Saturday, February 6, 2010

ජනාධිපතිවරණය දෙසට...

1 comments

අපේක්ෂා කල පරිදිම ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ දෙවනවරටද ජනපති බවට පත් කරමින් විජයග්‍රාහීව නිම විය.මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය මෙය යැයි පැවසුවද වරදක් නැත.2005 මැතිවරණ ජයග්‍රහණයෙන් රටට ලබා දුන් ජයග්‍රහණය තව දුරටත් බලාත්මක කිරීමට බහුතර දේශමාමක ජනයා මෙවර මහින්ද රාජපක්ෂ ජනපති කිරීමට දායක විය.එය හුදු ජයග්‍රහනයක් පමණක් නොවීය .2005දී තමන් ලද 50% කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් 57% අධික බොලීවියානු ඉවෝ මොරාලස් පන්නයේ දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගනිමිනි.එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයාට (ඊනිය පොදු අපේක්ෂකයාට ) වඩ දහ අට ලක්ෂයකට අධික සාතිශය බහුතර චන්ද සංඛ්‍යාවක් ලබගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි විය.මෙය 2005 දී ලද ජයට වඩා සුවිශේෂී වන්නේ ප්‍රතිවාදී අපෙක්ෂකයා සියලු විපක්ෂ කණ්ඩායම් වල පූර්ණ ආශිර්වාදය (රනිල් වික්‍රමසිංහ මහතාගේ සැබෑ සහයෝගය ඔහුට ලැබුනේදැයි සැකයක් ඇති විය හැකි වුවත් ) ලද අපෙක්ෂකයා ,එනම් සෝමවංශ අමරසිංහගේ භාෂාවෙන්ම කියන්නේ නම් මහින්ද රාජපක්ෂ පැරදවිය හැකි හොඳම 'ජොකියා' මෙවර ඉදිරිපත් කල බැවිනි.


ජනාධිපතිවරණය ගැන කසු කුසුවක් දේශපාලන ලෝකයේ පැතිරෙත්ම (මීට මාස හතරකට පමණ පෙර ) සියලු විපක්ෂ කණ්ඩායම් එම අභියෝගයට මුහුණ දේන්නේ කෙසේද යන වියවුලට පත් වී සිටියහ.නන්දි කඩාල් කලපුවේදී දෙමළ ජාතිවාදයේ ත්‍රස්ත පෙරමුණ අවසන් හුස්ම යවන තැනට වැඩ සැලැස්වූ මහින්ද රාජපක්ෂ ඒ වනවිට නිතරඟ ඊලඟ ජනාධිපති බව බොහෝ දෙනා තීරණය කර තිබින.(නමුත් එසේ තීරණය කල සමහර කොටස් මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දය පාවිච්චි කරන්නට ඇත.) රනිල් වික්‍රමසිංහ මහතා පවා එය අවබෝධ කරගෙන සිටියාට සැක නැත.තමන් මෙවර ජනාධිපතිවරණයේදී ලබන නියත පරාජයෙන් පසු විපක්ෂ නායක ධූරය රැක ගැනීමේ අභියෝගය ජය ගැනීම පහසු නොවන බවත් එසේ වුවහොත් මහින්ද පාලන යුගයෙන් පසුව එනම් 2017 හෝ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වන බවත් තම මාමාගේ කපටි දේශපාලන උරුව ලද රනිල් වික්‍රමසිංහ මහතාට නොතේරෙන්නට හේතුවක් නැත.නමුත් තමා වෙනුවන එජාපයෙන් වෙනත් නායකයෙකු (එස් බී/ කරු හෝ සජිත්) ජනාධිපති අපේක්ෂකත්වය වෙත ඔසවා තබන්නටද රනිල් වික්‍රමසිංහ මහතා පසුබට විය.එසේ වුවහොත් ඔහු පරාජය වුවත් ඉන් පසු නැවත තමාගේ විපක්ෂ නායකත්වයට අභියෝගයක් විය හැකි බව මේ සූර දේශපාලඥයාට වැටහී යාම අරුමයක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණටද ඒ වන විට අත්ව තිබූ ඉරණම අතිශය අභියෝගාත්මක විය.
පසුගිය වසර තිහේම පමණ ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණය වහ කදුරු මෙන් තිත්ත අත්දැකීමක් විය.ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එයින් අවසන් ජයග්‍රහනයක් මේ කපේදී ලද නොහැකි බව තේරුම්ගෙන සිටි ඔවුන් බොහෝ විට කුමක් හෝ උප්පරවැට්ටියකින් එය මග හැර ගියේය.94,2005 දී සිදු වූයේ එයයි. මෙවර ඔවුන්ට එය තවත් මාරාන්තික සටනක්වූයේ ඒ වන විට මහින්ද පාලනය හේතුවෙන් පක්ෂය ඉතිහාසයේ කවරදාටත් වඩා කේඩෑරි වී ගොස් තිබූ බැවිනි.තමන්ට චන්දය දෙන සාමාන්‍ය ජනයා තබා තමන්ගේ බහට අතිශය අවනත තම කේඩරයන් පවා පක්ෂය තුල රඳවා ගැනීමට නොහැකි අතෝරයකට ඔවුන් මුහුණ දී සිටියහ. නායකයන් අතලොස්සකගේ අනුවණ තීරන හේතුවෙන් ජාතිකත්ව මගෙන් පීලි පැන්නවූ ජවිපෙ නැවත පීලිගත කල නොහැකි තත්වයට පත්ව තිබිණ.මෙතෙක් පක්ෂයට ජයග්‍රහණ ගෙන ආවේ එම ජාතිකවාදී ගම්බද ජන බලවේගය අමතක කර මාක්ස්වාදී පුස්ස පසුපස හඹාගිය ඔවුන්ට අත්වන්නේද ලංකාවේ සමසමාජ ,කොමියුනිට්ස් පන්නයේ විනාශයක් බව ඔවුන්ගේ තක්සේරුවට හසු නොවීය.තමන් අත එතෙක් තිබූ ජාතිකත්වයේ ප්‍රබල මෙහෙයුම්කරු යන ධජය මහින්ද රජපක්ෂ හිමි කර ගනිද්දී ඔවුන් කලේ එය තව දුරටත් මහින්දටම අත් වන්නට ඉඩ දෙන ජාතිකත්වයට එරෙහි පිල සමග යහන්ගත වන්නට පිඹුරුපත් සැකසීමය.( එහිදී ප්‍රබුඛ වැඩ කොටසක් එජාප ටයි කෝට් කල්ලිය සමග එක්වූ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා අතින් සිදු විනැයි පවතින කරුණ ඔවුන් අතින්ම හෙලිදරව්වන දිනය වැඩි ඈතක විය නොහැක ). මෙවැනි වාතාවරණයක් යටතේ 2006 දී ජවිපෙ ලද (මහින්ද රාජපක්ෂ මහතා පලමු ජනාධිපතිවරණ මධුසමය ගත කරන කාලයේදී පවා ) මිලියනයකට ආසන්න චන්ද ප්‍රමාණය 2009 වෙද්දී දෙලක්ෂයක් දක්වා පල්ලම් බැස්සවූ මහින්ද රාජපක්ෂ පාලනය සමග තවදුරටත් ඔට්ටු ඇල්ලීම හානිකරයැයි සිතූ ජවිපෙ නායකයන් එම පාලනය හමාර කිරීමට තීරණය කලේය.රටට කුමන ප්‍රතිඵලය අත් වුවත් තම පක්ෂය ජීවී තත්වයේ තව දුරටත් පවත්වා ගැනීමට නම් ඔවුන්ට එය කල යුතුම වීය.එහිදී ඔවුන් පලමුවත් පක්ෂය දෙවනුවත් පක්ෂය තෙවනුවත් පක්ෂය යන තමන්ට හුරු සටන් පාඨය වෙනුවෙන් පෙල ගැසුණහ.


විපක්ෂයේ ප්‍රධන ධාරා මෙලෙස අර්බුධයට යද්දී එයට සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනය ඔවුන්ට දිව ඔසුවක් විය.ඔවුන් සොයාපු දේ හම්බ විය.තම පරාජය මකා ගන්නට වීරයෙක් ඉදිරිපත් විය.තමන්ගේ විමුක්තියට මේ ඉදිරිපත් වුනේ එදා තමන්ම ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කී අයෙකු බව ඔවුන් අමතක කර දැම්මේය.දකුණේ පුද්ගල පැහැරගැනීම් වලට තමන් එදා සෘජුවම ඇඟිල්ල දික්කල පුද්ගලා බව අමතක කලේය.කොටින්ම ජවිපේ එක් වූයේ තම සදාධාරණීය නායකයා බොරැල්ල කනත්තේ පන පිටින් පුළුස්සා තවත් ජීවිත හැටදහසක් දැයට අහිමි කල එජාපය ප්‍රමුඛ දුෂ්ට බලවේග සමග බව ඔවුන් අමතක කලේය.කොටි පරදවන සටනේ කකුලෙන් ඇදි UNP , TNA හවුල සමග එක ගේ දීග කන්නට පමණක් නොව එහිදී තමන් විසින්ම එදා ඔවුන්ට ගැසූ දේශද්‍රෝහී කොටි හන තමන් හැඳි වතම ඔසවා වසන් කරන්නට තරම් ජවිපෙ දීන විය.කුමන ආලවට්ටම් ඉදිරියට දැම්මත් මොවුන් සතු පොදු ලකුණ වූයේ රාජපක්ෂ විරෝධය පමණි.ඒ සඳහා කොතරම් පරස්පර,නොගැලපීම් තිබුනත් මේ අශුද්ධ සංධානය එක්ව පෙළ ගැසිණ.



ඉන් පසු මාස දෙකක් පමණ පුරාවට මේ එක් එක් පාර්ෂව වල බහුරූ කෝලම් ජනතාවට ප්‍රදර්ශනය විය.පාවාදීම් ,දූෂණ චෝදනා ආදීයෙන් බහුල වූ ජනාධිපතිවරණය අවසානයේ ජනතා තීන්දුව ලැබී තිබේ.ගොබෙල්ස්ලාගේ ක්‍රියාකාරකම් ප්‍රබල වන බවක් මතුපිටින් දක්නට ලැබුනත් සමස්ථ ප්‍රතිඵලය තුලින් එය පුස්සක් බව පැහැදිලි විය.ජාතිමාමක ජන මනස ෆොන්සේකාගේ හමුදා ඇඳුම පෙන්නා ගසා කන්නට සැදූ දුෂ්ඨ බලවේග අන්ත පරාජයට ලක් විය.විශ්මිත යුධ ජයග්‍රහණයේ කීර්තිය එහි එක් නියමුවකු බිලී බා ගැනීමෙන් පමණක් කල නොහැකි බව එම ජයග්‍රහනය ලැබීමේදී කකුලෙන් ඇදි කකුල් මාට්ටු දැමූ බලවේගවලට රිදෙන්නට ඉලපත් පහරක් දෙමින් බහුතර ජාතිමාමක ජනයා ඔප්පු කර පෙන්වීය.මුලදී ෆොන්සේකා වටා තිබූ ජාතිමාමක ජනතා සහාය අවසන් භාගය (විශේශයෙන් දෙමළ සංධානය සමග එක් වීමෙන් පසු ) වන විට නොසලකා හැරිය හැකි තරම් කුඩා භාගයක් විය.කොතරම් උස් හඬින් බෙරිහන් දුන්නද ජවිපෙට තමන් සිටින තැන හොඳින් පැහැදිලි වූ අතර වෙනස් නොවන්නේ නම් තව දුරටත් මේ දේශපාලන කරලිය තුල තමන්ට හිමි වන්නේ ප්‍රචාරණ ආයතනයක කාර්යභාරයට වඩා වැඩි යමක් නොවන බව ඔවුන් වටහා ගත යුතුය.


අවසානයේ සියලු රටට හිතැති බලවේග අපෙක්ෂා කල පරිදිම ජාතිමාමක ජනතාවගේ නියෝජිතයා ජයග්‍රහණය ලබීය.කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය සඳහා දෙමළ සහ මුස්ලිම් ජනතා සහාය සුපුරුදු පරිදි නොලැබී ගියේය.ඔවුන් තව දුරටත් මහින්ද රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ නායකයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේ ඇති ප්‍රබල අභියෝගය නම් තමන් සුළු ජාතින් ලෙස තවමත් සිතනා එලෙසින් කටයුතු කරනා මෙම බලවේග ප්‍රධාන සංස්කෘතිය තුලට අවශෝෂණය කර ගන්නේ කෙලෙසද යන්නයි.


-කැලුම් නිරංජන

Wednesday, November 25, 2009

මහින්ද දිනවිය යුත්තේ ඇයි?

10 comments

ජනාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ගැන මේ වන විටත් තහවුරු වී නොමැත.නමුත් ඔහු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව අද කිසිවකුටත් තවදුරටත් රහසක් නොවේ.

එහි පලමු වෙඩි මුරය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාට සහාය පල කලේය.පසු ගිය සිව් වසරක මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුල ජනතා විමුක්ති පෙරමුණ එහි ඉතිහාසයේ ලැබූ දරුණුතම කඩා වැටීමට ලක් වීමේ වාඩුව මේ සමගම සම්පූර්ණ කර ගැනීම ජවිපෙ අභිප්‍රායයි.ජාතිකත්වයේ මගින් පීලි පැන්නවූ ජවිපෙට අද උරුම වී ඇත්තේ තමාගේ සදාදරණීය නායකයා පන පිටින් බොරැල්ල කනත්ත පෝරණුවේ පුච්චා දැමීමට සෘජුව අණ දුන් රනිල් වික්‍රමසිංහගේ අනවරත පරාජය නවතා ගැනීමට මුක්කුවක් වීමටය.එහිදී යලි කිසිදා එජාප පාලනයක් ඒමට ඉඩ දෙන්නේ නැතැයි සහතික වූ ජවිපෙ වත්මන් නායකයා නොහොත් ජවිපෙ බිහිකල හොඳම දේශපාලන න්‍යායාචර්‍යවරයාගේ මතයද පරාජය කිරීමට අද එහි සිටිනා අනුර-ටිල්වින් කල්ලිය සමත් වී තිබේ.
ස්ථාවර දේශපාලන යුගයකදී තමන්ගේ මුග්ධ දේශපාලනයට ඇති ඉඩ කඩ සීමිත බව ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටිනා ජවිපෙ අද කැස කවන්නේ කෙසේ හෝ දේශපාලන ස්ථාවරත්වය අහිමි වන තැනට වැඩ සලස්වන්නටය.ඔවුන්ගේ දේශපාලනයට ඉඩක් පවතින්නේ එම අස්ථාවරත්වය තුල පමණි.තවද මහින්දගේ ජාතිකත්ව ලැදියාවටද සෘජුව මුහුණ දී ගත නොහැකි ඔවුන් ඒ සඳහා පිලිතුරක් සොයා ගෙන තිබේ.එනම් තමාට අහිමි ජනතා කැමැත්ත පික් පොකට් ගැසීමටය.නැතහොත් මංකොල්ල කා ගැනීමටය.ඒ සඳහා සුදුසුම චරිතය ඔවුන්ට හමු වී ඇත.2006 දී තනිව තරඟ කර ලබා ගත් දොලොස් ලක්ෂයකට අධික චන්ද ප්‍රමාණය පසු ගිය පලාත්සභා මැතිවරණයේදී යන්තම් දෙලක්ෂය ඉක්මවා යාමට පමණක් සිදු වන තැනට කඩා වැට්ටුවේ මහින්දගේ ජනතාවාදී ගමනයි.ජවිපෙට හිමිව තිබූ සටන් පාට තවදුරටත් වලංගු වීමට ඉඩ නොතබූ ඒ මහින්ද යුගය ජවිපට තිත්ත වී තිබේ.තම පක්ෂය තීරණාත්මක ලෙස දෙකඩ වූයේද මේ මහින්දගේ දේශපාලන ගමනම බව ජවිපෙට රහසක් නොවේ.එබැවින් සිදු කල යුත්ත ජවිපේ තෝරා ගෙන තිබේ.එනම් රටට කුමක් වුවත් තම පක්ෂය තව දුරත් ජීවී තත්වයේ පවත්වාගැනීමට නම් මහින්ද පාලනය හමාර කල යුතුය.ඒ සඳහා තම දේශපාලන නායකයා ඇතුළු 60,000ක් තරුණයක් ඝාතනය කලේ යැයි තමන් විසින්ම චෝදනා කල එජාපය සමග එක ගේ කන්නට ජවිපෙ සියලු සදාචාරාත්මක සළු පිළි ඉවතලා දේශපාලනිකව නිරුවත් වී තිබේ.මෙතැන් සිට දිග හැරෙනු ඇත්තේ එම ලැජ්ජාසහගත දීගයේ හිරිකිත ජවනිකාය.තමන් විසින්ම රනිල් ප්‍රමුඛ එජාපයේ නලලේ කෙටූ දේශද්‍රෝහී හන තම හැඳ සිටින සරමම ඔසවා ජනතාවගෙන් වසන් කිරීමට ජවිපෙ නායකයන් කටයුතු කලහොත් පුදුම විය යුතු නැත.ඒ ඔවුන් අද පත්ව ඇති බංකොලොත්කමේ ප්‍රමණයයි.

එජාපයද 1994 සිට තමන් ලබන අවමන් සහගත පරාජය ආපසු හැරවීමට මගක් සොයමින් සිටින්නේ බොහෝ කලක සිටය.එතෙක් තමන් ලබමින් සිටි පරාජය මහින්ද රාජපක්ෂගේ ආගමනයෙන් තවත් තීව්‍ර විය.එහිදී ජයග්‍රහණය තමන්ට පෙනෙන මානයෙන්ද තවත් ඈතින් ඈතට ඇදී ගියේය.මහින්ද රාජපක්ෂ ත්‍රස්ත මර්දන සටනට නායකත්වය දුන් දා සිට එයට එරෙහි වීම රනිල් කල්ලිය සිදු කර ගත් බරපතලම දේශපාලන වැරැද්ද විය.කොටි පරාද වීම ලක් වැසි බහුතරයේ ඒකායන අරමුණ වුවත් මේ කේම්බ්‍රිජ් කල්ලියේ අරමුණ එයට සපුරා වෙනස් ස්ථාවරයක විය.මාවිලාරුවෙන් පටන් ගත් සටන මහින්දට කොයි මොහොතේ පරාජය අත් වේදැයි නොඉවසිල්ලෙන් බලා සිටියේ මෙම දේශද්‍රෝහී කල්ලියයි.එයට පැති සහාය (side support ) ජවිපෙ කම්කරු ,වතු වෘත්තීය සමිතිවලින් ලැබුනු බවද අමතක නොකල යුතුය.ජවිපෙ ප්‍රධනත්වයෙන් එකල මෙහෙයවූ අසාර්ථක වැඩ වැරීම් බොහෝ දෙනාට අද අමතක වී ඇත.ත්‍රස්ත මර්දන සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පොදු සතුරා බවට පත් කර ගත් මෙම එජාප නඩය ඉන් නොනැවතී යුද්දයේ හමුදා නායකත්වයද නිර්දය විවේචනයට ලක් කල අයුරු විවේචනයට ලක් වූවන්ට අද අමතක වුවත් දේශහිතෛෂී ජනයාට අමතක නැත.මක් නිසාද යත් ඔවුන් එදා සිදු කල පහර දීම් වල සෘජු බලපෑම එල්ල වන්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට නොව මව් බිමේ ඉරණමට වන බැවිනි.ත්‍රස්ත මර්දන සටනේ ගෞරවය පික් පොකට් ගැසීමට අද වලි කන්නේ මෙම ද්‍රෝහීන් ය.

සරත් ෆොන්සේකා මහතා ඇමට දමා මේ අල්ලන්නට හදන්නේ බහුතර ජනයාගේ දේශමාමකත්වයයි.එය කිසිදා රනිල් වික්‍රමසිංහ යොදවා සිදු කර ගත නොහැකි බව සියල්ලන්ට ප්‍රත්යක්ෂ වී තිබේ.එබැවින් සරත් ෆොන්සේකා සහ රජය අතර ඇති වූ මත භේදය දඩමීමා කර ගනිමින් බොර දියේ මාලු බෑමට මේ කරනා නින්දා සහගත උත්සාහය දැනුවත් ප්‍රතිවිරෝධයකින් පරාජය කල යුතුය.

එකල දේශප්‍රේමීයකු වූ සරත් ෆොන්සේකා මහතා අද වන විට දේශදෝහියකු කර ඇත්දැයි සමහරෙක් තුල ප්‍රශ්නයක් පැන නැගිය හැක.දේශප්‍රේමී හෝ දේශද්‍රෝහී වන්නේ උපතින් රැකියාවෙන් හෝ තනතුරෙන් නොවේ.තමන් මාතෘභූමිය වෙනුවෙන් සිදු කරනා මෙහෙවරෙනි.එසේ බැලූ කල යුද හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා සුපිරිම ගනයේ දේශප්‍රේමීයෙක් විය.ඒ පිලිබඳ කිසිඳු විවාදයක් තිබිය නොහැක.නමුත් අද වන විට ඒ මහත තෝරා ගෙන ඇත්තේ තමන්ට උචිත පිල නොවේ.(ඒ මහතාගේ දේශපාලන මතය එජාපයට හිතැති එකක් විය හැක.).එහි සිටින්නේ ඒ මහතාම වරක් ප්‍රකාශ කල පරිදි මව්බිමේ ජයග්‍රහණය ගැන දුක් වන නිවටයන්ය.ත්‍රස්තයන් කරේ තබා ගෙන සිටි ද්‍රෝහීන්ය.තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් තම ඕනෑම දෙයක් පාවා දීමට හැකි ජුදාස්ලාය.මේ සිඟාලයන්ගේ සැබෑ අරමුණ සරත් ෆොන්සේකා රජ කරවීම නොව තමන්ට දිනා ගත නොහැකි බහුතර ජන මනස හමුදා ඇඳුම පෙන්නා දිනා ගැනීමට බව සරත් ෆොන්සේකා හැරුණු කල අන් සියලු දෙනාට වැටහෙන කාරණයකි.

දෙශද්‍රෝහී වන්නේ නම් ඒ මහින්ද රාජපක්ෂට එරෙහි වීම නිස නොව මව්බිමේ සතුරන් හා එක් වීම නිසාය.අනිත් අතින් මහින්ද රාජපක්ෂ සමග සිටිම පමනක් දේශප්‍රේමියකු වීමට සුදුසු කමක් නොවන බව කොටි ත්‍රස්තයන්ට උඩ ගෙඩි දුන් සහ දෙන ඵ් චන්ද්‍රසේකරන් වැනි ද්‍රෝහීන් ගැන සැලකීමේදී වටහා ගත හැක.දේශද්‍රෝහියෙකුට වුවද තම වැරැද්ද නිවරදි කර ගනිමින් මව්බිම වෙනුවෙන් කැප වේ නම් දේශප්‍රේමියකු විය හැකි බව විර කැප්පෙටිපොළ ජාතියට තහවුරු කර දී ඇත.එහි අනිත් පැත්තද එසේම බව අලුතෙන් කිව යුතු නොවේ.


මහින්ද විවේචනය කරන්නන්ගේ අනෙක් ප්‍රධාන විවේචනය නම් දූෂණය නාස්තිය සහ ඥාති සංග්‍රහය ගැන එල්ලවන චෝදනාය.මින් සමහරක් අතිශෝක්තියට නැගූ ඒවා වන නමුත් මහින්ද ජනාධිපතිවරයාගෙන් අපේක්ෂාකල ප්‍රගතියක් ඒ ක්ෂේස්ත්‍රවලදී අත් කරගෙන නොමැති බව පිලිගත යුතු සත්‍යකි.( නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය පසුගිය රජයන් හා සසඳා කරනු ලබව විවේචනයක් නොවන බවය.අතිශෝක්තිය නැගූ පංගුව අත් හැරි කල පසු ගිය බොහෝ රජයන්ට වඩා වත්මන් පාලනය සුජාත විය හැක.නමුත් බහුතරය අපේක්ෂා කරන මට්ටම එය නොවේ)
එබැවින් ඉදිරියේදී බිහි කර ගන්නා තමන්ගේ රජයේදී මේ නාස්තිය හා දූෂණය මුලිනුපුටාදැමීමට මහින්ද රාජපක්ෂ මහතාට දනුවත් සක්‍රීය වැඩ කොටසක් කිරීමට සිදු වනු ඇත.එසේ වුවත් සරත් ෆොන්සේකා ඇමට යොදා බිහි කර ගැනීමට තැත් කරන රජයෙන් එය මේ තරමකින් හෝ ඉටු නොවන බව පැහැදිලි වන්නේ දින 180වකට වඩා අඩුවන පාලන කාලයකට මුහුණදී ධූරය අත් හැරීමට නියමිත ෆොන්සේකා පසුපස සහ ඉන් ඉදිරියට රජ කරන්නේ මීට වසර හයකට පමන පෙර රට සූරා කෑ ටයි කෝට් හැඳි චෞර රැලම වන බැවිනි.රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණමින් කොමිස් කෑ ඒ දෝහී අතීතය සරත් ෆොන්සේකාගේ නිල ඇඳුමෙන් වසන් කල නොහැක.


එබැවින් සිදු කල යුතු දේ සක් සුදක් සේ පැහැදිලිය.ජනතා ජයග්‍රහණය පික් පොකට් ගැසීමට සැරසෙන ද්‍රෝහීන් පරදවා බහුතර දේශමාමක ජනයා අපේක්ෂා කරන සමෘද්ධිමත් මාතෘ භූමියක් බිහි කර ගැනීමේ තීරණය නොපැකිළ ගැනීමය.මාතෘභූමිය එක් සේසත් කිරීමේ මාහැඟි කාර්‍යයට කෘත ගුණ සැලකීම සියල්ලන්ගේ අත් හල නොහැකි යුතුකමයි.සිදු කරනා හීන් නූල් සූත්තර සහ වියරු කුමන්ත්‍රණ පරදා මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් තම යුතුකම සහ වගකීම ඉටු කිරීමට තරම් නිරවුල් අවබෝධයක් බහුතර දේශම්මාමක ජනයාට ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

-කැලුම් නිරංජන

Sunday, November 8, 2009

පොදු අපේක්ෂකයා දිනවමු!!!

3 comments

අද දවසේ දේශපාලන සටන් බිමේ ප්‍රධාන කාතෘකාව බවට පත්ව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා එහිදී ඉදිරිපත් වීමට යන පොදු අපේක්ෂකයා පිළිබඳ කතා බහයි.දශක එක හමාරකට අධික කාලයක් පුරා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දිගින් දිගටම පරාජය ලබන එජාපය මෙවරද ඒ සුපුරුදු අමිහිරි අත්දැකීමම විඳ ගන්නා බව එජාප පාක්ෂිකයාම සාක්කි දරයි.
පළාත් සභා චන්ද සියල්ල අවසානයේ ඔවුන් ලද 25% ආසන්න චන්ද ප්‍රමාණය කියා පෑවේ එහි සන්ඛ්‍යාත්මක නිරූපණයයි.(මහ මැතිවරණයකදී තත්වය වෙනස්වේ යැයි සිතා හිත හදා ගැනීමට අවශ්‍යනම් එජාප හිතවාදීන්ට හැකි නමුත් මෙය ආපසු හැරවීමට සමත් ආශ්චර්‍යයක් නුදුරේදී සිදුවෙතැයි අපේක්ෂා කල නොහැක ).
තමන් අනුගමනය කරන බටහිර ගැති නව ලිබරල්වාදී විජාතික චින්තනයෙන් බැහැර නොවී සිදුකරන පැලැස්තර දැමීම් තුලින් හෝ සිදුකරන හීන් නූල් සූත්තර හා කුමන්ත්‍රණ මගින් බහුතර ජාතිමාමක ජන මනස දිනා ගත නොහැකි බව මේ නිවටුන් අවබෝධ කර ගත යුතුය.

ජවිපෙ ඉරණමද එසේමය.ජතිකවාදී මාවතෙන් පීළි පැන්නවූ ජවිපෙ එයට හිමි විය යුතු නියත පරාජයට මුහුණ දෙමින් සිටී.71 දී අධිරාජ්‍යවිරෝධී සිරිමා රජයට එරෙහිව සිදුකල අරගලය සේම 2005න් පසු අනුගමනය කරන වෛරී දේශපාලන භාවිතය නිසා විනාශයට අත වනමින් සිටී.එහිදී ත්‍රස්ත විරෝධී අරගලයේ තමන්ට හිමි ගෞරවයයේ පංගුවද මහින්ද රාජපක්ෂගේ බුක්තියට ලියාදී ලිප්ටන් වට රවුමේ බෙරිහන් දීම හැරෙන්නට වෙනත් 'උපාය මාර්ගයක් තෝරන්නට' ඔවුන්ට ඉතිරිව නැත.අද ඔවුන්ගේ ප්‍රමුඛ කාර්‍ය බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය මට්ටු කිරීමයි.රට වෙනුවෙන් බජිරි හෝ කා රට රැක ගමුයි කී පක්ෂයට අද අත්ව ඇත්තේ අහිංසක සිසුන් අරලිය ගහ මන්දිරය අබියස අධි ආරක්ෂිත කලාපයට දක්කා ඔලු පලන්නට සැලැස්වීම පමණි.දේශපාලනය තුල තමන්ට හිමි සටන් පාට අහිමි කරමින් එතෙක් තමන් අත පැවති දේශප්‍රේමී ධජය මහින්ද රාජපක්ෂ විසින් හිමි කර ගැනීමත්,තමාගේ පක්ෂයට එල්ල වූ දෙකඩ වීමේ අභියෝගයත් අන් සියලු කාරණා වලට වඩා ඔවුන්ට ප්‍රමුඛ විය.මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා බවට පත් වන්නේ මෙම කාරණා මතය.මහින්ද රාජපක්ෂ සමග ඇති දේශපාලන වෛරය විසින් ඔවුන්ගෙ ඇස් අන්ධ වී ඇත.එසේ නොවූයේ නම් එක්සත් ජනපදය බිරිතානිය ප්‍රමුඛ බටහිර බලවේග සමග මහින්ද පලවා හැරීමේ සටනට පොහොර දමන්නට එදා සිටි දෙශප්‍රේමී ජවීපෙට හැකි වන්නේ කෙසේද?


මේ තත්වය හොඳින් පැහැදිලි කර ගත හැකි සාධකයක් අන්තර්ජාතික දේශපාලන වටපිටාව නිරීක්ෂණය කිරීමේදී දැක ගත හැක.ඇඑජ ප්‍රමුඛ බටහිර කඳවුරට අද වන විට මහින්ද රාජපක්ෂ යනු හියුගෝ චාවේස් තරම් හතුරෙකි.අහමදිනිජාඩ් තරම් හිතුවක්කාරයෙකි.ඒ වෙන කිසිවක් නිසා නොව කොටි ත්‍රස්තයන් පැරදවීමේ සටනේදී මහින්ද අනුගමනය කල කෙලින් සිට ගැනීමේ පිළිවෙතයි.මෙතෙක් සිටි කිසිම නායකයකු සිදු නොකල තරමේ රාජතාන්ත්‍රික අරගලයක් කරන්නට මහින්ද රාජපක්ෂට පසු ගිය කාල වකවානුවේදී සිදු විය.එසේ වූයේ තම ප්‍රභාකරන් නැමති තම ඒජන්තයා බේරා ගැනීමට බටහිර රටවල් සිදු කල අනවරත බලපෑම්ය.මහින්ද එයට සිදු විය අයුරින්ම අපේක්ෂා කල නොහැකි මට්ටමක සමත්කමක් ප්‍රදර්ශනය කලේය.එසේ නොවුයේ නම් මහ කොටියා වෙල්ලියාමුල්ලිවයික්කාල් හිදී අවසන් ගමන් නොයනු ඇත.ඒ වෙනුවට එදා JR‍ යුගයේ වඩමාරච්චි සටනට අත් වූ ඉරණමම මෙම සටනද අත් වන්නට තිබූ ඉඩ කඩ වැඩිය.
එසේ වූයේ නම් කොතරම් ප්‍රබල යුද උපාය මාර්ගයක් වුවත් සාක්ෂාත් කර ගත නොහැකි වන්නට ඉඩ තිබිණ. මහින්ද රාජපක්ෂගෙන් ලද එම එඩිතර දේශපාලන නායකත්වයත් එයටම මුසු වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නිවරදි මග පෙන්වීමත් සරත් ෆොන්සේකාගේ යුද උපාය මාර්ගික ප්‍රවේශයත් කොටි පැරදවීමේ සටනේ එක සේ වැදගත් සාධක විය.එයට අමතරව මේ සඳහ කැපකිරීම් කල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ජයග්‍රහණය පිටුපස සිටි බව අද ඊයේ දේශප්‍රේමී සළු පිලි පලඳවාගත්තවුන් හැර අන් සියලු දෙනා පිලි ගන්න සත්‍යකි.

වසර තිහකට අධික කාලයක් තිස්සේ එතෙක් සිටි නායකයින් තම දේශපාලන පැවැත්ම තහවුරු වන සේ පමණක් කලමණාකරනය කර ගත් යුද්ධය තම ජීවිතයට එල්ලවන අභියෝගයද නොසලකා අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපතිවරයාට එම මාහැඟි කාර්ය්‍යට කෘත ගුණ සැලකීමට බහුතර දේශමාමක ජනයා පෙළ ගැසී සිටි මොහොතක ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා හිටපු යුධ හමුදාපතිවරයා ඉදිරිපත් වන බවට කනින් කොනින් පැතිර ගිය ආරංචිය ඉදිරියේදී තහවුරු වන හැටියක් පෙන්නුම් කරමින් තිබේ.මෙම ආරන්චිය සමගම දෙශප්‍රේමී ජනයා දෙගිඩියාවකට පත්ව ඇති සැටියක් පෙනේ.තමා කෘත ගුණ දැක්විය යුත්තේ කාටදැයි තෝරා ගැනීමේ අතෝරයට ඔවුන් මුහුණ දී සිටී.ක්‍රිකට් තරඟයක් ජයග්‍රහණය කල පසු ප්‍රතිවාදී කණ්ඩායම විසින් ජයග්‍රාහී කණ්ඩායමෙ ප්‍රබලම සාමාජිකයකු තම පිලට ගත්තා වැනි තත්වයක් උදා වී තිබේ.


එජාප මංගල හවුල විසින් තමගේ පොදු අපෙක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට කැස කවන අතර ජවිපෙද මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමේ පරම වූ අරමුණින් යුතුව ඊට තම නොමසුරු සහය පල කරමින් සිටී.මුලින්ම කිව යුත්තෙ පොදු අපෙක්ෂකයෙකුගෙ පිහිට පැතීමට සිදුව ඇති සියලුම දෙනා තමන්ගෙ නොහැකියාව ප්‍රදර්ශනය කර හමාර බවය.මහින්ද රාජපක්ෂට තනිව මුහුණ දී ජය ගැනීමට මේ කිසිම බංකොලොත් පක්ෂයකට අද ශවසේ නොහැකිය.පොදු අපේක්ෂකයා සරණ යාමට සිදු වී ඇත්තේ එබැවිනි.කෙසේ නමුත් ඔවුන් මහින්දට මුහුණ දී තරඟයක් දිය හැකි (කවුරුන් කෙසේ කීවද ජයග්‍රහණය කිරීම හිතළුවක් පමණි ) හොඳම අපෙක්ෂකයා තෝරා ගෙන ඇති සේය.කොටි පැරදවීමේ සටනේ ප්‍රධාන කොටසක් රඟ පෑවේ සරත් ෆොන්සේකාය.එය මහින්ද රාජපක්ෂ කල කාර්ය සමග සැසඳීම අනුවන කමකි.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා සමග මතවාදී ගැටුමක් ජතිකවාදී කිසිවකුටත් නොමැත.ඔහු සුපිරි ගනයේ දේශප්‍රේමියෙකි.සෘජු ප්‍රතිපත්තිවලින් යුතු අවංක නිලධාරියෙකි.කොටි පැරදවීමේ සටනින් පසු ඔහු වඩාත්ම සුදුසු ජනාධිපතිධූරයට බවද සැබෑය.නමුත් මේ එයට අවස්ථාව නොවේ.මහින්ද රාජපක්ෂ සමග සැසඳීමේදී සරත් ෆොන්සේකා සිටින්නේ ගව් ගනනක් පසු පසිනි.
තවද සරත් ෆොන්සේකා යනු මහින්ද රාජපක්ෂට විකප්ලයක් ද නොවේ.එබඳු තෝරා ගැනීමක් සිදු කිරීමට අවස්ථාවක් එලඹියහොත් බහුතර දේශප්‍රේමීන් මහින්ද රාජපක්ෂ තෝරා ගනු ඇත.සරත් ෆොන්සේකා මහතාට මේ රජයෙන් සිදු වූ යම් අසාධාරණයක් වෙයි නම් එය විසඳා ගත යුත්තේ වෙනම තලයකදීය.එයට ජාතිකවාදී සංවිධානවල සෘජු සහයද සරත් ෆොන්සේකාට ලබා ගත හැක.එසේ නොකර මහින්ද රාජපක්ෂ සමග ඇති අරෝවට ජාතික පිළ අමතක කර රනිල්-මංගල-හකීම්-ටිල්වින් අශුද්ධ විජාතික සන්ධානය සමග දීග කෑමට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වෙයි නම් ඒ ඒ මහතාගේ කීර්ති නාමයේ අවසානයයි.එහිදී ලබන නියත පරාජයෙන් පසු ජාතික වීරයෙක් ලෙස අබිමන් ලබා සිටින ඒ මහතා විනාශ වී යනු ඇත.විජාතික බලවේගවල යටි අරමුණද එය විය හැක.මක් නිසාද යත් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්නේ එය අහෝසි කිරීමෙ ප්‍රතිපත්තිද සමග බව සැල වන බැවිනි.ජයග්‍රහණය කරාවි යයි මොහොතකට සිතුවත් එමගින් සරත් ෆොන්සේකා මහතාට ලැදි ජනතා පැතුම් ඉටු වන්නේ නැත.එමගින් සිදු වන්නේ නැවත වටයකින් දේශද්‍රෝහී රනිල් රටේ නායකත්වයට ගෙන ඒමය.මක් නිසාද යත් ඒ බව දින 180ක් ඇතුලත ජනාධිපති ධූරය අහෝසි කර පත්වන අගමැති ධූරය රනිල්ට පිරි නැමිය යුතු යැයි සඳහන් වන බැවිනි.

එදා යුද්ධයට සෘජුව එරෙහි වූ විජාතික පක්ෂ සහ මහින්දට ඉන්දීය බලපෑම් හමුවේ යුද්ධය අවසන් කල නොහැකි වෙතැයි සිතා දේශපාලන තීරණ වෙනස් කල රතු තොප්පිකරුවන්ගේ අපේක්ෂකයා බවට සරත් ෆොන්සේකා මහතා පත් විය යුතු නැත.ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු යැයි කියූ සමහරුන් රටේ නායකත්වයට එතුමා කරේ තමා ගැන්මට සැරසේන්නේ බලකාමය නිසාම බව එතුමාට අවබෝධ විය යුතුය.සරත් ෆොන්සේකා යනු එවැනි දේශපාලන අනාථයන්ගේ සහ දේශපාලන නපුංසකයන්ගේ අතකොලුවක් බවට පත්විය යුතු චරිතයක් නොවේ.


මව්බිම මුදා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ සැබෑ දේශප්‍රේමීන්ට පමණි.එය පික් පොකට් ගැසීමට දේශප්‍රේමී ජනයා ඉඩ නොදෙනු ඇත.කුමන අයකු හමුවේ වුවත් පරාජය මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජාතියේම පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කරවීම සියලු දේශමාමක ජනයාගේ අද යුගයේ අවශ්‍යතාවයයි.මව්බිම ජයහ්‍රහණය කල හැක්කේ එලෙස පමණි.එබැවින් දේශමාමකයිනි මහින්ද රාජපක්ෂ නම් වූ
පොදු අපේක්ෂකයා දිනවමු.

-කැලුම් නිරංජන

(මහමැති/ජනපති )වරණය සහ පරාජයේ සැර බාල කිරීම !!!!!!!!

5 comments

දේශපාලන පොර පිටිය වෙන කවරදාටත් වඩා අතිශය උණුසුම් වෙමින් තිබේ.මැතිවරණය පිලිබඳකතා බහ කා අතරත් ගුමු ගුමු දෙයි.ඒ අතරින් මුලින්ම පවත්වනුයේ මහ මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයදැයි තවමත් නිශ්චිත ලෙස තහවුරු නොවූ වටපිටාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ එකඹෙන අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේදැයි පිඹුරුපත් සකසමින් සිටී.2010 අප්‍රේල් මසට කලින් වත්මන් පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වන බැවින් ඊට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර,2009 නොවැම්බර් 19 වනදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම හිමි විධායක බලය යොදා ගත හැකිය.මැතිවරණ කතාබහ කරලියට පැමිණි විගස මෙතෙක් කලක් අනවරත පරාජයකට ලක් වෙමින් සිටි පක්ෂ භූමි තෙල් ඇඟ වැදි ගැරඬින් සේ කුපිත වී ඇති සේය.

නැගෙනහිරින් ඇරඹි පළාත් සභා චන්ද උතුරු මැද,සබරගමුව,වයඹ ,මධ්‍යම,බස්නාහිර,ඌව හරහා දකුණට පැමිණෙද්දී 67% දක්වා 2/3ක චන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම දක්වා එක්සන්ත් ජනතා නිදහස් සංධානය අති විශිෂ්ඨ ලෙස ජනතාව වෙතින් අභිෂේක ලබා තිබිණ.(දකුණේදී 80% නොලැබුන බැවින් රජය පරාජය වී ඇතැයි පවසන ක්ෂුද්‍ර මොළ ඇත්තන්ට ස්වයං වින්දනයක් ලැබීමට මෙය බාධාවක් නොවේවා).ඒ සමගම එජාප චන්ද ප්‍රමාණය බරපතල ලෙස නාය යමින් 25% චන්ද ප්‍රමාණයක් දක්වා අඩු වී තිබිණ.එය ජයග්‍රහණය කෙසේ වුවත් අඩුම තරමේ ඉදිරි මැතිවරණවලදී තරඟයක් දිය හැකි මට්ටමකවත් නොමැති බව ඒ ඒ පක්ෂවල ජාතික සංවිධායකයන්ට නොතේරුණත් (නොතේරෙනවා නොව ඔවුන්ටද තේරෙන එය අනිත් අයට තේරුම් යාම වැලැක්වීමට වලි කති ) ගමේ කැපුවත් කොළ යයි කියා ගන්නා පාරම්පරික UNPකාරයා පවා අවබෝධ කරගත් සත්‍යකි.
ජනතා විමුක්ති පෙරමුණටද අත් වී ඇති ලැජ්ජාසහගත ඉරණමද අරලිය ගහ මැදුර ඉදිරියට ගුටි කෑම පිණිසම දක්කන අසරණ විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ හිසින් ගලන ලේ පහරින් වසන් කල නොහැක.තමාගේ බලය යටතේ පවතින තිස්සමහාරාමයේදී ලැබූ චන්ද ප්‍රමාණය 2006දී තනිව තරඟ කර ලබා ගත් ප්‍රමාණයෙන් හරි අඩක් දක්වා අඩු වීමම ඔවුන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමේ තරම කියා පායි.

මැතිවරණ දෙකක් අබියස සිටියදී මොවුන්ගේ අසාමාන්‍ය කලබලවීමට හේතුව එයයි. ජනාධිපතිවරණය මුලින් පැමිණියහොත් රනිල් වික්‍රමසිංහ නොව එජාපයේ කුමන අයෙක් ඉදිරිපත් කලද අත්වන පරාජයේ තරම කියා පැමට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන තෙක් නිදි වැරීමට අවශ්‍ය නොවේ.ඒ බව නොතේරෙන්නෙකු එජාපයෙන් පවා සොයා ගත හැකි යැයි නොසිතේ.
එජාපයෙන් එසේ අපේක්ෂකයකු ඉදිරිපත් කලහොත් ජවිපෙට වන්නේ සිය දිවි නසා ගන්නටය.එජාපය නැවත බලයට පැමිණෙන්නට කිසිඳු ඉඩක් ජවිපෙ සිටින තුරු දෙන්නේ නැතැයි වේදිකාවේ සහතික කර මොර දුන් ජවිපෙ වියපත් නායකයාගේ එම අරමුණ ට එරෙහි වන්නට එජාපය සමග රහස් සබඳතා පවත්වන්නේ යැයි කියැවෙන ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන්ට ශක්තියක් ඇත්ද?
එසේ නැතිනම් එම අරමුණ වෙන්නුවෙන් මහින්ද රාජපක්ෂ සමග එකඟතාවයකට නැවත පැමිණෙන්නට ජවිපෙ අනෙකුත් කණ්ඩායමට හැකියාවක් ඇතිද?

එසේ කල නොහැකිනම් කල හැකි වන්නේ 82 දී රෝහණ විජේවීර,99දි නන්දන ගුණතිලක මෙන් තනිව තරඟ කිරීමය.එමගින් මහින්ද ලබන නියත ජයග්‍රහනයේ සැර බාල කිරීමය.එමගින් වක්‍රව රනිල් ලවන නියත පරාජයේ ප්‍රමාණය කුඩා කිරීමය.නමුත් ඉන් සිදු වන්නේ ඉන් ජනාධිපතිවරණයත් සමග එලඹෙන මහ මැතිවරණයේදී එතෙක් සිදු වූවාටත් වඩා වැඩි බරකින් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමය.දිස්ත්‍රික්ක තුන හතරකින් පමනක් ලැබෙන්නට නියමිත මන්ත්‍රීවරු හතර පස් දේනාද අහිමි කර ගැනීමය.ඒ සමගම තමාගේ පාර්ලිමේන්තු දේශපාලනයේ අවසන් හුස්ම දක්වා පැමිණීමටය.

පොදු අපේක්ෂක කතාව කරලියට එන්නේ මෙවන් පසුබිමකය.(පොදු අපේක්ෂකයා ගැන මී ලඟ ලිපියෙහි සඳහන් කෙරෙනු ඇත ) එබැවින් මෙම පරාජිත බලවේග සියල්ලම (එයට එජාපෙ -ජවිපෙ මෙන්ම දේශපාලන හිඟන්නකු බවට පත් වී ඇති මංගල -හකීම් ද ඇතුලත්ය ) තමන්ට හැකි සියලු වෙර දරා අද දවසේ සිදු කරමින් සිටින්නේ ජනාධිපතිවරණයට මුහුණ දීම මග හරින්නටය.මග හැර මුලින් මහ මැතිවරණයක් ලබා ගන්නය.එමගින් ජනාධිපතිවරණයේදි ලබන සෘජු පරාජය වෙනුවට මන්ත්‍රී ධූර අඩු වීමක් දක්වා එහි සැර බාල කිරීමටය.(ජවිපෙට එය එසේ වුවත් එජාපයට බොහෝ විට දැනට තමන් සමග සිටින මන්ත්‍රී ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැක.මක් නිසාද යත් ඔවුන් සමග දැනට සිටින්නේ 2004 ලබා ගත් මන්ත්‍රී ධූර අසු ගනනින් හරි අඩක් පමණ ප්‍රමාණයකි.ඉතිරි අඩ සිටින්නේ රජය සමගය ). එබැවින් මුලින් මහ මැතිවරනයක් පැවැත්වුවහහොත් එය ජනාධිපතිවරණයක් තබා අත්වන ඉරණම සමග සසඳද්දී මෙම බලවේගවලට දිව ඔසුවකි.

කෙසේ නමුත් මහ මැතිවරණයක් එලඹුනහොත් රටක් ලෙස බැලූ කලද එය එතරම් අයහපත් නොවේ.එමගින් දැනට පවතින විකෘති පාර්ලිමෙන්තු සංයුතිය නැවත ප්‍රකෘති තත්වයට පත් වනු ඇත.එහිදී දෙමළ කොටි ත්‍රස්තයන්ගේ පිහිටෙන් බලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණය සැල කිය යුතු ප්‍රමාණයකින් අඩු වනවා ඇත.(නමුත් උතුරේදි එය එතරම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු නොවන බව පසුගිය පළාත් පාලන චන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේ.කොතරම් ත්‍රස්ත බියෙන් මුදා ගත්තත් උතුරු වසන්තය නමින් කොතරම් වියදම් කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කලත් උතුරේ බහුතර දෙමළ ජනයා ආණ්ඩුවට චන්දය දීමට කැමැත්තක් නැත.නමුත් නැගෙන හිර තත්වය මීට හාත්පසින් වෙනස් වේ.)තවද ශ්‍රී ල නි ප මනාපවලින් පාර්ලිමේන්තුවේ රඟන ජවිපේ මන්ත්‍රී ප්‍රමාණය 38 සිට (ජනිපෙ වෙන් වූ පසු ඉතිරි වූයේ 25 පමණි ) දෑතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු වනු ඇත.

එමගින් නැවත යම් තරමක හෝ ප්‍රකෘති තත්වයට පත්වන පාර්ලිමේන්තුව බහුතර දේශප්‍රේමී ජනයා අපේක්ෂා කරන ත්‍රස්ත බියෙන් මුදා ගැනීමේන් පසු බිහිවන යහ පාලනයෙන් යුතු අලුත් ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමේ දිශාවට මෙහයවීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වනු ඇතැයි දේශමාමක ජන පැතුමයි.. . . . .


- කැලුම් නිරංජන

Monday, October 12, 2009

දේශමාමකයිනි කාලෝ අයන්තේ. . . . .

2 comments

දකුණු පළාත් සභා ඡන්දයෙන්ද පෙරදී කියූ පරුදිම ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස ට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වෙමින් නිමා විය.පරාජයට හෙතු සොයන්නෝ එය සුපුරුදු පරුදි සමාජයට විහිළු සපයමින් සිටීති.2/3 බලයක් හිමිවුවත් තමන් මැතිවරණ වේදිකාවේ කියූ පරිදි 80% ඉලක්කයට යා නොහැකි වූ බැවින් මෙය ජනාධිපතිවරයා ලද බරපතල පරාජයකැයි 25% චන්ද ප්‍රතිශතය යාන්තමින් ඉක්මවා ගියා වූ එජාපය සහ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රීවරයෙකුගෙන් පමණක් ප්‍රීතිවන්නට සිදුවූ ජවිපෙත් වේදිකා දෙකක සිට වුවත් එකම ස්වරයෙන් මරළතෝනි දෙන්නට පටන් ගෙන තිබේ.

ඒ අතර ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයට වඩා චන්ද 25000ක් පමණ අඩු වී ඇතැයි මේ හවුල බෙරිහන් දෙති.එහෙත් ඇත්ත තත්වය මේ බොරු වලින් වසන් කල නොහැක.තමන්ට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ චන්ද සංඛ්‍යාවට වඩා චන්ද දෙලක්ෂයකට වඩා අඩු වී ඇති එජාපය ජනාධිපතිවරයාට චන්ද විසි පන් දහසක් අඩු වී ඇතැයි පවසද්දී මතක් වන්නේ ලැජ්ජාවෙන් ගැලවීමට සිතා තම සරමම උස්සා මුහුණ වසා ගන්නට ගිය මිනිසාගේ කතාවය.මුහුණ යන්තම් වසා ගත්තත් තමාගේ නිරුවත ලෝකයාට පෙනෙන බව මේ එජාප මහදැනමුත්තන්ට නොවැටහීම අභාග්‍යකි.

ජවිපෙ අනෙත් විකට හැසිරීමද චන්දයෙන් පසු ජනතාවට සිනා සීමට හැර වෙන ගත යුත්තක් නැත.තමන්ද සහය පල කල ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලබා ගත් චන්ද ගණනට වඩා චන්ද විසි පන්දහසක් අඩු වී ඇතැයි මේ කවටයන්ද ජනතාවට පවසති.එහෙත් තමන් මෙවර පළාත තුලින් ලබා ගත් චන්ද 72000න් බහුතරයක් එදා ජනාධිපතිවරයාට දැමූ චන්ද බවත් මෙලෙස 72000ක් අඩු වෙද්දී සන්ධානයට තවත් චන්ද 60000ක් පමණ එකතු වී ඇති බවත් මේ නිවටයන් අමතක කරන්නට හදන්නේ ජනතාවගේ මොළද තමාගේ මොළ තරම්ම ක්ෂුද්‍ර මොළ යයි සිතා විය යුතුය.

නමුත් මෙම දේශපාලන පරාජයේ හේතුවලට සිනා සීම හැර වෙන යමක් කල යුතු නැත.මෙම විපක්ෂ බලවේගවලට තමන් ලද 'විශිෂ්ඨ' ජයග්‍රහණය ගැන ස්වයං වින්දනයක් ලබා ගැනීමට බාධා නොකර ඉදිරියේදී කුමක් කල යුතුදැයි අවධානය යොමු කිරීම දේශමාමක ජනයාගේ අද දවසේ කාර්ය භාරය විය යුතුය.


අද වන විට ආණ්ඩුවේ පවතින අඩුපාඩු පිළිබඳ ස්වයං විවේචනයක් කරමින් එය නිවරදි මාර්ගයට ගැනීමට නම් කල යුතු ප්‍රතිසංස්කරණ වහා වහා සිදු කිරීමට දෙශප්‍රේමී බලවේග විසින් ආණ්ඩුවට බල කල යුතු කාලය එලඹ තිබේ.එහිදී ආණ්ඩුවේ ඉහලම සිට පහල දක්වාම දැනුවත්ව සිදු කරනු ලබන සියලු නාස්තිකාර වියදම් දැනුවත් මැදිහත්වීමකින් වහා නවතා දැමීමට ක්‍රියා කල යුතුය.එය අරලියගහ මැදුරේ දෙන බත් පතේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සංග්‍රහ දීමනාව දක්වාත් ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් වියදමේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා රජයේ වාහනය දක්වාත් අදාල විය යුතුය.මොවුන් තමාගේ පෞද්ගලික බූදලයන් සේ සලකා කටයුතු කරන්නේ සාමාන්‍ය පොදු ජනයාගේ බදු මුදල් බව අමතක කර ඇත්තා සේය. (මෙම බොහෝ නාස්තිකාර වියදම් වර්තමාන බලධාරීන් අතින් පමණක් සිදු වන එවා යැයි මොහොතකටවත් නොමග යා යුතු නැත.ජරාජීර්ණ දේශපාලන ගොහොරුවේ සැමදා දැකිය හැකි ගඳ ගහන සත්‍යය මෙයයි.)මෙවැනි නාස්තිකාර වියදම් ගැන අද වන විට ආණ්ඩුවට හිතැතිව සිටින්නන් තුල පවා ප්‍රබල ප්‍රතිවිරෝධයක් මතු වීම ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපානු ඇත.
එබැවින් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මේ සඳහා අතවශ්‍යය.ඒ වෙනුවෙන් මතවාදී පෙල ගැස්මක් සිදු කිරීම ජාතික මතවාදීන්ගේ අත් හල නොහැකි වගකීමකි.

නාස්තිය හැරුණු කල තවත් ප්‍රබල දුබලතාවයක් ලෙස පෙනෙනුයේ ඉහළ සිට පහලටම පවතින ඥාති සංග්‍රහයයි.( නමුත් මෙය ගෝඨාභයට හෝ බැසිල්ට හෝ චමල්ට රජය තුල ඇති තැන ගැන නොවන බව වෙන්කර හඳුනා ගත යුත්තේ එජාප -ජවිපෙ - මංගල හවුල ඥාති සංග්‍රහය යන්න එවැනි පටු සීමවකට කොටු කර ඇති බැවිනි.එම ඊනියා රාජපක්ෂ සමාගම පිලිබඳ කතාව බහුතර ජනයාට ගැටලුවක් නොවන අතර ඥාති සංග්‍රහය යන්න එයට ලඝු කිරීම සැබෑව යටපත් වීමටද හේතුවක් වී ඇත ) කාර්යාල ලිපිකරු පත්වීමේ සිට දෙපාර්තමේන්තු ප්‍රධාන ධූරය දක්වාම රැකියා අවස්ථා හා උසස්වීම් හිමි වීමේදීද මේ දේශපාලන බැලයන්ට කත් අදින්නන්ට ප්‍රමුඛත්වය හිමි වීමේ කලකණ්නි ක්‍රමයටද වහා තිත තැබීමට සුදුසු කාලයයි.සුදුස්සාට සුදුසු තැන හිමි වන සාධාරණ ක්‍රමයක් බිහි කිරීමේ කාර්‍යද මහින්ද රාජපක්ෂ රජයට සිදු කල හැකි (නමුත් අත් හල ඇති ) ප්‍රමුඛ අවශ්‍යතාවයකි.රැකියා අවස්ථාවක් වෙනුවෙන් දේශපාලන පුබ්බරුවන් පසු පස යෑමට සුදුසුකම් ලාබීන්ට සිදු වන්නේ නම් එය අවාසනාවන්ත තත්වයකි.

ඉහත සඳහන් කල බොහෝ කාරණා මෙම ආණ්ඩුව තුලින් පමණක් සිදුවන දේ ලෙස සිතා නොමග යා යුතු නැති බව නැවත අවධාරණය කරන්නේ වසර 50ක් පමණ පුරාම මෙම තත්වය අනවරතව ගලා ආ බැවිනි.නමුත් ඉදිරි මහ මැතිවරනයේදී පත් වන්නට නියමිත මහින්ද රාජපක්ෂ මී ලඟ රජයේ ප්‍රමුඛ අවශ්‍යතා ලැයිස්තුවට මේවා ඉහල බරක් යොදමින් ඇතුලත් කිරීම අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදී පරාජයෙන් පසු බිහිවන අලුත් සමාජය මෙවැනි අඳුරු සෙවනැලිවලින් ගලවා ගත යුතු බැවිනි.නමුත් ඒ සඳහා ආණ්ඩුවේ ස්වයං පෙළඹීමක් අපේක්ෂා කිරීම නුවණට හුරු නොවන අතර ඒ සඳහා බල කරන ප්‍රබල මැදිහත්වීමක් සිදු කිරීම සියලු දේශහිතයිෂී බලවේගවල අද දවසේ මුඛ්‍ය කාර්යයක් විය යුතුය.
එබැවින් දේශමාමකයිනි අලුත් මෙහෙවර සඳහා
කාලෝ අයන්තේ. . . . .


- කැලුම් නිරංජන

Thursday, October 8, 2009

ඡන්දය කාටද?

3 comments

ගෙවී යමින් පවතින්නේ දකුණු පළාත් සභා මැතිවරණයේ එකොළොස්වෙනි හෝරාවයි.මාස දෙකක් පමණ කාලයක් පුරාවට විටෙක ත්‍රාසයද විටෙක භීතියද තවත් විටෙක හාස්‍යද මතු කරමින් ඇදී ආ නාටකය අවසන් ජවනිකාවට ලං වෙමින් තිබේ.
නැගෙනහිරින් ඇරඹී උතුරු මැද,සබරගමුව,වයඹ,මධ්‍යම,බස්නාහිර හා ඌව දක්වා මැතිවරණ 7හිම ජය එජනිස ට හිමි වූයේ කලින් කියා ඇති පරිදිම තනි අශ්වයාගේ තරඟයකිනි.තරඟයක් දෙන්නට තබා මැතිවරණ උණුසුමක් මවන්නට වත් මේ පළාත්වලදී එජාප - ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම්වලට මෙම පළාත් වලදී වරම් අහිමි විය.එය පිළිබිඹු කරමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන්නටත් පෙරම තම පරාජයට හේතු සොයා ගන්නට එම කණ්ඩායම්වලට සිදු විය.නැගෙනහිර සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් ආ පක්ෂ විපක්ෂ චන්ද පරතරය තවත් වැඩි වෙමින් එජාපයට කවදත් පක්ෂපාතී බවක් පෙන්වූ බදුල්ල දක්වා එද්දී එජනිස ට 75% සීමාවට පැමිණ තිබිණ.දකුණු පළාත තුලදී එහි යම් පසු බෑමක් වනු ඇතැයි පසුගියදා සිදුවූ මනාප හබයන් දෙස බැලීමේදී යම් කිසිවෙකු සිතුවත් දින දෙකකින් එලඹෙම මැතිවරණයේදී සිදුවනු ඇත්තේ මෙතෙක් අනවරතව ගලා ආ ජයග්‍රහණයේ රැල්ල දකුණද දෙගොඩතලා ගමන් කිරීමය.

එජාපය සතුව තිබූ සුළු ජාතික ජන පදනම පවා ඌවේදී මෙන්ම දකුණේදීද නැවතත් නාය යනු ඇත.(සිංහල බහුතරය ඔවුන් වෙතින් වියෝ වී දැන් බොහෝ කල්ය).ජවිපෙ තමන් සතු සියලු සම්පත් (එය ආණ්ඩුව රජයේ දේපල තම මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගන්න තුච්ච ක්‍රමය සැසඳීමේදී කුඩා භාගයක් විය හැක ) යොදා බැලුවත් එයට දකුණෙන් උරුමව තිබූ සුවිශේෂී සැළකීම මේ මැතිවරණයේදී අහෝසිවනු ඇත්තේ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රී ධූරයක් හෝ දිනා ගැනීමේ අභියෝගයද එල්ල කරමිනි.එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේක්ෂා කරන පරිදිම දකුණද 'දිග් විජය' කරනු ඇත.ඉතිහාසය දෙස විපරම් කර බැලීමේදි පැහැදිලි වන කරුණක් නම් මෙවැනි ජාතික තලයේ නොවන මැතිවරණවලට එහි අපේක්ෂකයන්ගෙන් ලැබෙන ආලෝකය හෝ අඳුර එහි ප්‍රතිඵලවලට සිදුකරන බලපෑම අල්ප වන බවයි.වඩා ප්‍රබල වන්නේ ජාතික තලය තුලදී රජය හෝ විපක්ෂය නිරූපණය කරන භූමිකාවය.
එබැවින් කොතරම් බෙරිහන් දුන්නද මෙම මැතිවරණයේදී කොට ගවුමට මෙන්ම අත් දෙකින් වෙඩි තැබීමටද ලැබෙන ස්ථානය අවසන් ප්‍රතිඵලයට එල්ල කරන බලපෑම නොගැනිය හැකි තරම් කුඩා වනු වැලැක්විය නොහැක්කේ එජනිස ට ඡන්දය දෙන බහුතරය ඡන්දය දෙන්නේ ඒ බහුරූ කෝළම් වලට ඉහලින් ඇති ජනාධිපතිවරයාගේ නොසැලෙන ප්‍රතිරූපයට බැවිනි.ජනාධිපතිවරයාගේ ජන්ම පෙදෙසේදී එය අන් තැන්වලදීටත් වඩා උස්ව නැගෙන රළක් වීම වැලැක්වීමට අද දවසේ කොළ-රතු පෙරමුණුවලට නොහැක.

එසේ වන්නේ ඇයි?
ඡන්ද ලැයිස්තුව තුලින් හිතට එකඟව ඡන්දය දිය හැකි අපේක්ෂකයයන් තිදෙනෙකු(තුන් දෙනෙකු නොව අඩුම තරමේ එක් අයෙකුවත්) තෝරා ගැනීමට නොහැකි අතෝරයකට ඡන්ද දායකයා පත් වීමට තරම් සංධාන ලැයිස්තු බංකොලොත් වී පවතිද්දී පවා (අනෙකුත් පක්ෂවල ලැයිස්තු මෙයින් යම් හෝ අපගමනයක් වත් ඇතැයි මෙයින් නොකියවෙයි )සන්ධානයට මෙතරම් ඉහළ ජයක් අපෙක්ෂා කිරීමට හේතුව කුමක්ද?
ප්‍රධාන හේතුවනම් වසර 30ක් පුරා මුළු සමාජ දේහයටම පිළිලයක්ව පැවති එහි අක් මුල් දිය කර හැරීමට තරම් ශක්තිමත්ව තිබූ ලොව දරුණුතුම ත්‍රස්ථවාදය වසර 3ක් තරම් කෙටි කලකදී අති සාර්ථක අයුරින් මුළිනුපුටා දැමීමය.නායකත්වය සමූලඝාතනය කරමින් එතෙක් පැවති ත්‍රස්ථ භීතියෙන් මිදීම සකල ලක් වාසීන්ගේ මුවගින් කෙටි කලක් තුල වියෝ වුවත් හදවතේ ගැඹුරු තැනින්ම ඒ පිළිබඳ කෘතඤ්ඥතාව ජනාධිපතිවරයා වෙත පළවන බැවිනි.
අනෙක විපක්ෂය ජන හදවත් තුල තවත් පක්ෂයකට පත් වීමට තරම් අපහසු තරමේ පහත් අඩියකට පත්ව තිබීමය.වත්මන් රජයේ අමන ක්‍රියා මාර්ග පවා සාපේක්ෂව මග ඉහළින් සාධාරණී කරනය කල හැකි මට්ටමක විපක්ෂයක් පැවතීම මෙලෙස තනි අශ්වයාගේ තරඟයක් ඇති වීමට අනෙක් කාරණයයි.
අනෙත් වැදගත් කාරණය් වන්නේ ආණ්ඩුවට එරෙහි වනු වෙනුවට විපක්ෂ කණ්ඩායම් සියල්ලම පාහේ එරෙහි වෙමින් පවතින්නේ රටට වන බැවිනි.මහින්ද රාජපක්ෂ සමග ඇති දේශපාලන පලිය රටෙන් ගැනීම එජාප ජවිපෙ එකමුතුවට ජනතා හදවත් අත් පත් කර ගැනීමට නොහැකි වීමට බලපානා අනෙක් කරුණයි.
එසේ නොවූයේ නම් මෙතරම් පැහැදිලි ලෙස දූෂණයට ඉඩ කඩ විවර වූ ආණ්ඩුවකට එරෙහිව ජනතා බලය පෙළ ගැස්වීම අපහසු නොවේ.

නමුත් නාස්තිය සහ දූෂණයත් යහ පාලනයක් පවත්වා ගෙන යාමට ඇති අපහසුවත් ඊලඟ මහ මැතිවරනයේදී පත්වන සන්ධාන ආණ්ඩුව තුලින්වත් ඉටු නොවේ නම් ජනයා ඉහත සියලු යහපත් සාධක පවා තම සිතෙන් ඉවත් කර ගැනීමට පෙලඹෙනු වැලැක්විය නොහැක.එබැවින් තවමත් ජනතා හදවත් තුල සිටින ජනධිපතිවරයාගේ අද දවසේ කල යුතු ප්‍රමුඛ මෙහෙවර විය යුත්තේ තමාද ඇතුළු ඉහල සිට පහලට සිදු වන අනවශ්‍ය වියදම් සියල්ල කපා හැර නාස්තිය ප්‍රබල ලෙස අඩු කර ගැනීමත්,යහ පාලනය සියලු ක්ශේෂ්ත්‍රවලට බලාත්මක කිරීමට කටයුතු කිරීමත්ය.ඥාති සංග්‍රහය නවතා(එය එජාප-ජවිපෙ කියනා පරිදි ගෝඨාභයට හෝ බැසිල් රාජපක්ෂට ලැබී ඇති ස්ථාන නොව )දමා සුදුස්සාට සුදුසු තැන ලැබෙන වඩා සාධාරණ ක්‍රමයක් ඇති කිරීමද ඒ සමගම කල යුතු ප්‍රමුඛ අවශ්‍යතාවයකි.ඒ සමගම ජාතික ධනය සොරකම් කරනා ඇමති ඇම්බැට්ටයන්ට වුවත් නිසි දඬුවම් ලබා දිය හැකි සාධාරණ ක්‍රමයක් වහා වහා ඇති කල යුතුය.

එබැවින් දකුණෙන් ලබන සුවිශේෂී මැතිවරණ ජයෙන් උදම් නොවී කල යුත්තේ ඊළඟ මහ මැතිවරන ජයෙන් පසු හෝ රටට හිතැති ප්‍රතිසංස්කරණ වහ වහා සම්පාදනය කිරීමය.එසේ නොවුවහොත් ජාතිමාමක ජනයාට මහින්ද රාජපක්ෂ කෙරෙහි තබාගෙන සිටිනා අචල විශ්වාසය ඉවත දැමීමට සිදුවනු ඇත .

- කැලුම් නිරංජන


Saturday, September 19, 2009

තිස්සනායගම් කරුණා සහ ජවිපෙ

7 comments
කොටි ත්‍රස්තවාදයේ යුද පෙරමුණ පරාජය කර සිව් මසක් සම්පූර්ණ විය.ඉහල නායකත්වයේ සමූලඝාතනයත් සමගම දෙමළ ජාතිවාදයේ යුද වියරුව අපේක්ෂාකල තරමටත් වඩා ඉහල සාර්ථකයත්වයකින් යුක්තව සාර්ථකව නිමා විය.( අපේක්ෂා කල තරමටත් වඩායැයි කීවේ එකල යුධ විරොධී පෙරම්ණුවල ඉදිරියෙන් සිට මෑතක ඇමති වරප්‍රසාද තකා තම ආත්මය පාවා දුන් නිවටයන්,යුද ජයග්‍රහණයෙන් පසුව සුදු සළු පිලි හැඳගත් ක්ෂණික දෙශප්‍රේමීන් පමණක් නොව,ජනාධිපතිවරයා යුද්ධයට තල්ලු කලේ තමන් යැයි පුරසාරම් දොඩනා සමහරු පවා ත්‍රස්තවාදයට එරෙහි සටන ඉන්දීය මැදිහත්වීමකින් අතරමග බිඳ වැටේ යැයි සිතා තම දේශපාලන තීරණ වෙනස් කල පසුබිමක් තුල ලබා ගත් ජයග්‍රහණයක් බැවිනි )
යුද පෙරමුණේ පරාජය රටට හතුරු බලවේග යම් තිගැස්මකට ලක් කලත් අද වන විට එම තත්වය මග හරවාගනිමින් අලුත් අලුත් මනයන් ඔස්සේ තම සුපුරුදු ව්‍යාපෘති ඉදිරියට ගෙනයමින් සිටී.හමුදා නායකත්වයට හා දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වන්නේත් ඒ වෙනුවෙන් ඊනියා මාධ්‍ය නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය,ගැන බෙරිහන් දෙන්නේත් එබැවිනි.

නමුත් මේ සකලවිද කුමන්ත්‍රණ සහ කකුලෙන් ඇදීම් මැද වුවත් රට වෙනුවෙන් කෙලින් සිට ගැනීමට වෙර දරනා ජනාධිපතිවරයාගේ උත්සාහය ප්‍රසංශනීයය.යහ පාලනය ගැන වත්මන් පාලනයට එරෙහිව කොතරම් විවෙචන තිබුනත් ඒ සියල්ල ද්විතීක කාරණා සේ සලකා රටේ ආරක්ෂාව පිලිබඳ කාරණයේදී රජයේ ස්ථාවරය මහුතර ජාතිමාමක ජනයා මහ ඉහලින් අගය කරන්නේ එහි ඇති නිවරදි සහ විශ්වාසවන්ත භාවය නිසාය.කොටි කාලතුවක්කු යුද බිමේදී නිහඬ කිරීමන් පමනක් නොනැවතී ඒ සඳහා මූල්‍යමය සහ මතවාදීමය සහය පල කල සහ දැනටත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් අනවරතව හඹා යන්නේ ලැබූ ජයග්‍රහණය ස්ථාවර ජයක් බවට පත් කර ගැනීමේ අරමුණෙනි.ඉදිරියේදී ප්‍රභාකරන්ලා බිහි කල හැකි ගර්භාෂය විනාශ නොකලහොත් ,එයට සහය වන මාර්ග අවහිර නොකලහොත් ජාතියට නැවතත් ජීවිත ලක්ෂ ගනනින් වන්දි ගෙවීමට සිදු විය හැකි බැවිනි.

නමුත් මිලිබෑඩ්ගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වාත්,සරවනමුත්තු සිට සුනන්ද දේශප්‍රිය දක්වාත් චැනල් 4 සිට සිරස දක්වාත් මෙකී නොකී සියලු දේශද්‍රොහී බලවේග නා නා මාදිලියේ උපක්‍රම මගින් ලාංකික රාජ්‍යට එරෙහි ක්‍රියාමාර්ගවල නිරතව සිටී.සැමදා ලංකා රාජ්‍යට එරෙහි මතවාදයක සිටි මොවුන්ගේ දේශද්‍රෝහී නිරුවත බහුතර සමාජය අවශ්‍ය තරමටත් වඩා දැක ඇති නමුත් අද වන විට මෙම කල්ලියට අලුතින් තවත් සාමාජිකයෙක් සාමාජිකත්වය ගෙන ඇති බව පසුගිය කාලයේ සිදුවීම් දෙස විමසුම් ඇසින් බැලීමේදී පැහැදිලි වේ.අලුත් සාමාජිකයා වෙන කිසිවකු නොව ජනතා විමුක්ති පෙරමුණයි.

"තිස්‌සනායගම් කියන්නේ ලියපු කෙනෙක්‌. එත් ගැබිනි මවුවරු, අතදරුවන්, අරන්තලාවේ භික්‍ෂූන් වහන්සේ කපා කොටා මරා දාපු ත්‍රස්‌ත ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වූ අයට දෙන්නේ ඇමැති ධුර. දඬුවම් විඳිය යුත්තේ ලියපු කෙනාද... නැගෙනහිර ගම්මාන සුනු විසුනු කළ කෙනාද යන්න ජනතාව තේරුම්ගත යුතුයි."
-අනුර කුමාර දිසානායක
-2009 සැප්තැම්බර් 06

මාධ්‍යවේදියකු යෑයි හඳුන්වා ගන්නා තිස්සානායගම් නමැත්තාව ත්‍රස්‌තවාදයට අනුබල දීමේ චෝදනා මත මෙරට අධිකරණය විසින් විසි වසරක සිරදඬුවමක්‌ නියම කිරීම ගැන මාධ්‍ය හමුවකදී අදහස් පල කල අනුර කුමාර දිසානායක මහතා පල කල අදහසත් මෑත යුගයේ ජවිප රට ඉදිරියේ රඟන අලුත් චරිතය දෙසත් විමසිල්ලේන් බැලූ විට පෙනීයන්නේ ජවිපෙ එදා සිටි ජාතික මතවාදයට හිතවත් බවෙන් පමණක් නොව රටට හිතවත් මතවාදයෙන්ද සීඝ්‍රයෙන් ඉවත් වෙමින් පවතින බවය.රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධානයක ඒජන්තයකු වූ තිස්සනායගම් නැමැත්තා සීඩා නම් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය නෝත් ඊස්ටර්න් හැරල්ඩ් නම් සඟරාවක පල කල අදහසක් මූලික කරගෙන නඩු විභාගයකට මුහුණ දී වර්ගවාදී අදහස් පල කිරීමේ සහ ත්‍රස්ත සංවිධානයකින් මූල්‍ය සහයෝගය ලබා ගත්තේ යැයි නැගුනු චෝදනාවකට පසුගියදා අධිකරණය විසින් විසි වසරක සිර දඬුවමකට ලක් කිරීම ජවිපෙ එලෙස අර්ථ ගන්වා තිබිණ.

එදා ත්‍රස්තවාදය වෙනුවෙන් මතවාදීමය සහය පල කල ඊනියා මධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නිසි ලෙස හඳුනාගත් ජවිපෙ ට ද වන විට ත්‍රස්තවාදය වෙනුවෙන් ලිවීම වරදක් නොවේ යැයි කියන තැනට පත් වීම හඳුනා ගත යුත්තේ කෙසේද?ඒ සමගම මේ දේශද්‍රෝහීන් වෙනුවෙන් විජාතික බලවේග සමග එක පෙලට සිට උස් හඬින් මොර දෙන්නට අතීතයේ රට වෙනුවෙන් කැපවූ පක්ෂයක් තල්ලු වූයේ කෙසේද?
"තිස්සනායගම්ට දුන් තීන්දුව නිසා අපි කලකිරීමට පත් වූයෙමු. මේ නඩුව පිළිබඳ අපි තවදුරටත් අවධානය යොමු කරන්නෙමු"
- ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක රොබඩ් වුඩ්.

මේ අධිරාජ්‍යවාදී බලවේගවල හඬ සමග සමපාත වීමට තරම් ජවිපෙ පීලි පැනීම ඔවුන්ගේ අවසානය වේගවත් කරන්නක් පමණි.ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන හඬ පැලවත්ත ජවිපෙ පක්ෂ කාර්යාලයෙන් නිකුත් වන්නේ වෙන කිසිවක් නිසා නොව.මහින්ද රාජපක්ෂ පාලනය නිසා තම පක්ෂයට අත්වූ ලැජ්ජා සහගත ඉරණමේ වෛරය නිසාය.තමන් නොසිතූ පරිදි මහින්ද රාජපක්ෂ මහතා ජාතිකත්වයේ ප්‍රමුඛයා බවට පත් වීමත් ඒ සමගම තමන්ට තිබුනු දේශපාන පිලිගැනීම අහෝසි වීමේත් වාඩුව ගැනීම පිණිසය.

තිස්සනායගම්ට ලැබුනේ මහින්ද රාජපක්ෂ විසින් ලබා දුන් රාජ නියෝගයක් නොව අධිකරණය (තමන්ට උතුර හා නැගෙන හිර පලාත් වෙන් කිරීමේ නියෝගය ලබා දුන් අධිකරණයම ) විසින් ලබා දුන්නක් බව මේ ද්‍රෝහී සිඟාලයන් අමතක කරති.නැත්නම් ජනතාවගෙන් වසන් කරන්නට හදති.කරුණා අම්මාන් පාර්ලිමේන්තු එන්නේ කෙසේදැයි මේ අමනයන් ප්‍රශ්න කරති.ඇමති ධූර දරන්නේ කොටි සංවිධානයේ සන්නද්ධ නායක කරුණා අම්මාන් නොව කොටි ත්‍රස්තවාදයෙන් තීරණාත්මක බිඳුනු විනයාගමුර්ති මුරලිදරන් බවත් 89 ජීවිත දස දහස් ගනනින් ජාතියට අහිමි කල ජවිපෙ කාඩරවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේත් මුරලිදරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නේත් එම පදනමින්ම බවත් සිඟාලයන්ගේ දැනගැනීම පිණිස පමනක් සඳහන් කරමු.

මහින්ද රාජපක්ෂ සමග ඇති වෛරයට වාඩුව ගැනීම පිණිස ශ්‍රී ලංකා රාජ්‍යට එරෙහි වීමේ විපාක
පසුගිය මැතිවරණවලදී මෙන් නොව ඉදිරි මහ මැතිවරණයේදී ලබන්නට නියමිත අවසන් තීරණාත්මක පරාජයත් සමගවත් අවබෝධ වීමට ජවිපෙට ඉඩ ඇතත් එම තීරණයේ බලපෑම දෙශප්‍රේමී මාවතට තවදුරටත් ආලෝකයක් හෝ අඳුරක් වීමට තරම් ශක්තියක් නොමැති බව පැහැදිලිය.

- කැලුම් නිරංජන

Tuesday, September 1, 2009

වියරු කුමන්ත්‍රණ සහ ජවිපෙ

5 comments
මැතිවරණ උණුසුම දකුණු පළාත හරහා හමා යමින් තිබේ.ජයග්‍රහණය ලබන පක්ෂය කුමක්දැයි සැකයක් නොමැති වුවත් එහි අද දවසේ ඇත්තේ තේරෙන අපේක්ෂකයන් කවුද යන පැනය පමණි.එ.ජා.ප යට ඉතිහාසයේ අත්වන දරුණුතම පරාජයටත් ජ.වි.පෙ ට තමන්ට මෙතෙක් තබා සිටි අවසන් බලාපොරොත්තුවද කඩ වී යමින් ලබන නින්දාසහගත පරාජයටත් මුහුණ දීමට සිදුවනු වැලැක්විය නොහැක.එබැවින්දෝ තමන් ලබන මග හැරිය නොහැකි පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට සිදු කරන නා නා පන්නයේ නන් දෙඩවිලි හා අභියෝග කිරීම් අද වන විට සුලබ වී තිබේ.රා බී වෙරි වූ මීයෙකු බළලෙකුට කල අභියෝගය සිහි කරවන මෙවැනි නාටක ගැන අවධානයක් හෝ යොමු කිරීම කාලය නාස්ති කිරීමක් පමණක් වුවත් මෙවැනි විහිලු වලින් ඔබ්බට ගිය තිරය පිටුපස සිදුවන කුමන්ත්‍රණකාරී ක්‍රියා ගැන අවදියෙන් සිටීම රටට හිතැති සියල්ලන්ගේ ශරීර සෞඛ්‍යට යෝග්‍ය වේ.


මැතිවරණ උණුසුම අතරේම දේශපාලන ලෝකය හරහා අලුත් කතාවක් පතුරවා හැරීමට මේ ද්‍රෝහීන් සිදු කල ලැජ්ජාසහගත උත්සාහයක තොරතුරු හෙළි වෙමින් තිබේ.එනම් කොටි ත්‍රස්ථවාදය පරාජය කිරීමේ සටනේ ‍යුද බිමේ නියමුවා සහ දේශපාලන පෙරමුණේ නියමුවා අතර ඇතිවී ඇතැයි කියන මත භේදයක් පිළිබඳ කතාවයි.පසුගියදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය අරබයා මත ගැටුමක සිටිතියි මොවුන්ගේ ප්‍රචාරයේ සඳහන් විය.13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් ඔබ්බට ගිය අසමමතික බලය බෙදීමක් කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගමන් කරනු ඇතැයිද එබැවින් එයට එරෙහිව සරත් ෆොන්සේකා මහතා සටනට පිවිස ඇතැයිද මේ කුමන්ත්‍රණ කරුවෝ තමන්ට හිතවත් මාධ්‍ය හරහා ,විශේෂයෙන් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කෙරිණ.
හිටපු යුධ හමුදාපතිවරායාගේ යැයි පලකල විද්‍යුත් තැපැල් ලිපිනයකින් ලැබුනේ යැයි පලකල ප්‍රවෘත්ති ජාතිය ඇමතීමේ ලිපියක් පල කිරීමට පසුගියදා එක්තරා වෙබ් අඩවියක් ක්‍රියා කලේය.එමගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා තමන් විසින් ජාතියට හිමිකරදුන් ජයග්‍රහණය පාවාදීමට කටයුතු කරන්නේ යැයිද,එයට එරෙහිව කටයුතු කිරීමට සියලු දේනාගේ සහයෝගය තමාට ලබා දේන්න යැයිද සටහන්ව තිබිණ.



මෙයට සමගාමීව එ.ජා.ප යට හිතවත් මාධ්‍ය කණ්ඩායම්ද මී කුණක් දුටු බඩගිනි වූ බළලකු මෙන් මෙයට තවත් ආලවට්ටම් එක්කරමින් ප්‍රචාරය කලේය.රට දිනවූ ත්‍රස්ථවාදය මැඩලීමේ සටන සමග කවදත් හදවතින් විරුද්ධවාදී ස්ථාවරයක සිටි එජාපයේ මේ හැසිටීම එතරම් විශ්මයට කරුණක් නොවන නමුත් , ප්‍රශ්නය නම් මහින්ද රාජපක්ෂ හට යුද්ධ කිරීමට ඉගැන්වූයේ තමන් යැයි වහසි බස් දොඩනා ඊනියා දේශප්‍රේමී පක්ෂවල හැසිරීමද එජාපයේ දේශද්‍රෝහී හැසිරීම සමග සමපාත විමය.තමන්ගේ නිල පුවත්පත වන ඉරිදා ලංකා හා අන්තර්ජාල පුවත් අඩවිය වන www.lankatruth.com හරහා ජවිපෙ ද මෙම ද්‍රෝහී ක්‍රියාදාමයට ඉහල ක්‍රියාකාරීත්වයකින් යුතුව දැනුවත් සහයෝගයක් දැක්වීය.



මෙමගින් මේ ද්‍රෝහීන් උත්සාහ කලේ එක ගලෙන් කුරුල්ලන් දෙතුන්දෙනෙකු දඩයම් කිරීමටය.
යුද ජයග්‍රහණයත් සමග ජනප්‍රියත්වයේ මුදුනේ වැජඹෙන මහින්ද රාජපක්ෂ ,අද වන විට යුද ජයග්‍රහණ ආපස්සට හැරවීමේ ද්‍රෝහී ක්‍රියාමාර්ගයක සිටී යයි සමාජයට ඒත්තු ගැන්වීම එහි මුඛ්‍ය අරමුණ විය.එමගින් තමන්ට කිසිසේත් අභියෝග කල නොහැකි මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වයේ විශාලත්වය කුඩා කිරීමය.
අනෙක් අතට ජනාධිපතිවරයා සමග බිඳවීමෙන් ඉවත් වන යුද හමුදාපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගැනීමට හැකිදැයි උත්සාහ කිරීමය.එමගින් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හමුවේ ලබන්නට නියමිත ලැජ්ජාසහගත පරාජයේ නිරුවත වසා ගැනීමටය.
සැබෑ තත්වය නම් ජෙනරාල් ෆොන්සේකා සෘජුව ඒකීය ශ්‍රී ලංකාවක් කෙරෙහි විශ්වාස කරන අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙසම විරොධී දේශප්‍රේමී ස්ථාවරයක සිටී.මහින්ද රාජපක්ෂටත් වඩා සෘජුව ඔහු එය නියෝජනය කරයි.නමුත් මහින්ද රාජපක්ෂට එය අභියෝගයක් නොවන්නේ ඔහුද බහුතර ජනමතය අනුව යමින් එය පිලිගන්නා බැවිනි.සරත් ෆොන්සේකාර රජයට යම් විරෝධතාවයක් පෑ යුතුනම් දැඩි විනය ගරුක හමුදා නිලධාරියෙක් ලෙස මෙවැනි දෙකේ පන්තියේ වැඩ නොකරන බව වටහා ගැනීමට තරම් වත් අවබෝධයක් දේශද්‍රොහී ප්‍රචාරකයන්ට නොමැති විය. නැතහොත් එය ආයාසයෙන් අමතක කරවන්නට තැත් කලහ.කුමන්ත්‍රණකාරීන් කොල්ල කෑවේ සරත් ෆොන්සේකාගේ මේ රටට හිතවත් සුජාත ස්ථාවරයයි.

නමුත් ජාතියේ වාසනාවට කුමන්ත්‍රණකරුවන්ගේ නිරුවත හෙළිවී ඇත.කොයි තරම් බෙරිහන් දුන්නද තමන්ට රට ජාතිය, තම පක්ෂය තරම් වැදගත් නොවන බව යලිත් තහවුරු කලේය.මමගින් පැහැදිළි වන්නේ 2005 ජවිපෙ ජාතික මතවාදයෙන් පීළි පැන්නවීමෙන් පසු අත් වී ඇති ඛේදජනක ඉරණමේ තරමයි.එදා විජාතික කුමන්ත්‍රණවලට එරෙහිව තම ශක්තිය උපරිමයෙන් යොදවා කටයුතු කල පක්ෂය අද වන විට ඒ විජාතික බලවේගවල කුමන්ත්‍රණ වලම සක්‍රීය කොටස්කරුවන් වීම විශ්මයකි.

මේ සිදු කරන අමන ක්‍රයාවලින් දේශප්‍රේමී ජන මනස කිසිදා තමන් වෙත ලං කර ගත නොහැකි වබ මේ නිවටයන් වටහා ගත යුතුය.එදා 2004 දී ජාතික මතවාදයේ සෘජු නියෝජිතයන් ලෙස සැම දිස්ත්‍රික්කයකින්ම මනාප ලැයිස්තුවල මුල් තැනට පත්කල ජනයා විසින්ම මෙම දේශදෝහී ක්‍රියා මාර්ග එම නියෝජිතයන්ම කුණු කූඩයට යවමින් නිසි අයුරින් 'ඇගයීමට' පසුබට නොවන බව දැන ගත යුතුය.එවිටද බහුතර ජන මනස 'වැඩවසම් මනසක් යැයිද එය තමන්ගේ මනස තරම වර්ධනය වී නැතැයි පවසා ස්වයං වින්දනයක් ලැබීමට අවශ්‍යනම් කෙසේ හෝ බලයට පැමිණෙමියි දවල් සිහින දකින හා ඒ වෙනුවෙන් වියරු කුමන්ත්‍රණවල යෙදෙන මේ දේශපාලන අම්බරුවන්ට නිදහස ඇත.


- කැලුම් නිරංජන

Friday, August 21, 2009

'අනර්කලීලාට' කුමක් කරමුද?

10 comments
දකුණු පළාත් සභා මැතිවරණයේ උණුසුම දේශපලන පොර පිටිය නැවතත් උණුසුම් කරමින් පවතී.ඒ එය අවසන් පළත් සභා මැතිවරණය වන බැවිනි.පළාත් 8ක මැතිවරණවලින් පසු ඊලඟට ඇත්තේ තීරණාත්මක මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයයි.පසුගිය පළාත් සභා හතෙහිම ජය ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස විසින් දිනා ගත්තේ තනි අශ්වයාගේ තරඟයකිනි.එම අශ්වයා සමග තරඟයට පිවිස සිටියේ හොඳටම වැහැරුණු කොටලුවන් සහ අතරමං වූ බූරුවන් කිහිපදෙනෙකුත් පමණි.එබැවින් තරඟයක් දී ගත හො නොහැකිව නියත ජයක් අශ්වයා හිමි කර ගත්තේය.ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයත් එහිම දිගුවක් බවට අනාවැකි කියන්නට අංජනම් බැලිය යුතු නොවේ.මෙයද එජාපය වසර පහලොවක් පුරා ලබන අනවරත් පරාජයේ තවත් එක් දිගුවක් බව සක්සුදක් සේ පැහැදිළිය.ජවිපෙට අත්වන ශෝකජනක ඉරණමද කලින්ම තක්සේරු කල හැක.ජවිපෙ එහි නිර්මාතෘවරයාගේ ගම් පියසේදීම සහ එහි ප්‍රබලම ව්‍යාප්තිය සිදු වූ බිමේදීම මෙතෙක් ලද බරපතලම කඩාවැටීමට මුහුණ පානවා ඇත.සුපුරුදු පරිදිම එජනිස 'විශිෂ්ඨ' ලෙස ජය ගන්නවා ඇත.එය ඉදිරියේදී එන මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණ ජයග්‍රහණයට ප්‍රබල උත්ප්‍රේරකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ අවස්ථාවේ මැතිවරණයේදී පුද්ගල සාධකයේ බලපෑම අල්ප වන අතර ජයග්‍රහණයට ප්‍රබලව හේතු වන්නේ රජයේ ත්‍රස්තවාදයට එරෙහිව ජය ගත් සටනත් ජනාධිපතිවරා ගැන ඇති අචල විශ්වාසයත් පමණි.එය ඔහුගේ ගම් පෙදෙසේදී අන් හැම තැනටම වඩා උස්ව නැගෙන රැල්ලක් වෙයි.නමුත් මෙතරම් පහසුවෙන් ජයග්‍රහණය ලබා ගත හැකි වාතාවරණයක් යටතේ පවා එජනිස අපේක්ෂක ලයිස්තු සැකසීමේදී එය මූලික 'තත්ව පරීක්ෂාව'වත් ලක් නොකිරීම අභාග්‍යකි.දැනට වාර්ථා වන අන්දමට අනර්කලී වැනි සමාජය ඉදිරියේ කුජීත වූ චරිත පවා ජනාධිපතිවරයාගේ ආර්‍ය ජාතික ඇඳුමේ සෙවනැල්ලෙන් මුවා කර පළාත්සභාවට තල්ලු කර යැවීමට කටයුතු කෙරෙමින් පවතී.අනර්කලී ඉදිරිපත් කරන්නේ මංගලට අභියෝගයට යැයි යමෙකු මෙය සාධාරණීකරනය කරනු ඇත.නමුත් මංගල වැනි වැලේ වැල් නැති දේශපාලන ගන්ධබ්බයෙකුට අභියෝග කිරීමට ඔහුගේ පන්නයේම චරිත කරලියට ගෙන ඒමට තරම් බලධාරීන් අමන වී ඇත්ද?අනර්කලී පමණක්ම නොවේ.එවැනි සහ ඊටත් වඩා කුණු වූ සහ ගඳ ගසන චරිත තවත් රැසක් ඇති අතර සුදු ඇඳුමින් වෙස් ගෙන සිටියත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඒ ඒ ප්‍රදේශවල ජනයා හොඳින් දනී.


එවැනි මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් කිරීමන් හැකි තාක් වැලකී සිටීමට ශ්‍රීලනිප බලධාරීන්ට මේ මොහොතේ ජවයක් පවතී.මක් නිසාද යත් අභියෝගයක් එල්ල කිරීමට වත් නොහැකි තරමට විපක්ෂ බලවේග හතර ගාතෙන් වැටී ඇති මේ අවස්ථාව එය කිරීමට හොඳම මොහොත වන බැවිනි.නමුත් ඒ සියලු අනගි අවස්ථාවන් නොසලකා හැරින තැනට කටයුතු සිදු වෙමින් පවතින බවට පෙරනිමිති පල වෙමින් තිබේ.හොරුන් ,තක්කඩියන් ,බුකිකරුවන්,ස්ත්‍රී දූෂකයන් පවා මැතිවරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් සහ වෙනත් බලපෑම් වලින් මනාප තරඟයෙන් මුල් තැනට පැමිණි අතීත අත්දැකීම් ගැන සිහි වෙත්දී මොවුන්ටද එම අභියෝගයෙන් ජය ගැනීම අපහසු නොවිය හැක.එබැවින් ඒ බව දන්නා බලධාරීන් කල යුත්තේ ඔවුන්ට මැතිවරනවලට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව මග හැරවීම මිස ඔවුන් පරාජය නොකලේ මන්දැයි ජනතාව පිට වරද පැටවීමට බලා සිටීම නොවේ.

මෙවැනි ගොන් බඳින කණු තම පක්ෂයෙන් ඉදිරිපත්වීම ගැන එහි නායකයා ලෙස ජනාධිපතිවරයා ලැජ්ජාවට පත් විය යුතුය.පවුලේ ඉල්ලීම් මත රට ගැන තීරණ ගැනීමට ගියහොත් ඔහු පිළිබඳ දේශ හිතෂී ජනයා තබා ඇති ගෞරවය සහ විශ්වාසය කඩා ඉහිරී යෑමට මෙවැනි සිද්ධීන් කිහිපයක් පමනක් වුවත් ප්‍රමනවත් විය හැකි බව ඔහු වටහා ගත යුතුය.ගෝඨාභය රාජපක්ෂටත් නාමල් රාජපක්ෂටත් දේශප්‍රේමී ජන හදවත් තුල හිමිව ඇත්තේ එකම ස්ථානය නොවන බව ඔහු අවබෝධ කර ගත යුතුය.යම් දිනක එම ස්ථානය එකම විය හැකි වුවත් එතෙක් ඉවසීමෙන් කටයුතු කල යුතුය.නැතහොත් කිරුළ හිමි කුමාරවරුන්ට පසු ගිය කාලයේ අත් වූ ඉරණමම අත්වීම වැලැක්විය නොහැක.

අවාසනාවට බලධාරීන් තමාගේ යුතුකම සරලව සලකා නොසලකා හැරියත් සියලු දේශප්‍රේමී ජනයා වෙත අත් හල නොහැකි වගකීමක් තිබේ.එනම් කුමන අන්දමේ බලපෑම් හමුවේ වුවත් තමාගේ ජාතියක් ලෙස කල යුතු වගකීම ඉටු කරන අතරම මෙවැනි අනර්කලී පන්නයේ චරිත පමනක් නොව සියලු හොරුන් තක්කඩියන් තම චන්ද කාඩ්පතින් පළවා හැරීමය.ඒ වෙනුවට යම් කිසි ප්‍රමානයකින් හෝ ජාතිකත්වයට ලැදි ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමය.ඒ හරහා හෝ තමන්ට කල හැකි නමුත් එය අමතක කර මෙවැනි අමන තීරණ ගන්නා බලධාරීන්ට මතක හිටින පාඩමක් ඉගැන්වීමය.

අනර්කලීලා පරදවා ගුණපාලලා තෝරා ගැනීමට තරම් නිරවුල් අවබෝධයක් සහ එඩියක් සැමදා ජාතියට මග කියන දකුණේ ජනයාට ඇතැයි අපි විශ්වාස කරමු.


- කැලුම් නිරංජන

Thursday, August 13, 2009

මැතිවරණ සහ අපේක්ෂකයෝ. . . . . .

1 comments
පසුගියදා එජනිස ට ති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර දෙමින් අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේ උණුසුම යන්නටත් මත්තේන් නැවතත් මැතිවරණ කතා බහක් කරලියට පැමිණ තිබේ.එම මැතිවරණයේදී එජාපයේ සිදු වූ දැවැන්ත නායෙ යාමත් ජවිපෙට මුහුණදීමට සිදු වූ ලැජ්ජාසහගත පරාජයත් ගැන තව දුරටත් ටීකා ටිප්පනි ලිවීම නිෂ්පල කාර්යයක් වන්නේ එය ඔවුන්ම තම දෑතින්ම වපුල දෙයින් ලද අස්වැන්න බැවිනි.ජාතික මතවාදයට සැබෑ ලෙස අවනත නොවීමේ වරදට ලද යුතු නිසි දඬුවම ඔවුන්ට ලැබිණ.දැන් ඉතින් ලද ජයග්‍රණයෙන් උදම් අනනු වෙනුවට කල යුත්තේ හැකි අයුරුන් එම පළාතේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමය.(පළාත් සභා තුලින් කල හැකි කෙංගෙඩියක් නොමැතිවුවත් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම ලබා ගත හැකි නායකත්වයක් ඌවට ලැබී අති බැවින් ඒ හරහාවත් යම් දෙයක් කිරීමට වග බලා ගත යුතුය )

ලද මැතිවරණ ජය ගැන මාධ්‍ය හමුවේ අදහස් පල කළ ශ්‍රීලනිප භාණ්ඩාගාරිකවරා පල කල අදහස එජාපයට තමා සිටින ස්ථානය ගැන නැවත සිතීමට හොඳ ප්‍රවේශයකි.


මැතිවරණ යනු රූප සුන්දරියන් හෝ අයෝමය පුරුෂයන් තේරීමේ තරඟ නොවන බව එජාප ය තෙරුම් ගත යුතුයි.

-ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

13 අහෝස්තු 2009

පසුගිය මැතිවරණවලදී එජාපය තමන්ට අත්වන අනවරත පරාජය නවත්වා ගැනීමට නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කලේය.එහිදි තමන් පරාජය වීමට බලපාන ප්‍රමුඛ සාධක අමතක කරවීමේ අරමුණින් මෙන් තරු සංකල්පය තම මැතිවරණ ව්‍යාපාරයට අදේශ කර බැලුවේය.(එජාපය පරාජය වීමට බලපාන ප්‍රමුඛ සාධක අතර ජාතික මතවාදයට ලැදි නායකත්වයක් නොමැති වීම සහ ජාතික මතවාදයට පිටුපා සිට ගනිමින් විජාතික ඒජන්තයකුගේ භූමිකාවට පණ පෙවීම ප්‍රධන වන බව එජාපය විසින්ම තම පරාජයට හේතු සෙවීමට පත්කල පණ්ඩිතරත්න වාර්ථාව මගින් පෙන්වා දී තිබේ).
උතුරු මැදදී ජානක පෙරේරාත්,සබරගමුවේදී රංජන් රමනායකත්,බස්නාහිරදී රෝසි සේනානායකත් ඉදිරිපත් වන්නේ ඒ අරමුණෙනි.ඔවුන් තමාගේ පක්ෂය තුල මනාප ගනනින් ප්‍රථම ස්ථානයට පැමිණියත් පක්ෂයක් ලෙසින් ලබන දැවැන්ත පරාජය වැලැක්වීමට තබා පරාජයේ දැවැන්ත බව අඩු කර ගැනීමටවත් ඔවුන්ට නොහැකි බව පසුගිය මැතිවරණ ප්‍රතිඵලවලින් ප්‍රත්‍යක්ෂ විය.

එජාපය දැන්වත් කල යුත්තේ මෙවැනි බොරු වැඩ ඉවත දමා තමන් පරාජය වීමට බලපාන ප්‍රතිපත්තිමය සහ මතවාදී අවුල විසඳා ගැනීමය.එය රනිල් නායකත්වයෙන් නෙරපීමෙන් පමණක්ම අත් කර ගත හැක්කක් නොව ඉන් එහා ගිය පුළුල් ප්‍රතිපත්තිමය වෙනසක් අරමුණු කරගත්තක් විය යුතුය.එසේ නොවුවහොත් සිදු වන්නේ දැනට සිදුවන පරාජයේ තවත් ප්‍රබල වූ දිගුවක් බව පැහැදිලිය.
කෙසේ වුවත් ශ්‍රීලනිප භාණ්ඩාගාරිකවරා ඉහත අදහස පල කල දිනම මාධ්‍ය මගින් වාර්ථා වු තවත් පුවතක් ඇසීමෙන් දකුණේ ශ්‍රීලනිප මතවාදීන් වික්ෂිප්ත වූ බවට සැක නැත.


අනර්කලී මාතරින් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට
-සිංහලයා පුවත්
12 අහෝස්තු 2009


අනර්කලී තරු සොයා යන එජාපයෙන් මැතිවරණයට යැයි පුවතක් පල වූවානම් එය අරුමයක් නොවිය හැකි වුවත් ශ්‍රීලනිපට මේ අවස්ථාවේ මෙවැනි බාල ගනයේ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්ද?

ශ්‍රීලනිප තුලින් බිහිවිය යුත්තේ මෙවැනි 'ටිපි ටිප්' වර්ගයේ චරිත නොවන බව එහි මුල් පුටු උසුලන්නන් අමතක කර ඇත්ද?
(මෙය අනර්කලී චරිත ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නොව.අනර්කලී මගින් නිරූපණය වන සමාජ තීරුව ගැනම ප්‍රශ්නයකි.) කුඩු වියාපාරිකයන්,කැසිනෝ කරුවන් ,ස්ත්‍රී දූෂකයන් මැතිවරණයට ඉදිරිපත් කරද්දීත් අප එහි බරපතලකම කලින්ම දුටුවෙමු.එහි ප්‍රතිචාරය නිසාදෝ මෙවර මැතිවරණයට එවැනි අපරාධවලට සම්බන්ධවූවන් ඉදිරිපත් නොකරන බවට එජනිස මහලේකම්වරයාට ප්‍රකාශ කිරීමට සිදු විය.

නමුත් අපරාධවලට සම්බන්ධවූවන් ඉදිරිපත් නොකිරීම පමණක් ප්‍රමණවත් වේද?

ශ්‍රීලනිප ට උරුම මතවාද දරන්නන් පෙරට ගැනීම ගැනීමට එම පක්ෂය්යේ බලධාරීන් කටයුතු කල යුතුය.මෙය එය සිදු කිරීමට හොඳම සහ කල හැකිම අවස්ථාවයි.මක් නිසාද යත් විපක්ෂය සමග මතවාදී තලයේදී ගව් ගනනක් ඉදිරියෙන් ජනතාව සමග සිටින අවස්ථාවක ශ්‍රීලනිප නිසි පරිදි ගොඩ නගා ගැනීම සිදු කල හැක.මක් නිසාද යත් එය මේ මොහොතේ මැතිවරණ ජයග්‍රහණවලට එහි කිසිඳු බලපෑමක් සිදු නොවන බැවිනි. ඒ බව අවබෝධ කර ගැනීමට ශ්‍රීලනිප මුල් පුටු හොබවන්නන් අමතක කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූ දිනක ඒ ගැන පසු තැවීමට සිදු වනු වැලැක්විය නොහැක.

එබැවින් අද දවසේ අනර්කලීලා පෙරට ගැනීම වෙනුවට කල යුත්තේ රටට දැයට හිතැති ශ්‍රීලනිප මතවාදයට කැපවෙන ධර්මදාසලාට ,ගුණපාලලාට අවස්ථාව දීමය.එමගින් අනාගතයට රටට දැයට හිතවත් නායකත්වයක් බිහිකරගැනීමට අවස්ථාව උදා කර දීමය.


- කැලුම් නිරංජන