍රදර්ශනාත්මක කාලය අවසන් වීමෙන් පසු ඒ ගැන යෙදු අවධානය නැතිවී යාමෙන් නැවතත් පරන තැනටම පත් වීමට සිදු වී ඇත.
ඒ සමගම සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනා ගෙන කටයුතු කිරීමද මීට වඩා ක්‍රමවත්ව සිදු කල යුත්තේ දැනට ඒ අතින් පෙන්වන සාර්ථකත්වය ගැන සෑහීමට ලක් විය නොහැකි බැවිනි.සංචාරක කර්මාන්තය දියුනු කිරීමේ අරමුනෙන් යයි කියා මෑතකදී කැසිනෝ පිලිබඳ පනතක් කඩි මුඩියේ සම්මත කර ගැනීම එම ප්‍රමුඛතා සැලකිල්ලට නොගන්නා බවට කදිම උදාහරණයකි.සංචාරක කර්මාන්තයේ දියුණුව අපේක්ෂාවෙන් නම් කැසිනෝ පනත සම්මත කර ගැනීමට පෙර කල යුතු කාර්‍යයන් රාශියක් ඉතිරිව පවතී.සංවර්ධන ක්‍රියාවලියේදී සිදුවන මෙවැනි අඩුපාඩු අවම කර ගැනීමට නම් ඒකාබද්ධ ආර්ථික සංවර්ධන උපායක් අනුගමනය කල යුතුය.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීම හරහා ජනාධිපතිවරයා බලා පොරොත්තු වන්නට ඇත්තේ මෙම අරමුනයි.එබැවින් දැන් කලයුත්තේ ඒ සඳහා පෙරට වඩා ක්‍රියාශීලීබවකින් මෙම අංශ ක්‍රියාත්මක කිරීමය.

නීතිය හා සාමය සුරැකීම අතින්ද දැනට වඩා ඉහල සඵලතාවයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොපමාව සිදු කිරීමද අත්‍යවශ්‍ය කාර්යයකි.විශේෂයෙන් පොලිස් සේවය මුල සිට අග දක්වා පූර්ණ වෙනස්කමකට ලක් නොකරන්නේ නම් යහපත් සමාජයක් බිහි වේ යැයි බහුතරය තුල ඇති අපෙක්ෂාව උපන් ගෙයිම වල දැම්මාට වරදක් නැත.8 සමත් පොලිස් සේවයක් වෙනුවට උගත් මනා ලෙස පුහුණුවක් ලත් නිලධාරීන්ගෙන් යුත් විධිමත් පොලිස් සේවයක් බිහි කර නොගන්නේ නම් තව දුරටත් සිදුවන්නේ මේ මජර ක්‍රමයම විකාශනය වීමක් පමණි.ඒ අතර දෙලක්ෂ පනස්දහසක් පමණ වන හමුදා සාමාජිකත්වයද හැකියාව ඇත්නම්( දැනටමත් ක්‍රියාත්මක වන පරිදිම ) සංවර්ධන කටයුතු සඳහා මැදිහත් කර ගත යුතුය.විශේෂයෙන් උතුරු පළාත තුල දියත් කර ඇති සංවර්ධන කටයුතු වලට තව තවත් ඒ දායකත්වය යෙදවිය යුතු අතර එහිදී හමුදා සාමාජිකයන්ට අමතර ප්‍රතිලාභ ලැබෙන වැඩපිලිවෙලක්ද සැකසිය යුතුය.

මේ කුමන කාර්යක් කිරීමටත් රට තුල දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කර ගත යුතුය.මහින්ද රාජපක්ෂට ඒ වෙනුවෙන් ඒ තරම් මහන්සි වීමට හේතුවක් නොමැත්තේ පසු ගිය මැතිවරණයෙන් ජනතාව නොසෙලවෙන බලයක් ලබා දී ඇති බැවිනි.පෙරදී මෙන් පාර්ලිමෙන්තු ඔලුගෙඩි සෙල්ලම් තුලින් ආණ්ඩු පෙරලිය නොහැකි වන සේ ස්ථාවර බලයක් ආණ්ඩුව සතු වන බැවිනි.නමුත් දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම සඳහා නොව විපක්ෂය නැති බංගස්ථාන කිරීමේ අරමුණින් මන්ත්‍රීවරු බිලී බෑමද වහා නතර කල යුතුය.වරප්‍රසාද වරදාන ඇමති තනතුරු ලබාදී තම පිල තව තවත් ලොකු කර ගැනීම හරහා තම පිල මෙන්ම එමගින් පොදු මහජනයා මත වැටෙන නාස්තිකාර වියදම්ද වැඩි වනු ඇත. පලමු ධූරකාලයේදී නම් යුද්ධය අවසන් කිරීමේ අරමුණින් තිබිය යුතු දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම වෙනුවෙන් කලා යැයි එය සාධාරනය කල හැකි නමුත් 2/3 ත් අබිභවා ඇති මේ අවස්ථාවේ සිදු කරන එවැනි ක්‍රියා මගින් සිදුවන හානිය ගැන මහින්ද රාජපක්ෂ මහතා දැඩි අවධානය යොමු කල යුතුය.(රජයක් පිහිටුවන කාලයක් පිලිබඳ ඉඟියක්වත් නොමැතිව ලත වන විපක්ෂ මන්ත්‍රීන් තව තවත් ආණ්ඩුවට ආකර්ෂණය වීම ඉදිරියේදීත් සිදුවිය හැකි නමුත් එය පාලනය කර ගැනීමේ කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරේ. )ඒ සමගම රජයේ සමහර මැති ඇම්තින් ගේ ජනතාව නොඉවසනා අමන ක්‍රියාමාර්ග හමුවේ ජනාධිපතිවරයා අනුගමනය කරමින් පවතිනා නිද්‍රාශීලී පිලිවෙත පිලිබඳවද බහුතර ජනයාගේ (මේ පාලනය ගැන ඉමහත් බලාපොරොත්තු තමා සිටිනා ජනයාගේ පවා ) ඇත්තේ කිසි සේත්ම යහපත් ප්‍රතිචාරයක් නොවේ.ඔහු වටා සිටිනා දුසිම් ගනනක් වන උපදේශකයනේ වගකීම විය යුත්තේ මෙම ජන මතය ඔහු වෙත ඉදිරිපත් කිරීමය.
එසේ නොවුවහොත් ස්ත්‍රී දූෂකයන් , කුඩු වෙළඳුන් , මැරයන් මග සහවාසයෙන් පවත්වාගෙන ගිය පෙර රජයන්ගෙන් මේ රජය වෙන් කර ගැනීමට නොහැකි වනවා ඇත.එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙශපාලන සෞඛ්‍යට නම් කෙලෙසින්වත් හිතකර නොවනු ඇත.

දූෂණය සහ නාස්තිය යන්න ආසියාතික රටවලට පමනක් නොව 'සුදු' යුරෝපයේ ආණ්ඩුවලටද එල්ලවන පොදු චෝදනාවයි.ආසියාතික රටවල් වලදී මෙම චෝදනාව තවත් උස්ව නැගෙයි.ශ්‍රී ලංකාව තුලද එහි වෙනසක් දැකිය නොහැක.මාරුවන් මාරුවට සෑම විපක්ෂයක්ම පවතින ආණ්ඩුවට මෙම චෝදනාව එල්ල කිරීම පුරුද්දක් කර ගෙන සිටී.සෑම විපක්ෂයක්ම පොදුවේ නගන මෙම චෝදනා බොහෝ දුරට ඒ ඒ පක්ෂවල දේශපාලන අරමුණු වෙනුවන් කරනා තාවකාලික සංදර්ශන විනා සැබෑවන් නියම පරිමාණයෙන් නිරූපණය වන්නක් නොවේ.[මෙයින් අදහස් කලේ ආණ්ඩුවල දුෂණය හා නාස්තිය නැති බව නොවේ.විපක්ෂ බොහෝ දුරට චෝදනා කරන්නේ ලොකුම දූෂිතයාට නොව ලොකුම දේශපාලන අභියෝගය එල්ල කරන්නාටය.එබැවින් සැබෑ දූෂිතයන්ට තමන්ගේ ක්‍රියා කිසිම අපහසුවකින් තොරව කර ගෙන යාමට ඉඩ සැලසේ.]කෙසේ නමුත් වැඩිපුර වැඩ කරන විට වැඩිපුර චෝදනා එල්ල වීමද ස්වාභාවිකය.එලෙසම වැඩිපුර වැඩ කෙරෙන විට හොරකම දූෂණයට ඇති අවස්ථාද වැඩිය.එබැවින් කල යුත්තේ දූෂ්ණය හා නාස්තිය අවම කර ගත හැකි ක්‍රමවත් ප්‍රායොගික වැඩ පිලිවෙලක් ක්‍රියාවට නැගීමය.එලෙස දූෂණයට හා නාස්තියට අනුබ්ල දෙන්නන්නට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලැබෙන වැඩපිලිවෙලක්ද අත්‍යවශ්‍යය.මෙහිදී ඉහල සිට පහලට නාස්තිය අවම කිරීමට ලබා දෙන ප්‍රායෝගික ආදර්ශයද වඩා වැදගත්ය.අද වන තුරුත් මේ අංශයෙන් නම් රාජපක්ෂ පාලනය පෙන්නුම් කරමින් සිටින්නේ පෙර රජයන්ගේම විකාශනයකි.කල යුතු, කල හැකි කාර්යන් පවා අතපසු කරමින් සිටිනා ස්වරූපයකි.එමගින් සිදුවන්නේ ජනතා විශ්වාසය යලි යලි හැදිය නොහැකි අයුරින් පලුදු වීමයි.එමගින් කිසිඳු වාසියක් රටට අත් නොවන්නේ එමගින් දෙශපාලන ලෙස වාසි ලැබෙනා කණ්ඩායම්ද අතීතයේ මහා පරිමාන අල්ලස් දූෂන හොරකම සහ නාස්තියට කප් ගැසූවන් වීම නිසාය. (අද දූෂණයට එරෙහිවන බොහෝ දෙන තමන් සුදනන් යැයි පෙන්වීමට දත කෑවත් එදා ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව සිදු වූයේත් එමරජයක් පැවති කාලයේ බව මොවුන් අමතක කරන්නට හදති.එලෙසම එම මහා පරිමාණ වැට් බදු වංචාවේ ප්‍රධාන චූදිතයා 2001 චන්ද්‍රිකා ආණ්ඩුව පෙරලීමට ජනබල මෙයෙයුමට මූල්‍ය දායකත්වය සැපයූ බවට එල්ල කරන චෝදනාවට මෙතෙක් පිලිතුරු ලැබී නොමැත )

මීට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයේද දුර පෙනෙන ප්‍රතිසංස්කරණ වහා ඇති කල යුතුය.එහිදී පෞද්ස්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ කතා බහ ප්‍රධාන මතෘකාව වීම නොවැලැක්විය හැකිය.කඩි මුඩියේ එක් එක් පාර්ශායන් සමග වෛරය පිරිමසා ගැනීමෙන් ඔබ්බට සිතා රටේ ඉදිරි ගමන් මග යහපත වෙනුවෙන් පමණක් සිතා එය සලකා බැලිය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.(ඒ පිලිබඳ ඉදිරි ලිපියකදී වැඩි අවධානය යොමු කරමු.) තාවකාලික පැලැස්තර ඇලවීමෙන් තොරව ඉදිරිය බලා අපිට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කටයුතු කිරීම ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම සමගාමීව සිදු විය යුත්තකි.එසේ නොකර විදේශ විනිමය ඉපයීමේ පටු අරමුණෙන් පමනක් කටයුතු කලහොත් සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නටය.


මේවා සාමන්‍ය ජනතාව වත්මන් පාලනයෙන් අපේක්ෂා කරනා තවමත් ඉටු වන පාටක්වත් නොමැති අපෙක්ෂාවන්ය.මෙවැනි ලුහුඩු සටහනකින් මහින්ද රාජපක්ෂ පාලනය බාර ගත යුතු ඉදිරි අබියෝග වල නිවරදි චිත්‍රයක් නියම පරිමාණයෙන් නිරූපනය කිරීමට අපහසු වුවත් මෙම සරල කරුණු පිලිබඳ අවධානය යොමු කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පිලිබඳ මහුතර ජනයා තවමත් නොසිඳා බලා සිටිනා බලාපොරොත්තු සහ කැපකිරීමට නිසි අගයක් ලැබෙනු ඇත.එසේ නොකර රට ලැබූ මේ ස්වර්ණමය අවස්ථාව සරල කාරණා නිසා නැති නාස්තිකර දැමුවහොත් එවැනි අවස්ථාවක් තව සියවස් කිහිපයක් යන තුරු ජාතියට නොලැබෙනු ඇත.
අපේ කාලයේ දුටුගැමුණු චරිතයට සාර්ථකව පණ පෙවූ ඔහු ඉදිරියේ ඇත්තේ' පරාක්‍රමබාහු යුගයක්' නැවතත් බිහි කිරීමය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ ඇති දෙවන වර අභියෝගය මෙයයි...........

- කැලුම් නිරංජන

Sunday, March 14, 2010

උරුමයේ යුතුකම

1 comments


නොනිමෙන ගමනේ
මේ දිවි සසරේ......
මිනිසෙකු ලෙස ලැබු
මේ දිවි වරමේ.......
සිහළෙකි ඔබ දිනු
මේ ලක් දෙරණේ.........

දෙදහස් හයසිය වසරක උරුමේ
දෝතින් ගෙන වැඩි ඔබෙ පින් මහිමේ......
සම්බුදු සසුනේ තිර මග රැකුණේ
යුතු කමෙනුයි ඔබෙ ඉටු කල සොඳිනේ.....
නිවනට මග සලසා අන් දනගේ
සසර සරන මග තව දිග්ගැසුනේ......
සම්බුදු සසුනේ තිර මග වෙනුවෙන්
තම සැප කල් දැමු ජාතිය ඔබගේ......

යුතුකම ඉටුකල සිහළ දරුවනේ
ගැමුණු පරපුරෙනි ඔබ පණ ලැබුණේ......

-කැලුම් නිරංජන